දැන් සිදුවන්නේ කුමක්ද ? | Page 2 | සිළුමිණ

දැන් සිදුවන්නේ කුමක්ද ?

මේ වන විට රටේ පවතින තත්ත්වයත් සමඟ රටේ ඉදිරි ගමන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ප්‍රථමයෙන් රටට කුමක් සිදුවී තිබුණේද යන කාරණාව සම්බන්ධව කතා කළ යුතුයි. එහිදි ඒ සඳහා ප්‍රවිෂ්ටයක් ලෙස පැවැති යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයෙන් රටට සිදුවූයේ කුමක්ද? යන්න පිළිබඳව සලකා බැලීම යහපත්ය. යහපාලනය යන වචනය යම් ආකර්ෂණීය වචනයක් වුවද අභ්‍යන්තරික වශයෙන් එවැනි පාලනයක් තිබුණේද යන්න පිළිබඳව ගැටලුවක් මතුවෙයි. ඕනෑම රජයක් යහපාලනය මූලික කරගත් රාජ්‍යයක් බවට පත්වීම ඉතා වැදගත් වෙයි. එම කරුණ මතුපිට සංකල්පීයව ගැළපුණද එහි යථාර්ථය පසුගිය ආණ්ඩුවේ තිබුණාද යන්න සොයා බැලිය යුතුයි.

 

පැවැති ඒ යහපාලනය ආණ්ඩුව බලය ලබාගැනීමේදී අනුගමනය කළේ නිත්‍යානුකූල වැඩපිළිවෙළක් ද යන්න පිළිබඳ මෙහිදී අප විසින් කතා නොකළද ඔවුන් බලයට පැමිණිම පිළිබඳව සලකා බැලීමේදී එය හුදෙක් පැවැති රාජ්‍යයකට විරුද්ධව ගෙනගිය යම් ආකාරයක උපක්‍රමශිලි ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි, එහෙත් එම සන්ධානගත වූ කණ්ඩායම්වල සහ ඊට අදාළ සියලු දෙනා තුළ අප දුටුවේ නොගැළපුණ අදහස් සමුදායක ඒකරාශී වීමකි. ඒ අයගේ අවශ්‍යතාව වූයේද පැවැති පාලනය කුමන හෝ ආකාරයකින් බිඳ දැමීම සහ රටේ බලය ඔවුන්ගේ අතට ගෙන ඒ බලය භාවිත කිරීම මිස රටේ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමක් නොවන බව ඉතා පැහැදිලිය.

ඒ නිසා ඒ රජය බලය අත්පත් කර ගන්නා විටත් රටක් පාලනය කිරීමට අවශ්‍ය කිසිදු සැලැසුමක පෙර සුදානමක් නොතිබිණි. ඒ අනුව ඔවුන්ට යම් යම් කෙටිකාලන න්‍යාය පත්‍රයට වැඩ කිරීමට සිදුවූ අතර නිශ්චිත දිර්ඝකාලීන වැඩපිළිවෙළක් නොවිණි.

ඉතා කෙටි කලක් තුළ මේ යහපාලන රජයේ පිරිස් හැසිරුණු ආකාරය පිළිබඳව රටේ ජනතාවට ගැටලුකාරී තත්ත්ව මතු විය. මේ අය පළිගැනීම් කළ ආකාරය සම්බන්ධයෙන් ජනතාව අතරත් කතිකාවන් ගොඩනැගෙන්නට විය. මේ පළිගැනීමෙන් එහා දෙයක් රටට නොකරන බව ජනතාව ඉතා කෙටි කාලයකින් වටහා ගත්හ. දේශපාලනික අත ගැසීම් නිසා රජ්‍ය නිලධාරියා සම්බන්ධයෙන් ගත් තීන්දු තීරණ සහ ඔවුන් ක්‍රියාත්මක වූ ආකාරය අනුව පොදුවේ සමස්ත රාජ්‍ය සේවාවටම ආණ්ඩුව පිළිබඳ කලකිරීමක් ඇතිවිය. දේශපාලකයන්ගේ අතගැසීම් නිසා කිසිදු තීන්දුවක් තීරණයක් ගත නොහැකි තත්ත්වයට රජයේ නිලධාරීන් පත් විය. විශේෂයෙන් රාජ්‍ය සේවකයාට විශාල අනාරක්ෂිත භාවයක් ඇති විය.

