ගාල්ලේ ලක්ෂ­ය­ක් අතරමං කළ වෛද්‍ය - නි. පුරපති හුටපටේ | සිළුමිණ

ගාල්ලේ ලක්ෂ­ය­ක් අතරමං කළ වෛද්‍ය - නි. පුරපති හුටපටේ

ගාල්ල නගර සභාවේ වෛද්‍ය නිලධාරි බර්ට්‍රම් සිල්වා විසින්  නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විවෘත කිරිමට පැමිණි  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය හර්ෂණී ඔබේසේකර පිළිගත් අයුරු
ගාල්ල නගර සභාවේ වෛද්‍ය නිලධාරි බර්ට්‍රම් සිල්වා විසින් නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විවෘත කිරිමට පැමිණි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය හර්ෂණී ඔබේසේකර පිළිගත් අයුරු

ගාල්ල මහ නගර සභාවට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි. එදා මේදා තුර ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ගාල්ල මහනගර සභාව තුළ ස්ථාපිතව පැවතුණි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කාර්ය මණ්ඩලය නගර සභාවේ අණසකට යටත්ව පැවතුණි. ගාල්ල මහනගර සභා භුමියෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉවත් කළ යුතුව ඇති බවට නාගරික වෛද්‍යවරුන්ගේ අදහස විය. ඒ සඳහා ඔවුන් කාලයක සිට අවශ්‍ය පිඹුරුපත් සකස් කරමින් සිටියහ. මෙකී ප්‍රශ්නය මුල්කරගෙන නගර සභාවේ දේශපාලන අධිකාරිය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් අතර මත ගැටුම් ඇතිවිය. ගාල්ල මහ නගරසභාවේ නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස් විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියකුට බැණ තර්ජනය කළ බව කියන සිද්ධියත් සමඟ මේ ප්‍රශ්නය යළි කරළියට ආවේය. ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් දෙදෙනා නගර සභා පරිශ්‍රය තුළ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සිට රාජකාරි කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මෙකී ගැටලුව විසඳීම සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ දැඩි උත්සාහයක් ගනු ලැබීය. ඔහු අවස්ථා කිහිපයකදීම දෙපාර්ශ්වයම කැඳවා මේ ප්‍රශ්නය විසඳීමට සාකච්ඡා වට ගණනාවක් පවත්වනු ලැබීය. එහෙත් සාකච්ඡා සියල්ල ආසාර්ථක විය. දෙපාර්ශ්වයම සාමකාමී ලෙස ප්‍රශ්නය විසඳා ගනු වෙනුවට මස්රාත්තලම ඉලන්නට විය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා නගර සභාවේ දේශපාලන අධිකාරිය අතර ඇති මත ගැටුම හේතුවෙන් නගර වැසියන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයක් ඇතිවිය. මින් දැඩි අසරණ තත්ත්වයට පත්වූයේ නගරවැසියන්ය. මේ අතර ගාල්ල කරාපිටිය පළමු පටුමඟේ පිහිටි ස්ථානයක සිට නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දෙදෙනා රාජකාරි කටයුතු කරගෙන යනු ලැබීය. එහෙත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඇතුළු කාර්ය මණ්ඩලය එම ස්ථානයේ සිට රාජකාරි කටයුතු කිරිමට සිය අකමැත්ත පළ කරනු ලැබීය.

මේ අතර සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් ලිපියක් මඟින් දැනුම් දී ඇත්තේ ගාල්ල මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ගාල්ල මහ නගරසභා පරිශ්‍රයෙන් පිටත දකුණු පළාත් සෞඛ්‍ය සේවා දේපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කළ යුතු බවය. ඒ සඳහා සෞඛ්‍ය ඇමතිතුමියගේ අනුමැතිය හිමිවී ඇති බවත් ඉදිරි කටයුතු සිදුකරන ලෙස දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත. මේ තීරණය පිළිබඳ නගර සභා බලධාරින්ගේ දැඩි විරෝධය පළවී ඇත. නගර සභාවෙන් සෞඛ්‍ය අංශය ඉවත් කිරීමට ඉඩ නොදෙන බව නගරසභා බලධාරින් දැඩි ලෙස අවධාරණය කරති.

මේ පිළිබඳ ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස් කිවේ මෙවැනි කතාවකි.

