
චාල්ස් රණතුංග
ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවගේ උතුම් උත්සවය වෙසක් උත්සවයයි. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නැකැත්වලට ප්‍රමුඛතාවය දුන් සංස්කෘතික උත්සවයකි. එහෙත් වෙසක් උත්සව ආගමික උත්සවයකි.
දුප්පත් පොහොසත් හෝ කිතුණු හින්දු හෝ කිසිදු භේදයකින් තොරව සෑම නිවසකම බුදු පහනක් හෝ බකට් එකක් දැල්වීමත්, කිසි දිනක යාචකයෙකුට හිත සතුටෙන් බත් හැන්දක් නොදුන් අය ද මෙදින විවිධ දේ පරිත්‍යාග කරමින් මහා දානපතියන් හා ත්‍යාගශීලීන් වීමත් එක අතකින් සතුටට කරුණකි. මින් නිරූපිත වන්නේ බුදුන් වහන්සේ මුළු සත්වයා කෙරෙහි දැක්වූ අපරිමිත දයාව කරුණාව මෛත්‍රිය වැනි උතුම් ගුණාංගයන්ට උපහාර පිදීමකි. මෙවර ද අනපේක්ෂිත ලෙස මාරාන්තික වෛරසය රටපුරා ව්‍යාප්ත වීම වෙසක් උත්සවය නොපැවැත්වීමට බාධාවක් වී ඇත.
අද වෙසක් තොරණහි චිත්‍ර ඇඳී ශිල්පීන් මෙන් ම විදුලි කාර්මික ශිල්පීහු ද අසරණ වී ඇත.
මහා වංශය, දීප වංශය, දාඨාවංශය හා චීන ගවේශක පාහියන්, හියුංසාන්, ඉබන් බතූතා, රොබට් නොක්ස් හා ජෝන් ඩොයිලිගේ වාර්තාවලත් ලංකාවේ වෙසක් උත්සවය ගැන වර්ණනා කොට ඇති බව වාර්තාවේ. අනුරාධපුර යුගයේදී විවිධ උත්සව අවස්ථාවන්හිදී මාර්ග දෙපස චිත්‍ර පලක හා චිත්රාවලී මඟින් බුද්ධ චරිතයේ අවස්ථා හා ඓතිහාසික සිද්ධි නිරූපණය කළ බව සඳහන් වේ. පාහියන් හිමි දුටු මෙරට උත්කර්ෂවත්ම උත්සවය වෙසක් උත්සවය බව සඳහන් කර ඇත.
ඈත අතීතයේ ධර්ම දේශනාවක් සඳහා ශාලාව සකස් කරන විට ඒ වටා ජාතික කථා සිතුවමට නගා ප්‍රදර්ශනය කළ බැව් සඳහන් වේ. එයට අමතරව ඒවා කවියෙන් හෝ විරුදු ගායනයෙන් ශබ්ද නගා කියවන අයෙක්ද විය. රබාන සංගීත භාණ්ඩය විය. විදුලි බලය නොතිබූ එකල රාත්‍රි කාලයේදී පහන් දල්වා සිතුවම්වලට ආලෝකය ලබාදුනි. බොහෝ අය දිවා කල සිතුවම් නැරඹූහ. කාලයාගේ ඇවෑමෙන් විදුලි බලය ලැබීමත් සමඟ සිතුවම් ආලෝකවත් විය.
කාලිංග දේශයේ ගුහසිව රජුගේ ඉල්ලීමක් අනුව ඔහුගේ දුවත් බෑනාත් (හේමමාලා + දන්ත කුමරු) ලක්දිවට දළදා ගෙන එන පුවත එකල අනුරාධපුරයේ මාර්ග දෙපස චිත‍්‍රාවලි මඟින් නිරූපණය වූ බව පැරණි පොතපතේ දැක්වේ. ඊට අනුව අද වෙසක් තොරණ එහි විකාශනයකි. තොරණ කාගෙන් හෝ කුලියට ගත් කලාවක් නොවේ. මුල්කාලීන තොරණවල පාරම්පරික මෝස්තර හා රටා කැටයම් බහුල වූවත් කල්යාමේදී වර්තමාන ශිල්පීන් එම සම්ප්‍රදායෙන් මිදී ඇත.
භාරතීය බෞද්ධ සංස්කෘතියේ සදාකාලික සාංචි භාරුත් ශෛලමය තොරණවලින් නිරූපණය වන්නේ අර්ධ උන්නතව නෙළුෑ බුද්ධ චරිතය හා ජාතක කථාවන්ය. කාලයාගේ ඇවෑමෙන් තාක්ෂණයේ හා චිත්‍ර කර්ම ශාස්ත්රයේ ශිල්පීය ක්‍රම විකාශනයත් සමඟ නූතන හා බටහිර පන්නයට හුරු හැඩ ඇතිව තොරණ නිර්මාණය විය.
