
දෙහි ගැට 7ක් දෙහි කැපීමට යොදාගැනීමේ අරමුණ වන්නේ බුදුරජාණන් වහන්සේගේ සත් සතිය, සප්ත බොජ්ජංගය සිද්ධාර්ථ කුමරුන්ගේ පියවර 7ක් පියුම් මතින් වැඩම කිරීම සිහි කිරීමයි. දෙහි ගැට 9ක් යොදා ගන්නේ නවඅරහාදී බුදුගුණ, නවාංගශීලය, නවග්‍රහයන් සිහි කරවීම පිණිසය. එසේ බුදු ගුණ මතින් දෝෂ දුරු කිරීම කළ යුතු නමුත් අද බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සිහි නොකර වෙනත් ක්‍රම ආදේශ කිරීම තුළින් මේ ශාස්ත්‍රය හෑල්ලුවට ලක්ව තිබේ.
ගැමි හා නාගරික ජන විශ්වාසයන් අතර තවත් එක් මූලික කරුණක් වන්නේ තුන්දොස් කැපීම හෙවත් දෙහි කැපීමයි. ගසක තිබූ දෙහි කඩාගෙන අවුත් දෙහි ගෙඩි ගිරයකට අසුකර කපා දැමීමෙන් දුරුවන දෝෂය කුමක්ද? එය එසේ විය හැකිද?
මෙයට දීර්ඝ ඉතිහාසයක් තිබෙන බවත් ඒ හා සැසඳුන අතීත කථා රාශියක් ඇති බව ඔබ දන්නවාද? මෙකල විකාරයෙන් පරල වී නොදන්නා භාෂාවකින් දොඩවමින් දෙහි ගෝනි ගණන් කපා දමන අය බහුල වශයෙන් නැතුවාම නොවේ. එසේ කපන දෙහිවලින් දෝෂ දුරු නොවන බවත් එම දෙහි ලුණුදෙහි සෑදීමට වුවත් ගත හැකි බවත් මම විශ්වාසයෙන් සඳහන් කරමි. නිවාසවලට ඇති වන වාස්තු දෝෂ, මූලම්පරාල දෝෂ, අඬවැඩියා දෝෂ, කටවහ දෝෂ, හෝවාහදෝෂ, ලපැලියා (අභාග්‍යයක් උදෙසා සිතින් අධික ලෙස සුසුම් හෙළීමෙන් ඇතිවන දෝෂ) දෝෂ, පිත දෝෂ, භූතදෝෂ, යක්ෂ දෝෂ, ප්‍රේත දෝෂ, බහිරව දෝෂ යනාදී දෝෂ සමනය කිරීම සඳහා මෙම දෙහි කැපීමේ පිළිවෙත් ඉටුකිරීම “දෙහි ශාන්තිය“ යනුවෙන් හැඳින්විය හැකිය. දකුණු පළාතේ “අත්තකහ මැතිරීම“ බස්නාහිර පළාතේ “තුන්දොස් කැපීම“ යනුවෙන් හඳුන්වනු ලබන්නේ ද මෙම දොස් දුරු කිරීමේ ක්‍රමයයි.
• වාස්තු දෝෂ - නිවසක් ඉදිකිරීමේදී ඇතිවන දෝෂ
නියමිත ක්‍රමයට ජනේල, උළුවහු ආදිය නොතැබීමෙන් ඇතිවන දෝෂ වාස්තු දෝෂ වේ.
භූමියේ (ඉඩමේ) ගස්කොළන්, වැසිකිළි, ජල පද්ධති, ළිං ආදිය නිසා ඇතිවන දෝෂ කොටස් ද මෙයට ඇතුළත් වේ.
• මූලම්පරාල දෝෂ - වහලයේ ඇති මුඳුන් යට ලීය මූලම්පරාල නමින් හඳුන්වනු ලබයි. වහලයට ප්‍රධාන වන ලීය මෙයි. මේ තුළ කැපීම් - තට්ටු දැමීම් - ඇණ ගැසීම වැරැදිව සිදුවී ඇති වීමෙන් වන දෝෂ මූලම්පරාල දෝෂ වේ.
• අඬවැඩියා දෝෂ - යම් ඉඩමක, නිවසක ඇති ශ්‍රියාව පිළිබඳව නඟන මැසිවිලි මේ නමින් හඳුන්වනු ලබයි.
• කටවහ දෝෂ - යම් ඉඩමක් / නිවසකට පැමිණ වත්තේ ඇති ඵලදාව හා නිවසේ අලංකාර බව නිවැසියන් සමඟ දෙඩවීම තුළින් කටවහ දෝෂ හට ගනී.
