
• ගසක එල්ලී රැය පුරා වතුරේ
• ගන අඳුරේ මීටර් සියයක් පමණ පිහිනුවා
• පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට එහා ගිය උතුම් සත්කාරයක්
රට තුළ කොරෝනා වසංගතය ද උත්සන්නව තිබියදී ගෙවුණු දින කීපයේදී කාලගුණයෙන් ද රටේ දිස්ත්‍රික්ක 10කට පමණ හානි ගෙන දුන්නේය. ඉන් ජීවිත 5ක් අහිමිව පුද්ගලයන් 48,300 දෙනකු පීඩාවට පත්වූයේ ජල ගැලීම්, නාය යෑම් සහ සුළි සුළං හේතුවෙනි.
එහිදී පුද්ගලයන් 29,603 දෙනෙකු පීඩාවට පත්වූ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔයේ සැඩ පහරින් ගම්පහ නගර සීමාව ඇතුළු බොහෝ ප්‍රදේශවලට හානි ගෙන දුන්නේය. එසේ අත්තනගලු ඔයේ සැඩ පහරට හසුවූ තවත් එක් අහිංසක ජීවිතයක් එලොව ගිහින් මෙලොව ආවේ අනූනවයෙනි. ඇය කේ. කරුණාවතී නමැති 56 හැවිරිදි අහිංසක කාන්තාවකි. කාත් කවුරුත් නොමැති කරුණාවතීට ජීවත්වීමේ වාසනාව උදා වූයේ ඇගේ ගතේ වීර්යයත් අවංක රාජකාරියට කැපවූ පොලිස් නිලධාරින් දෙදෙනකුගේ රාජකාරියත් තවත් එක් නිර්භීත පුද්ගලයකුගේ වීර ක්‍රියාවත් නිසාවෙනි.
පසුගිය 13 වැනිදා රාත්‍රියේ මුළු රටටම පාහේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවට අත්තනගලු ඔය අවට පහත් බිම් යට කරමින් ගලා ගියේ රුදුරු ජල රකුසකු විලසිනි. දූ දරුවන්ද නොමැති මීට වසර 15කට පමණ පෙරදී සැමියාද මියගොස් සිටි කරුණාවතී කාත් කවුරුවත් නොමැති අවට වැසියන්ගේ උදවු උපකාරයෙන් ජීවත්වන අහිංසක කාන්තාවකි. ඇය අතු පැලක් අටවාගෙන ජීවත්වූයේ අත්තනගල්ල නගරාසන්නයේ අත්තනගලු ඔය ඉවුරෙයි. 13 වැනිදා රාත්‍රියේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවට ඔය පිටාර ගැලීමට සැරැසෙද්දී අතු පැලේ නිදා සිටි කරුණාවතීට ඉවෙන් මෙන් සිදුවන්නට යන විනාශය තේරී තිබුණාය.
සැණින් අතු පැලෙන් එළියට ආ ඇය ගන අන්ධකාරයේම හිස හැරෙන දිසාවකට දිව යන්නට සැරසුණා පමණි. එහෙත් කිසිවක් සිතන්නටවත් නොලැබුණාය. ක්ෂණයෙන් පැමිණි ජල රකුසාට ඇගේ අතු පැලත් ඇයත් ගොදුරු වූවාය. සැඩ පහරට හසුව අතු පැලත් සමඟ පහළට ගසාගෙන යන කරුණාවතී මීටර් 100ක් පමණ දුරට ගසාගෙන ගියාය. අහෝ වාසනාවකි. මුළු පළාතම ගන අඳුරේ වුවත් ගසාගෙන යන ඇයට එක්වරම ඔයට නැමී තිබූ ගසක අත්තක් හසු වූවාය.
වයෝවෘද්ධ කාන්තාවක වුවත් වෙර වීර්යයෙන් ගසෙහි අත්තේ එල්ලී සිටි ඇය විලාප දුන්නෙ 'අනේ මාව ගසාගෙන යනවෝ... බේරගන්නට කෙනෙක් නැතිදෝ...' යනුවෙනි.
