‘වරාය නගරය වැනි ආර්ථික මොඩල අනෙක් ප්‍රදේ­ශ­ව­ල­ටත් ආදේශ කළ හැකියි’ | Page 4 | සිළුමිණ

‘වරාය නගරය වැනි ආර්ථික මොඩල අනෙක් ප්‍රදේ­ශ­ව­ල­ටත් ආදේශ කළ හැකියි’

ද වන විට ආසියානු කලාපවල ආර්ථික කලාප විශාල ලෙස දක්නට ලැබෙයි. මෙරට ඉදි කෙරෙන වරාය නගරය නම් කර ඇත්තේ විශේෂ ආර්ථික කලාපයක් ලෙසයි. විශේෂ ආර්ථික කලාප දකුණු කොරියාව, මැලෙසියාව, සිංගප්පූරුව වැනි රටවලද, මැදපෙරදිග රටවලද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි අබුඩාබිහි ද, අප්‍රිකාවේ ද දක්නට ලැබෙයි. විශේෂ වෙ‍ෙළඳ ආර්ථික කලාප සහ අන්තර්ජාතික මුල්‍ය මධ්‍යස්ථාන යන සංකල්පය විශේෂයෙන් ලංකාවට පමණක් අලුතින් හඳුන්වාදීමක් නොවෙයි. බටහිර සහ නැගෙනහිර රටවල් ගත්විට විශේෂ ආර්ථීක කලාප දක්නට ලැබෙයි.

 

එසේම ලංකාව අනෙක් රටවලට වඩා මෙවැනි විශේෂිත ආර්ථික කලාපයක් ගොඩනැඟීම සම්බන්ධයෙන් විශාල ප්‍රමාදයක් දක්නට ලැබෙයි. අපේ රට strategically located උපාය මාර්ගිකව ගත් විට හොඳ භූගෝලීය, පිහිටීමක් ඇති රටක් ලෙස නිතර සඳහන් වන කරුණකි, එසේ නම් ආර්ථික උපාය මාර්ගික වශයෙන් ගත් විට හොඳ පිහිටීමක් අපේ රටේ පවතී. අපි මේ පිහිටීම ගැන කතා කරමින් සිටියද මෙතෙක් ප්‍රයෝජනයට නොගත් අතර, මෙය ප්‍රයෝජනය ගැනීමට නම් එයට වැදගත් වන ආර්ථීක උපාය මාර්ග හඳුනාගත යුතුයි. චීනයේ විශේෂ ආර්ථික කලාප බොහොමයක් දක්නට ඇත. දැනට ක්‍රියාත්මක වන Hainan දූපත චීනයට අයිති දූපත එවැන්නකි. එය ලංකාවෙන් බාගයක ප්‍රමාණයේ භූමි ප්‍රදේශයක් වන අතර, ලංකාවේ ජනගහනයෙන් බාගයක් පමණ එහි වෙයි. මෙය දැනට විශේෂිත ආර්ථික කලාපයකි. එමෙන්ම සිංගප්පූරුව දෙස බැලූවිට විශේෂත්වයක් වන්නේ එය නගරයක් සහ රටක් වීමයි. මුළු රටම විශේෂ ආර්ථික කලාපයක් බවට පත්වී ඇත. එහි බදු ක්‍රමය, ආයාත නිදහස් කිරීම්, මේ සියල්ල සැලකිල්ලට ගත් විට සිංගප්පූරු ආණ්ඩුවේ ජාත්‍යන්තර වෙළඳාම මත අය කෙරෙන තිරු බදු ගත් විට සියයට බින්දුවකට ආසන්න වෙයි.

එමෙන්ම ව්‍යාපාරික කටයුතුවලට ඩුබායි ආදායම් බදුවලින් සම්පූර්ණයෙන් නිදහස් කර ඇත. විශේෂ ආර්ථික කලාපයක් වන මෙහි ආයාත බදු සියයට පහකට වඩා අඩුවෙයි. සමාගම් බදු නැත. එහෙත් මෙය ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නොහැකිය. ලංකාවේ ආණ්ඩුවේ ආදායමෙන් සියයට 18 බදු ආදායම එකතු වන්නේ ආයාත බදුවලිනි. එය ඉතා වැරදි ප්‍රතිපත්තියකි. අපේ ආසියාතික රටවල ආයාත බදු ප්‍රමාණය රටේ බදුවල ප්‍රතිශතයක් ගත්විට සියයට දෙකක් හෝ හතරක් අතර වෙයි. දේශපාලනික පරිසරය සහ නීතිරීති, මිනිසුන්ගේ ආකල්ප අනුව ඒ මට්ටමට යන්න අපට අපහසුය.

