කොවිඩ් මාරුතය ප්‍රචණ්ඩව හමා යයි | Page 2 | සිළුමිණ

කොවිඩ් මාරුතය ප්‍රචණ්ඩව හමා යයි

මෙරට අලුත්ම පොකුර,
අලුත් අවුරුදු කොවිඩ් පොකුර

බ්‍රිතාන්‍ය නව ප්‍රභේදය 
කොළඹ, කුරුණෑගල, ගාල්ල සහ කළුතරටත්

- බස්නාහිර පළාතට පැමිණෙන සහ පිටවන්නන් සඳහා ස්ථාන 12කදී අහඹු රැපිඩ් ඇන්ටි­‌ෙජන් පරීක්ෂණ
- නිරෝධායන නීති කැඩූ සංඛ්‍යාව හාරදහස පනී  විශේෂ වාර්තාකරණය:
- පී.සී.ආර් පරීක්ෂණ ලක්ෂ 27යි.
- අප්‍රේල් 28 වැනිදා පමණක් 23,730ක්
- සෑම දිස්ත්‍රික්කයකම ඇඳන් 200ට වැඩි අතරමැදි සත්කාර මධ්‍යස්ථාන
- 4වැනිදා සිට මංගල උත්සව ඇතුළු සියලු උත්සව පැවැත්වීම සති දෙකක කාලයකට අත්හිටුවයි

කොවිඩ් 19 ගෝලීය වසංගතයේ මුහුණුවර මේ වන විට වඩාත් බියකරු වෙමින් ඇත. මෙරට අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව මේ වන විට එහි වැඩිම බලපෑමට ලක්ව ඇති රටවල් අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේ එරටින් දෛනිකව වාර්තා වන නව ආසාදිතයන් සංඛ්‍යාව තුන් ලක්ෂය ඉක්මවා යමිනි. ගතවූ සතිය තුළ ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව දෙලක්ෂයේ සීමාව ඉක්මවා ගියේය.

ඉන්දියාවේ තත්ත්වය එසේ වද්දී සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයෙන් පසු ශ්‍රී ලංකාවේ ද කොවිඩ් 19 නව ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගියේ ශීඝ්‍රයෙනි. මහජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ නිරෝධායන නීතිරීති අනුගමනය නොකිරීම ඊට හේතුව බව සෞඛ්‍ය බලධාරීහු චෝදනා කරති.

ඉකුත් 20 වැනිදා කොළඹ නගරයේ රාජ්‍ය බැංකුවකින් නව කොවිඩ් ආසාදිතයන් 70 දෙනකු, පිලියන්දලින් ආසාදිතයන් 31 දෙනකු සහ මහරගම පමුණුවෙන් ආසාදිතයන් 20 දෙනකු හමුවීමත් සමඟ නැවතත් මෙරටින් තැනින් තැන කොවිඩ් ආසාදිත පොකුරු හමුවීමේ අවදානමක් පිළිබඳ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර විසින් අනතුරු ඇඟවීමක් කළේය.

මාස දෙකකට ආසන්න කාලයක් මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 දෛනික නව ආසාදිතයන් සංඛ්‍යාව 300 ට අඩුවෙන් පැවතියද අලුත් අවුරුදු උත්සව සමයෙන් පසු ඒ සංඛ්‍යාවේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කළේය. ඉකුත් 15 වැනිදා වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 212 තරම් අඩු අගයක් ගත්තද 21 වැනිදා ඒ සංඛ්‍යාව 578ක් දක්වා ඉහළ ගියේය. ඉකුත් දින 10 පුරා දෛනිකව වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 600 සිට 990 දක්වා අගයක් ගත් අතර ඉකුත් 28 වැනිදා පළමු වරට මෙරට දිනක් තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා ගියේය. ඒ අනුව එදින මෙරටින් හඳුනාගත් නව කොවිඩ් - 19 ආසාදිතයන් සංඛ්‍යාව 1,111කි. සති කිහිපයකට පසුව කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ද එදිනම වාර්තා විය. ඒ සමඟම කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අංශ ප්‍රමුඛ රජය ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබිණි.

