
එල්ටීටීඊ 12,500ක් පුනරුත්ථාපනය කර රැකියා ලබා දුන්නා
අදටත් බොහෝ දෙනා නොදන්නා කතාවක් කියන්නට ඇත. ඒ ආරක්ෂක අංශවලට එරෙහිව සටන් වැදුණු එල්ටීටීඊ සටන්කාමීන් 12,547ක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හා යුද හමුදාවේද සේවය කරන බවයි. එයින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන එල්ටීටීඊ සටන්කාමීන් අතර පිරිමි සටන්කාමීන් මෙන්ම කාන්තාවෝද සිටිති. ඔවුන්ගෙන් ඇතැමකුට අත් පා නැත. ඒවා අහිමි වූයේ යුද්ධයේදී ය. ඇතැම් අයගේ අත් පා අහිමිව ඇත්තේ ආරක්ෂක හමුදාවන්ට අත් බෝම්ම ප්‍රහාර එල්ල කිරීමට ගොස් ඒවා අතේම පුපුරා යාම නිසා හෝ විසි කරන්නට ගොස් පා මුල ඇද වැටීම නිසාය.
තමන් ඝාතනය කරන්නට එසේ පැමිණි අයට කන්නට බොන්නට දී රැකියා ලබා දෙන්නට තරම් අත දිගු කරන්නට අපේ හමුදාවෝ කරුණාවෙන් දයාවෙන් පරිපූර්ණ වූවෝ වෙති.
අපි මේ කියන්නට යන්නේ එම කතාන්දරයේම තවත් පිටුවකි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් සහිතව සේවය කරන එදා එල්ටීටීඊ සටන්කාමීන් දැන් රාජ්‍ය සේවකයන්ය. අප පෙර කී ලෙසින් ඔවුන්ගෙන් අත් පා අහිමිව සිටින අයට ස්ථිර කෘත්‍රීම පාද ලබා දෙන්නට එම ආරක්ෂක අංශ විසින්ම කටයුතු කර තිබේ.
එසේ තමන්ට එරෙහිව සටන් වැදුණු ත්‍රස්ත කණ්ඩායමක සාමාජිකයන්ට අදාළ ආරක්ෂක අංශ විසින්ම කෘත්‍රීම පාද සකස් කර දෙන්නේ ප්‍රථම වතාවටය.
යුද්ධය අවසන් වූ 2009 වසරේ එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් 2010 වසරේ සිට 2012 වසර දක්වා එම පිරිස් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට සම්බන්ධ කරන ලද්දේ එවකට ජනාධිපතිවරයා වූ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ උපදෙස් අනුවය. ඒ අනුව විශ්වමඩු, කිළිනොච්චි, හා මුලතිව් හි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු බළකා කඳවුරු සම්පූර්ණයෙන්ම එම පිරිස් වෙනුවෙන් වෙන් කළ අතර ඔවුන් 2015 වසරේ අප්‍රේල් මස 23 වැනිදා ස්ථිර සේවාවට පත් කරන ලද්දේ බඳවා ගැනීමේ ක්‍රමවේදයට අනුවය.
එසේ බඳවා ගත් අය අතුරින් පමණක් 103 දෙනකු අත් පා නොමැතිව පූර්ණ ආබාධිත තත්ත්වයේ පසුවිය. ඔවුන්ට ස්ථිර කෘත්‍රීම අත් පා ලබා දීමේ පළමු කාර්යයන් පසුගියදා අනුරාධපුර අභිමංසලේදී ආරම්භ කරන ලදී. ඒ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්දන සේනාධීරගේ උපදෙස් අනුවය. අභිමංසලේදී අදාළ සියලු ආබාධිත එල්ටීටීඊ පුනරුත්ථාපනය වූ සාමාජිකයන්ගේ අවශ්‍යතා සැපිරීම පිණිස මූලික කටයුතු ලෙසින් ඔවුන්ගේ අත් පා වෙනුවෙන් අවශ්‍ය මැනුම් කටයුතු සිදු කරන ලදී.
