ද්වාර වේධ ‍දෝෂ හඳුනා ගැනීම | Page 3 | සිළුමිණ

ද්වාර වේධ ‍දෝෂ හඳුනා ගැනීම

 

නිවසකට ප්‍රධාන උළුවස්ස තැබීමේදී සැලකිය යුතු ප්‍රධාන දෝෂ රාශියක් පෙරදිග වාස්තු විද්‍යා ග්‍රන්ථවල දැක්වෙයි. වාස්තු විද්‍යාවට අනුකූලව දොරටු තබන නිවසින් ධන සම්පත් හිමිවන බලයක් ඇතිවේ. නිවෙස් වාසීන්ගේ ආයු බල සම්පත් හා නිරෝගී බව ඇති කරවයි. දියුණුවට කරනු ලබන කටයුතු සාර්ථක වෙයි. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සපල වේ. යහපත් ගුණගරුක ගති පැවතුම් ඇතිවෙයි.

 

නිවසට නිබඳව වාසනාව අභිවෘද්ධිය හිමිකර දෙයි.

මෙම දියුණුව අභිවෘද්ධිය ළඟාකර ගැනීමට ප්‍රධාන උළුවස්ස සහ සෙසු උළුවහු තැබිය යුතු නිවැරැදි පිළිවෙළ ගැන අප අවධානය යොමු කළ යුතුයි.

නිවසේ දිග පළල නිවැසියන්ගේ උපන් නැකත්වලට ගැළපෙන ආකාරයට සකස්කර ප්‍රධාන උළුවස්ස තැබිය යුතු දිසා හා ස්ථාන ගැන වාස්තු විද්‍යාවට අනුව දැඩි අවධානයක් යොමු කෙරේ. එහිදී ශුභඵල හිමිවන ආකාරයට ප්‍රධාන දොරවල් සහ සෙසු දොරවල් ස්ථානගත කරගත යුතුයි.

මෙම ලිපි මාලාවෙන් ඒ පිළිබඳව දීර්ඝ විස්තර වාස්තු විද්‍යාවට අනුව සඳහන් කරන්නෙමු.

අද අපගේ ලිපියෙන් ප්‍රධාන උළුවහුව නොහොත් උළුවස්ස ස්ථානගත කිරීමේදී සැලකිය යුතු ප්‍රධාන වේධ දෝෂ සඳහන් කරන්නෙමු.

ද්වාර වේධ දෝෂ යනුවෙන් අදහස් කරනු ලබන්නේ නිවසින් පිටවන ප්‍රධාන දොරටුවට යොමු නොවී තිබිය යුතු අශුභ පිහිටීම්ය. වාස්තු විද්‍යාවේ එවැනි දෝෂ 18 ක් ගැන දැඩි අවධානය යොමුකර එම දෝෂ, ඉවත්කර ගත යුතු බව සඳහන් කරයි.

 

1. මාර්ග වේධ දෝෂය

ප්‍රධාන දොරට ඉදිරියෙන් ප්‍රධාන දොර දෙසට මාර්ගයක් පිහිටා තිබීම මාර්ග වේධ දෝෂය යනුවෙන් හැඳින්වෙයි. මහා මාර්ගයක් හරි කෙළින් ප්‍රධාන දොර දෙසට පිහිටීම ද ප්‍රධාන දොරටුව ඉදිරිපිට දී මාර්ගයේ වංගුවක් ඇතිවීම ද මෙම දෝෂය ඇතිවීමට හේතු වෙයි.

2. වෘක්ෂ වේධ දෝෂය

නිවස ඉදිරිපිට ප්‍රධාන දොරට ඉදිරියෙන් ආසන්නයේ විශාල ලෙස හැදී වැඩී ඇති අඳුර ඇති කරන නුගගස්, බෝගස් හෝ එවැනි විශාල වෘක්ෂ නොතිබිය යුතුයි.

 

3. කදම් වේධ දෝෂය

ප්‍රධාන දොරට ඉදිරියෙන් මඩවළක් ජලය රැඳී ඇති අපවිත්‍ර ස්ථානයක් නොතිබිය යුතුයි.

 

4. ජල - නිර්ගමන වේධ දෝෂය

ප්‍රධාන දොර ඉදිරිපිට ජල මාර්ගයක් කෙළින් පැමිණ වංගුවක් ලෙස හැරී යාම ජල නිර්ගමන වේධ දෝෂය ලෙස හැඳින්වෙයි.

 

5. කූප වේධ දෝෂය

ප්‍රධාන දොර ඉදිරිපිට ළිඳක් පොකුණක් ජලය රැඳී ඇති ටැංකියක් පිහිටීම ඉතා අශුභ වෙයි.

 

6. දේවතා වේධ දෝෂය

ප්‍රධාන දොර ඉදිරිපිට දේවාලයක්, විහාර ගෙයක්, දේව රූප පිහිටීම ද අශුභවේ.

 

7. ස්ථම්භ වේධ දෝෂය

ප්‍රධාන දොරට ඉදිරියෙන් කුලුනක් ගල් කණුවක් පිහිටීම ස්ථම්භ වේධ දෝෂය නමින් හැඳින්වේ.