තවද ජනතාව තුළ කලකිරීමට ලක් වූ කරුණක් නම් ආණ්ඩුව සුළු ජාතීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පමණක් පෙනී සිටීමයි. ඡන්ද ප්‍රතිශතයක් ලෙස බෙදිම තුළ ඉතා පැහැදිලි කරුණක් නම් යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමට පදනම් වූයේ සුළු ජාතික ඡන්දයයි. ඒ ආණ්ඩුවේ ආරක්ෂාව පැවතියේ සුළු ජාතිකයන්ගේ ඡන්ද මතය. මෙහිදී අප සුළු ජාතීන් යනු වෙනම කාණ්ඩයක් ලෙස ගත යුතු නොවෙයි. නමුත් දේශපාලනකිව ඒ අය බලාපොරොත්තු වූ කරුණු සහ ඒ අයගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඕනෑම ඉල්ලීමකට එකඟ විමට යහපාලනයේ පාලකයන්ට සිදු විය. එහිදී ප්‍රධාන අමාත්‍යාංශවල සිට සියලු කාරණාවලට සුළු ජාතින් සමඟ යම් එකඟතා අනුව ක්‍රියාත්මක වූ බවක් පෙනෙයි. නමුත් මෙහි භයානක තත්ත්වය ලෙස අපි සැලකිය යුත්තේ දේශපාලනික පටු අරමුණුවලට රට යට කිරීමට ගත් උත්සාහයයි.

මේ පදනම මත රටට කුමක්ද සිදුවේද යන කාරණාව ජනතාව තුළින්ම මතු විය. රාජ්‍ය නායකත්වයේ වෙනසක් ජනතාව ඉතා ඉක්මනින් අපේක්ෂා කළ බව පෙනෙයි. මේ අතරතුර ඊළඟ මැතිවරණයට මුහුණ දීමට ජනතාවට සිදු විය. ඉන් අනතුරුව රාජ්‍ය නායකත්වය වෙනස් ආකාරයේ ආකල්පය මත ගොඩනැඟුණු නායකත්වයක් බව ජනතාව හඳුනාගන්නා ලදී . නව පන්නයේ රාජ්‍ය නායකත්වයක් රට තුළ ගොඩනැඟිය යුතු බව ජනතාව ද ඒ වන විට අපේක්ෂා කළහ. ජනතාවට රටේ විනය, ජාතික ආරක්ෂාව, ආර්ථිකය යන කාරණාවන් පිළිබඳව විශාල ගැටලුවක් මතුව තිබුණි. විශේෂයෙන් ඒ පැවැති තත්ත්වය මත රටේ අනාගතය කෙබඳු වේද? යන ගැටලුව මතුවී තිබුණි. ඒ පරිසරය තුළ නව නායකත්වය රටට ගැළපෙන නායකත්වයක් ලෙස ජනතාව තෝරා පත්කර ගත්හ. ඡන්දයට පෙර ජනතාවට විශ්වාසයක්, ආකර්ෂණයක් ගොඩනැඟිය හැකි ආකාරයට මේ නව නායකත්වය හැසිරුණු බව පෙනෙයි.

මත නව නායකත්වය කෙරෙහි වඩා ආකර්ෂණය විය.

