
මෙරට ආර්ථිකයට ඉදිරිපෙළ දායකත්වයක් සපයමින් ඉහළම ආදායම් උත්පාදන පහෙන් එකක් වන සංචාරක ව්‍යාපාරයෙන් කැපී පෙනෙන කාර්යභාරයක් සිදුවේ. කොරෝනා වසංගතයත් සමඟින් මුළුමනින්ම සංචාරක ව්‍යාපාරය අඩපණ වූයේ ලක්ෂ තුනක් පමණ වන ඍජු සහ වක්‍ර රැකියාලාභීන්ගේ ආදායම් තත්ත්වය බින්දුවටම වැටෙමිනි. කෙසේ හෝ කොරෝනා වසංගතයෙන් යම් තරමකට රට මිදෙමින් තිබූ පසුගිය දෙසැම්බර් මාසයේ 28 වැනිදා සිට ජනවාරි 21 වැනිදා දක්වා කාලය තුළ සංචාරක බුබුළු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් මුලින්ම සංචාරකයන් 1489 දෙනෙකු මෙරටට ගෙන්වීමට ඍජුවම මැදිහත් වූයේ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගයි.
මාස හතරකට පමණ පසු නැවතත් එකී සංචාරකයන්ගේ මෙරට සංචාරය පිළිබඳව කරළියට පැමිණ තිබේ. ඒ අලුත් අවුරුදු සමයෙන් පසු ශීඝ්‍ර ලෙස මෙරට ව්‍යාප්ත වන අලුත් අවුරුදු කොරෝනා රැල්ලත් සමඟින් ඉතාම භයානක බ්‍රිතාන්‍ය කොරෝනා වයිරස් ප්‍රභේදයද මෙරට තුළට පැමිණ තිබෙන බවට වාර්තා පළ වීමත් සමඟිනි. එම බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණීමට මූලික ලෙසටම බලපෑවේ එකී යුක්රේන සහ රුසියන් සංචාරකයන්ගේ පැමිණීම බවට එල්ල වන චෝදනාවන් පිළිබඳව අප උදයංග වීරතුංග සමඟ සංවාදයක නියැළුණෙමු.
දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේත් මේ දිනවල ඔබ විසින් ක්‍රියාත්මක කළ සංචාරක බුබුළ නියාමන ව්‍යාපෘතිය හරහා මෙරටට බ්‍රිතාන්‍ය කොරෝනා වයිරස් ප්‍රභේදය පැමිණි බවට චෝදනාවක් එල්ල වෙනවා...?
මෙහෙමයි, ඒ චෝදනාව මම තරයේම ප්‍රතික්ෂේප කරනවා. ඔය සංචාරක බුබුළු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණේ පසුගිය දෙසැම්බර් 28 සිට ජනවාරි 21 දක්වා කාලය තුළදී. මේ වන විට මාස හතරකට ආසන්න කාලයක් ගතවෙලා තියෙනවා. එහෙමනම් ජනවාරි 21 වැනිදා සිට සති තුනක පමණ කාලයක් තුළදී ඒ ප්‍රභේදය ආසාදිත රෝගීන් වාර්තා විය යුතුයි. ඒ කියන්නෙ දෙසැම්බර් 28 සහ පෙබරවාරි 12 වැනිදා අතර කාලයේදියි. එහෙත් ඒ කාලය තුළදී ලංකාවේ කිසිදු ප්‍රදේශයකින් බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේදය ආසාදිත රෝගීන් වාර්තා වුණේ නැහැ. ඒ වගේම එම කාලය තුළදී මෙරටින් මොනතරම් අඩු මට්ටමකින්ද වෙනත් ප්‍රභේද සහිත රෝගින් පවා වාර්තා වුණේ. එවැනි තත්ත්වයක් රට තුළ ගොඩනැඟෙමින් තිබූ නිසයි; විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය යළි නඟා සිටුවමින් රටේ ආර්ථිකය නඟා සිටුවීමට මම ඉදිරිපත් වුණේ. මෙය තනිකරම දේශපාලන වාසි ලබා ගැනීමට වගේම රටේ ආර්ථිකය විනාශ කරමින් රජය අපහසුතාවට පත්කිරීමට කරන චෝදනා.
ඔබ පවසන්නෙ එම ව්‍යාපෘතිය හරහා කොරෝනා වෛරසය කිසිම කෙනෙකුට ආසාදනය වීමට ඉඩක් නොතිබූ බව ද?
