වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් තරුව ගාල්ලේ මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන | සිළුමිණ

වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් තරුව ගාල්ලේ මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන

2016 වසරේ රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්‍ගේ ක්‍රිකට් තරගය ආරම්භ වී තිබිණි. 2014 සහ 2015 වර්ෂ දෙකේ දී ම මහා ක්‍රිකට් තරගයෙන් ජය ලැබූ රිච්මන්ඩ් ක්‍රීඩකයෝත් එම විද්‍යාලයට සුබ පතන්නෝත් අපේක්ෂා කළේ 2016 වර්ෂයේත් ජයග්‍රහණයක්ම පමණි. ඔවුන් තම ඉලක්කය පහසු යැයි සිතුවේ 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ඇතුළු සාමාජිකයන් හතර දෙනකුම රිච්මන්ඩ් පිලට ක්‍රීඩා කරමින් සිටි බැවිනි.

මහින්ද විද්‍යාලයීය කණ්ඩායමේ ඉනිම ආරම්භ කිරීම සඳහා පිතිකරුවන් දෙදෙනා පිටියට පිවිසියහ. පුදුමයකි, මහා ක්‍රිකට් තරගයේ මහින්ද ඉනිම ආරම්භ කරන්නේ එතෙක් විද්‍යාලයීය 13න් පහළ කණ්ඩායම නියෝජනය කළ පුංචි කොලු ගැටයෙකි. ඔහු එදා මෙදාතුර මහින්ද රිච්මන්ඩ් මහා ක්‍රිකට් ගැටුමට සහභාගී වූ ළාබාලතම ක්‍රීඩකයාය. මේ හුරුබුහුටි කොලු ගැටයා ඉක්මනින්ම ක්‍රීඩාගාරයට හරවා යැවීමේ අදිටනින් රිච්මන්ඩ් ක්‍රීඩකයෝ පන්දු යවන්නට පටන් ගත්හ.

නමුත් ඔහු සෙමෙන් සෙමෙන් ඉනිම ගොඩනඟන්නට වූයේ පළපුරුදු ක්‍රීඩකයකු පිත්ත හසුරුවන අයුරිනි. පන්දුවාර 62කුත් පන්දු 02ක් පුරා සිය අන්තය ආරක්ෂා කරගෙන සිටි හෙතෙම දැවී යනවිට රැස්කරගෙන සිටියේ ලකුණු 31ක් පමණක් වුව ද රිච්මන්ඩ් විද්‍යාලය බලාපොරොත්තු වූ ජයග්‍රහණය ඔවුන්ගෙන් උදුරා ගැනීමට ඔහු සමත්ව සිටියේය.

මේ අපූරු ක්‍රීඩකයා නවෝද් පරණවිතානයි.

එදා ගාල්ලේ දී තම හැකියාව අපූරුවට පෙන්නූ ඔහු ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් බලාපොරොත්තුවක් බවට කෙටි කලකින්ම පත්වූයේය.

ඔහු Sunday Obserwer සහ SLT Mobitel ආයතන එක්ව සංවිධානය කරන ලද ක්‍රිකට් විශිෂ්ටතා සම්මාන උළෙලේ දී 2020 වර්ෂයේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා, වසරේ දක්ෂතම පිතිකරු සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා යන සම්මානවලින් පිදුම් ලැබුවේය. සම්මාන උළෙල පසුගිය 20 වනදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදී ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

නවෝද් සැබැවින් ම දක්ෂයෙකි. විශිෂ්ටයෙකි. ඔහු 2020 වර්ෂයේ මාර්තු මාසයේ දී එදා මෙදාතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පිළිගත් ක්‍රිකට් තරගයක ඕනෑම වයස් සීමාවක ඕනෑම තරග ඉසව්වක ක්‍රීඩකයකු ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකර ගත්තේය. ඒ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව ලකුණු 409ක් රැස්කරමිනි. එමඟින් සමස්ත ලෝකයේ ම අවධානය ඔහු කෙරෙහි යොමු විය.

''මම ක්‍රිකට්වලට ආවේ මගේ අයියා සෙල්ලම් කරනවා දැකලා. ඒ කාලේ මගේ ඉස්කෝලේ ටිකක් ක්‍රිකට්වලින් පසුබෑමකට ලක්වෙලා තිබුණේ. අයියා ක්‍රිකට් ක්‍රීඩා කළා. මම තාත්තත් එක්ක පිට්ටනියට ගිහින් පිට්ටනියේ පැත්තක සෙල්ලම් කරනවා. මම බෝල් කරනවා දැකලා තාත්ත දවසක් මගෙන් ඇහුවා ක්‍රිකට් ගහන්න දාන්න ද කියලා. ඒ වෙනකොට මම පාසලේ පාපන්දු පුහුණුවට යමින් හිටියේ. මම ක්‍රිකට්වලට යන්න කැමති වුණා."