යහපාලන ආණ්ඩුව පරාජයට පත්වීමත් සමඟ ඒ ද්වේශ සහගත හැසීරිම සමාජ ජාල මාධ්‍ය හරහා මුදා හැරීම ආරම්භ කළ අතර ජනතාව නොමඟ යැවීමට කටයුතු කරන ලදී. සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය හරහා ජනතාවට ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තරික ගැටලුකාරි තත්ත්වයන් ඇති බවට මතවාද ගොඩනැගීමේ උත්සාහයක නිරත විය. ඒ බව ඉතා පැහැදිලි වන්නේ මේ දිනවල සමාජ ජාල මාධ්‍ය හැසිරෙන ආකාරයෙනි. නමුත් අභ්‍යන්තරික අවම ගැටලු ඇති පොදු පිළිගැනීම් සහිතව යන කණ්ඩායමක් ලෙස වත්මන් ආණ්ඩුව සැලකිය හැකිය. ඒ තුළ විවිධ මතවාද වෙයි. ඒ මතවාද සඳහා සාකච්ජාවන්ට ඉඩකඩ ඇති, පදනමක් සකස් කර දෙන වේදිකාවක් ආණ්ඩුව තුළ වෙයි. අනෙක් කාරණාව නම් යම් ආකාරයකින් අභ්‍යන්තරික ගැටුම් ඇතිබවට පිටට පෙන්නුම් කරන්නට උත්සාහ කරන වියවුල පදනම් විරහිත බව අපි දනිමු.

මේ ආණ්ඩුව රට භාර ගනු ලබන්නේ ද පාස්කු ප්‍රහාරයත් සමඟය. එහිදී ජනතාවගේ කැළඹීම පමණක් නොව රටේ ආර්ථිකයේ විශාලතම උපාය මාර්ගය වන සංචාරක ව්‍යාපාරය ද මේ හරහා බිඳ වැටිණි. එය නැවත ගොඩනැගීමට පෙර ආණ්ඩුවට මුහුණ පෑමට සිදුවූ අනෙක් කාරණාව නම් ලෝක වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් 19 පැතිර යෑමයි. කොවිඩ් පාලනය කිරීම සම්බන්ධයෙන් කතා කිරිමේදී රජය කොතරම් විශාල පරිශ්‍රමයක් ඒ සම්බන්ධයෙන් ගත්තාද සහ ගනිමින් සිටිනවාද යන කාරණාව පැහැදිලිය.

එහිදි කොවිඩ් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී බලයට පත්වීමට පෙර සැලසුම් කළ සියලු ව්‍යාපෘති වෙනත් උපාය මාර්ගයන් මඟහැරීමට යම් ඉඩ කඩක් විය. එය සැලසුම් සහගතව සිදු කරන ලද ඒවා නොවන අතර බලාපොරොත්තු විරහිතව සිදුවූ කරුණුය. සියයට සියයක්ම නිවැරදි ප්‍රවිෂ්ටයක් ගැනීමට හෝ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඉඩකඩක් මේ ආණ්ඩුවට පරිසරය විසින් ලබාදුන්නේ නැත. බලයට පත්වූ දින සිට පැමිණි ගැටලුවලට සැලසුම් සහගතව ක්‍රියාත්මක වීමට සිදුවිය. එවැනි වටාපිටාවකදී ආණ්ඩුව විසින් නිරන්තරයෙන් ආර්ථිකය යන කාරණාව දෙස බැලීමේදී පළමු රැල්ල තුළින් උගත් පාඩම් තුළින් දෙවැනි රැල්ලේදී ආණ්ඩුවට රට නොවසා රෝගය පාලනය කිරීමට සිදුවිය.

මෙවැනි ව්‍යසනයකදී විපක්ෂය හැසිරිය යුතු වන්නේ කෙසේද යන කාරණාව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව විමසන ලද කාරණාවකි. සමාජ මාධ්‍යවල කතා කරන ඇතැමුන්ගේ අරමුණ රට වැසීම වුවත් ඒ තුළ ඇති සත්‍ය අරමුණ රට වැසීමට වඩා රජය අපහසුතාවට පත් කිරීම සහ ආර්ථිකය බිමට ඇද දැමීමයි.

