නිල්වැල්ල මුහුදේ කොරල්පර අතරේ දියයට කලාගාරය | සිළුමිණ

නිල්වැල්ල මුහුදේ කොරල්පර අතරේ දියයට කලාගාරය

දකුණුදිග වෙරළ තීරයේ පිහිටි සුන්දර වෙරළ තීරයන් අතරින් නිල්වැල්ල වෙරළ තීරයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සුවිශේෂී ස්ථානයක් නිසාය. නාවික හමුදාවත්, ධීවර අමාත්‍යාංශයත් එක්ව මෙම වෙරළ තීරයට නව ආකර්ෂණයක් ගෙනදීමට කටයුතු කර ඇත්තේ මෙරට සංචාරක ව්‍යාපාරයටත් සමුද්‍රීය පරිසර පද්ධතියේ ආරක්ෂාවට මෙන්ම රටේ ආර්ථිකයට ද නව ජවයක් එක්කරමිනි. එම කදිම නිර්මාණය වන්නේ නිල්වැල්ල මුහුදු පතුලේ ඉදිකළ අලංකාර කෞතුකාගාරයයි.

 

නිල්වැල්ල වෙරළ සහ දූපත කලක සිට විශේෂත්වයක් ගෙන ඇත්තේ මෙරට සංචාරකයන් සේම විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් කිමිඳුම් කටයුතු සඳහා ඇති සුන්දර වෙරළ තීරයක් නිසාය. වෙරළේ සුන්දරත්වය මෙන්ම මුහුදු පතුලේ සුන්දරත්වය ද විඳ ගැනීම සඳහා මේ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් නිරන්තර කිමිදුම් කටයුතු සිදුකරති.

දේශීය විදේශීය සංචාරකයන් සඳහා අලුත්ම අත්දැකීමක් එක්කරමින් මුහුදු පතුලේ ගොඩනඟා ඇති මෙම කෞතුකාගාරය නාවික හමුදාව විසින් පරිසර හිතකාමී අමුද්‍රව්‍යයන් යොදා ගනිමින් නිර්මාණය කිරීම විශේෂත්වයකි. මිනිස් රූප, ගොඩනැගිලි ආකෘතීන්, භාවිතයෙන් ඉවත් කරන ලද බස් රථ ඇතුළු රථ වාහන, ගුවන් යානා ඇතුළු විවිධ නිර්මාණාත්මක ආකෘතීන් මේ තුළ නිර්මාණය කර ඇත. කොරල් වර්ධනය සඳහාම නිර්මාණය කළ උපස්ථර ඉතා අලංකාර ලෙස මෙම දිය යට කලාගාරය තුළ ස්ථානගත කර ඇත. මෙහි ඇතැම් ආකෘති කුඩා ගල් කැබලි එකිනෙක සම්බන්ධ කරමින් නිර්මාණය කර ඇති බැවින් එම පෘෂ්ඨ මත මුහුදු ශාක සහ කොරල් පහසුවෙන් වර්ධනය වී ස්වාභාවික මත්ස්‍ය අභිජනනයට හිතකර පරිසරයක් ඉතා අඩු කාලසීමාවකින් නිර්මාණය වනු ඇතැයි යන්න විශ්වාසයයි.

මෙරට මුහුදු පතුලේ ඉදිකළ තෙවන කෞතුකාගාරය වන මෙමඟින් ස්වාභාවික මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මුහුදු ජීවීන්, මුහුදු ශාක සහ කොරල්පර විනාශය වළක්වා සාගරික පරිසර පද්ධතිය රැකගැනීමට කෘතීම මත්ස්‍ය අභිජනන පරිසරයක් ඇති කිරීමත්, කොරල්පර වර්ධනය සඳහා කෘතීම උපස්ථර නිර්මාණය කිරීමත් මඟින් සංචාරකයන් සඳහා නවතම අත්දැකීමක් ගෙන දීම අරමුණ වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ උපදෙස් පරිදි රටවටා සුන්දර වෙරළ තීරයන්හි මුහුදු පතුලේ කෞතුකාගාර ඉදිකිරීමේ වැඩසටහන යටතේ මෙම අාකර්ෂණීය නිර්මාණය මුහුදු පතුලේ සකස් කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කරද්දී ඒ සඳහා ඉහළම සහාය හා දායකත්වය ලබාදී ඇත්තේ ධීවර අමාත්‍යාංශය සහ විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශය මඟිනි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් හා මඟපෙන්වීම මත දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ අධීක්‍ෂණය යටතේ මෙම නිර්මාණය ගොඩනැංවී ඇත. මෙම ආකර්ෂණිය දියයට කලාගාරය මීටර 100ක පමණ දිගකින් සහ මීටර 40ක පමණ පළල ප්‍රදේශයක් පුරා විහිදී ඇති නගරයක ස්වරූපය පිළිඹිඹු වන අයුරින් නිර්මාණය කර ඇත්තේය.