ඔව්, කිසිම අවස්ථාවක් තිබුණේ නෑ. මොකද 1489 දෙනෙක් වූ මේ පිරිස දින 10ක් ඇතුළත පීසීආර් පරීක්ෂණ තුනකට මුහුණ දුන්නා. මේ රටට ඒමට පෙර පළමු පීසීආර් පරීක්ෂණය ඔවුන්ගේ රටේදීම සිදුකරලයි ආවේ. පසුව මත්තල ගුවන් තොටුපොළේදී තවත් පරීක්ෂණයක් සිදු කළා. අනෙක් පීසීආර් පරීක්ෂණයට මුහුණ දුන්නා මෙරට සිටි පස්වැනි දිනයේදී. ඒ පීසීආර් පරීක්ෂණ තුනෙන්ම අසාදිත නොවූ බව තහවුරු වු අයගෙන් කොහොමද අපේ රටේ වැසියන්ට කොරෝනා වැලඳෙන්නෙ. අනෙක මත්තලින් පැමිණි ඒ පිරිස කෙළින්ම රැගෙන ගියේ සෞඛ්‍ය ආරක්ෂාව සහ සුරක්ෂිත බව සහතික කරන ලද පළමුපෙළ හෝටල් බවට සංචාරක මණ්ඩලයේ සහ කේපීඑම්ජී ආයතනයෙන් සහතික කරන ලද හෝටල් පහකට පමණයි. එම හෝටල් පහ පැය 24 පුරාම සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් හා යුද හමුදා නිලධාරින්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පමණක් පවත්වාගෙන ගියේ. ඒ හෝටල්වල සිටියේ විදේශිකයන් පමණයි. සේවය කළ ලාංකිකයන් පවා සෑම විටෙකම පීපී ඇඳුමින් සැරසි සිටියේ. ඒ වගේම ඔවුන් නිවෙස්වලට ගියේත් නැහැ. ඔවුන්ද හෝටල්වලින් සමාජයට ගියේ පීසීආර් පරීක්ෂණවලින් පසුවයි. එහෙම සෞඛ්‍ය ආරක්ෂාවක් සහිතවයි අපි මේ නියාමක ව්‍යාපෘතිය සිදු කළේ.
එසේනම් ඔබ සංචාරකයන් මෙරටට පැමිණීමට උනන්දු නොවූ මොහොතක රටට සේවයක් කළ බවද පවසන්නෙ?
අපි ආපස්සට හැරිලා බැලුවොත් මා ක්‍රියාත්මක කළ ඒ සංචාරක බුබුළු ව්‍යාපෘතිය හරහා රටට මොනතරම් වාසි කන්දරාවක්ද අත්වුණේ කියල බලන්න. 2020 මාර්තු මාසයේදී කොරෝනා වසංගතය උත්සන්න වීමත් සමඟින් ගුවන් තොටුපොළ වසා දැමීමත් සමඟ මෙරට සංචාරක ව්‍යාපාරය නැත්තටම නැතිවෙලා ගියා. ලක්ෂ තුනක් පමණ වන ඍජු සහ වක්‍ර රැකියාලාභීන්ගේ ආදායම් තත්ත්වය බින්දුවටම වැටුණා.
සංචාරක ව්‍යාපාරයේ නියැළුණු ඉහළම තනතුරු හෙබවූ අයවලුන් පවා කම්කරු රැකියාවන්ට යොමු වුණා. එහෙම කාල සමයක් පසුකරමින් සිටියදීයි මා මෙරටට සංචාරකයන් ගෙන්වීමට මැදිහත් වුණේ. ඒ මට රුසියාව ඇතුළු ඒ අවට රාජ්‍ය සමඟ තිබෙන සබඳතා හරහායි. මම යුක්රේන සංචාරකයන් සමඟ ගිය නොයෙක් තැන්වලදී සංචාරක ව්‍යාපාරයේ කුඩා රැකියාවල මෙන්ම කුඩා හෝටල් පවත්වාගෙන ගිය අයවලුන් කීවේ, "සර් අපේ තැන්වලට නාවත් සුද්දෙක් දැකීමත් සතුටක්... අපේ තැනුත් සුද්ධ පවිත්‍ර කරන්න හිතුණා..." කියලයි. බලන්න, සංචාරක ව්‍යාපාරය කඩා වැටීමෙන් ඒ මිනිස්සු මොනතරම් මානසිකව වැටිලා ඉන්නවද කියලා එවැනි ප්‍රකාශවලින් ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙම පිරිසකට සවියක් වෙමින් රටේ ආර්ථිකය නැංවීමටයි අපි කටයුතු කළේ. නැතුව කොහේවත් තියෙන කොරෝනා ප්‍රභේදයක් මේ රටට ඇතුළු කිරීමට අපට කිසිම අවශ්‍යතාවක් නැහැ.
