
ගමක නගරයක වෙසෙන ජනතාව ගමකින් හෝ නගරයකින් තමන්ගේ ප්‍රදේශයේ පිහිටි පළාත් පාලන ආයතනයට සභිකයෙක් තෝරා පත් කර ගනු ලබන්නේ තම ග්‍රාමයේ හෝ නගරයේ ඇති සුභ සාධන කටයුතු මෙන්ම සංවර්ධන කටයුතු වඩාත් ඵලදායි මට්ටමෙන් ඉටුකර ගැනීමේ අභිලාෂයෙනි. නමුත් මැතිවරණයකින් පසු එසේ නගර සභාවකට හෝ ප්‍රාදේශීය සභාවකට පත්වන සභිකයන් සභාවක් තුළ හැසිරෙන ආකාරය පිළිබඳව ජනතාව සෑහීමකට පත් පත්නොවන සිද්ධීන් නිතර නිතර වාර්තා වේ.
එවන් කනගාටුදායක සිද්ධීන් කිහිපයක් පසුගිය දින කිහිපය තුළ මහරගම නගර සභාවෙන් වාර්තා වන්නේ එම ප්‍රදේශයේ ජීවත්වන මිනිසුන්ගේ ඉහමොළ රත් කරමිනි.
ඊට ආසන්නම සිද්ධිය වාර්තා වන්නේ ඉකුත් මැයි 06 වැනි දින මහරගම නගර සභාවේ මාසික සභා රැස්වීම පැවැති අවස්ථාවේදීය. මහරගම නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු තම විවේකාගාර කාමරයක් තුළ සිට යම් විවාදයක නියැළෙන අයුරු ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කළ කොට්ටාව නගරය සහ මාකුඹුර දකුණ කොට්ඨාසය නියෝජනය කරන නාගරික සභිකවරියක් වන සාවිත්‍රී ගුණසේකර එම රූප රාමු මුහුණු පොතට මුදාහැර ඇති බවට චෝදනා කළෙය. සභාවේ ඇතිවූ කතිකාවතක් මත ස්වාධීන කණ්ඩායමකින් තරග කර නගර සභාවට තේරී පත්වූ විපක්ෂයේ මන්ත්‍රීවරයකු විසින් එයට විරුද්ධව අදහස් දක්වමින් සිටියදී තවත් විපක්ෂයට සම්බන්ධ නගර සභිකයකු විසින් විරෝධතා පුවරුවක් ප්‍රදර්ශනය කරමින් සිට ඇත. ඒ අවස්ථාවේදී එම දර්ශනද වීඩියෝ ගත කළ සාවිත්‍රි ගුණසේකර සභිකවරියට විපක්ෂයෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.
සාවිත්‍රී ගුණසේකර වීඩියෝ දර්ශන දර්ශන ලබා ගනිමින් සිටියදී එම ස්ථානයට පැමිණෙන පාලක පක්ෂයේම ඇයගේ අසුනට අසුන් දෙකකට පමණ ආසන්නයේ අසුන් ගෙන සිටි නගර සභිකයකු වන නිශාන්ත විමල චන්ද්‍ර විසින් ඇයගේ අතේ තිබූ ජංගම දුරකථනය විසි වන ආකාරයෙන් ජංගම දුරකථනයේ දෙසට පහරක් එල්ල කර ඇති බවය. එයින් ආවේගයට පත්වූ නාගරික සභිකවරිය පරුෂ වචනයෙන් බැණ වදිමින් නගර සභික වරයාට කම්මුල් පහර කීපයක් එල්ල කර ඇති බවත් වාර්තා විය.
එ් අවස්ථාවේ දී පහරකෑමට ලක්වෙමින් සිටී නිශාන්ත විමලචන්ද්‍ර රැස්වීම පැවති නගර සභා ශාලාවේ පාලක පක්ෂයේ සභිකයන් අසුන් ගෙන සිටි ආසන පිටුපසින් පස්සෙන් පස්සට ගමන් කරන විටත් සභිකවරිය දිගින් දිගටම කම්මුල් පහරවල් කිහිපයක් එල්ල කරන ආකාරය ද සභාවේ සිටි සියලුම දෙනාට දර්ශනය විය. ඒ වාගේම මෙම ගුටිබැට හුවමාරුව සහ කලහකාරී ලෙස හැසිරෙන නාගරික සභිකවරිය පාලනය කර ගැනීමට සභාවේ සිටි පාලක පක්ෂයේ හෝ විපක්ෂයේ කාන්තා සභිකවරියන්ට මෙන්ම සභිකයන්ට ද නොහැකි විය.