ඒ වන විට රාත්‍රී 11ටද ආසන්න වී තිබිණි. ඒ වන විට මුළු පළාතම වසාගෙන අමෝරා වර්ෂාවකි. එහෙත් ඇගේ විලාපය අසල්වැසියන්ට ඇසුණේය. ක්ෂණයෙන් අසල්වාසින් එම ස්ථානයට රොක් වුවත් ඒ කිසිවකුටත් කරුණාවතී සිටි ස්ථානයට ළඟාවිය නොහැකි තත්ත්වයක් උදාවී තිබුණේ ඔයෙහි ගැඹුරත්, අධික සැඩ පහරත් නිසාවෙනි.
එසැණින් එම ස්ථානයේ වූ අයෙක් දුරකථන ඇමැතුමක් දුන්නෙ 119 හෙවත් පොලිස් හදිසි ඇමැතුම් ඒකකයටයි. එසාණින් එම ඇමැතුම නිට්ටඹුව පොලිසියටද ලැබිණි. එසේම ඒ වන විට නිට්ටඹුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් කුමාර පිටිගලටද මෙකී අවාසනාවන්ත සිදුවීම සැලවී තිබිණි.
සැණින් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එම ස්ථානයට යොමු කළේ ඒ වන විට නිට්ටඹුව පොලිසියේ 119 යතුරුපැදියේ රාජකාරි කළ පොලිස් සැරයන් 61798 අමිත් සහ පොලිස් සැරයන් 47617 ප්‍රේමචන්ද්‍රයි. නිලධාරින් දෙදෙනා විනාඩි දහයකටත් අඩු කාලයකදී එම ස්ථානයට ගියේය. ඒ වන විටත් කිහිප දෙනෙක් එම ස්ථානයේ සිටියත් කිසිවකුටත් කිසිවක් කරකියාගත නොහැකිව ළතැවුණේය. කරුණාවතී ඔයට නැමුණු ගසෙහි අත්තෙ එල්ලී කරවටක් දක්වා ගිලුණු දියේ සිට විලාප නොනවත්වා විලාප දුන්නාය.
එම ස්ථානයේ සිටි පිරිස සමඟ පොලිස් නිලධාරින් ඇයව බේරා ගැනීමට නොයෙක් ක්‍රම සහ විධි භාවිත කළත් ඒ කිසිවකින් නිසි ප්‍රයෝජනයක් නොලැබිණි. පොලිස් නිලධාරින්ටද ඇය සිටි ස්ථානයට ළඟාවීමට නොහැකි බව ඒත්තු ගිය හෙයින් ඔවුන් දෙදෙනා දුරකථන ඇමැතුමක් ගෙන ඇමැතුවේ ඊට කිලෝමීටර් තුනක් පමණ දුරින් වූ රුග්ගහවිල ප්‍රදේශයේ සිටි පුද්ගලයකුටයි.
ඔහු නිතරම පාහේ පොලිස් නිලධාරින්ට සහාය දක්වන පිහිනීමටද උපන් හපන්කම් පෑ අයෙකි. රුග්ගහවිල, උඩුගොඩ වෙසෙන එකී පුද්ගලයා 38 හැවිරිදි එක්දරු පියෙකු වන අසංක නිරෝෂන්ය.
පොලිස් නිලධාරින්ගේ ඇමැතුමට එම ස්ථානයට නිරෝෂන් ළඟා වූයේ විදුලි වේගයෙනි. එදිනෙදා කුලියක් කරගෙන ජීවිකාව සරිකරගන්නා අසංක එම ස්ථානයට ළඟා වන විට 14 වැනිදා අලුයම තුනට පමණ ආසන්න වී තිබිණි. සිය ත්‍රාසජනක අත්දැකීම අසංක අපට කිවේ මෙලෙසිනි.