අතීතයේ මෙරට පන්සල් පල්ලි හා වෙනත් පූජනීය ස්ථානවල උත්සවවලදී පොල් තැඹිලි වැටකේ වලූ එල්ලූ තොරණ ඉදිවිය. ඉන් සෞභාග්‍ය නිරූපණය වන බවට විශ්වාසයක් පවතී. අද අපි දකින විදුලි බුබුළු පිරුණ තොරණ බිහිවීමට පෙර සැරසිලි අතර සල් උයන් හා වෙසක් නාට්‍ය හා ටීටර් මෙන් ම රූකඩ කලාව මඟින් මහත් ආශ්වාදයක් ලබන්නට හැකි විය. වෙසක් උත්සවයේ අන් සියල්ලට වඩා ජනප්රසාදය දිනාගත්තේ තොරණයි.
වෙසක් උත්සවය හා සැරසිලි දන්සල් සඳහා කිසිදු භේදයකින් තොරව ලක්වැසි සියලු දෙනා ආධාර අනුබල දීමට උනන්දු වූයේ 1956 බුද්ධ ජයන්ති සැමරුමත් සමඟය. මේ සමඟ වූ දේශපාලන පෙරළිය ද ආගමික නව තාවයකට හේතු විය. විශාල මුදලක් වැය කොට, අලංකාර තොරණක් ඉදි කොට සතියක් පමණ ප්‍රදර්ශන කිරීමෙන් පසු හුදෙක් වෙනත් ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් නොව අසීමිත සතුට හා වගකීම මුල් කොට ගෙනය. බුද්ධ චරිතය හා ජාතක කථා තුළින් ආදර්ශයක් ලබාදී දැහැමි සහෝදරත්වය හා සමඟි සම්පන්න රටක් හැදීම අනෙක් අරමුණය.
බුදු දහම හෝ වෙනත් ආගමක් ආශ්‍රිතව මෙවැනි නිර්මාණ වෙනත් රටවල ඇති බවක් වාර්තා නොවේ. සඳකඩ පහණ, මකර තොරණ වැනි ෛචත්යාංග කලා නිර්මාණ සිංහල කලා ශිල්පියාට ආවේණික නිර්මාණ වේ. තොරණ ද එහි එක් අංගයකි. දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසු රට සන්සුන් වීමත් සමඟ 40 දශකයේදී කොළඹ මසංගස් හන්දියේ ඉසුරුදිසි බේකරිය අසල ඉඳිවූ තොරණ මෙරට මුල්ම වෙසක් තොරණ බව පැරැන්ණෝ කියති. මෙම තොරණ කථා අතර මෘතාංග, සම්බුලා, චුල්ල පදුම, තේලපත්ත, මහාසීලව, සාම, ධර්මපාල වැනි ජාතක මෙන් ම ථේර ථේරී කථාවලින් උපුටා ගත්, පටාචාරා, අංගුලිමාල, මගමානවක චරිතය වන ආදර්ශමත් කථා පොදු ජනයා අතර ජනප්‍රිය වූයේ ඩබ්ලිව්.ඒ. සිල්වාගේ නවකථා ලෙසිනි. තොරණවල සිතුවම් කෙරෙහි සිත් ඇදී ගිය සිසුහු චිත්‍ර ශිල්පය ඉගෙන ගැනීමට ද පෙලඹුණි.
තොරණ නිසාම ප්‍රසිද්ධියට පත්වූ ගමකි අත්තිඩිය. එසේ වීමට හේතු රාශියකි. 50 දශකයේ සිට ප්‍රසිද්ධියක් ඉසුලූ වසර 26 කට වැඩි කාලයක් අඛණ්ඩව ඉදි කළ අලංකාර තොරණ අද බිහි නොවෙතත් එහි අලංකාරය දන්නෝ සුළු පිරිසක් සිටී. එම්. සාර්ලිස් ගුරු කුලයේ ඔහුගේ සිසු පරපුරට අයත් ඔහුගේ සමකාලීනයෙකු වූ හෙන්රි ධර්මසේන මෙහි චිත්‍ර ශිල්පියායි. ඔහුගේ චිත්‍ර ශෛලිය සිත්ගන්නා සුලු ය. එවැනි චිත්‍ර දැකීම වර්තමාන තොරණකින් බලාපොරොත්තු විය නොහැකිය. අත්තිඩිය වටේට සියලු නගරවල එකල දර්ශනීය තොරණ ඉදිවිය.