එමෙන්ම ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජාතික මට්ටමෙන් සහ ප්‍රාෙද්ශීයව නව ව්‍යාපෘති ඇතුළු සියලු දේ සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කරන විට ඒ ප්‍රයත්නයන් විපක්ෂය විසින් ජනතාවට හුවා දැක්වීමට උත්සාහ කරන්නේ මර්දනකාරි කඩාකප්පල්කාරී කටයුතු ලෙසටය. එයට කදිම නිදසුන නැගෙනහිර වාරය ජැටිය සහ වරාය නගරයයි. දේශීය සම්පත් විදේශීයන්ට විකිණීමට රජය උත්සාහ කරන බව විපක්ෂය මතවාදයක් ගොඩ නගයි. අප රටක් ලෙස මේ ආර්ථීක යථාර්ථය තේරුම් ගන්නවා ද යන්න පිළිබඳව අපි විපක්ෂයෙන් මූලිකව නැඟිය යුතු ප්‍රශ්නයකි. අද ඇති සමාජ යථාර්ථය ගත් විට දියුණු යැයි සම්මත රටකටවත් ලෝකයේ තවත් රටක් සම්බන්ධව කෙරෙන සංවර්ධන වැඩ පිළිවෙළක් සඳහා මහ පරිමාණයෙන් දායක විය නොහැකිය. ඒ යථාර්ථය අප විසින් තේරුම් ගත යුතුය. මේ අවස්ථාවේදී ආර්ථිකයේ මහා පරිමාණ වෙනසකට දායක විය හැක්කේ චීනයට පමණයි.

බොරු මතවාද පතුරවමින් ආචාර ධර්ම නොසලකා හරිමින් වැඩ කරන මාධ්‍ය සංස්කෘතියක් ක්‍රියාත්මක වෙයි. මාධ්‍ය පාලනය සම්බන්ධයෙන් රජය කිසිදු මර්දනකාරී වැඩපිළිවෙළක් ගෙන නැතද ඇතැම් පිරිස් මාධ්‍ය සදාචාරය නොසලකා හැර කටයුතු කරමින් මාධ්‍ය වාරණ ඇති බවට බොරු බිල්ලන් මවා පෙන්වීමට උත්සාහ කරයි. යම් කිසි කණ්ඩායමක් තමන්ගේ අනන්‍යතාව සඟවාගෙන මෙවැනි ප්‍රචාර කරයි. අද වන විට ආණ්ඩු විරෝධී කඳවුරක ප්‍රචාරණයන්ට දායකත්වය දෙමින් සිටියි.

මේ වන විට සමාජ මාධ්‍යවල කතා බහට ලක්වන කරුණක් නම් ඉන්දීය ජාතිකයන් මෙරටට නිරෝධායනය සඳහා පැමිණිමයි. එය වෛද්‍ය ප්‍රතිකාර සඳහා සංචාරයන් ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයකි. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සංචාරක ව්‍යාපාරය කර්මාන්තයක් ලෙස මෙය විශාල ඉඩකඩක් ඇති ව්‍යාපාරයක් ලෙස හඳුනාගෙන තිබුණි. කොවිඩ් මෙරටට පැමිණිමට පෙර මේ පිළිබඳව සැලසුම් සකස්කර තිබුණි.

දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රචාරණය සංචාරක ව්‍යාපාරයේ ඉතාම අඩුවෙන් භාවිත කළ නිසා ඒ සඳහා අපිට ඇති ඉඩකඩ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් කරුණකි. කොවිඩ් දෙවැනි රැල්ල විශාල වශයෙන් පාලනය කරගනිමින් සිටින කාලයේදි මේ පිළිබඳව අවධානය යොමු කර ඇත. ඒ අවස්ථාවේදි ඒ සඳහා උත්තේජනයක් ඇති වී තිබුණද නැවත පැතිරීමත් සමඟ එය නවතා දැමීමට කටයුතු කරන ලදි.

රටක් නැවත ගොඩනැඟීමට යම් උත්සාහයන් ගත යුතුයි. යම් කිසි හානිදායක තත්ත්වයක් වේ නම් හිතුවක්කාරී තීරණවල නොසිටිමින් සියල්ල නවතා දැමීමට රජය ක්‍රියා කළ බව අපට පෙනෙයි. යම් තීන්දු තීරණ නවතා දැමීමට මෙන්ම ඒවා නැවත සලකා බැලීමටත් ආණ්ඩුවට හැකියාව ඇත. කොවිඩ් ලෝක පරිමාණයේ වසංගතයක් වන අතර මෙහි නිමාව කවදා ද යන්න කිසිවකුට කිව නොහැකිය. කොවිඩ් සමඟ අපි යායුතු මඟ කුමක්ද යන කරුණ මනා කොට තේරුම්ගෙන ඒ අනුව ආර්ථික ක්‍රියාමාර්ග ගත යුතුය.