අපේ රටේ වාණිජමය ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී වසර ගණනක් ගතවන සංකිර්ණ ක්‍රියාවලියක් එහි වෙයි. එහිදී විශේෂ ආර්ථික කලාපයක් තුළ එසේ නොවෙයි. මේ විශේෂිත ආර්ථික කලාපය තුළ ආර්ථීක කටයුතුවලට වේගවත් ක්‍රමවේදයක් කඩිනමින් සැකසෙයි. ආර්ථීක කටයුතු වලට අදාළ දේ නිමා කරගැනීමක්, සම්පූර්ණ කරගත හැකි ක්‍රමවේදයක් මෙහිදි සිදු කෙරෙයි. මේ විශේෂ ආර්ථික කලාප සඳහා රටේ නීති රීති වලට බාහිරව ආර්ථික කොමිසමක් වෙයි. ඒ ආර්ථික කොමිසමෙන් වහා තීරණ ගනු ලබයි. මෙය විශේෂ ආර්ථික කලාපයක වන සුවිශේෂ ලක්ෂණයකි. එකම කවුළුවක් තුළින් සියල්ල කරගැනීමේ හැකියාව ජාත්‍යන්තර ආයෝජන සඳහා වැදගත් වෙයි.

මෙවැනි කරුණුවලදී අපේ රටේ උපායශීලි භූගෝලීය පිහිටීම වාසියට හරවා ගැනීම ඉතා වැදගත් වෙයි. එමෙන්ම අපිටම ආවේණික TIME ZONE (කාල කලාප) පැවැතීමද ඉතා වැදගත් වෙයි.

ලෝකයේ වෙන්කර ඇති වේලා කලාප අනුව බැලීමේදී අපට ඈත පෙරදිග රටවල් සමඟ මෙන්ම ටොකියෝ සහ සෙන්හායි ව්‍යාපාරික නගර සමඟ ගනුදෙනු කළ හැකිය. විශේෂයෙන් (TIME ZONE)දැඩිව බලපෑම් නොවන තැනක අපේ රට පිහිටා තිබීම වාසියට හරවා ගත හැකිය. මේ අනුව හොඳ කාල කළමනාකරණයක් ඇතිව බටහිර රටවල් සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කිරීමට ද හැකියි. ඒ හැකියා ඇති නිසා නිසි කාලය කළමනාකරණය කරගනිමින් ඒ ව්‍යාපාරික රටවල් සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කළ හැකියි. මේ වේලා කලාප ඉක්මවා යමින් එය සැලසුම් කරගනිමින් කටයුතු කිරීමේ හැකියාව අපිට ඇත. එවැනි ආකාරයකින් ලෝකය සමඟ ගනුදෙනු සිදුවන, ලෝකයට විවෘත වීමක් මේ විශේෂ ආර්ථික කලාපය මඟින් සිදු කරගත හැකියි.

මේ රට ඉදිවන ආර්ථික කලාපයෙන් බලාපොරොත්තු වන තවත් කාරණාවක් නම් ලෝකයේ ඉහළ මට්ටමේ ආයෝජකයන්, ප්‍රධාන වශයෙන් සේවා අංශ සපයන්නන් මේ සඳහා සහභාගී කරවා ගැනීමයි. විශේෂයෙන් ආයෝජකයන් ලෙස මෙහි ආයෝජනය කරන්නේ විදෙස් බැංකු ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණ, කාර්යෝපාය ක්ෂේත්‍රය, වාණිජ, නැව්, අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවාවල යෙදි ඇති සමාගම් විය හැකියි. ලෝකයේ ඇති සමාගම්වල ප්‍රධාන කාර්යාල හෝ ශාඛා මෙන්ම ඉහළම පෙළේ ආයෝජකයන් සහ ඒ සඳහා අවශ්‍ය කරන ජාත්‍යන්තර මට්ටමේ වෘත්තියකයන් ආකර්ෂණය කරගැනීම ප්‍රධාන අරමුණක් විය යුතුයි. අනෙක් සියලු ආර්ථික කාරණා පදනම් වන්නේ ඒ මතයි. ආසියාවේ ඇති ප්‍රධාන විශේෂිත ආර්ථික කලාපවල ආයෝජනය කර ඇත්තේ ද එවැනි ආයෝජකයන්ය. අපේ අරමුණ විය යුත්තේ ඒ අයගෙන් යම් කොටසක් මෙරටට ආකර්ෂණය කර ගැනීමටයි. එසේ කිරීමෙන් අපට ඍජුව හෝ වක්‍රව ආර්ථික වාසි ලැබෙයි. ජාතික ආදායම් වැඩි වෙයි; විදේශ විනිමය ඉපැයීම, සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන ආදායම වැඩි වීම සිදු වෙයි.

