
චීනයේ ආරක්ෂක ඇමති ජෙනරාල් වෙයි ෆෙන්ග්හ ඉකුත්දා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූයේය. සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයකු හැර වෙනත් අමාත්‍යවරයකු හෝ රාජ්‍ය තාන්ත්‍රිකයකු විදෙස් රටක සංචාරය කිරීම විශේෂ කරුණක් ලෙස සලකනු නොලැබූවද චීනය සම්බන්ධව එය එසේ වන්නේ නැත.
එයට හේතුව චීන රාජ්‍ය නායකයන්, ආමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයන්ද ආවාට ගියාට විදෙස් සංචාරවල නිරත නොවන බැවිනි. එබැවින්ම චීන රාජ්‍ය නායකයකු, ආමාත්‍යවරයකු හෝ රාජ්‍ය තාන්ත්‍රිකයකු විදෙස් සංචාරයක නිරත වීම එම රටට සුවිශේෂී කරුණක් වේ. එමෙන්ම අමතක කළ යුතු නොවන දෙයක් වන්නේ කිසියම් පැහැදිලි අරමුණකින් තොරව කිසිවිටෙක එවැනි කලාතුරකින් යෙදෙන විදේශ සංචාරයක් හෝ සිදු නොකිරීමට චීන රජයේ නියෝජිතයන් කටයුතු නොකරන බවයි. ඒ අනුව චීන ආරක්ෂක ඇමතිවරයාගේ මෙරට නිල සංචාරය අප රටට ඉතා වැදගත් වූ අතර එය එසේම චීනයටද වැදගත් වන බවද පැවසිය යුතුය.
පසුගිය 27 වැනිදා මෙරටට පැමිණි ජෙනරාල් වෙයි ෆෙන්ග්හ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සමඟ මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂයන් සමඟද නිල සාකච්ඡාවල නිතර වූයේය.
මේ සාකච්ඡා සඳහා චීන විදේශ අමාත්‍යවරයා සමග ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා, චීන මහජන හමුදාවේ ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී මෙන්ම ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයාද මේ සාකච්ඡා සඳහා එක් වූහ.
සාකච්ඡා අවසන් වීමෙන් පසු දෙපාර්ශ්වය විසින්ම දැනුම් දෙනු ලැබුවේ සාකච්ඡා අතිශයින් සාර්ථක වූ බවයි.
යහපත් අන්දමින් පවත්වනු ලබන ද්වීපාර්ශ්වීය සබඳතා චීන - ශ්‍රී ලංකා දෙපාර්ශ්වයටම යහපත් ප්‍රතිඵල අත්කර දෙනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවන්නේය. ඉතිහාසය විමසා බැලූවද දෙරට අතර ඉතා ශක්තිමත් මිත්‍ර සබඳතා දක්නට ලැබෙන අතර ශ්‍රී ලංකාව ඉන් ලැබූ වාසි බොහොමයකි. චීනය අතීතයේ සිට අරාබිය මෙන්ම දීර්ඝ වෙළෙඳ ඉතිහාසයකට හිමිකම් කියූ රටකි. චීන රාජ්‍යය ශ්‍රී ලංකාව සමඟ පැවැත්වු සබඳතා ඉතා ඈත ඉතිහාසයක් දක්වා විහිදෙන්නේය.
එහි ආරම්භය සටහන් වන්නේ ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවසේ පමණය. මේ යුගයේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර දූත පිරිස් මඟින් සබඳතා පැවැත්වුණු බවට සාක්ෂි ලැබී තිබේ. දෙරට අතර පැවති බෞද්ධාගමික සංහිඳියාවද, දෙරටටම එකසේ වැදගත් වුණු වෙළෙඳ සබඳතා ද මේ ද්වීපාර්ශ්වක සබඳතා ශක්තිමත් කිරීමට හේතු වූ බව අනුමාන කළ හැකිය.
චීනය අතීතයේ සිටම ශ්‍රී ලංකාව සුවිශේෂ කොට සැලකීමට හේතු වුණු ප්‍රධාන සාධකයක් වූයේ ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම සම්බන්ධව නිවැරැදි අදහසක් ඔවුන් සතු වීමයි. ඒ හේතුවෙන්ම ශ්‍රී ලංකාව උපාය මාර්ගිකව භාවිත කිරීමේ වැදගත්කම චීනය වටහා ගෙන තිබූ අතර ශ්‍රී ලංකාව අනාගතයේදී කලාපයේ වාණිජ කේන්ද්‍රස්ථානය වනු ඇති බවද චීනය කල් තබා හඳුනා ගත්තේය. චීනය යනු බොහෝ කලක් නිදා සිටි යෝධයෙකි. මේ යෝධයා අවධි වී මේ වන විට දශක දෙකක්වත් ගතවී නැත. එහෙත් ලෝක ආර්ථිකයේ දැවැන්තයා වීමට පෙර සිටම චීනය ශ්‍රී ලංකාව සමග යහපත් මිත්‍ර සබඳතා, ආර්ථීක සබඳතා පැවැත්වීය.