ඒ අතර මේ වන විට මෙරටට කොවිඩ් වයිරසයේ නව ප්‍රහේද ඇතුළු වී ඇති බව ද වාර්තා විය. 30 වැනි සිකුරාදා මෙරටින් වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,636 දක්වා ඉහළ ගි‌ෙය් මෙරටින් වාර්තා වූ වැඩිම දිනක ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කරමිනි. කොවිඩ් 19 සම්බන්ධයෙන් මහජනතාව අතර පවතින ගැටලු රැසක් පිළිබඳ දැනුම්වත් කිරීම මේ ලිපියේ අරමුණයි.

ශ්‍රී ලංකාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය

දැනට ශ්‍රී ලංකාව තුළ පැතිරෙමින් යන වෛරස ප්‍ර‌භේදය බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු B 117 කොරෝනා වයිරස් ප්‍රභේදයට සියයට 100ක් සමාන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පැවසීය. කොළඹ, කුරුණෑගල සහ බොරලැස්ගමුව ප්‍රදේශවලින් ලබා ගත් සාම්පල 43ක නියැදි ඇසුරෙන් කරන ලද අධ්‍යයනයකින් ඒ බව තහවුරු වී ඇත. ඒ නව ප්‍රභේදය නිසා මරණ සිදුවීම සාමාන්‍ය ප්‍රභේදයට වඩා සියයට 55ක් දක්වා වැඩි බවත් එහි පැතිරීම සියයට 50ක් දක්වා වැඩිබවත් හෙතෙම වැඩිදුරටත් අනාවරණය කළේය.

මේ අතර ඉන්දියාවේ පැතිර යන ද්විත්ව විකෘති මාරාන්තික කොවිඩ් වයිරසය මෙරටට ඇතුළුවීමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේය.

නව කොවිඩ් ප්‍රභේදයේ වැඩි බලපෑම කාටද?

මේ වන විට මෙරට පැතිරෙමින් යන නව කොවිඩ් ප්‍රභේදයේ විශේෂත්වය වන්නේ උගුරේ වේදනාව හා අමතර රෝග ලක්ෂණ මතුවීමටත් පෙර නිව්මෝනියා තත්ත්වය මතුවීම බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේකර පැවසීය. මේ නිසා රෝගය උත්සන්න වන තුරු එය වැලඳී ඇති බවක් දැනගැනීමට නොලැබිය හැකි බවද හෙතෙම සඳහන් කළේය. කොවිඩ් රෝග ලක්ෂණ තිබේද යන්න තීරණය කළ හැකි ස්වයං පරීක්ෂණ කිහිපයකි.

එනම්, යම් කිසි කෙනෙක් තරප්පු පෙළක් නගින විට හතිය දැනෙන්නේ නම්, හුස්ම අල්ලා හඬ නඟා 1-10 දක්වාවත් ගිනිය නොහැකි නම්, වචන කිහිපයක් කතා කරද්දි මහන්සිය දැනේ නම් කොවිඩ් අවදානම් තත්ත්වය යැයි සැක කළ හැකිය. එවැනි අය කඩිනමින් රෝහල්ගත වීමෙන් රෝගය පාලනය කළ හැකිය.

වර්තමානයේ පැතිර යමින් පවතින කොවිඩ් -19 තත්ත්වය මෙරට ගැබිනි මවුවරුන්ට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ සඳහන් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ මෙම වයිරස් තත්ත්වය මඟින් ගැබිනි මවුවරුන්ගේ පෙනහලුවලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි. එබැවින් ගැබිනි මවුවරුන් නිතරම කොවිඩ් 19 ආසාදනය වීමෙන් වැළකීම සඳහා ආරක්ෂාකාරීව සිටිය යුතු බවත් රෝග ලක්ෂණ තිබේ නම් හැකි ඉක්මනින් කොවිඩ් පරීක්ෂණයක් කරගත යුතු බවද හෙතෙම අවධාරණය කළේය. මේවන විට ගැබණි මව්වරුන් තිදෙනෙකුට කොවිඩ් වැළඳී දැඩි සත්කාර ඒකකයේ පසුවේ.