ඊට අමතරව ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් ද්විතීක වශයෙන් ලංකාවට ගලාගෙන ඒම මෙන්ම පවතින ශ්‍රමයට මෙන්ම ව්‍යාපාරවලට ද්වීතික ප්‍රතිලාභ සහ දිගුකාලින යහපත් ආර්ථික ප්‍රතිවිපාක මේ මඟින් අත්වෙයි. මේ විශේෂිත ආර්ථීක කලාපයෙන් සමස්ත ආර්ථිකයට ඇතිවන පිබිදීම් අති විශාලයි. මේ වරාය නගරය ලංකාවේ භූමියේම කොටසක් වන අතර විශේෂිත ආර්ථික කලාපයක් වන මෙහි ලංකාවේ අනෙකුත් අංශ වන කෘෂිකාර්මික අංශ රටේ ආර්ථිකය කෙරෙහි ද බලපෑම් කරයි. එසේම මෙහි ඇතිවන ව්‍යාපාරික අංශ මඟිනුත් රටේ ආර්ථිකයට සුවිශේෂ බලපෑමක් ද ඇති කරනු ලබයි. මෙතුළ සිදුවන ඉපැයිම් නිෂ්පාදන අපේ ආර්ථිකයේම කොටසකි. එය මෙරටේ දළ දේශීය නිෂ්පාදිතයේම කොටසකි. එහිදී දළ දේශීය නිෂ්පාදිතය වැඩි වීමට, අපේ රටේ ඒක පුද්ගල ආදායම වැඩිවීමට, අපේ රටේ විදෙස් විනිමය වැඩිවීමට, සේවා නියුක්තිය, නව තාක්ෂණය අලුත් ව්‍යාපාරික කළමානාකරණ සම්ප්‍රදායෙන් ලංකාවට ගලා ගෙන ඒමට අනිවාර්ය හේතුවක්ද වෙයි. ලංකාවේ ඇති නීති රිති පද්ධතිය ගත් විට අපේ රටේ ඇති කුමන ජාත්‍යන්තර දත්ත වාර්තා අනුව ගත්තද Economic freedom index, innovation index, competitiveness index, logistic performance index මේ සෑම ජාත්‍යන්තර දර්ශකයකින් ලංකාව ඉතා දුර්වල මට්ටමක වන බවක් දක්නට ලැබෙයි.

මේ දුර්වල මට්ටමේ සිටීමට එක් හේතුවක් වන්නේ, අපේ රටේ ඇති නීති රීති රෙගුලාසි ක්‍රමයේ ඇති දුර්වලතාව බව ඉතා පැහැදිලිය. අපි රටක් ලෙස ඒ නීති රෙගුලාසි ප්‍රතිසංස්කරණය කර හෝ දියුණු කර නැත. ඒ අනුව ලෝකයේ අනෙක් රටවල් සමඟ සැසැදීමේදී ආර්ථික දර්ශකවල ඉතා පහළ ස්ථරයක අපේ රට පිහිටීමට එක් හේතුවක් ලෙස මේ යල්පැන ගිය නීතිරීති පද්ධතිය එක් හේතුවකි. ව්‍යාපාරිකයෙක් හෝ ආයෝජකයෙක් ලංකාවේ ආයෝජනය කිරීමට පෙර මේ ජාත්‍යන්තර දර්ශකවල කුමන ස්ථානයක අපි සිටින්නේ යන කාරණාව පිළිබඳව විමසිලිමත් වෙයි. පසුගිය කාලවකවානුව පුරාම මේ රටේ විදේශ ආයෝජන ඉතා දුර්වල මට්ටමක පැවැතිණි. එසේනම් ඒ දුර්වල පරිපාලන හේතුවූ පරිපාලන ක්‍රමවේදයන්ගෙන් අපි පරිබාහිර විය යුතුයි.

