
සියලු මනුෂ්‍යයෝ සැප කැමැත්තෝ වෙති. තමන්ගේ යහපත, සතුට වෙනුවෙන් ඕනෑම දෙයක් කරන මට්ටමට අද මේ සමාජය පත්වී ඇත. අනෙක් අයගේ සතුට, යහපත වෙනුවෙන් කැපවන්නේ ඉතා අතළොස්සක් පමණි. දෝෂ නොමැතිව අපල නොමැතිව ජීවත් වීමට කවුරුත් ආශා කරති. ලස්සන නිවසක වාසය, නවීන වාහනයක් ගමන් කිරීම කාගෙත් බලාපොරොත්තුව වේ.
ආයාසයෙන් ගොඩනඟා ගත් නිවසේ ශ්‍රියාව ඇති කර ගනිමින් කරදරයකින් බාධාවකින් තොරව ජීවත්වීමට මිනිසා නොයෙක් ක්‍රම භාවිතා කරයි. වත්පිළිවෙත්ද අනුගමනය කරයි. සියලු පිළිවෙත් අභිභවා ශක්තිය ශාන්තිය ලැබිය හැක්කේ බොදු පිළිවෙත් හා වාස්තු පිළිවෙත් ඉටු කර ගැනීමෙනි. ඔබ අප සියලු දෙනා ජීවත් වන්නේ ඉර හඳට යටත්ව බැවින් ඒ අනුව ද කළ හැකි ඉතා වටිනා පිළිවෙත් රැසක් ඇත.
එහිදී සූර්ය පිරිත, චන්ද්‍ර පිරිත ඒ සඳහා ඔබට භාවිත කළ හැකිය. (එහි පිළිවෙත් පහතින් සඳහන් කර ඇත)
දෝෂ දුර කර ගැනීමේ වැදගත් ශාන්ති කර්මයක් වන දෙහි කැපීම සඳහා දෙහි බිහි වූ ආකාරය ගැන පාරම්පරික ශාස්ත්‍රවල දක්වා ඇත.
එවන් එක් කතාවක් මෙලෙස දැක්විය හැකිය. ඒ ජනප්‍රවාදය අනුව දෙහි, දොඩම්, නාරං, ජමනාරං, සිදරං වැනි පැඟිරි කුලයට අයත් මෙම ඵල එකම ගසක හටගත් ඒවා බව පුරාණ පොත පතෙහි සඳහන් වේ.
එකම ගසක සතර අතට විහිදී ගිය අතුවල වෙන වෙනම හටගත් විවිධ ඵල පැඟිරි කුලයක් බවත් සඳහන් වේ. අප සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වන අවස්ථාවේ දස මාර සෙනඟ සමඟ පැමිණි වසවර්ති මාරයා මහ හඬින් ඝෝෂා කොට දොස් නඟන කළ මුඛයෙන් විසිරුණු කෙළ බිඳු වලින් පොළවට වැටුණ බිඳුවකින් දෙහි ගස හටගත් බවත් එය දොස, දෙසි, දෙහි වශයෙන් පැවත ආ බවත් කියවේ. මේ එක කතාවක් පමණි.
පහතරට ශාන්තිකර්ම ඉතිහාසයේදී දෙහි උපත පිළිබඳව තවත් කථාවක් ඇත. එය මැණික්පාල ශාන්තිය හා බැඳේ.
ඒ අනුව මැණික්පාල නම් බිසවක වසවර්ති මාරයා කළ ශාපයක් නිසා හට ගත් දෝෂය දුරු කිරීමට ශක්‍රයාගෙන් කළ ඉල්ලීමට අනුව විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා දඹදිව් තලයට එපිට මෙපිට කිසිදු තැනක දෙහි නැති බැවින් දෙහි සොයා කළ අධිෂ්ඨානයකට අනුව මැණිකක් ගෙන දෙරණ මත තැබූ බවත් දෙරණ පළා එ් මැණික නාගලෝකයට ගියේය. එය දුටු නා රජු ගොදුරක් බව සිතා මැණික ගිල දැමුවේය. මැණික ගොදුරු කර ගත් නා රජු කලුරිය කළ බවත් එසැණින් නාග කඳ පළාගෙන මැණික බීජය කොටගෙන දෙහි ගස උපන් බව සඳහන් වේ.