හුදෙකලා කර ඇති ප්‍රදේශ

කොවිඩ් -19 වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සිකුරාදා (30දා) පෙරවරුව වන විට කුරුණෑගල, කළුතර, ගම්පහ, ත්‍රිකුණාමලය, මාතලේ, අම්පාර, මොනරාගල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක 8ට අයත් ග්‍රාම නිලධාරි වසම් 32ක් සහ පොලිස් වසම් 9ක් හුදෙකලා කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. එසේ හුදෙකලා කර ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිත්තවැල්ගල,නිකදළුපොත, නිරාවිය යන ග්‍රාම ග්‍රාම නිලධාරී වසම් සහ කුලියාපිටිය නගර සීමා පොලිස් බල ප්‍රදේශය, පන්නල සහ උඩුබද්දාව පොලිස් වසම්, කළුතර දිස්ත්‍රික්කයේ අධිකාරිගම, මිරිස්වත්ත, පැලවත්ත උතුර සහ පැලවත්ත නැඟෙනහිර ග්‍රාම නිලධාරි වසම් සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බදුරලිය පොලිස් බල ප්‍රදේශයට අයත් බොල් උන්න, ඉඟුරු දඬුව, මිදලන,මෝරපිටිය ග්‍රාම නිලධාරීවසම සහ තීනියාවල පොලිස්බල ප්‍රදේශයේ මීගහතැන්න,වලල්ලාවිට දකුණ 42-ඒ තීනියාවල ග්‍රාමසේවාවසම, වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ 787-බී වලල්ලාවිට දකුණ,788 මකලන්දාව, 844-ඒ බෝතලාව, 844-ඊ කටුවකැළේ වැල්මීගොඩ,843-ජී පහළ හවෙස්ස,850-ඒ මිරිස්වත්ත සහ ගම්පහ දිස්ත්‍රිකයේ පොල්හේන, හීරළුගෙදර,කළුඅග්ගල, අස්වැන්නවත්ත යන ග්‍රාම නිලධාරී වසම් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුමේදගම්පුර, මූදෝවි, කෝවිල්අඩි, ලිංගනගර්, කාවට්ටකුඩා සහ චීන වරාය ග්‍රාම නිලධාරී වසම්, මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, වෙහෙර යාය, කොට්ටංබොක්ක,ගල්අමුණ, සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයේ හෙළමුල්ල, ගල් අමුණ ග්‍රාම නිලධාරී වසම රත්තනගම ග්‍රාම නිලධාරි වසම් සහ අම්පාර දිස්ත්‍රික්කයේ කුමාරිගම ග්‍රාම නිලධාරී වසම සහ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, නාවුල, මාතලේ පොලිස් බලප්‍රදේශ සහ රහතන්ගම, අලගොල්ල ග්‍රාම සේවා වසම් සහ පොළොන්නරු දිස්්‍ත්‍රිකයේ අැලහැර, සරුබිම ග්‍රාමසේවා වසම්ය.

එන්නත්කරණය සාර්ථකද?

කොවිඩ් එන්නත් මර්දන වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් දෙවැනි මාත්‍රාව ලබාදීම පසුගිය 28 වැනිදා කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන දෙකකදී ආරම්භ විය. ඉකුත් ජනවාරි 29 වැනිදා මෙරට තුළ එම එන්නත ලබාදීම ආරම්භ වූ අතර පළමු අදියරේදී 92,5242කට එන්නත ලබාදී තිබුණි. එන්නතේ දෙවැනි මාත්‍රාව සඳහා ලබාදීමට එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් වෙන්කර ඇති අතර පළමුව එය සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ට ලබාදීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම එන්නත් ගබඩාව මඟින් මුළු දිවයිනම ආවරණය වන පරිදි දෙවැනි මාත්‍රා එන්නත බෙදා හැරීමට කටයුතු යොදා ඇත. එන්නත්කරණයට ප්‍රථම දිනයේ දී SMS පණිවුඩයක් හරහා සෞඛ්‍ය අංශ නිලධාරීන්ට එන්නත්කරණය සිදුකරන ස්ථානයට පැමිණෙන ලෙස දැන්වීමට ද පියවර ගෙන ඇත. පළමු වර එන්නත ලබාගැනීමෙන් පසුව ප්‍රතිදේහ කොපමණ සෑදී තිබෙනවාද යන්න සොයාබැලීම සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා රුධිර සාම්පල ලබාගැනීම ද එම එන්නත්කරණ අවස්ථාවේදී සිදු වේ. මේ වන විට චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට සේවය කරන චීන වැසියන් 2469කට ලබාදී ඇත.