• හෝවාහ දෝෂ - සිතින් සිතා හූල්ලන විට ඇතිවන දෝෂ
• ලපැලියා දෝෂ - කටකොන පැළුණු අය, දිව කබර ඇති අය විසින් ඇති කරන දෝෂ මේ නමින් හැඳින්වෙයි. යමක් දෙස බලා එහි සාර්ථකත්වය ගැන අධික ලෙස සුසුම් ලෑම නිසා ඇති වන දෝෂයකි.
• වින දෝෂ - සතුරු පිරිස් විසින් කරනු ලබන කොඩිවින වැනි අශුභ දෝෂ,
• භුත දෝෂ - යම් භූත බලවේගයක් නිවසට හෝ භූමියට ඇතුළු වීමෙන් පසුව ඇති කරවන දෝෂ
• යක්ෂ දෝෂ - යම් යක්ෂ බලවේගයක් නිවසට හෝ භූමියට ඇතුළු වීමෙන් පසුව ඇති කරවන දෝෂ
• ප්‍රේත දෝෂ - මියගිය ඥාතිවරුන් මරණින් පසුව ප්‍රේත ලෝකවල ඉපිද නිවසට - භූමියට ඇතුළු වී ඇති කරවනු ලබන දෝෂ මේ නමින් හැඳින්වේ.
• බහිරව දෝෂ - ඉඩමට , භූමියට අරක්ගෙන සිටින අමනුෂ්‍ය කොටස් අතරින් බලසම්පන්නම කොටස බහිරව යනුවෙන් හඳුන්වයි. රන්, රිදී, මුතු, මැණික්, ආභරණ, පුරාණ වටිනා දේ සඳහා ආරක්ෂා කරනා භූත කොටස් මේ නමින් හඳුන්වයි.
ඉහතින් සඳහන් කළ දෝෂ සමනය කරවා ගැනීමේ පහසු කාර්යක් ලෙස දෙහි කැපීම උපයෝගී කොට ගනී. ඒ සඳහා නිසි පිළිවෙත් අනුගමනය කළ යුතුය. පුද පූජාවක් එනම් මල් බුලත් පුටුවක් සාදා ගත යුතු වෙයි. නැතහොත් ලී මේසයක් භාවිතා කළ හැකිය.
බුදුගුණ බලයෙන් දෙහි කැපීම, ගුප්ත විද්‍යා මන්තර බලයෙන් දෙහි කැපීම, දේව වරමින් දෙහි කැපීම යනුවෙන් එය කොටස් 3ක් වෙයි.
මෙයින් ඉතා බලගතුම වන්නේ බුදුගුණ බලයෙන් මෙම ශාන්ති කර්ම ඉටුකර ගැනීමයි. කැපීමට ගන්නා දෙහි ප්‍රමාණය එක් අයෙකුට ගැට දෙහි 7ක් හෝ 9ක් ලෙස ගත හැකිය. බලගතු අසනීපයක් හෝ දෝෂයක් නම් දෙහි ගැට 21ක් කැපිය යුතුයි.
මෙහිදී දෙහි ගැට 7ක් යොදාගැනීමේ අරමුණ වන්නේ බුදුරජාණන් වහන්සේගේ සත් සතිය, සප්ත බොජ්ජංගය සිද්ධාර්ථ කුමරුන්ගේ පියවර 7ක් පියුම් මනිමින් වැඩීම සිහිකරවීමයි. (උපතේ සිදුකළ පියුම් මතින් ගමන් කිරීම)
දෙහි ගැට 9ක් යොදා ගන්නේ නවඅරහාදී බුදුගුණ, නවාංගශීලය, නවග්‍රහයන් සිහි කරවීම පිණිසය.
එසේ බුදු ගුණ මතින් මේ දෝෂ දුර කිරීම කරන නමුත් අද බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සිහි නොකර වෙනත් ක්‍රම ආදේශ කිරීම තුළින් මේ ශාස්ත්‍රය හෑල්ලුවට ලක්ව තිබේ.
දෝෂ දුරු කරන වත්පිළිවෙත් සියල්ලේම අන්තර්ගතය සියයට අනූවක්ම බුදුගුණ, බුදුබල, ධර්මස්කන්ධයේ අනුහස ගැබ්වී ඇත. මීට අමතරව නිවාස හා වාහන හිමියන් පිළිපැදිය යුතු විශේෂ කරුණු රාශියක් ඇත. ඒවා පිළිපැදීමෙන් ද දියුණුවට ඇති බාධා ඉවත්කර ගත හැකිය.