මේක නීති විරෝධි වැඩක්. නගර සභාවේ සෞඛ්‍ය අංශය වෙනත් තැනක ස්ථාපනය කරන්න සෞඛ්‍ය ඇමතිතුමියටවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාටවත් කිසිදු බලයක් නැහැ. ජනතා නියෝජිතයන් ජනතාව පත්කරලා තියෙන්නේ ඒ සම්බන්ධ තීන්දු තීරණ අරගෙන කටයුතු කරන්න. නගර සභා අඥාපනතේ හා වෙනත් පනත් යටතේ නගර සභාවට පැවරි ඇති බලතල ක්‍රියාත්මක කරන්න සෞඛ්‍ය අංශයක් නගර සභාවේ තියෙන්න ඕන. මේ අය කටයුතු කරන්නේ අනවබෝධයෙන්. නගර සභාවට වසර 157ක් වෙනවා. නගර සභාවේ සෞඛ්‍ය අංශය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරිමට දකුණු පළාතේ සෞඛ්‍ය අධ්‍යක්ෂකට බලයක් නැහැ. එක නිීති විරෝධියි. මේ කරන්න හදන්නේ තමන්ගේ බලය අබිබවා යාමක්. මේ සඳහා අත්සන් කරපු සියලු දේනාට ඉදිරියේදී අධිකරණය ඉදිරියේ උත්තර දෙන්න වේවි. බලය ආවේ කොහෙන්ද කියා පිළිතුරු දෙන්න වේවි. මා සමඟ ඇතිවුයේ පුද්ගලික ප්‍රශ්නයක්. එය මේ සිද්ධියට අදාළ නැහැ. 2008 වර්ෂයෙදිත් මේ අය සෞඛ්‍ය අංශය වෙනත් ස්ථානයකට ගෙන යන්න ඉල්ලීමක් කරලා තිබුණා. නගර සභාවේ සෞඛ්‍ය අංශය වෙනත් ස්ථානයකට ගෙනි යන්න කාලයක් තිස්සේ පිඹුරුපත් සකස් කළා. මේ අයට කොහෙද සායන ගොඩනැගිලි තියෙන්නේ. මේ තුළින් කරන්න හදන්නේ නගර වැසියන් අපහසුතාවට ලක්කිරිමයි. නගර සභාවට අනුමත කාර්යමණ්ඩලයක් තියෙනවා. ඒ කාර්යමණ්ඩලය වෙනත් පාර්ශ්වයකට උදුරගන්න බැහැ. ඉදිරියේ දි අපි වෛද්‍යවරයකු බඳවාගෙන නගර සභාවේ සෞඛ්‍ය කටයුතු කරගෙන යනවා. මේ සම්බන්ධව අධිකරණයට යාමට අපි බලාපොරොත්තු වෙනවා යැයි ද නියෝජ්‍ය නගරාධිපතිවරයා සඳහන් කළේය.

ගාල්ල මහනගරාධිපති ප්‍රියන්ත සහබන්දු කීවේ මෙවැන්නකි.

වමේ සිට, දකුණු පළාත් ආණ්ඩු­කා­ර­ ආචාර්ය විලී ග­ම­ගේ­, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක චන්දිම සිරිතුංග, රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ ගාල්ල දිස්ත්‍රික් සහ­කාර ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා, ගාල්ල  පුරපති  ප්‍රියන්ත සහබන්දු සහ  නියෝජ්‍ය පුරපති පවුසල් නියාස්

නගර සභාවේ අනුමත කාර්යමණ්ඩලය නිදහස් කරන්න අපිට පුළුවන් කමක් නැහැ. නගරසභා ආඥා පනත යටතේ පැවරි ඇති කාර්යයන් ගොඩක් තියෙනවා. ඩෙංගු මර්දන කටයුතු, ගව ඝාතනාගාර පවත්වාගෙන යාම, ආහාර පිළිබඳ සොයා බැලීම් කරන්න ඕන. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරහා කළයුතු කාර්යයන් ගොඩක් තියෙනවා. ඒ සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරු නගර සභාවේ අනුමත කාර්ය මණ්ඩලයේ සිටිය යුතුයි. ඒ නිසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරු නිදහස් කරන්න අපිට බැහැ. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ ලිපියට අපි එකඟ නැහැ. නගර සභාවේ තියෙන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙනත් ස්ථානයක පිහිටුවන්න අපි එකඟ නැහැ.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංගගෙන් මේ පිළිබඳව අප කළ විමසුමකදී ඔහු මෙසේ කීවේය.

