ශ්‍රී ලංකාවේ කෝවිඩ් - 19 හෙවත් කොරෝනා රෝගයේ පැතිරීම මේ වන විට අතිශය බරපතළ තත්ත්වයකට පත්වෙමින් තිබේ. ඒ අනුව අද දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 25 ත් ඉක්මවා ගොස් ඇත්තේ ඉතාමත් සුළු කාලයක් ඇතුළතය. එහි ඇති බියජනක ස්වරූපය වන්නේ කොරෝනා රෝගය උත්සන්න වීමෙන් සිදු වන මරණ සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යාමයි.
එහි පැතිරීම කොතරම් වේගවත් දැයි කිවහොත් ඇමරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලය මගින් සිදු කර ඇතැයි කියන සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ මෙම තත්ත්වය වහා පාලනය කර නොගතහොත් ලබන සැප්තැම්බර් මාසය වන විට කොරෝනා රෝගය උත්සන්න වීමෙන් ශ්‍රී ලංකාවේ සිදුවිය හැකි මරණ සංඛ්‍යාව වැඩි වීමට ඉඩ ඇති බවයි.
ඉකුත් සතියේ මෙරට සියලුම මාධ්‍යයන් මගින් ප්‍රකාශයට පත් කළ එම ප්‍රවෘත්තියට අනුව අප සියලුම දෙනා මේ වන විට පසුවන්නේ මරණයේ දොරටුව අසලය. අප ගිල ගැනීම සඳහා දත් විලිස්සා ගෙන බලා සිටින මරුවා අපට දැත් වනමින් පවසන්නේ හැකිතාක් ඉක්මනින් තමන් වෙත පැමිණෙන ලෙසටය.
එසේ නම් අප මේ අවසනාවන්ත තත්ත්වයට පත් කරනු ලැබුවේ කවුරුන් විසින් දැයි දැන්වත් විමසා බැලිය යුතුය.
මෙරට වෙසෙන කොටි දෙනකට වැඩි සාමාන්‍ය ජනතාව අතිශය බරපතළ වැරැද්දක් සිදු කළේ ඔවුන්ට නිවැරදි තොරතුරු ලැබී නැති නිසා විය යුතුය. ඒ අනුව දෙදෙනකු අතර තිබිය යුතු දුරස්ථභාවය වූ මීටරේ ප්‍රමාණය වියතට නැත්නම් ඊටත් පහළට වැටුණේය. සෞඛ්‍ය උපදෙස් කෙරෙහි තුට්ටුවක් තරම්වත් තැකීමක් නොකෙරිණි. මෙරට ජනතාව අතරින් සෑහෙන්න පිරිසක් කොරොනා වසංගතය අමතක කර තම සුපුරුදු දිවි පෙවත ආරම්භ කර තිබිණි.
කෙසේ වෙතත් අන්තිමේ දී සිදුවූයේ කොරෝනා මාරයා දත් විලිස්සා ගෙන පැමිණ මෙරට ජනතාව ගොදුරු කර ගැනීම පමණි. අන්තිමේ දී සිදුවනුයේ කෝවිඩ් - 19 හෙවත් කොරෝනා වසංගතය කෙරෙහි ජනතාව තුළ තිබු බිය හා සැකය නැත්තටම නැති වී යාමය. ජනතාව නිසියාකාරව මුඛ ආවරණ පැළද ගැනීමටත්, ඔවුන් නොවුන් අතර දුරස්ථභාවය රැක ගැනීමටත් කටයුතු නොකළ හොත්, කිසිදු බියක්, සැකයක් නොමැතිව සුපුරුදු පරිදි සමූහ වශයෙන් ගැවසීමටත් හුරු පුරුදු වූයේ ඉන් අනතුරුවය.
වෙනතක් තබා පසුගිය අලුත් අවුරුදු සමයේ ඔවුහු කොරෝනා ගැන වගේ වගක් නොමැතිව නෑගම් ගියහ. අතමිට යහමින් තිබූ පොහොසත් මිනිස්සු නුවරඑළිය වැනි සුවදායී ප්‍රදේශවලට ගොස් සැප ගැනීමට පෙලඹී සිටියහ. ඔවුන්ගේ සුඛෝපභෝගී ජීවන රටාව කොරෝනාව නිසා එක අංශුමාත්‍රයක වෙනසක් සිදු වී ඇති බවක් නොපෙනිණි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ අලුතින් බිහි වූ අලුත් අවුරුදු රැල්ල මුළු රට පුරාම පැතිර ගොස් දෛනිකව සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව වෙනත් කිසි දිනෙක සිදු නොවූ පරිදි ඉහළ යාමයි.
අද අපේ අසල්වැසියා වන ඉන්දියාව දැනටමත් විසාලා මහනුවරක් බවට පත්වීමේ පළමු අදියර ගෙවීමින් සිටියි. එහෙයින් අපේ රටත් එවැනි තත්ත්වයට පත්වීමට තවත් ඇත්තේ ඉතා සුළු කාලයක් පමණි.
අද ඉන්දියාව කොරෝනා වයිරසය නිසා එකම මළගෙයක් බවට පත් වී ඇත. වෙනතක් තබා අපේ ශ්‍රී ලංකිකයන් අට දෙනෙකු ද ඉන්දියාවේ දී මරණයට පත් වී ඇත්තේ කොරෝනාව අසාදනය වීමෙනි. එවැනි බිහිසුණු තත්ත්වයක් රට තුළ තිබිය දී පවා ඉන්දීය දේශපාලකයන් සුපුරුදු පරිදි ජන්ද පැවැත්වීමට පෙලඹී ඇත්තේ මිනිස් ජීවිතයක වටිනාකම තුට්ටුවක් තරම්වත් නොතකමිනි. අද ඉන්දියාවේ ගංගාවල මළ සිරුරු පාවෙමින් තිබේ.
අපට වැටහෙන අන්දමට නම් දිනෙන් දිනම රට පුරා පැතිර යමින් පවතින කෝවිඩ් -19 හෙවත් කොරෝනා වසංගතය මැඬලා මේ සටනේ දී පෙරමුණ ගත යුත්තේ මෙරට සෞඛ්‍ය බලධාරීන්ය. දේශපාලඥයන්ට කළ හැක්කේ ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ඇතුළු මුල්‍ය දායකත්වය සැපයීම පමණි.
අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා දැමීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබේ. එහෙයින් අප කියන්නේ තව දුරටත් ගොන් පාට් වලට ඉඩක් නොතබා ඔවුන් නිසි ලෙස මෙච්චල් කර ගත යුතු බවය.
එපමණක් ද නොව රට විසාලා මහ නුවරක් බවට පත් නොකර දැන්වත් සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් පිළිගෙන ඒ අනුව සුදුසු පරිදි නිසි පියවර ගත යුතුය. එසේ නොකළ හොත් සිදු වන්නේ සිතා ගැනීමට වත් නොහැකි තරම් බරපතළ ව්‍යවසනයකට රට ඇදවැටීමකි.