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණය තුළින් සමාජ ප්‍රතිශක්තිකරණයක් ඇති කිරීමට නම් අවුරුදු 5න් ඉහළ ජනගහනයෙන් සියයට 90-95ත් අතර පිරිසකට එන්නත්කරණය අනිවාර්ය කළ යුතු බවට ඖෂධ සහ සෞඛ්‍ය කළමනාකරණ පිළිබඳ උපදේශක ආචාර්ය සන්ජේ පෙරේරා පැවසීය.

නව ප්‍ර‍ෙභ්දය වාතය මඟින් පැතිරෙනවාද?

මෙරට පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය වාතයෙන් බෝ වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ පසුගියදා ප්‍රකාශ කළාය. එහෙත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පැවසුවේ එම ප්‍රකාශය අසත්‍යයක් බවයි. ඒ අනුව මෙම නව ප්‍රභේදය වාතය මඟින් බෝවනවාද යන්න පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය විමසීමට එම සංවිධානයේ දකුණු සහ නැඟෙනහිර ආසියානු රටවල විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් තීරණය කර ඇත. ඒ අනුව මෙම 30 වැනි සිකුරාදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයේ පැවැත්වෙන රැස්වීමේදී ඒ පිිළිබඳ කරුණු විමසීමට නියමිතව තිබුණි.

මේ අතර කොවිඩ් 19 ආසාදිතයන් සොයා රට පුරා දැවැන්ත මෙහෙයුමක් කළ යුතු බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසීය. පී.සී.ආර් පරීක්ෂණ දෙගුණ කිරීම සහ නව ආසාදිතයන් හඳුනා ගන්නා ප්‍රදේශ හුදෙකලා කිරීම සහ සෞඛ්‍ය අංශ කාර්යමණ්ඩල සඳහා ප්‍රමාණවත් කරම් ආරක්ෂිත ඇඳුම් සහ සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබාදීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.

කොවිඩ් සෞඛ්‍ය නීතිරීති කැඩුවොත් ලැබෙන දඬුවම්

කොවඩ් 19 වැළැක්වීම සඳහා පනවා ඇති නිරෝධායන රීති කඩ කිරීමට අදාළව මුහුණු ආවරණ නොපැලඳ හෝ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරදකරුවකු වන පුද්ගලයකුට රුපියල් 10,000ක දඩයක් හා මාස 6ක සිර දඬුවමක් ලබාදිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය. එමෙන්ම කොවිඩ් -19 අවදානම හේතුවෙන් යම් ප්‍රදේශයක් හුදෙකලා කර ඇත්නම් එම ජනතාව එම ප්‍රදේශය තුළම රැඳී සිටිය යුතු බවත් පිටස්තර පුද්ගලයන්ට එම ප්‍රදේශය තුළට පැමිණීමට හැකියාවක් නැති බවත් හෙතෙම සඳහන් කළේය. එසේ ගමන් කිරීමේ හැකියාව පවතින්නේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා යන සෞඛ්‍ය බලධාරීන්ට හෝ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට පමණි.

