
බුදුරජාණන් වහන්සේට ජේතවනාරාමය පූජා කරනු දැකීමට මහ පිරිසක් රැස් වූහ
මසුරන් සිවුපනස් කෙළක් වැය කොට ගොඩනැඟුණු ඒ මහා ආරාමයත් ජේතවන උයනත්, එය පිදූ සුදත්ත සිටුවරයා ගේ අසමාන ශ්‍රද්ධාවත් දුටු දනෝ බුදුරජාණන් වහන්සේ ගේ දහම් දෙසුමෙන් පසු තෙරුවන් සරණ ගියහ.
ඔවුන් අතර සිටි උපවාන කුමරු තමාට අසන්නට ලැබුණු ඒ බණ පද ඔස්සේ ඈතට ගමන් කෙළේ ය.
“ඉපදෙමින්, මැරෙමින් සිදු කැරෙන මේ සසර ගමන අතිශය දුක් බහුල එකකි. ඒ ගමන නතර කිරීම සඳහා මාර්ගය මේ බණ පදවල තිබේ. ගිහිගෙයි ජීවිතයෙන් මිදී මම බුදු සසුනට එක්වෙමි; පැවිදි වෙමි.“
උපවාන ගේ සිතිවිලි පණ ලැබී ය. ඔහු පැවිදි විය.
සැවැත්නුවර ධනවත් බමුණු පවුලකට අයත් වූ ඔහුට සිය සියලු වත්කම්, සුඛෝපභෝගි ජීවිතය අත්හළ හැකි විය. ඒ සියල්ලට වඩා සසර ජය ගැනීම ඔහුට වැදගත් වූ හෙයිනි.
උපවාන හිමියෝ බුදුරජාණන් වහන්සේ ගේ දුක සැප සොයා බලමින් උන්වහන්සේට සත්කාර කරමින් කලක් ගෙවූ හ.
දිනක් බුදුරජාණන් වහන්සේ වාතාබාධයකින් පෙළුණහ.
“උපවාන, මගේ අසනීපයට උණු වතුර ටිකක් ලැබෙනවා නම් හොඳයි“ බුදුහු කී හ.
උපවාන හිමියෝ දේවහිත නමැති බමුණා ගේ නිවෙසට වැඩියහ. බමුණා හිමියන් දැක වුවමනා කුමක්දැයි ඇසී ය. උපවාන හිමියෝ මෙසේ කී හ.
“පින්වත් බමුණ, අරහං, සුගත ආදි ගුණයන්ගෙන් යුතු අපගේ බුදුපියාණන් වහන්සේ වාතාබාධයකින් පෙළෙමින් ගිලන්ව වැඩ වෙසෙනවා. උන්වහන්සේ සඳහා උණු දිය අවශ්‍ය වී මෙහි පැමිණියා. ඔබට හැකි නම් සපයන්න.“
“පිදුම් ලබන අය ගෙන් ද පිදුම් ලබන, සත්කාර ලබන අයගෙන් ද සත්කාර ලබන, වැඳුම් ලබන අය ගෙන් ද වැඳුම් ලබන මාගේ බුදුපියාණන් වහන්සේ සුවපත් වනු දැකීමයි මගේ සතුට.“
බමුණා මහත් සතුටින් උණු දිය සහ සකුරු පිඬක් පිදී ය. උපවාන හිමියෝ උණු දිය සහ සකුරු ගෙන විහාරයට වැඩියහ.
උණුපැන් සමඟ ඇල් දිය මුසු කළ උපවාන හිමියෝ එයින් බුදුරජාණන් වහන්සේගේ සිරුර සේදූහ. හකුරු කැට කුඩු කොට උණු වතුරට දා මුසුකොට බුදුරජාණන් වහන්සේට පිදූහ. හකුරු පැන් වළඳා බුදුරජාණන් වහන්සේ සුවපත් වූහ.
දේවහිත බමුණා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ බණ අසා පැහැදී තෙරුවන් සරණ ගියේ ය.
උපවාන හිමියෝ බුදුරජාණන් වහන්සේට උවටැන් කරමින් තවත් කාලයක් ගෙවීමෙන් පසු කමටහන් ගෙන විදසුන් වඩා රහත් බවට පත් වූහ.
සැරියුත් මහ රහතන් වහන්සේ සහ ආනන්ද හිමියන් ඉතා ළඟින් ඇසුරු කළ උපවාන රහතන් වහන්සේ බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පානා මොහොතේ ද ඒ අසල සිටියහ.
බුදුරජාණන් වහන්සේට පවන් සලමින් සිටි උපවාන රහතන් වහන්සේට ‘ඉවත් වන්නැ‘යි බුදුහු කී හ. ආනන්ද හිමියන්ට මේ ප්‍රකාශය ප්‍රශ්නයක් විය. “ඇයි උන්වහන්සේට ඉවත් වන්නැයි කීවේ..?“
බුදුහු මෙසේ පිළිතුරු දුන්හ.
“ආනන්දය, බොහෝ දෙවි - දේවතාවන් මේ අවස්ථාවේ තථාගතයන් වහන්සේ දැකගනු පිණිස පැමිණ සිටිනවා. උපවාන පිටුපසින් සිටින දෙවියන්ට, උන්වහන්සේ ගේ සිරුර විනිවිද මා දකින්නට බැහැ.
හේතුව උපවාන මහා ඍද්ධිමත්, මහානුභාව සම්පන්න භික්ෂුවක්. ඒ දෙවියනට මා දැක ගැනීමට වුවමනා නිසා උපවානට ඉවත් වන්න කීවේ.“
උපවාන රහතන් වහන්සේ සිය උදානය වශයෙන් පළ කළේ දේවහිත බමුණාගෙන් කළ ඉල්ලීමයි.
අරහං, සුගත ගුණ පිරි බුදු සමිඳු අද
වාතය කිපී සැතපෙයි ගිලන් යහනක
පින්වත් බමුණ, උණු දිය ඇත්නම් අපට
දෙනු මැන පුදන්නට උත්තම මුනිඳුන්ට
පිදුම් ලැබූ උතුමන් ගෙන් පුද ලබන
සත්කාර ලද අය ගෙන් ලද සත්කාර
වැඳුම් ලැබූවන් ගෙන් වැඳුම් ලද බුදුහිමි
සුවවනු දැකීමයි මාගේ සතුට.....