මෙම දර්ශනය මහරගම ප්‍රදේශයේ වෙසෙන මහජනයා දුටුවා නම් ඔවුන්ට සිතෙන්නේ පෙර පාසල් ළමුන් දෙදෙනෙක් නොදැනුවත්කම නිසා ගුටිබැට හුවමාරුවක නියැළෙන ආකාරයයි. මීට සති කීපයකට ඉහතදී මහරගම නගර සභාවේම නාගරික සභිකවරියන් දෙදෙනෙක් වන ඉනෝජා මුණසිංහ සහ රසිකා ගුණසිංහ හිටපු නාගරික සභිකයකු ගේ අවමඟුල් උත්සවයකට සහභාගී වී සිටින අවස්ථාවකදී තම කොට්ඨාසයේ සංවර්ධන කටයුත්තක් පිළිබඳව ඇතිවූ ගැටලුවක් මුල් කරගනිමින් බහින්බස්වීමක් මත දෙනෝදාහක් බලා සිටියදී ගුටිබැට හුවමාරුවක නියැළී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අතකට සිදුවූ තුවාල මත එක් සභික වරියකට රෝහල් ගත වීමටද සිදුවිය. එය එයින් කෙළවර නොවී අවසානයේ මෙම සිද්ධිය අධිකරණය දක්වා ගොස් එක් සභිකවරියක් දැනට සිටින්නේ ඇප මතය.
මාසයකට වරක් පවත්වන මහා සභා රැස්වීම ඉදිරියේ සිදු කිරීමට නියමිත වැඩසටහන් හා සැලසුම් පිළිබඳව සාකච්ඡා නොකර මෙවන් පුහු සිද්ධීන් මුල්කරගනිමින් කා දමන්නේ මහජනතාවට වටිනා වැඩක් ඉෂ්ට කිරීමට ඇති කාලය නොවේද ?
මෙවන් සිද්ධියක් ඇතිවීමේදී සභාවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන නගරාධිපතිවරයා මෙම සිද්ධිය වළක්වා නොගෙන ගුටි බැට හුවමාරුවට ඉඩදී බලා සිටින ආකාරයද එහි සිටි සියලු දෙනාටම දැකගන්නට හැකි විය. යම්කිසි හේතුවකට දෙදෙනෙක් ගුටිබැට හුවමාරුවක නියැළෙන්නේ නම් විනයක් හෝ සංස්කෘතියක් පිළිබඳව අදහසක් ඇත්තෙක් නම් එය බේරීමට උත්සාහයක් ගැනීම ස්ථානෝචිත දෙයකි. සභාපතිවරයා එසේ නොකරන්නේ මන්දැයි අැතමුන් ගේ විමතියට කරුණක්. මෙම සිද්ධියේදී විශේෂිතම කරුණක් ලෙස එහි සිටින සියලුම දෙනා මෙන්ම නගරවාසී සියලු දෙනාත් විද්‍යුත් මාධ්‍යයෙන් මෙම ගුටිබැට හුවමාරුවේ දර්ශන දකින විට ඕනෑම කෙනකු සිතන්නේ අගතියට පත්වූ පහර කෑමට ලක්වූ නගර සභිකවරයා පොලිසියට ගොස් මෙම පහර දීම පිළිබඳව පැමිණිලි කරන්න ඇතැයි යන්නය. නමුත් සිදුවන්නේ අමුතුම ආකාරයේ සිද්ධියකි.
ප්‍රහාරය එල්ල කළ නගර සභිකවරිය ගුටිබැට හුවමාරු කිරීමෙන් අනතුරුව සභාවෙන් පිටව යන්නේ මහරගම පොලිස් ස්ථානය වෙත මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීමටය. අප මෙම සිද්ධිය පිළිබඳව මහරගම පොලිස් ස්ථානයෙන් සිදු කළ විමසීමේ දී එහි නිලධාරියෙක් පැවසුවේ නාගරික මන්ත්‍රීවරියක් වන සාවිත්‍රි ගුණසේකර නගර සභාවේ මාසික සැසිවාරයට සහභාගිවී සිටියදී තමන්ට නිශාන්ත විමලචන්ද්‍ර නම් සභිකයෙකු විසින් පරුෂ වචනයෙන් බැණ තම අතේ තිබූ ජංගම දුරකථනය විසිකර තමන්ට පහර දුන් බවට පැමිණිල්ලක් සිදුකර ඇති බවය.
අප කිහිප විටක්ම මෙම සිදුවීම පිළිබඳව දැනගැනීම සඳහා නාගරික සභිකවරිය හෝ නාගරික සභිකවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට කළ උත්සාහය ව්‍යාර්ථ වූයේ ඔවුන් දෙදෙනාගේ ජංගම දුරකථන ක්‍රියා විරහිත කර තිබූ බැවිනි.