නිරෝධායන රීති කඩ කිරීම හේතුවෙන් පසුගිය ඔක්තෝබර් 30 සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 4000කට ආසන්නය. ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙනි. අත්අඩංගුවට ගත් සමස්ත පිරිසෙන් පුද්ගලයන් 3650කට ඉකුත් 28 වැනිදා වන විට නඩු පවරා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. එමෙන්ම මුහුුණු ආවරණ පලඳා නොමැති කිසිදු පුද්ගලයකු ආයතන, කර්මාන්තශාලා තුළට හෝ පාරිභෝගික සේවා ආයතනවලට ඇතුළත් කර නොගන්නා ලෙස ද හෙතෙම එම ආයතන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර ජනතාව කොවිඩ් වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත නොවන්නේ නම් ඉදිරියේදී දැඩි නීති ගෙන ඒමට සිදුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේය.

රෝහල් ධාරිතාව කොපමණද?

කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කෙරෙන රෝහල්වල ධාරිතාව පිළිබඳ මේ වන විට බොහෝ දෙනා තුළ සැක සංකා මතුව ඇත. කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා රට පුරා ප්‍රතිකාර මධ්‍යස්ථාන 82ක් පිහිටුවා ඇත. ඒ ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇඳන් 11, 488කින් සහ දැඩි සත්කාර ඒකක ඇඳන් 146ක් සමන්විතය. එහෙත් මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහල් මෙත්සිරි කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ඇඳන් 130, කළුබෝවිල රෝහලේ ඇඳන් 110 සහ වතුපිටිවල කොරෝනා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇඳන් 137 මේ වන විට නව කොවිඩ් ආසාදිතයන්ගෙන් පිරී ඇති බව ද වාර්තා වේ. අම්පාර, දමන ප්‍රාදේශීය රෝහල ද ඉකුත් 25 වැනිදා සිට කොවිඩ් ආසාදිත ළමයින් සහ කාන්තාවන්ගේ ප්‍රතිකාර සඳහා වෙන්කර ඇත.

මේ අතර මාවනැල්ල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳන් හිඟය නිසා එම රෝහලේම සේවය කරන වෛද්‍යවරයකුගේ කොවිඩ් ආසාදිත සොහොයුරකු මියගිය පුවත වාර්තා වූයේ ඉකුත් 25 වැනිදාය. ගතවූ දින කිහිපය තුළ රෝගී සත්කාර සේවයේ නිරතව සිටි වෛද්‍යවරු 14 දෙනකුට ද කොවිඩ් ආසාදනය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමය නිවේදනය කළේ ඉකුත් 27 වැනිදාය. දිනෙන් දින කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන නිසා රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය වාට්ටු සහ පහසුකම් වැඩිදියුණු කළ යුතු බව එම සංගමයේ සම ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවසීය.

ඔක්සිජන් හිඟයක් නෑ

කළුබෝවිල ශික්ෂණ රෝහලේ හෝ මුල්ලේරියාව රෝහලේ ඔක්සිජන් හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

එමෙන්ම දැනට පවතින තත්ත්වය අනුව ඔක්සිජන් ධාරිතාව තවත් වැඩි කිරීමේ හැකියාව ද මෙරට තුළ පවතින බව හෙතෙම පැවසීය. දැනටමත් කොවිඩ් ප්‍රතිකාර කරන මධ්‍යස්ථානවලට සහ ශික්ෂණ රෝහල්වලට විශාල ප්‍රමාණයේ ඔක්සිජන් සිලින්ඩර ලබාදීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ඉදිරි මාස 6කට ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් ලබාදිය හැකි බව රෝහල්වලට ඔක්සිජන් සපයන සමාගම් දෙක සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

අදාළ සමාගම් දෙක සතු ඔක්සිජන් ප්‍රමාණය පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන කළ විමසුමකට අනුව අදාළ සමාගම් ඒ බව දන්වා ඇත.

මේ වන විට රෝහල්වල තිබෙන ඔක්සිජන් ධාරිතාව කොපමණද යන්න තමා වෙත කඩිනමින් දැනුම් දෙන ලෙස ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට දන්වා ඇත. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම සඳහා එම පියවර ගෙන තිබේ.


 සුරේකා නිල්මිණි ඉලංකෝන්, රසික කොටුදුරගේ

Comments