ඩුබායි සහ සිංගප්පූරුව විශේෂයෙන් සැලකෙන විශේෂිත ආර්ථික කලාප දෙක වෙයි. ඊටත් වඩා හොඳ ආර්ථික මධ්‍යස්ථානයක් අපි මෙමගින් අපේක්ෂා කළ යුතුයි. එසේනම් අපි ඒ අභියෝගයට මුහුණ දිය යුතුයි. සිංගප්පූරුවටත්, ඩුබායිවලටත් වඩා හොඳ ආයෝජන මධ්‍යස්ථානයක් බවට මෙරට වරාය නගරය හරහා නිර්මාණය වන ආර්ථික කලාපය පත් කළ යුතුයි. මේ නිසා මෙයට සුවිශේෂවූ අණපනත් සහ පරිපාලන ක්‍රමයක් සැකසීමකට අපි යා යුතුයි. යල් පැන ගිය, තවදුරටත් ධාවනය නොවන අණපනත් මේ සඳහා අදාළ වන්නේ නැත. අපි ලෝක මට්ටමේ ව්‍යාපාරික ස්ථානයක් සකසා ගන්නවාද යන කාරණා අපි විසින්ම තිරණය කරගත යුතුයි.

මෙහි පරිපාලනය විශේෂ ආර්ථික කොමිසමක් මඟින් සිදු කෙරෙයි. එය සුවිශේෂ ආර්ථික කොමිෂමකි. මෙහි පාලනය කිරීම සඳහා පත් කෙරෙන විශේෂ ආර්ථික කොමිසමට සාමාජිකයන් පහකට නොඅඩු හතකට නොවැඩි සාමාජිකයන් වන අතර එහි සභාපතිවරයෙක් ද වෙයි, මේ සියලුදෙනා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. මේ සියලු පරිපාලන කටයුතු පාලනය වන්නේ මේ කොමිසම මඟිනි. රටේ සාමාන්‍ය නිතී රිති පරිපාලන ව්‍යුහය මේ අවස්ථාවේ පැත්තකින් තැබිය යුතු හෙයින් මේ කොමිසම පත් කරනු ලබයි. වේගවත් සංවර්ධනයක් සිදුවන්නේ එවිටයි. මේ වරාය නගරය නිර්මාණය කරනු ලබන්නේ චීන සමාගමකි. එය ලංකාවේ ලියාපදිංචි වී ඇති සමාගමකි. ගාලු මුවදොර මුහුදු තීරයේ සිට හෙක්ටයාර් 269ක මුහුදු ප්‍රදේශයක් ගොඩ කෙරෙයි. මේ සඳහා ආයෝජනය කර ඇත්තේ චීන මුදල් වන අතර එය ඇමරිකානු ඩොලර් බිලියන එකහමාරක ආයෝජනයකි.

වරාය නගරය නිර්මාණය වීමෙන් පසුව ඒ සඳහා ආයෝජකයන් පැමිණෙනු ලබනුයේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහායි. එම චීන ආයෝජකයන් මෙහි ඇති ව්‍යාපාරික ඉඩම් ප්‍රමාණ බදු දීමෙන් ඒ සමාගමේ අපේක්ෂාව වන්නේ ඔවුන් විසින් ආයෝජනය කරන ලද ආයෝජන මුදල් යළි ආවරණය කරගැනීමටයි. ඒ බදු මුදල්වලින් මෙහි පාලනය සිදු කෙරෙන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ආර්ථික කොමිසම මඟිනි. මෙය විශේෂ ආර්ථික කලාපයක් වන අතර මෙහි පරිපාලනය කිරීමට දැනුම මෙන්ම හැකියාව ද තිබිය යුතුයි. ඒ අනුව ආර්ථික අංශයේ හා පරිපාලන අංශයේ වඩා සුදුස්සන් ඒ සඳහා පත් විය යුතුයි.‍

විශේෂයෙන් අන්තර්ජාතිකව භාවිත වන මුදල් ඒකක කිහිපයක්ද ශ්‍රී ලංකා රුපියල් ද මෙහිදී භාවිත වෙයි.