ඔබගේ එම ව්‍යාපෘතිය සාර්ථකත්වයක් ලැබුවා ද?
ඇත්තටම ඔව්, ඉන් ලබපු සාර්ථකත්වය නිසායි සංචාරකයන් සඳහා පසුගිය ජනවාරි 21 වැනිදා රට විවෘත කිරීමට හැකි වුණේ. එම ව්‍යාපෘතිය හරහා අපි සොයා බැලුවේ රට ඉදිරියේදී සංචාරකයන්ට විවෘත කිරීමට හැකිද... නැතිනම් ඉදිරියටත් වසා තබනවාද යන්න සොයා බැලීමයි. එම යුක්රේන වැසියන්ගේ පැමිණීමේ සාර්ථකත්වයත් සමඟයි අපිට සංචාරකයන් සඳහා රට විවෘත කිරීමට හැකියාවක් තිබේද යන්න නිශ්චිත ලෙසටම තේරුම් ගැනීමට හැකි වුණේ. රජය රට විවෘත කළත් සංචාරකයන්ට මෙරට තුළ සෞඛ්‍ය ආරක්ෂාව හා සුරක්ෂිත බව සහතික කිරීමට හොඳම සහතිකය දිය හැකි වුණේත් එම සංචාරකයන් කිසිදු ගැටලුවකින් තොරව මෙරටින් පිටව යෑම නිසයි. මෙහිදී එම සංචාරකයන් පිරිසට අපේ රටේදී කොරෝනා දැඩිව අසාදනය වී බරපතළ තත්ත්වයක් උදා වුණා නම් එදා අපට සංචාරකයන් සඳහා රට යළි විවෘත කිරීමට හැකිවන්නෙ නැහැ.
සාමාන්‍යයෙන් ඒ වන විට කොරෝනා වසංගතයෙන් යම් ආකාරයක බලපෑමකට ලක්ව තිබූ අපේ රටට යුක්රේන සහ රුසියන් ජාතිකයන් සංචාරකයන් ලෙස පැමිණීම ගැන අපි ඒ වැසියන්ට ස්තූතිවන්ත විය යුතුයි. ඒ වගේම එම සංචාරකයන් අපේ රටේ සෞඛ්‍ය අංශ ඇතුළු කොරෝනා මර්දනයට කැපව සිටින සියලු දෙනා ඉදිරිපත් කළ නිර්ණායකවලට යටත්ව මෙරට සංචාරයට පැමිණීමත් අපි අගය කළ යුතුයි. ඔවුන් වැදගත් සංචාරකයන්. ලක්ෂ ගණන් වියදම් කරමින් විවේකීව කාලය ගතකිරීමටයි මේ රටට පැමිණියේ. එහෙම නැතිව කොරෝනා වසංගතය මෙරට ව්‍යාප්ත කරලා යන්න නෙවෙයි ඔවුන් පැමිණියේ.
ඒ වගේම මත්තල ගුවන් තොටුපොළ හරහා සංචාරකයන් පැමිණීම ආරම්භ වුණෙත් එම ව්‍යාපෘතියෙන්. මත්තලට ගෙන්වීමෙන්ද අපි බලාපොරොත්තු වූයේ එම සංචාරකයන් හා ලාංකික පුද්ගලයන් අතර ඝට්ටනය අඩු කිරීමටයි. මොකද ඒ වන විට ලාංකිකයන් කටුනායක හරහා මෙරටට පැමිණියා. හැබැයි මත්තලට කිසිදු ගුවන් යානයක් ඒ වනවිට පැමිණියේ නැහැ. අනෙක් කාරණය, ලැබුණ ආදායම. එම සංචාරකයන් හරහා රුපියල් කෝටි 56ක පමණ විදේශ විනිමයක් රටට උපයාගත හැකි වුණා. ජනවාරි 21 රට විවෘත කිරිමත් සමඟ රුසියාව සහ යුක්රේනයේ සිට ගුවන් යානා 38කින් 6700ක් ලංකාවට පැමිණියා. ඉන් සමස්ත ආදායම රුපියල් බිලියන දෙකක් පමණ රටට ලැබුණා. එවැනි කාරණා පිළිබඳව මේ චෝදනා නඟන පුද්ගලයන් දන්නෙත් නැහැ; හිතන්නෙත් නැහැ.