 

8. සුසාන වේධ දෝෂය

ප්‍රධාන දොරට ඉදිරියෙන් සොහොන් බිමක් සොහොන් කොතක් එක එල්ලේ පිහිටීම මෙයින් අදහස් කරයි. මෙම පිහිටීම ඉතා අශුභ ඵල ඇති කරවයි.

 

9. කෝණ වේධ දෝෂය

ප්‍රධාන දොරට ඉදිරියෙන් තුං මං සන්ධියක් සතරමං ‍සන්ධියක් වෙනත් නිවසක මුල්ලක් වෙනත් ඉඩමක මුල්ලක් පිහිටීම අශුභ වෙයි.

 

10. ද්වාර වේධ දෝෂය

ප්‍රධාන දොරට කෙළින් වෙනත් නිවසක ගේට්ටුවක් හෝ දොරක් පිහිටීම අශුභ වෙයි.

 

11. වර්චස්ථාන වේධ දෝෂය

ප්‍රධාන දොරට කෙළින් වැසිකිළියක්, මල මූත්‍ර පහකරන ස්ථානයක් තිබීම අශුභවෙයි. කුණු කසළ වළවල් වැසිකිළි වලවල් තිබීම අශුභ වෙයි.

 

12. චිරස්චින වේධ දෝෂ

ප්‍රධාන දොරට ඉදිරියෙන් ගවගාලක් - කුකුල් කොටුවක් - බලු කූඩුවක් තිබීම ඉතා අශුභ වෙයි.

 

13. රජක වේධ දෝෂය

රෙදි අපුල්ලන ස්ථානයක් පිහිටීම මෙයින් අදහස් කෙරේ. ඉතා අශුභ පිහිටීමකි.

14. කුම්භකාර වේධ දෝෂය

ප්‍රධාන දොර උළු, ගඩොල්, වළං සාදන පෝරණුවක් තිබීම ශුභ නැත.

 

15. ගණිකා වේධ දෝෂය

ප්‍රධාන දොර ඉදිරිපිට ගණිකා මඩමක් තිබීම ඉතා අශුභ වෙයි‍.

 

16. මෙලෙච්ඡ වේධ දෝෂය

ප්‍රධාන දොර ඉදිරිපිට පහත් වැඩ කරන, හිඟමන් යදින, සොර සතුරු වැඩ කරන, පහත් වැඩ කරන අය පදිංචිය ඉතා අශුභ වෙයි.

 

17. රාජ වේධ දෝෂය

තමාට වඩා ඉතා උසස් රාජ්‍ය අමාත්‍යාදීන්ගේ නිවාස ඇත්නම් එය රාජ වේධ දෝෂය වෙයි. මෙය ද අශුභය.

 

18. බ්‍රහ්ම වේධ දෝෂය

ප්‍රධාන දොර නිවසේ දිගින් හෝ පළලින් හරි මැද දොර තැබීම ශුභ නැත. දුක් කරදර පීඩා ඇතිවෙයි. එය විහාර දේවාලවලට ශුභඵල දෙයි. මෙම දෝෂ මග හැර ගෙන වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් සකස් කර ගත යුතු වේ.

ඒ වෙනුවෙන් වාස්තු විද්‍යාව දන්නා සැලසුම් ශිල්පියකුගේ සහාය ලබා ගැනීම වැදගත් වන අතර එසේ නොවන්නේ නම් වාස්තු විද්‍යාවේ අවශ්‍යතා සැලසුම් ශිල්පියා දැනුම්වත් කළ යුතුය.

එවිට සැලසුම් ශිල්පියා වාස්තු විද්‍යානුකූලව කිසිදු ගැටලුවක් ඇති නොවන ආකාරයට සැලසුම ඇඳ දීමට කටයුතු කරනු ඇත. විශේෂයෙන්ම නවීන තාක්ෂණය ඔස්සේ මේ දෝෂ මඟ හරවා ගැනීම බොහෝ පහසුය.

අනුව සැලසුම් ශිල්පියාට අවශ්‍යතාවය පැහැදිලි කළ විට ගැටලු මතු නොවේ.

එහෙත් අද බොහෝ විට අපට පෙනෙන්නේ නිවාසය තැනීමෙන් පසු එහි දෝෂ සොයමින් යන නිවැසියන් වැඩි පිරිසක් සිටිනා බවයි. එය තම ධනය කාලය මෙන් ශ්‍රමය අධිකව වැය කරන්නකි. එමෙන්ම නිවසේ පදිංචිව සිටිමින් එහි වෙනස්කම් කිරීම දැඩි අපහසුතා මතු කරයි. එම නිසා වඩාත්ම උචිත මෙන්ම කළ යුතුම ක්‍රමය වන්නේ පළමුව සැලසුම නිසි පරිදි සකස් කර ගැනීමයි.

ඉහත සඳහන් කළ ද්වාර වේධ දෝෂ දහ අට නිසා ගෘහ මූලිකයන්ට හා ගෘහයේ සෙසු අයට ඇතිවන දුර්විපාක ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කරන්නෙමු.

 විශ්‍රාමලත් විදුහල්පති

ශාස්ත්‍රවේදී චන්දිම ජයරත්න

Comments