සසර ගමන අවසානයි | Page 3 | සිළුමිණ

සසර ගමන අවසානයි

 

 

“මම විවාහ ජීවිතයකට කැමැති නැහැ.“

ඒ සිටු කුමරිය කීවා ය.

මවගේත් පියාගේත් මුහුණු කෝපයෙන් පිපිරිණ.

“නුඹ බුදු බණ අහලා ඔළුව නරක් කරගෙන. ඔය සිටු කුමාරයා මේ රජගහනුවර පොහොසත් ම පවුලක කෙනෙක්. ඔහොම කෙනෙක් අපට සොයාගන්නට ලැබෙන්නේ නැහැ. නුඹ ඒකට කැමැති වෙන්න ඕනෑ...“

පියා උස් හඬින් කීවේය.

ඇය පියාගේ අදහසට එකඟ වූවාය. විවාහ වූවාය.

සති කීපයක් සිය සැමියා සමඟ කල් ගෙවූ ඇය ඔහුට සිය වුවමනාව හෙළි කළාය.

“බුදුරජාණන් වහන්සේගේ දහම් ඇසූ මා කවරදා හෝ පැවිදි විය යුතු යැයි සිතුවා. ළමා කාලේ සිට ඒ වුවමනාව තිබුණා. එහෙත් මාගේ මාපියන් ඊට කැමැති වුණේ නැහැ. ඇත්තට ම විවාහ ජීවිතයකට මා එළැඹුණේ අකැමැත්තෙන්. මට පේනවා දැනෙනවා ඔබ මට හුඟක් ම ආදරේ බව. හුඟක් ම ආදරේ නම් මට මගේ වුවමනාව ඉටු කරගන්න ඉඩ දෙන්න.“

ඇය එක් රැයෙක මැදියමේ සිය සැමියාට කීවාය.

ඔහු සුසුමක් හෙළුවේය. නිහඬව ඈත අහසේ නළියන තනි තරුවක් දෙස බලා සිටියේය.

“ඔබ මොකද කියන්නේ?“ ඇය ඇසුවාය.

“ඔබේ කැමැත්ත එය නම් ඊට ඉඩ නොදී ඉන්නට මට බැහැ. විවාහ ජීවිතයට අකැමැති කෙනෙක් ඔහොම ඉන්න එකත් හොඳ දෙයක් නොවෙයි. මා ඔබේ කැමැත්තට ඉඩ දෙනවා....“

ඇය බිම වැටී සිය සැමියාට වැන්දාය.

පසුදා ඇය රජගහනුවර දේවදත්ත හිමියන්ට පක්ෂ භික්ෂුණී ආරාමයකට ගොස් පැවිදි වූවාය.

ටික දිනකට පසු ඇගේ සිරුරේ වූ වෙනස්කම් දුටු අනෙක් භික්ෂුණීහු “මැයට දරු ගැබක් පිහිටලා...“ යි දේවදත්ත හිමියන්ට දැන්වූහ.

කෝපයට පත් දේවදත්ත හිමියෝ “මේ පව්කාර භික්ෂුණිය ගේ සිවුරු ගලවා පලවා හරින්න“ යි භික්ෂුණීන්ට කීහ.

ඒ භික්ෂුණීහු මේ පුවත බුදුරජාණන් වහන්සේට දැන්වූහ.

මේ පිළිබඳව විනිශ්චය කරන මෙන් බුදුරජාණන් වහන්සේ උපාලි රහතන් වහන්සේට නියම කළහ.

උපාලි රහතන් වහන්සේ සැවැත්නුවර වැසියන් ද රජු ද විශාඛා මහ උපාසිකාව ද කැඳවා, මේ දරු ගැබ පිහිටියේ පැවිදි වීමට පෙර ද පසු ද යන්න විනිශ්චය කළහ. ඇය ගැබ් ගත්තේ පැවිදි වීමට පෙර බව ඔවුහු කී හ.

“ඇය ගේ පැවිද්ද පිරිසුදු යි“ උපාලි හිමියෝ තීන්දුව දුන්හ.

“සර්ව සාධාරණ විනිශ්චයක්“ බුදු හිමියෝ මෙය අසා සාධුකාර දුන්හ.

භික්ෂුණී ආරාමයේ දී ඇයට දරුවා ලැබිණ. වසරකට පසු කොසොල් රජතුමා ඒ දරුවා සිය මාලිගයට ගෙන ගියේය. රාජ කුමාරයකු මෙන් දරුවා වැඩිණ. කාශ්‍යප නම් වූ ඒ කුමරා ළදරු වියේ දී ම පැවිදි විය.

අලුත් පලතුරක් ලැබුණු විට බුදුරජාණන් වහන්සේ “මෙය කාශ්‍යපට දෙන්න“ යි කියති.

කාශ්‍යප හිමිවරු කීප දෙනකු සිටි හෙයින් “මොන කාශ්‍යපට දැ“යි හිමිවරු අසති.

“කුමාර කාශ්‍යපට“ යි බුදු හිමියෝ කියති. මේ නිසා මේ පොඩි හාමුදුරුවන්ට ‘කුමාර කාශ්‍යප‘ යන නම ලැබිණ. වයෝ වෘද්ධ අවස්ථාවේදී ද භාවිත වූයේ ඒ නම ම ය.

කුමාර කාශ්‍යප හිමියෝ පැවිදි වූ දා පටන් ම විදසුන් වඩන්නට වූහ. ධර්මය හදාරන්නට ද වූහ.

කය තුඹසකට සමකොට බුදු රජාණන් වහන්සේ දෙසූ ‘වම්මික සූත්‍රය‘ ඇසීමෙන් ආශ්‍රවයන්ගෙන් මිදුණු කුමාර කාශ්‍යප හිමියෝ රහත් බව ලැබූහ.

උන්වහන්සේ ජනප්‍රිය උසස් ධර්ම දේශකයෙක් වූහ.

ඒ දේශනා උපමාවලින් ද කරුණුවලින් ද පිරිණ. විචිත්‍ර කථික භික්ෂූන් අතරින් උන්වහන්සේ අග්‍ර ස්ථානය ලැබූහ. පායාසි රජුට දහම් දෙසා ඔහු බුදු සමයට ගැනීමෙන් කුමාර කාශ්‍යප රහතන් වහන්සේ මුළු දඹදිව ම ප්‍රකට වූහ.

පසු කලෙක කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ සිය උදානය මෙසේ පළ කළහ.

 

යම් සව්වකු මුනි සෙවණේ

උතුම් දහම දැනගත්තෙ ද

එය දෙසූ ඒ උතුම් මුනිඳු

අහෝ! මහා අසිරියක්ය.

ඒ දහම ද අසිරිමත් ය.

දසබල ඈ මුනි සම්පත්

අසිරිමත් ය. අසිරිමත් ය.....

අනන්ත වූ කලෙක පටන්

පස් උපදන් කඳු ලැබුවෙමි.

මේ අවසන් පස් කඳ වෙයි.

මේ අන්තිම ශරීරයයි

ඉපදුම හා මරණය දෙන

සසර ගමන අවසානයි

යළි ඉපදීමත් ඉවරයි!

 

Comments