කෙසේ හෝ නියාමන ව්‍යාපෘතිය හරහා මෙරටට පැමිණි සංචාරකයන් කීපදෙනෙකුටත් කොරෝනා වයිරස් අසාදිත බව තහවුරු වුණා නේද?
ඔව්, කොරෝනා අසාදිත බවට මුලින් හතර දෙනෙකුත්, පසුව ළමයින් දෙදෙනෙකුත් වාර්තා වුණා. ඔක්කොම කොරෝනා අසාදිත බවට 6 දෙනෙක් වාර්තා වුණා. නමුත් ඔවුන් කිසිවෙක් හෝටල් කාමරවලින් එළියටවත් ගියේ නැහැ. ඔවුන් හයදෙනා හිටියෙ බෙන්තොට සහ බේරුවල හෝටල්වල. ඒ ප්‍රදේශවල පීඑච්අයි මහත්වරුන්ගේ සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සෞඛ්‍ය නිලධාරින්ගේ දැඩි අධීක්ෂණය යටතේ දින 10 ම හෝටලය තුළම ගතකොට පැමිණි ගුවන් යානාවලින්ම නැවත යුක්රේනයටම ගියා. ඒ වගේම එම හයදෙනාටත් බ්‍රිතාන්‍ය වයිරස් ප්‍රභේදය වැලඳි තිබූ බවට කිසිදු පරීක්ෂණයකින් සනාථ වුණේ නැහැ.
එම සංචාරකයන් රටේ විවිධ පළාත්වලත් සංචාරය කළා නේද?
එම සංචාරකයන් පිරිස රට තුළ ස්ථාන 14කට රැගෙන ගියා. ඒ සෑම තැනකටම ගියේ යුද හමුදාවේ ආරක්ෂාව යටතේ ආරක්ෂිත බුබුළක් ලෙසින්. ගයිඩ්ලා පවා කිසිම තැනෙකට ගියේ නැහැ. ඔවුනුත් ඒ කාලය තුළ ගත කළේ හෝටලයේමයි. එම නිසා කිසිදු තැනෙකදී ලාංකිකයන් සමඟ ගැටීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. සංචාරයට ගිය තැන්වලදී පවා ආහාර ගත් හෝටල්හි සේවකයන් පීපී කිට්වලින් සැරසිලා හිටියේ. ඒ වගේම ඒ සියලු තැන් හමුදාවෙන් පිරිසුදු කළා. එම නිසා නැවතත් වගකීමෙන් මම කියන්නෙ එම සංචාරකයන් මඟින් මෙරටට බ්‍රිතාන්‍ය කොරෝනා වයිරස් ප්‍රභේදය ඇතුළුවීමට කිසිම අවස්ථාවක් තිබුණේ නෑ කියලයි.
මෙවැනි ව්‍යාපෘතිවලට පැමිණෙන බාධාවන් ජයගෙන ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවක් තියෙනවා ද?
මගේ බලාපොරොත්තුව තියෙන තත්ත්වය කෙසේ හෝ ජයගෙන සැප්තැම්බර් මාසයේදී පමණ නැවතත් මෙවැනි නියාමක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට හැකි වෙයි කියලා. කිසිම විටෙක සංචාරක ව්‍යාපාරය නැතිව රට ඉදිරියට ගෙනියන්න බැහැ. අපේ ප්‍රධානතම ආදායම් පහෙන් එකක් සංචාරක ව්‍යාපාරය කියන්නෙ. අපි කොරෝනාව ජය ගන්න වෙර දරනවා සේම සංචාරක ව්‍යාපාරයත් නතර නොකොට, කඩා වැටෙන්නට නොදී ජය ගත යුතුයි. එහෙම නැති වුණොත් සංචාරක ව්‍යාපාරයෙන් යැපෙන ලක්ෂ තුනක පමණ පිරිසකට මොකද වෙන්නෙ. රටේ අාර්ථිකයට වන හානිය.
ඡායාරූප - සුදත් මලවීර