නූතන වෙස්සන්තරවරයකුගේ කතාව | Page 2 | සිළුමිණ

නූතන වෙස්සන්තරවරයකුගේ කතාව

තමන් සතු යමක් අනුන්ට දී සතුටු විය හැකි අයකු සිටින්නේ සුළු පිරිසකි. එවන් ආකාරයේ මෙලොවදිත් පරලොවදිත් සතුටුවිය හැකි ආකාරයේ කටයුත්තක් පිළිබද කතාවක් මාතලේ නාලන්ද උඩුදෙණිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

රුපියල් කෝටිගණනක වටිනාකමින් යුතු තම සුවිසල් නිවස සහ එහි භාණ්ඩ සමඟ වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාම සඳහා දන් දීමට යුවළක් තීරණය කර තිබේ.

ඒ මාතලේ නාලන්ද උඩුදෙණිය පදිංචි ප්‍රදිප් සේනානායක සහ ගීතා කුමාරි සේනානායක යුවළ වන අතර මොවුන් පදිංචිව සිටින නිවස මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියට වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාම සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත. සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන ඇතුළු පාලක මණ්ඩලයට ඒ බව දැනුම් දි ඇති අතර එය භාර ගෙන අවශ්‍ය කටයුතු සිදු කිරිමට පාලක මණ්ඩලය මේ වන විටත් කටයුතු යොදමින් සිටියි.

ප්‍රදිප් සේනානායක අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ ජන්ම ලාභය ලබා ඇති අතර ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් හත්දෙනෙකි. ඔහු අනුරාධපුර සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ඇති අතර දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

පාසල් අධ්‍යාපනයෙන් පසුව පෞද්ගලික අංශයේ රැකියාවකට යොමුවන ප්‍රදීප් රැකියාව සාර්ථකව සිදු කරගෙන යමින් සිටින අතරතුර මව අභාවයට පත්වීමෙන් අනතුරුව දෙමාපියන් විසින් පවත්වාගෙන යන ලද සිල්ලර වෙළඳසල දියුණු කර නගරයේ විශාල වෙළඳ සංකිර්ණයක් ලෙස පවත්වාගෙන ගොස් තිබේ.

මේ අතරතුර ශ්‍රි ලංකා මානව හිමිකම් සභාවේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කර ඇති අතර ඉන් ද ඉවත්ව පසුව ව්‍යාපාර කටයුතු පමණක් සිදු කර ඇත.

සිංහ සමාජයේද නිලතල කිහිපයක්ද හොබවා ඇති ප්‍රදීප් අනුරාධපුර මෙන්ම මාතලේ නාලන්ද ප්‍රදේශයේද ප්‍රකට සමාජ සේවකයෙකි.

අනුරාධපුර පදිංචි ගීතා කුමාරි තම ජීවන සහකාරිය ලෙස තෝරාගත් ඔහු ජිවිතයේ අනිත්‍යතාවය මෙනෙහි කර සැහැල්ලු දිවියක් ගත කර ඇත.

සැහැල්ලු සිතින් සියල්ල අත්හැරීමට අදිටන් කරගත් මේ දෙදෙනා තම නිවස වැඩිහිටි නිවාසයකට පරිත්‍යාග කිරීමට තීරණය කරන ලදි.

ප්‍රදීප් විසින් සමාජයට සිදු කරන ලද අනුපමේය සේවය වෙනුවෙන් විවිධ ආයතන මඟින් දේශබන්දු, ශාසනකීර්ති විශ්ව කීර්ති, ජොන්ස් නාමධාරි, ආදී ගෞරව නාම රැසක් ලැබී ඇති අතර ඉන්දියාවේ රාජස්ථාන් විශ්ව විද්‍යෘලය මඟින් ආචාර්ය උපාධියක්ද ලබා දී තිබේ. නමුත් තමන් මේ ගෞරව නාම කිසිවක් පාවිච්චි කිරිමක් සිදු නොකරන බව ඔහු අප සමඟ පැවසිය.

බුදුදහම පිළිබදව මනා දැනුමක් ඇතිව අවබෝධයෙන් ජීවත්වන අතර නිවස තුළ ආගමික වතාවන් සිදු කරමින් ඇති අතර නිවසේ එක් ස්ථානයක් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් වෙන් කර තිබේ.