මේ තුළ තවත් විශේෂත්වයන් ඇත. ඒ දෙස් විදෙස් සියලුම සංචාරකයන්ට මුහුද මතුපිට පිහිනීම මඟින් සහ වීදුරු පතුලක් සහිත ඩිංගි යාත්‍රා මඟින්ද මීටර 04 සිට මීටර 10 දක්වා ගැඹුරට විහිදී ඇති මෙම අලංකාර දියයට පරිසර පද්ධතිය පහසුවෙන් දැක බලා ගැනීමේ හැකියාව තිබීමයි.

මේ තුළ ඉදිකර ඇති මත්ස්‍ය අභිජනනය සඳහා හිතකර දිය යට පරිසරය මඟින් අනාගතයේ ඉතා වැඩි ආර්ථික ප්‍රතිලාභ හිමිකර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති අතර, මෙවැනි කාලෝචිත පාරිසරික සත්කාරක ව්‍යාපෘතීන් තවදුරටත් ඇතිකරමින් හා සංවර්ධනය කරමින් නව මාවතක් සඳහා ධීවර කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය හා රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව තම වෘත්තීමය නිපුණත්වය සහ කැපවීම් ඉදිරියටත් තව තවත් ලබාදීමට නිරන්තර සූදානමින් සිටී.

අතිසාර්ථක ලෙස ක්‍රියාත්මක කර ඇත මෙම ව්‍යාපෘතිය සාර්ථකව ගොඩනැංවීමේදී රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක සහයෝගය නාවික හමුදාව වෙත නොමසුරුව ලැබී ඇති අතර ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ නිරන්තර අධීක්ෂණය හා මගපෙන්වීම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට දිරියක් වී තිබුණි.

“අපි නිල්වැල්ලේදී විවෘත කෙළේ ලංකාවේ තුන්වැනි මුහුදු කෞතුකාගාරය. විශේෂයෙන් අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීමක් පරිදි. අපි දන්නවා එක් පැත්කින් මුහුදු තීරය. අනෙක් පැත්තෙන් සංචාරක ව්‍යාපාරය. මේ මුහුදු තීරය හා මුහුදේ තියෙන සම්පත්. අපි බොහෝ වෙලාවට කතාකරන්නේ ගොඩබිම තිබෙන සම්පත් ගැන පමණයි. ගහකොළ, සතා සීපාවා ගැන කතා කළාට අපි බොහෝ වෙලාවට අමතක කර තිබෙනවා. වැව් වලට, ගංගා වලට අපි දමන අපද්‍රව්‍ය අවසානයේදී ගහගෙන එන්නේ මේ මහ මුහුදට.

අපේ රටේ විතරක් නොවෙයි අසල් වැසි රටවල් පවා පරිසරයට කරන හානිය මහ මුහුදට කරන හානිය අවසානයේ අපි වගේ දුප්පත් රටවලට බෙහෙවින් බලපානවා. ඒ නිසා අපි අධිෂ්ඨාන කරගත යුතු කාරණාව තමයි මහ පොළොවේ ගොඩබිම් පරිසර පද්ධතිය ආරක්ෂා කර ගත යුතු බව. එසේම මේ මහ මුහුදේ මතුපිට හා මුහුදු පතුලේ තියෙන පරිසර පද්ධතියත් ආරක්ෂා කර ගත යුතුයි කියන එක” කෞතුකාගාරය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් තරුණ කටයතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ එසේ පැවසුවේය. මෙම ආකර්ෂණීය නිර්මාණය පිළිබඳ වැඩිදුරටත් මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකා නාවික හමුදාව එක් පැත්තකින් ලංකාවේ සංචාරක ව්‍යාපාරය නංවමින් මෙය නරඹන්න සංචාරක පරාදීසයක් ලෙස මුහුදු තීරය පරිවර්තනය කරන්න තුන්වැනි මුහුදු කෞතුකාගාරය නිල්වැල්ලේ විවෘත කළා පමණක් නොවෙයි මේ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ රටේ ඊළඟ පරම්පරාව මේ මහ මුහුදට, මේ පරිසර පද්ධතියට විශේෂයෙන් මුහුදු පත්ලට ආදරය කරන පිරිසක් ලෙස නිර්මාණය කරන්න.