මේ වරාය නගරය හරහා ඉදිවන ආර්ථික කලාපයේ ආරක්ෂක කටයුතු සිදුකෙරෙන්නේ අපේ හමුදාව හා පොලිසිය විසිනි. මේ ආර්ථික කොමිසම මෙන්ම මෙහි වගකීම ආර්ථික කටයුතු ඇමැතිවරයාට හිමි වෙයි. ඒ ඇමතිවරයා කැබිනට් ඇමැතිවරයකු විය යුතුයි‍. එමෙන්ම මේ කොටස රටින් ඉවත් කළ කොටසක් හො චීනයේ කොලනියක් හෝ නොවෙයි. එසේ වීමට නොහැකියි. චීනය මේ සඳහා ආයෝජනය කර ඇත. අපිට ඩොලර් බිලියන එකා හමාරක් වැය කර මුහුදු ගොඩකර මෙවැනි දෙයක් කිරීමේ ආර්ථික හැකියාව අපට නැත. අවුරුදු විසිපහක් වැනි කාලයක් යනවිට මෙහි ඉඩම් බදු දීමෙන් මේ ආයෝජනය කළ සමාගම විසින් උපායා ගැනීමට හැකියාව ඇත. අපිට මුදල්වැය කිරීමට හැකිනම් එය මුදල් දී ලබා මේ කොටස ලබා ගැනීමට වුවත් හැකියාව ඇත.

මේ තුළ ශ්‍රී ලාංකිකයන්ට නිදහසේ ගමන් කිරීමේ අයිතිය වෙන අතර කිසිදු විසා ලබාගැනීමකට අවශ්‍ය නොවෙයි. එමෙන්ම මෙරට ලාංකිකයන්ට ද ලෝක මට්ටමේ තරගකාරීවූ අන්තර් ජාතික මට්ටමේ කුසලතා දැනුම වේ නම් ඒ අයට ද එහි රැකියා සඳහා ඉල්ලුම් කිරිමේ හැකියාවක් වෙයි. එමෙන්ම ලාංකිකයන්ටද ඒ සඳහා අයදුම් කළ හැකියි. ලංකාවේ ව්‍යාපාරිකයන්ටත් විදේශ ආයෝජකයන් මෙන්ම එහි මෙරට පුරවැසියන්ටද ආයෝජනය කළ හැකියි.

විශේෂයෙන් යම් හොඳ ක්‍රියාවකින් රටට යහපතක් වේ නම් ඒ සඳහා සහය දිය යුතුයි. විරුද්ධ වීම මෝස්තරයක් බවට පත් කරගෙන ඇත. රජයක් කරනු ලබන සියල්ලටම විරුද්ධ වීම එතරම් සුදුසු නැත. අපි සියල්ල‍ට විරුද්ධ වන ජාතියක් නොවිය යුතුයි. සිංගප්පුරුව ඩුබායි වැනි ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කර ගැනිමට අවශ්‍ය පසුතලය මේ රටේ ද සැකසීම මීට වසර පනහකට පෙර කළේ නම් අද අපි විශාල ලෙස දියුණු රටකි. අද ලෝකයේ බොහෝ රටවල් මෙවැනි කලාප ගොඩනඟයි.

මෙය සාර්ථක කරගැනීමට නම් අපිට රට වටේ සිටින අනෙක් රටවලට වඩා හොඳින් මේ දේ කළ යුතුයි. අනෙක් කරුණ නම් ආයොජකයන්ගේ විශ්වාසය මත මෙය සිදුවන කරුණකි. ඒ අය තුළ විශ්වාසය ඇති කර ඒ අනුව ආයෝජකයන් ඇද ගැනීමට සුදුසු පරිසරයක් අපි නිර්මාණය කළ යුතුයි. එමෙන්ම මෙය සාර්ථක ව්‍යාපෘතියක් බවට පත්කර ගන්නේ නම් අපේ රටේ ප්‍රතිපත්ති සහ නීති රීති ප්‍රතිසංස්කරණය කිරීම අනිවාර්ය වේ. ඒ අනුව මේ වරාය නගරය අකෘතියක් ලෙස පාවිච්චි කරමින් ලංකාවම වරාය නගරයක් බවට පරිවර්තනය කර ගැනීමට හැකියාව ඇත්නම්; එනම් ලංකාවේ සෙසු සුදුසු ප්‍රදේශවලත් මේ වැනි ආර්ථික මොඩලයන් ආදේශ කළ හැකි නම් එය වඩා වැදගත් වෙයි. එසේ වන්නේ නම් ලංකාව ආසියාවේ ධනවත්ම රට බවට පරිවර්තනය කරගැනීමට හැකියාව ඇත.

Comments