පළමුව නිවස කහ මිශ්‍ර ලුණු වතුරින් සෝදා හරින්න. ඉන් අනතුරුව හොඳින් ගසේදීම ඉදුණු දෙහි ගෙඩි 3ක් අරගෙන එය දික් අතට කොටස් 3කට කපා ගන්න. සියල්ල කැබලි 9ක් වනසේ කථා නොකර පෙරාගත් වතුර කෝප්ප 2කට මිරිකා ගන්න. ලෙලිත් සමඟ අතින් හොඳින් පොඩි කර - ලොකු කෑලි ඉවත් කර එම වතුර ස්ප්‍රේ එකකට දමා පිටුපස දොර අසල සිට ගේ පුරාවම හොඳින් ස්ප්‍රේ කරන්න. ප්‍රධාන දොරටුවෙන් අවසන් කරන්න. දෙමහල් හෝ ඊට වැඩි නිවසක් නම් ඉහළ සිට පටන්ගෙන පහළට ස්ප්‍රේ කරන්න. මෙම ස්ප්‍රේ කරන අතරතුර ‘ජයෝමුනින්දස්ස සුබෝධිමූලේ.....‘ ගාථාව හා ඉතිපිසෝ ගාථාව හැකි තරම් දිගට කියන්න.
ඉන් අනතුරුව සකස් කර ගත් අෂ්ට ගන්ධ ධූපය හෝ සල්දුම්මල කුඩු දුම් නිවසට අල්ලන්න. පොල්කටු අඟුරු ගැනීමේදී ඇහි පොල් කටු 3ක් ගැනීමට මතක තබා ගන්න.
නිවසේ දෝෂ සඳහා දෙහි කැපීමේදී ඇළකින් හෝ දොළකින් වතුර බේසමක් රැගෙන විත් තබාගත යුතුයි. නිවසින් පිටත සෙවණක් ඇති තැනක හෝ නිවසේ බුදු කාමරයක් ඇත්නම් එතැනින් පිරිසිදු මේසයක් මත සුදු පිරුවටයක් එළා ඒ මත කෙසෙල් දල්ලක් තබා ඒ මතුපිට බුලත් 9, කාසි 9, මල් වර්ග 9 පිරිසිදු පොල්තෙල් පහනක්, ලද පස්මල්, පෙරාගත් වතුර වීදුරුවක්, හැකිනම් පුවක් මලක් කැබලි කපා ආසනයේ එලාගන්න. ගසකින් කඩාගත් හෝ පිරිසිදුවට සපයාගත් ඉතාමත් කුඩා ප්‍රමාණයේ (දෙහි ගැට) ගෙඩි 21ක් කහවතුරින් සෝදා ආසනයේ මැද තබා ගන්න. පිරිසිදු කළු නූල් 9 අඩංගු පොටක් යාර දෙකක් පමණ දිගට අරගන්න. එය අඹරා තනි නූලක් වනසේ සාදා ගන්න. පිණිදිය ටිකක් ඒ අවට ඉසින්න. සල්දුම්මල හෝ සකස් කරගත් අෂ්ටගන්ධ ධූපය ඇත්නම් එය ද මෙහි තබා බලපිහිටුවා ගන්න.
සවස 6ත් රාත්‍රි 10ත් අතර කාලය මේ සඳහා වෙන්කර ගත යුතුයි. මේ අයුරින් සකස් කරගත් මල් අසුනේ ඊසාන දෙස බලා - රාහු කාලය මඟ හැර ආසනයක් ඒ අසල තබා අසුන්ගෙන තෙරුවන් වැඳ කරණීයමෙත්ත සූත්‍රය 3 වරක් සජ්ඣායනා කරන්න. ඉන් අනතුරුව ධම්මචක්කපවත්වන සූත්‍රය 3 වරක් හෝ 7 වරක් සජ්ඣායනා කරන්න. අවසානයේ ජයපිරිත 3 වරක් හා අභිසම්භිදාන පිරිත 3 වරක් ශබ්ද නඟා කියවා ජපය (බලගැන්වීම) නවත්වන්න.
අලුයම 4ට පමණ නැවත පහන් දල්වා සුවඳ දුම් දී පිළිවෙළින් ගිරයක් ගෙන ‘ජයෝමුනින්දස්ස සුබෝධිමූලේ....‘ ගාථාව පමණක් හෙමින් කියමින් නිවසේ ඉදිරිපස සිට පිටුපසට උළුවහු, ජනේල, බරාද අසුවන සේ දෙහි 21 කපා හරින්න. ඇළකින්, දොළකින් ගෙන ආ ජලයට කපාගත් දෙහි දමන්න.