මේ ගැන මාධ්‍ය තුළින් මේ ගැන රටේ ජනතාව දැනුවත් කිරීමෙන් තමයි මේවාට තිබෙන ආදරය උනන්දුව වැඩිවෙන්නේ. මේක එක පැත්තකින් ක්‍රීඩාවක්. අනෙක් පැත්තෙන් පරිසර පද්ධතිය පිළිබඳ අවබෝධයක් ලබා ගන්නවා. තවත් පැත්තකින් සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නත් විදේශ විනිමය රටට ගේන්නත් මේක ප්‍රධාන කේන්ද්‍රස්ථානයක්. ඒ නිසා මෙය නිර්මාණය කරන්නට වෙහෙසුණු ශ්‍රී ලංකා නාවික හමුදාපතිතුමා ඇතුළු නාවික හමුදාවට, විශේෂයෙන් කංචන විජේසේකර ඇමතිතුමාට මම ස්තූතිය පුදකර සිටිනවා”

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා තම අදහස් එලෙස පවසද්දී මේ සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදුන් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකරයන් පැවසූවේ මෙවන් අදහසකි. “නාවික හමුදාවේ පූර්ණ මැදිහත්වීම හා දායකත්වය තුළ ධීවර අමාත්‍යාංශයත් ඒකාබද්ධව මෙහෙයුමක් හැටියට තමයි මෙම මුහුදු කෞතුකාගාරයේ සංවර්ධන කටයුතු සිදුවුණේ. මෙය විවෘත කිරීම මම හිතන්නේ ඉතිහාසයට එකතුවෙයි. මෙම විවෘත කිරීම සුවිශේෂී අවස්ථාවක්. මොකද එහි ගොඩබිම වගේම මුහුදු පතුලේ විවෘත කිරීම් සිදුවුණා. එහි පළමු කිමිදුම්කරුවා වුණේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂයන්. එහිදී ඔහු මුහුදු පතුලේ කෞතුකාගාරය විවෘත කර ජනතා අයිතියට පත්කරනු ලැබුවා”

“නාවික හමුදාවට ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් උපදෙස් දී තිබුණේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මෙවැනි කෞතුකාගාර ස්ථාන කීපයක් ඉදිකරන්න කියලා. මුහුදු පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඒ වාගේම සංචාරක කර්මාන්තය සඳහා ආකර්ෂණය ලබාගැනීම වෙනුවෙන් සහ මත්ස්‍ය ගහනය වැඩිකර ගැනීම යන කාරණා මූලික කරගෙන මේ මුහුදු පද්ධතිය තුළ පළමු කෞතුකාගාරය ලෙස ගාල්ල කෞතුකාගාරයත්, දෙවැනි කෞතුකාගාරය ලෙස ත්‍රිකුණාමලය කෞතුකාගාරයත් සකසා තුන්වැනි කෞතුකාගාරය ලෙස නිල්වැල්ලේ මුහුදු පතුලේ කෞතුකාගාරය ඉදිකර විවෘත කළා.

මෙහි විශේෂත්වයක් තිබෙනවා. ගාල්ල හා ත්‍රිකුණාමලය කෞතුකාගාර දෙකම කිමිදුම්කරුවන්ට පමණයි අවස්ථාව ලැබු­‌ෙණ් නමුත් නිල්වැල්ල මුහුදු පතුලේ කෞතුකාගාරය හරි වෙනස්. මෙහි ගැඹුරු මුහුදේ පතුලේ වගේම නොගැඹුරු මුහුදු පතුලේත් මෙම පරිශ්‍රය නිර්මාණයවී ඇති නිසා”

දකුණු පළාතට ආභරණයක් ලෙස ගොඩනංවා ජනතා අයිතියට පත්කළ මෙම අගනා ව්‍යාපෘතිය අනාගත පරපුරට කදිම අත්දැකීමක් වනු නිසැකය.

 ජයසිරි පේදුරුආරච්චි, ගන්දර සමූහ

Comments