සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

 

බුධ - සිකුරු මිථුන රාශිගත වීම රටට ජනතාවට සුබවාදි වෙනසක්

 අජිත් ධර්මසිරි

 

බුධ ග්‍රහයා රාශි වළල්ලේ ප්‍රමුඛ වන්නේ ඥානයට අධිපති ග්‍රහයා ලෙසිනි. සිකුරු කලාවට සෞන්දර්යයට හා පරිසරයට බෙහෙවින්ම බලපෑම් ඇති කරන ග්‍රහ තාරක යුගලක් වෙයි. විශ්වයේ මෙවන් ග්‍රහ සම වීම් ස්වක්ෂේත්‍ර වීම් - උච්ච වීම් - නීච වීම් හා සතුරු වීම් ලෙසින් විටින් විට විවිධ හැසිරීම් රටා මිනිසාට රටට ලෝකයට බලපෑම් ඇති කරයි.

 

එහෙත් බුධ සිකුරු මැයි මස අග භාගයේ මිථුන රැසට පැමිණීම අපට බලපා තිබූ බොහෝ අසුබතා රැසක් මග හැර යාමට හැකි වන තත්ත්වයකි.

ඒ අනුව මැයි 26 වැනි දින බුධ - උදේ 08.33ට මිථුන රාශිගතව ස්වක්ෂේත්‍ර බලය පතුරවමින් ඥාන කාරත්වයේ ඉහළටම පැමිණේ. ඒ අනුව පසුගිය වකවානුවේ අප රටේ මිනිසුන් එසේ නැතිනම් මහජනතාව මෙම වසංගත කොරෝනා රෝගය හමුවේ හැසිරුණු ආකාරය ඉතා අනුවණ සහගත විය. දුර දිග නොබලා කරන සංචරණ කටයුතු උත්සව ප්‍රිය සම්භාෂණ ආදිය මෙන්ම විනෝද ගමන් අවුරුදු උත්සව නිසා යටපත්වී තිබූ කොරෝනා වසංගතය යළි හිස ඔසවන්නට පටන් ගැනුණි. ඒ බුධගේ බලහීන තාව නිසා එසේ වුවද 26 වැනි දින බුධ සිය ස්වක්ෂේත්‍ර බලය පාමින් ඉතා නැණවත් පිරිසක් සමාජයට ගෙන හැර පෑමට සමත් වන බව නම් නොඅනුමානය. ඒ අතර සිකුරු ග්‍රහයා කලාකාමි බව මෙන්ම පරිසර පිරිසිදුතාවත් ඉහළ නංවමින් මැයි 29 වැනි දින අලුයම 12.01ට මිථුන රාශිගත වීම ද අපට අපේ මානසික සංහිඳියාව එකමුතු බව එකිනෙකා අතර ආදර කරුණාව ඉතා උසස් මට්ටමකට ගෙන ඒමට සමත්වනු ඇත. ඒ අතර රවි ග්‍රහයා මැයි 14 වැනි දින රාත්‍රි 11.25ට වෘෂභ රාශියට පැමිණෙමින් සතුරු වෙමින් අගුණ සහගත විසම සහගත බලපෑම් මතු කිරීමට යොමු වුවද 26, 29 දෙදින තුළ බුධ - සිකුරු යන ග්‍රහ ද්විත්වයේ බලපෑම නිසා වඩා ශක්තිමත් වෙමින් රවිගේ අනිසි හැසිරීම් රටාව සමනය කොට නැඟී සිටීමට සමත් වීම අපට අප රටට ඉතා සුබවාදි ආරංචියක් බව නිසැකවම කිව හැක. බුධ අසුබ කාලයේ මිනිසුන් හැසිරුණු ආකාරයට අනුව අනුවණ තර්ක විතර්ක ගෙන එමින් නිරෝධායන නීති වලට පටහැනිව ක්‍රියා කළ පිරිස් පිළිබඳ ජනමාධ්‍ය තුළින් අපට හොඳ හැටි දැක ගන්නට පිළිවන් විය. එසේම සිකුරු අසුබව ග්‍රහ චක්‍රයේ හැසිරුණු ආකාරයටම මිනිසුන් තුළ අශීලාචාර ඇවතුම් පැවතුම් බාල අපරාධ කාන්තා හිංසන කටයුතු ද බහුල වෙමින් විවිධ රහස් සබඳතා රහස් වෘත්තීන් එළි බැස කටයුතු කළ ආකාරය ද අපට විටින් විට ජනමාධ්‍ය තුළින් දැක ගන්නට හැකිවිය. ඒ අවාසනාවන්ත හැසිරීම් මේ කොවිඩ් වසංගත රෝගය උත්සන්න කිරීමට වඩාත්ම හේතු සාධක විය. නමුත් සිකුරු යළි පණ ගැන්වීමෙන් බුධ හා සංයෝග වීම නිසා අපට යළි සහන් ආලෝකය ලබා ගැනීමට හැකිවනු ඇත. ඒ නිසා බුධ - සිකුරු යන ග්‍රහ යුගලේ මේ ආකර්ෂණීය සංයෝගය පිළිබඳ අප බලාපොරොත්තු ඉහළ නංවා ගනිමු.

 

Comments