මේ රජය බලයට පත් කිරීම තුළ බහුතරයක් පිරිසක් බලාපොරොත්තු වූ කරුණක් නම් විනය ගරුක සමාජයක් සඳහා මැදිහත්කරුවන් අවශ්‍ය බවයි. මේ සඳහා හමුදා විනයක් සහිත පිරිස් අවශ්‍ය ස්ථානවල ස්ථානගත කළ යුතුය. රජයේ සේවයේ ද ඉතා දක්ෂ නිලධාරීන් ඇත. ඒ පිරිස්වලට වැඩ කිරීමේ අවකාශය ලබා දිය යුතුය. ඒ විෂයන් සම්බන්ධයෙන් ප්‍රාමාණික නිලධාරීන්ගේ සහාය සඳහා විනය ගරුක හමුදාමය පිරිස් යෙදවීමට කටයුතු කිරිම වරදක් නොවේ. රාජ්‍ය නීතිරීති සම්බන්ධයෙන් චක්‍ර ලේඛන සම්බන්ධයෙන් විශේෂිත අවබෝධයක් රාජ්‍ය සේවයකයන් තුළ වෙයි.

රට ගමන් කරවිය යුතු දිශානතිය සම්බන්ධයෙන් කතා කිරීමේදී අතීතයෙන් පාඩම් ගෙන අපි ඉදිරියට යා යුතුයි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සංවර්ධන සැලැසුම්, ආර්ථික දැක්ම මත පදනම් වූ ක්‍රියාකාරී සැලසුමක අවශ්‍යතාව මතු වී ඇත. වරාය නගරය සම්බන්ධයෙන් අපි මතු කරන කරුණුවලදී විපක්ෂයන් මතු කරන්නේ එහි ඉඩම් සම්බන්ධ මතවාද මත පිහිටුවා ගෙනයි.

නමුත් ආයෝජනයේ පරිමාව සමබන්ධයෙන් කිසිදු කතාබහක ලක් නොවෙයි. වරාය නගරය සම්බන්ධයෙන් රටේ කොටස් විකිණීමක්, වෙනත් රටකට ලබාදීමක් තුළින් රටේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය නැතිවීමක් ගැන කතා කරයි. ඩොලර් බිලියන පහළොවක් මෙහි ආයෝජනය වෙයි. එය මෙවැනි රටකට ඉතා වැදගත් වෙයි. එය ගොඩනැඟීමෙන් අනතුරුව එයින් ලැබෙන රැකියා, ව්‍යාපාර සහ ඒ හරහා ගොඩනැඟෙන ජාතික ආර්ථික හැකියාවන් වර්ධනය සඳහා භාවිත කරන ආකාරය, ශ්‍රම දායකත්වය රැකියා ලබා ගැනීමට සුදුසු තාක්ෂණික පුහුණුවීම් යන කරුණු පිළිබඳව තවමත් සිටින්නේ ඉතාමත් පහළ මට්ටමේ උනන්දුවකයි.

දේශීය ආර්ථිකයට ශක්තියක් වන, රුපියලේ අගය ස්ථාවර වන ආර්ථිකයක් ඇති කළ යුතුය. ඒ සඳහා ආර්ථික විශ්ලේෂකයන්ගේ සහ ආර්ථික විශේෂඥයන්ගේ දැනුම එකඟතා සහිත වැඩපිළිවෙළක් සකස් කරගත යුතුය. එවැනි ප්‍රමුඛතාව දිය යුතුව ඇති කරුණු මඟ හැරෙන්නට ඉඩ නොදිය යුතුය. එබැවින් යම්කිසි ප්‍රවේශම් සහගත ප්‍රවිෂ්ටයකට රජය යා යුතුය.

Comments