"පොලිස් මහත්තුරු දෙන්නගේ කෝල් එක එනකොට මම නිදාගෙන හිටියේ. මම එතැනට විනාඩි දහයෙන් වගේ ගියා. මං යන කොට එතැනට සීයයක විතර පිරිසක් රැස්වෙලා හිටියා... හැබැයි කිසිවකුවත් ඒ සැඩ පහරට පනින්න හැකියාවක් තිබුණේ ඒ තරමටම වතුර පාර සැරයි. කොහොමහරි ආච්චිව හිටපු තැන බඹ හතරක් පහක් වතුර. මම ගිය ගමන් වතුරට පැනලා ආච්චි හිටපු තැනට පීනුවා. මං පැන්න තැන ඉඳන් මීටර් සියයක් පමණ ඈතින් ආච්චි ගසක එල්ලිලා හිටියේ. කිසිම දෙයක් පේන්නෙ නැහැ. ආච්චි හිටපු තැනට ගිය ගමන් මම ආච්චිට කිව්වා මගේ බෙල්ලෙ එල්ලෙන්න; ඊට පස්සෙ මම ඇයව බෙල්ලෙ එල්ලාගෙන ගොඩට පීනුවා. ඒත් වැඩි දුරක් පීනන්න බැරිවුණා; ගස්වැල්වල පටළැවෙන නිසා. අන්තිමට ගොඩ හිටපු පොලිස් මහත්තුරු දෙන්නත් සමඟ සියලු දෙනා එක්වෙලා ලණුවක් දාලා ටයරයක් දාලායි ආච්චිව ගොඩට ගත්තේ. ඒ වන විට වේලාව පාන්දර පහට විතර ඇති. ඇත්තටම ඒ ආච්චි අම්මව බේරගත්තු එක අපි කරගත්තු ලොකු පිනක්. ඒ වගේම පොලිස් මහත්තුරු දෙන්නට මාව මතක් වෙලා මට කතා කළ නිසා ආච්චිගේ ජීවිතය ඒ විදියට බේරගන්න හැකිවුණේ."
අසංකගේ නිර්භීත ක්‍රියාව නිසාවෙන් සීරිම් තුවාල කිහිපයක් පමණක් සහිතව දිවි බේරා ගැනීමට කරුණාවතීට හැකියාව ලැබුණේ පූරුවේ පිනකටය. එසේ නොමැති වූවා නම් මෙදා ගංවතුරෙන් දිවි අහිමි වූ තවත් එක් චරිතයක් ලෙස කරුණාවතීද ඉතිහාසයට එක්වනු නොඅනුමානය. කරුණාවතීගේ සීරිම් තුවාල නිසාවෙන් පොලිස් නිලධාරින් දෙදෙනා විසින් ඇයව වතුපිටිවලට රෝහලට රැගෙන යාමටද කටයුතු කළාය. ඒ වන විට පාන්දර වී තිබිණි. නිරපරාදේ රුදුරු ජල රකුසාට ගොදුරු වන්නට ගිය කරුණාවතීට ජීවත්වීමේ වාසනාව උදා වූයේ පොලිස් නිලධාරින් දෙදෙනාගේ නුවණැති රාජකාරිය නිසාය. මේ රාජකාරියට එහා ගිය උතුම් කර්තව්‍යයට උර දුන් නිලධාරියෙක් වන පොලිස් සැරයන් ප්‍රේමචන්ද්‍ර අපට කී කතාවයි.
"ඇත්තටම අපි ඉක්මනටම එතැනට යොමු කළේ අපේ එච්කිව්අයි මහත්තයා. ඒ කාන්තාව විලාප දුන්නු විදිහට මොන ක්‍රමයකින් හරි බේරගන්න ඕනැ වුණා. ඒ තරම් සංවේදී සිද්ධියකටයි අපි මුහුණ දුන්නේ. ලොකුම ප්‍රශ්නය වුණේ ගන අඳුර. ඔයේ සැඩ පහරට අලියෙක් වුණත් ගහගෙන යනවා.... ඒ තරම් වතුර පාර සැරයි. අපේ ළඟ තිබුණ චෝට් එළිවලින් තමයි එළිය දුන්නෙ... අපේ කෝල් එක සැණින්ම අසංක ආවා. ඒ වගේම අසංක කළේ මහා විර ක්‍රියාවක්."
වතුපිටිවල රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලැබු කරුණාවතී පසුව ඉන් පිටව ගොස් තිබුණාය. මේ වන විට ඇගේ අතු පැලද සැඩ පහරට හසුව කඩාගෙන ගොස් ඇති හෙයින් ඇය රෝහලෙන් පිටව ගිය ඉසව්වක් කිසිවෙක් නොදනී. ඇතැම් විටෙක ඇගේ ඥාති හිතෛෂියකු හෝ වෙනත් උදවු උපකාර කරන අයකු ඇයට සත්කාර කිරීමට ඉදිරිපත් වූවාද නොදනී.
ජීවිතයත්, මරණයත් අතර සටනක නිරත වූ කරුණාවතීට තවත් කාලයක් ජීවත්වීමට වාසනාව උදා කළ එකී පිරිසට සැවොමගේ ප්‍රණාමය හිමිවිය යුතුමය.