70 දශකයේදී මෙම කලාව දියුණු කිරීමේ අදහසින් එවකට සිටි සංස්කෘතික ඇමැති කුලතිලක මහතාගේ උපදෙසින් හොඳම තොරණ තෝරා සහතික පත් හා තිළිණ ප්රදානය කිරීමක් තිබුණු බව කියැවේ. දළදා පෙරහර නිමා වීමෙන් පසු එහි ශිල්පීන්ට සහතික පත් හා තිළිණ ප්‍රදානයක් සිදුවේ. මෙවැනි ක්‍රමයක් තොරණ ඇඳි චිත්‍ර ශිල්පීන්ටත් විදුලි බුබුළින් විස්මිත නිර්මාණ කළ ශිල්පීන්ටත් අනුග්‍රහය දක්වන ක්‍රමයක් කෙරෙහි සංස්කෘත අමාත්‍යාංශයේ අවධානය යොමු වන්නේ නම් එය කලා කරුවාට දක්වන උපහාරයකි.
මේ තොරණවල කලාත්මක චිත්‍ර ඇඳි ශිල්පීන් අතර අමතක නොකළ යුතු අය ඔවුන් අතර ඇම්. නෝබට්, කේ.ජී. ටියුඩර්, ඇන්. ජිනබන්දු, විමලසේන ඩයස්, පියදාස ගොඩමාන්න, ජිනප්‍රේම බෝධාහන්දි වැනි අයත්, විදුලි ආලෝකයෙන් රටා මැවූ මොරටුව මෙලිටොන්, මහරගම ඒකනායක ඉලෙක්ට්‍රිකල්ස්, ආරියදාස, ස්ටීවන් වැනි නම් ද, තොරණ සඳහා නාට්‍යානුසාරයෙන් ගීත හා කථන වැඩසටහන් ලිවීමේ ප්‍රවීණයෙකු වූ මර්වින් සේනාරත්න අමතක නොකළ යුතු කලාකරුවන්ය. මේ අය අතුරින් අද ජීවතුන් අතර සිටින ප්‍රවීණ ශිල්පියා මොටාගෙදර වනිගරත්නය. ඔහු චිත්‍ර කලාවට මහඟු සේවයක් කළ අයෙකි.
එකල වෙසක් නාට්‍ය හා සල් උයන් සඳහා ශ්‍රමය හා ධනය කැප කළ බෞද්ධයන් අතර දෙහිවල ආයුර්වේද ඖෂධ ව්‍යාපාරික එච්.ඊ. සිරිසේන සහ පුත්‍රයා සහ වොලිස් ස්ටුඩියෝ අධිපති තුමා වෙසක් උත්සවයේ සදා සැමරූ අයයි. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා වෙසක් තොරණ සඳහා ඉතා ආශාවෙන් අනුග්‍රහය දැක්වූ අයෙකි. කොළඹ වෙළඳ ප්‍රජාවගේ ආධාර ලබාගෙන අතිවිශාල තොරණක් ඉදිකිරීමට එතුමා කටයුතු කළේය.
සිතුවමින් බුද්ධ චරිතය හා ජාතක කථා ප්‍රදර්ශනයට මෝස්තර මවන වර්ණ විදුලි බුබුළු දහස් ගණනක් යොදා ආලෝකය දෙන අඩි 50 ක් 60 ක් උසැති බැඳි තොරණ ඉදි කිරීමේ සම්ප්රදායක් උරුමව ඇත්තේ ලාංකික ශිල්පියාට පමණි. මෙය විදේශිකයන් ඉතා අගය කරන කලාවකි.
ආමිස පූජාවේ සැරසිලි අතර තොරණ මුල්තැන ගනී. ලොරිවලින්, වෙනත් විවෘත වාහනවලින් ගමින් නගරයට, කොළඹට පැමිණෙන ජනතාව අතිවිශාලය. මධ්‍යම රාත්‍රිය තෙක් වෙසක් සිරි නරඹති. දන්සලින් සංග්‍රහ විඳිති. ඔවුන් ලබන්නේ ඉමහත් ආශ්වාදයකි.
පසුකලෙක වෙසක් කලාප සඳහා රාජ්‍ය අනුග්‍රහය මෙන් ම ව්‍යාපාරික ප්‍රජාවගේ අනුග්‍රහය ලැබෙන්නට විය. මෙයට අමතරව මොහිදින් බෙග් ගායකයාගේ ‘බුද්ධං සරණං ගච්ඡාමි’ ගීතයත් අමරදේවයන්ගේ ‘පාරමිතා බල පූජිත’ ගීතයත් සැමදා ලක්ෂ වාරයක් යළි යළි ඇසෙන්නේය. උපන්නාට පසු ජාතක කථාවක් නොඇසූ අහිංසකයෝ තොරණින් එය දකින්නෝ ය.