විශේෂයෙන්ම වාමාංශික අදහස් සහිතව නොබැඳි පිළිවෙත යටතේ ඉතා ආදර්ශමත් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ පාලන සමයේදී චීනය ලංකාව සමග ඉතා ශක්තිමත් සබඳතා පවත්වා ගත්තේය.
රබර් - හාල් ගිවිසුම ඇතුළු ගිවිසුම් කිහිපයක්ම මේ යුගයේදී දෙරට අතර ක්‍රියාත්මක වූ අතර මෙහි විශේෂත්වය වූයේ මේ ගිවිසුම් දෙරටටම එකසේ වැදගත් වීමය. එමෙන්ම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඇතුළු දශක ගණනාවක් අපට අමිල සම්පත් බවට පත්වූ ත්‍යාග රැසක්ද චීනය ශ්‍රී ලංකාවට ලබා දුන්නේය. විසි එක්වැනි සියවස ආරම්භයේ සිටම චීනය මෙතෙක් නිදා සිටි නිදි ගැට හැර නැගිට සිටියේ ලොවම තිගැස්මට පත් කරමිනි.
චීන ආරක්ෂක අැමතිවරයා අගමැති මහින්ද රාජපක්ෂයන් හමුවූ අවස්ථාව
එතෙක් නිදා සිටි බවක් පෙන්වූවද සැබවින්ම චීනය කර තිබුණේ නිදාසිටීම නොව සූදානම් වීමය. දැන් මුළු ලෝකයේම දැවැන්තම ආර්ථීකය චීනය සතුය. එපමණක්ද නොව එය තවත් වර්ධනය කර ගනිමින් තවත් ඉදිරියට යාමේ සැලසුම්ද චීනය සතුය. එමෙන්ම ඒ තනිව නොවේය. තම ආර්ථීක වැඩපිළිවෙල යටතේ රටවල් රැසකට ප්‍රතිලාභ ලබා දීමේ සැලසුම්ද චීනය සතුය. ශ්‍රී ලංකාව අයත් වන්නේද එම ප්‍රතිලාභ ලබන්නන්ගේ ලැයිස්තුවටය.
දැනට අප රටේ ක්‍රියාත්මක වන ඉදිකිරීම් බහුතරය සිදුවන්නේ චීන රජයේ අනුග්‍රහය යටතේය. ඇතැම් ඒවා ණය වන අතර නෙළුම් පොකුණ වැනි ඉදිකිරීම ප්‍රදාන හෙවත් ත්‍යාග වන්නේය. මේ සියල්ල චීනය අප රටට දක්වන සැලකිල්ල බව සැබෑය. අප එය සාදරයෙන් පිළිගත යුතුය. ශ්‍රී ලංකාව තුළ ගැටුම් ඇති කිරීමට අනුබල දෙමින් ආර්ථිකය අගාධයට වැටෙන තෙක් බලා සිටි බටහිර බලවතුන්ගේ ක්‍රියා පිළිවෙතට සපුරා වෙනස් චීනයේ පිළිවෙත වැලඳ ගැනීම අවැඩක් ලෙස සැලකිය නොහැකිය. එහෙත් අප සැලකිලිමත් විය යුත්තේ චීනයේ ආදර කරුණාව අසල සීමාවන් සලකුණු කිරීමේදීය.
එබැවින් චීන මිත්‍රත්වය හමුවේ ශ්‍රී ලංකාව ලබන වරප්‍රසාද අප ආර්ථිකයට අදාළ පරිදි ගළපා ගැනීමටත්, ඒ මගින් රටට වැඩදායී ආයෝජන සඳහා අනුබල දීමටත් අපේ බලධාරීන් කටයුතු කළ යුතුය. එහිදී චීනයට පමණක් නොව අපේ රටටද වාසිදායක ගිවිසුම්වලට යාමට තරම් සියුම් විය යුතු අතර මිත්‍රත්වය තමන්ට වාසිදායක ලෙස ගළපා ගැනීමට තරම් සූක්ෂ්ම විය යුතුය.
දෙරට අතර මිත්‍රත්වය සැබෑ ලෙසම ශක්තිමත් විය යුත්තේ එවන් පසුබිමක් යටතේය.