එහිදී අපට අදහස් දැක්වූ මුලතිව්හි පී. සිවනේසුරෙයි පැවසුවේ යුද්ධයේදී තමන් ආබාධිත වූයේ එල්ටීටීඊ සංවිධානය විසින් නොමඟ යැවීම නිසා සිදු කළ සටන් නිසා බවයි. පාසල් අධ්‍යාපනය පවා ලබා ගන්නට හැකිවූයේ 9 ශ්‍රේණියට පමණක් බවද සිවනේසුරෙයි කීවේය.‘‘අපිට හරියට කන්න අඳින්න ලැබුණේ නැහැ. දින ගණනක් කැලෑවල හිටියෙ. අම්ම තාත්ත ඉන්නවද නැද්ද කියල අපට දැනගන්න විදිහක් ලැබුණෙ නැහැ. අපි වින්ද දුක් කන්දරාව ගැන කියන්න ගියොත් පොත් ගණනාවක් ලියන්න පුළුවන්. අන්තිමේදි අපේ පිහිටට ආවෙ අපි විරුද්ධවාදීන් හැටියට සටන් කරපු ආරක්ෂක අංශමයි. අපේ අත පය පවා අහිමි වුණා. අවුරුදු ගණනාවක් ආබාධිත අය ලෙසින් ජීවත් වුණේ. අපිට අත පය විදිහට ලැබුණෙ සාමාන්‍ය කෘත්‍රීම අත පය ඒවා දාගෙන එදිනෙදා කටයුතු කරන්න අමාරුයි. ඒත් පූර්ණ පහසුකම් තියෙන අත් පා ලබා දෙන්නට අපි සේවය කරන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කිරීම ගැන අපට දැනෙන්නේ කියන්න බැරි සතුටක්. ආයිත් මොනම හේතුවකටවත් අපි අවි ආයුධ අතට ගන්න හිතන්නෙවත් නැහැ. අනිත් එක අනාගත පරම්පරාවටත් අපි කියන්නෙ කිසිදු හේතුවකටවත් අවි ආයුධ ගන්න එපා කියල. අවුරුදු 30ක් රට ආපස්සට ගිය එක විතරයි වුණේ. අපේ පරම්පරා තුනක්ම මේ වෙනකොටත් කඳවුරුවල ජීවත්වෙලා තියෙනවා. ඒ ජීවිතේ මොනම හේතුවකටත් අනාගත පරපුරකට උරුම විය යුතු නැහැ. අපේ ජීවිතේ තව වැඩි කාලයක් නැති වෙන්න පුළුවන්. අපි ජීවත් වෙන්නෙ ආබාධිතයන් ලෙසයි. ඒත් ඒ ආබාධිත බව අඩුවක් නෙවෙන විදිහට පූර්ණ පහසුකම් ඇති කෘත්‍රීම අත් පා ලැබෙන බව දැනෙනකොට අපට සතුටක් දැනෙනවා.‘‘
වී. ජීවකුමාර් කිළිනොච්චියේ පදිංචිකරුවෙකි. ඔහු පැවසුවේ ද කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ තමන් සටන්කාමී සංවිධානයකට බැඳුණු බවත් දැන් ගෙවන ජීවිතය ගැන තමන් කලින් දැන සිටියානම් කිසිසේත්ම මෙවන් තත්ත්වයකට තමන් මුහුණ නොදෙනු ඇති බවයි.
අවියෙන් ප්‍රශ්න විසඳා ගන්නට ගොස් අවසානයේ සිදුවූයේ ප්‍රශ්නයට විසඳුමක් ලැබීම නොව තමන්ගේ පාද අහිමි වීම බව ජීවකුමාර් පැවසුවේය. කිසිදු විටෙක අවියෙන් ප්‍රශ්න විසඳා ගත නොහැකි බව තමන් දැන් ඉතා හොඳින් දන්නා බවත් අනාගතයේදී රටට වැඩදායක ලෙස කටයුතු කරන්නට ලැබෙන දායකත්වයක් ලෙස තමන්ට ලැබෙන නව පහසුකම් සහිත පාදය ඉවහල් කර ගන්නා බවද ඔහු කීවේය.
‘‘අපිට කියල තිබුණේ අපේ නිජබිම් උදුරා ගන්න බලා ඉන්න පිරිසකට විරුද්ධව අපි සටන් කළ යුතුයි කියලා, අපිට ඒ හැරෙන්න වෙනත් දැනුමක් තිබුණෙ නැහැ. ඒත් සිංහල අයත් එක්ක කතා බහ කරද්දි, වැඩ කරද්දි තමයි අපිට තේරුණේ ඒ අය කවුද කියල, සිංහල දෙමළ සමඟිය අතීතයේ තිබුණු බවක්වත් අපි හරියට දැනගෙන හිටියෙ නෑ. ඒත් අද යාපනයේ සංචාරය කරන සිංහල අය දෙමළ අයත් එක්ක සමඟියෙන් කටයුතු කරන හැටි දැක්කහම එයාලගේ නිෂ්පාදන ගන්නකොට තමයි අපිට තේරෙන්නෙ අපි ගියේ කොච්චර වැරැදි මාර්ගයකද කියලා. අතීතෙ ගැන කතා කරල වැඩක් නැහැ. අපේ වාසනාවකට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අපිට විශ්‍රාම වැටුප් එක්ක රැකියා ලැබුණා. උදේ ඇවිත් හවස ගෙදර යන්න පුළුවන් රස්සාවක් වුණත් ආබාධිත තත්ත්වය ඒකට බාධාවුණා. ඒකටත් පූර්ණ පහසුකම් එක්ක ලැබෙන අත් පා උපකරණ අපට ලොකු පිටිවහලක් වේවි‘‘
තාරාවිකුලම්හි පුෂ්පරාණි අදහස් දැක්වීමට අකමැති වුවත් ඇය පැවසුවේ අතක් නැතිව ජීවිතයේ ලොකු අඩුවක් දැනුණද ඉදිරියේදි ඊට ලැබෙන සවිය ලොකු ශක්තියක් බවයි. තමන්ගේ තරුණ දිවියම අහිමි වූ නමුත්, උදේ වැඩට ඇවිත් හවසට නිවසට යා හැකි වීම ගැන ඇය සතුට පළ කළාය.
වසර ගණනාවක් මේ පිරිස් විඳි දුකද සුළු පටු නොවේ. පැමිණ සිටි බොහෝ පිරිස් කැමැත්තෙන් සංවිධානයට එකතු වූවන් නොවේ. බොහෝ පිරිස් බලෙන් රැගෙන ගිය අයයි. පාසල් යද්දී පැහැරගෙන ගොස් සටන් පුහුණුව ලබා දුන් ළමා සොල්දාදුවන් කිහිප දෙනකුද ඒ අතර විය.
ආබාධිත වූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පමණක් නොව සෙසු ආරක්ෂක අංශවල සේවය කරන පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන්ටද මේ සියලු පහසුකම් හිමි වනු ඇත. ඒ සියල්ලම කියා පාන්නේ ශ්‍රී ලංකාවේ හමුදාවන්ගේ මානුෂීය බවයි.