ගාල්ල මහනගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය නගර සභාවෙන් පිටත ස්ථාපිත කරන්න කියලා සෞඛ්‍ය ඇමතිතුමිය අනුමැතිය ලබාදීලා තියෙනවා. දැනට තාවකාලිකව පිහිටුවා ඇති ස්ථානය වෙත වෛද්‍යවරු දෙදෙනා පමණයි තාවකාලිකව ගිහින් තියෙන්නේ. සෞඛ්‍ය ඇමතිතුමිය අනුමැතිය ලබාදීලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා මඟින් අපි වෙත දන්වා තියෙනවා. ගාල්ල මහ නගර සභාවට අපේ දෙපාර්තමේන්තුව මඟින් අනුයුක්ත කරනු ලැබු සියලුම නිලධාරින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ලියාපදිංචි වෛද්‍යවරු, පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක, මහජන සෞඛ්‍ය හෙද සොයුරිය, පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, ඇතුළු සියලු කාර්යමණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි දැනට කරාපිටිය මාඉටිපේ පළමු පටුමඟේ පවත්වාගෙන යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත අනුයුක්ත කරන්න කියලා. ඉදිරියේ දි නගර සභාවේ සහයෝගය ඇතිව වෙනම සෞඛ්‍ය නිලධාරි කාර්යාලයක් ලෙස පවත්වාගෙන යනවා. පරිපාලන කටයුතු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අදාළයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මෙසේ කීවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නගර සභා ආඥාපනත නිතිඥයකු මාර්ගයෙන් හොඳින් අධ්‍යයනය කරලා තමයි අපේ මෙම තීරණය ගත්තේ. ගාල්ලත් වෙනම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයක් ලෙස ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්ගේ අනුමැතිය ලැබිලා තියෙනවා. නමුත් නගර සභාව විසින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ඇතුළු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් අනුයුක්ත කළ නිලධාරින් එවන්නේ නැහැ. මේ නිසා ගාල්ල නගර සභා බල ප්‍රදේශය තුළ කොරෝනා වසංගතය පාලනය කිරිමේ දි ගැටලු රැසක් ඇතිවෙලා තියෙනවා නිරෝධායනය කිරිමට නොහැකි වෙලා තියෙනවා. මෙය බරපතළ තත්ත්වයක්. පී.සී.ආර් පරික්ෂණ අඩුවෙලා තියෙනවා. නගර සභාව මඟින් එන්නත් ගබඩා කරපු ශීතකරණය පවා දෙන්නේ නැහැ.

දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ මේ පිළිබඳ සදහන් කළේ මෙවැනි අදහසකි.

ඇත්තටම මේ දෙපාර්ශ්වය සමගි කරන්න මම දැඩි උත්සාහයක් ගත්තා.. දේපාර්ශ්වය කැඳවලා සාකච්ඡා වට පහක් විතර පවත්වලා මේ ගැටලුව විසඳන්න ලොකු උත්සාහයක් දැරුවා. නමුත් එක සාර්ථක වුණේ නැහැ. මේ ගැටලුව සම්බන්ධ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විසින් තීන්දුවක් දීලා තියෙනවා. ඒ තීන්දුවට මට විරුද්ධ වෙන්න බැහැ. වෛද්‍යවරු ඉන්නේ මගේ බාරයේ නෙවෙයි. නගර සභාවට නීතිමය ප්‍රතිපාදන තියෙනවා නම් එම සේවකයන් නොයවා ඉන්න එක කරගන්න මට ප්‍රශ්නයක් නැහැ. අනික් පාර්ශ්වයට මට කියන්න තියෙන්නේ ඒ අය වෙනම ගියා නම් ඒ කාර්ය මණ්ඩල හොයා ගන්න ඒ අය දැනගන්න ඕන. මධ්‍යස්ථව මේ ප්‍රශ්නය විසඳන්න මා මැදිහත් වුණා. නමුත් දෙපාර්ශ්වයම ඒ සඳහා ඇහුම්කන් දුන්නේ නැහැ’ ආණ්ඩුකාරතුමා කීවේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 12 වැනි දින පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටි ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස් රුපියල් ලක්ෂ 02ක ශරිර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කළේය. පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමුකරන ලෙස නියෝග කොට තිබුණි. ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට බැණ තර්ජනය කිරීමේ සිද්ධිය ගාල්ල මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි සමථ මණ්ඩලයට යොමු කරනු ලැබිය. එ‍ෙහත් එහිදී සමථ නොවීම නිසා ගාල්ල පොලිසිය විසින් නියෝජ්‍ය නගරාධිපතිවරයාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය. නමුත් පැමිණිල්ල වෙනුවෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුට ජූලි 20 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කළේය.

Comments