එයින් එකම කුලයට අයත් සියලු පැඟිරි වර්ග එක් එක් අතුවල ඵල හටගත් බව කියවේ. නාරං, සිදරං, කොට දිඹුලා, අත්තන, ජමනාරං, මහනාරං, දෙහි ඒ පැඟිරි ජාතීන්ට අයත්ය.
එම ඵලවලින් හට ගත් පැඟිරි වර්ග ගෙනැවිත් ජපකොට මතුරා ඉසිවරුන් විසින් කපා දොස් දුරු කොට මැණික්පාල බිසව සුවපත් වූ බව යාග සාහිත්‍යයේ හා පහතරට ශාන්ති කර්ම ඉතිහාසයේ සඳහන් වෙයි.
‘ගොදුර ලෙස මැණික නා රජ ගිලපු එදා
වැතිර සිය ගතේ රැස් විහිද ගිය එදා
සොඳුරු මෙමනු ලොව මතු උප දිනා ලෙදා
සැදුනි දෙසි ගසක් වෙන වෙන අතු විහිදා‘
මුඛෙන් එදෙසි ගස මතුවී කඳෙන් එදෙසි අතු උපනා
සැවෙන් එදෙසි පොතු මැවී ඊළඟ දෙසි කටු මැව්නා
පෙනෙන් එදෙසි කොළ ද මැවී මල්වඩම සේ මල් පිපුණා
සැෙණන් එදෙසි ගස පැළවී ගිය නයිගෙ සියො ලඟිනා
ඉදුර බලා අතු නැමිලා ජමනාරං පල ගැනිලා
ගිනිකොන නාරං මයි පල ගැනුනේ
යාම බලා අතු නැමිලා යකිනාරං පල ගැනිලා
නිරිත කොනට සිදරං පල ගැනුනේ
වරුණ බලා අතු නැමිලා අහු අත්තන පල ගැනිලා
වයඹට මහ නාරං පල ගැනුනේ
සවුම බලා අතු නැමිලා කොටදිඹුලා හට ගැනිලා
ඊසානෙට දෙහි ගැට පල ගැනුනේ
මෙසේ දීර්ඝ ඉතිහාසයක් ඇති දෙහි අනිවාර්යයෙන් සියලු නිවාසන්හි භාවිතාවට ගැනේ. ඒ ආහාරවලට මිශ්‍ර කිරීමට හා පානය කිරීමටය. ඒ සඳහා දෙහි යොදා ගන්නේ හොඳින් ඉදුණු පසුවයි. පැඟිරි ගැට කාලයේ ගත හැකි ප්‍රයෝජනය වන්නේ දෝෂ දුරු කිරීමටයි.
අලුත පීදුණු දෙහි ගසකින් දෙහි ගෙඩි 21ක් බදාදා අලුයම කථා නොකර කඩාගෙන කහ වතුරින් සෝදා පිරිසිදු වට්ටියකට බුලත් 12ක් එළා එමත සුදු මල් අතුරා ඊට උඩින් දෙහි ගැට තබා - “ඉතිපිසෝ“ ගාථාව 108 වරක් පිරිත් කර ඉන් අනතුරුව රතන සූත්‍රයේ “යං කිච්චි විත්තං ඉධ වා හුරං වා...“ යන ගාථා පාඨය 108 වරක් පිරිත් කර ගන්න. අවසානයේ “දසදිසා“ පිරිත 21 වරක් පිරිත් පුරවා එම දෙහි ගැට නිවසේ මුලු වලට දමන්න.