ජීවිතයේ අ‍නිත්‍ය ‍මෙනෙහි කරමින් සියල්ල අත්හළ යුතුය යන සංකල්පය ඔස්සේ යමින් මරණයෙන් පසු දේහයන්ද පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයට ලබා දීම සඳහා පොරොන්දු පත්‍ර අත්සන් කර තිබේ.

ප්‍රදීප් මස් මාංශ සහ දුසිරිතයෙන් තොර වන අතර ගීතාද තම සැමියා යන මඟම යන්නියකි. දිවයින පුරා ඇති රජමහා විහාරස්ථාන ඇතුළු අනෙකුත් සිද්ධස්ථාන වන්දනා මාන කරමින් ජීවිතය නිදහසේ සිටින බව ඔවුහු පවසති.

ප්‍රදීප් සේනානායක සහ ගීතා කුමාරි අප සමඟ අදහස් දක්වමින් කියා සිටියේ දෙදෙනා අවබෝධයෙන් සියල්ල සිදු කළ බවයි. ‘‘ජීවිතයේ අනියත බව පිළිබඳව වැටහීමක් තියෙනවා. කවදා හෝ මේ සියල්ල අත්හළ යුතුයි. අපි ජීවිතයේ විඳින අයයි. අපි හැකි උපරිම ලෙසින් ජනතාවට යුතුකම් කළා. මේ දේපළ ගැන අපට ආසාවක් නැහැ. අපි වැඩිහිටි නිවාසයකට දෙන්න තීරණය කෙළේ ඒ නිසයි.

වත්මන් සමාජයේ මව්පියන්ට සලකන දරුවන් අඩුයි. අපිට නිතර ඇහෙනවා දෙමාපියන් මහ මග දමා යන බව. මේ සියලු දේ කල්පනා කරලා මාතලේ පුණ්‍යවර්ධන සමිතියට ඉඩම සහිත නිවස බාර දෙන්න කල්පනා කළා.

නිවස අංග සම්පූර්ණව ඉදිකරලා සියලු පහසුකම්වලින් යුක්තව තියෙනවා. ඉදිරියේදී තවත් පහසුකම් වැඩි දියුණු කරලා සකස් කරනවා. ජීවිතයේ සැදෑ සමය ගත කරන අසරණ මව්පියන්ට එය පිටිවහලක් වේවි‘‘ දෙදෙනාම පවසති.

මේ පිළිබඳව අදහස් දැක්වු මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන කියා සිටියේ මෙවන් කටයුතු අගය කළ යුතු බවත් වත්මන් සමාජයට මෙය ආදර්ශයක් බවයි.

රටේම වැඩිහිටියෝ පන්දාහක් වැඩිහිටි නිවාසවල ඉන්නවා. මේක මහා අවාසනාවන්ත තත්ත්වයක් අම්මට අප්පච්චිට පාසලට මවුබිමට ගහ කොළට සතා සිවුපාවාට ආදරය කරන දරුවෙක් අපි සමාජගත කරන්න ඕනේ අධ්‍යාපනය උපරිම දීලා හදන දරුවා අවසානයේ රටේ ඉන්නෙත් නැහැ. එහෙම දරුවන්ගේ දෙමාපියන්ගේ ඉරණම විසඳෙන්නේ වැඩිහිටි නිවාසයක් තුළ පුණ්‍යවර්ධන සමිතියේ අපි ඒ භාරදූර වගකීම බාර ගෙන සිටිනවා සමිතිය යටතේ වැඩිහිටි නිවාස දෙකක් පාලනය වෙනවා. සේනානායක යුවළ අප ගැන තැබූ විශ්වාසයට අපගේ ගෞරවය මේ මොහොතේ පුද කරනවා ඔබේ සිහිනය යථාර්ථයක් කරන්නට අපි නිරන්තරයෙන් කැප වෙන බව සඳහන් කරන්නට කැමතියි

පෙර බුදුන් දවස දන් දුන් පිරිස් සිටියා සේ වත්මන් සමාජයේද මෙවන් බෝසත් ගුණ ඇති මිනිසුන් සිටිනා බවට අපට හොඳම නිදසුනක් ලෙස මෙම සත් ක්‍රියාව පෙන්වා දිය හැකිය.

 

Comments