නවෝද් ක්‍රිකට් පටන්ගත්තේ එලෙසිනි. ක්‍රිකට් පුහුණුවීම්වලට ගොස් ටික කලකින් ම ඔහුගේ දක්ෂතාව හඳුනාගත් පුහුණුකරු ලකී අරඹෙවෙල සහ රොඩ්නි ප්‍රගීත් පුහුණුකරුවන් ඔහුට 13 පහළ කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් වෙන්කර දුන්නේය.

ඒ වනවිට විද්‍යාලයේ හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ නවෝද්ගේ පිත්ත පිට්ටනියේ දී කතා කළේය. 2015 වර්ෂයේ දී ඔහු 13න් පහළ පාසල් ක්‍රීඩකයකු ලෙස ලකුණු 1182ක් ලබා ගනිමින් එම වයස් කාණ්ඩයෙන් පාසල් ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වැඩිම ලකුණුලාභියාගේ වාර්තාව තමන් සතුකර ගත්තේය. 13 පහළ කණ්ඩායමේ නායකයාව සිටිය දී ම ඔහුට 15 පහළ කණ්ඩායමේ ද ක්‍රීඩා කරන්නට අවස්ථාව හිමිවූයේ මේ සුවිශේෂී දක්ෂතා හේතුවෙනි.

නවෝද් 2016 දී පළමු මහා ක්‍රිකට් ගැටුමට සහභාගී වී විද්‍යාලය පරාජයෙන් බේරාගන්නා විට ඔහුට යන්තම් වයස අවුරුද 13ක් සහ මාස 10ක් වූවා පමණි.

''හැම පාසල් ක්‍රීඩකයකුගේම සිහිනයක් තමයි බිග් මැච් එකකට සෙල්ලම් කරන එක. එදා හැමෝම හිතුවේ මහින්දය බිග් මැච් එක පරදියි කියලා. මගේ මුල්ම බිග් මැච් එක. ලොකු පීඩනයක් තිබුණා. මට ඕන වුණේ කොහොම හරි අපේ ඉස්කෝලේ පරාජයෙන් බේරගන්න. මට එදා ලබා දුන් වගකීම මම ඉෂ්ට කළා. තවමත් මම කැමතිම ඉනිම තමයි එදා මම ගහපු මගේ මුල්ම බිග් මැච් ඉනිම." ඔහු කියයි.

දිගින් දිගටම පාසල වෙනුවෙන් දක්ෂතා දැක්වූ නවෝද් පරණවිතාන 2017 පාසල් ක්‍රිකට් වාරයේ දී වයස අවුරුදු 15න් පහළ ලකුණු 1023ක් ලබා ගැනීමට සමත් වූයේ මෙතෙක් 15න් පහළ ලකුණු දහස ඉක්මවා ගිය එකම ක්‍රීඩකයාගේ වාර්තාව තමන් සතු කරගනිමිනි.

වයස අවුරුද 15ක් සහ මාස 07 වෙද්දී නවෝද් ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමේ සංචිතයට එක්වූයේ මේ දක්ෂතා හේතුවෙනි. ඔහු එම කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා මෙන්ම පන්දු යවන්නකු ද වූයේය.

ගාල්ල අම්බලන්වත්තේ පදිංචි කැළුම් පරණවිතානට දාව දීප්ති දහනායකගේ කුසින් 2002 මැයි මස 16වැනි දා මෙළොව එළිය දුටු නවෝද් පවුලේ මද්දුමයාය. ඔහුට වැඩිමහල් සොහොයුරකු සහ බාල සොහොයුරකු සිටියි. තිදෙනාම මහින්ද විද්‍යාලයේ සිසුවෝය.

මුලින්ම ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවූයේ ඔහුගේ වැඩිමල් සොහොයුරා බිනෝද් ය. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටින අතරතුර නවෝද් කණ්ඩායමට එක්වූයේය. නමුත් ආර්ථික ප්‍රශ්න රැසකින් පීඩිතව සිටි මේ දෙමාපියන්ට දරුවන් දෙදෙනාම ක්‍රීඩා කරවීම අසීරුවී තිබිණි. බිනෝද් මේ බව වටහා ගත්තේය. තමන්ට වඩා මල්ලී දක්ෂතා දක්වන බව තේරුම්ගත් ඔහු මවටත් පියාටත් වැඩි පීඩනයක් නොදී කණ්ඩායමෙන් සමු ගත්තේය.්‍

2019 වර්ෂයේ දී පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේ දී ශ්‍රී ලංකාවේ හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා සම්මානයට ද හිමිකම් කියූ නවෝද් 13න් පහළ ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය ද දිනා ඇත. නවෝද්ගේ මේ ගමනට උපකාර කළ තම පාසල් මිතුරන් ඇතුළු සියළු දෙනා ඔහුගේ පියා සිහිපත් කරයි.

එස්. ලොකුකරවිට - ගාල්ල

Comments