දෙහි 3ක් අමුමිරිස් කරල් 3ක් සමඟ කම්බියක අමුණා දොරකඩ එල්ලීම හා වාහනයේ ඉදිරිපස යට එල්ලීම ඉතා ගුණ සහිත ඇස්වහ, කටවහ වින දෝෂ දුරුවීමට අමනුෂ්‍ය දෝෂ දුරුවීමට කරනා ශාන්ති කර්මයකි. මෙය සිදුකොට මාසයකට පසුව සියලු තැන්වල තැබූ දෙහි එකතු කර ගසාගෙන යන දිය පහරකට දැමීම සිදු කළ යුතුයි.
නිවසේ ශ්‍රියාවට තවත් ශාන්ති කර්මයක් මෙලෙස දැක්විය හැකිය.
සෙනසුරාදා දිනයකදී අලුයම 4 ට පෙර ළිඳකින් 7 වරක් පෙරාගත් වතුර මැටි බඳුනකට අරගන්න.
එතුළට අමු කපුරු ස්වල්පයක්, සුදු හඳුං ටිකක්, කපුඇට 10ක් පමණ දමා දෙහි කොළ 9ක් සහිත අතු කෑල්ලක් ද දමන්න.
පිරිසිදු උස්තැනක වාඩිවී - නැඟෙනහිර බලා සූරිය පිරිතෙන් 108 වරක් අඛණ්ඩව පිරිත්කර ගන්න.
අවසානයේ “ ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ...“ ගාථාව 21 වරක් කියවන්න.
උදේ 6.30 ට ප්‍රථම සියලු කටයුතු අවසන් කරන්න. ඉන් අනතුරුව පැන් බඳුන වම් අතට ගෙන දකුණු අතින් දෙහි අත්තෙන් කලවම් කරමින් නිවසට, වත්තට, යාන වාහන වලට, ව්‍යාපාරික ස්ථානවලට, විසිරී යන අයුරින් ඉසින්න. නිවසේ සිටින අයටත් ඉසින්න. මෙය සතියකට එක වර බැගින් 3 වරක් කරන්න. නිවසේ ඇති සියලු දෝෂ දුරුවේ. බුදුගුණ බලයෙන් සියලු දෝෂ දුරු වෙයි.
නිවසේ ශ්‍රියාවට කළ හැකි තවත් ශාන්ති කර්මයක් මෙලෙස දැක්විය හැකිය.
රාහු කාලය මගහැර සෙනසුරාදා දිනයක මේ ශාන්ති කර්මය කළ හැකිය.
එහිදී ඉතා පිරිසිදුව සවස් කාලයේදී මෙම පිළිවෙත ඉටු කළ යුතුයි.
ඒ සඳහා සල්දුම්මල කුඩු, බිම් දුම්මල , වියළිපිච්ච මල්, කට්ටකුමංජල් කුඩු ග්‍රෑම් 100ක් බැගින් උපයෝගී කර ගත යුතුයි. ඊට වියළා ගත් මඟුල් කරද කොටාගත් මිටවල් දෙකක් පමණද අවශ්‍ය වේ.
ඊට අමතරව සුදු හඳුං, රත්හඳුං ග්‍රෑම් 50ක් බැගින් හීනියට කොටාගෙන ඊට දේවදාර හා සැවන්දරා ග්‍රෑම් 50ක් ද අවශ්‍ය වේ.
මේ සියල්ල වෙන වෙනම පිරිසිදු තැටියක තබා තමන් පිරිසිදු ස්ථානයක අසුන් ගෙන තෙරුවන් වැඳ චන්ද්‍ර පිරිතෙන් 108 වරක් පිරිත්කර ගන්න. අවසානයේ ‘බුද්ධෝ තිලෝක සරණේ...‘ ගාථාවත් 21 වරක් පිරිත් කරමින් සියල්ල එකට කලවම් කරන්න. පිරිසිදු බෝතලයකට අසුරා තබාගෙන උදේ - සවස නිවසට, වත්තට, යානවාහන වලට දුම් අල්ලන්න. අල පාළු දෝෂ, අමනුෂ්‍ය ප්‍රේත දෝෂ දුරුවී සෞභාග්‍ය උදාවෙයි. අනන්ත බුදුගුණ බලයෙන් ඔබ සැමට යහපතක් වේවා.