පාස්කු ප්‍රහාරකයන්ට නීතිය ප්‍රමාද වීමේ රහස | Page 2 | සිළුමිණ

පාස්කු ප්‍රහාරකයන්ට නීතිය ප්‍රමාද වීමේ රහස

ම සේවා කාලය තුළ දී පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට නඩු පැවරිය නොහැකි බවට නීතිපති දප්පුල ද ලිවේරා විසින් පසුගියදා සිදු කළ ප්‍රකාශය නිසා පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන් අතර මෙන්ම සමාජයේද දැඩි කතාබහක් ඇති විය. නීතිපතිවරයා එහිදී ප්‍රකාශ කර සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිසි පරිදි සම්පූර්ණ කර ලිපි ගොනු ලබා නොදුන් නිසා එම තත්ත්වය මතුව ඇති බවයි.

ඒ සම්බන්ධ වාර්තාවක් සපයා දෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා එල්ල වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුම් දීම් ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධව නඩු පැවරීමට නොහැකි තත්ත්වයක් ඇති වූයේ ඇයි?

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන් විසින් පත් කළ ‘පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව‘ විසින් ලබා දුන් වාර්තා පිටපත් නීතිපතිවරයාට ලබා දීම සිදු කෙරුණු බවද වාර්තා විය.

විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් සෑහීමකට පත්නොවී ඒ වෙනුවෙන් ජනාධිපති කොමිසමක් පත් කිරීම හරහා ප්‍රහාරය පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු කෙරීමට කටයුතු යෙදිණි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති කාර්යාලයේ දී කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ට බාර දෙන ලදී.

මෙම වාර්තාවේ පළමු අතුරු වාර්තාව 2019 දෙසැම්බර් 20 සහ දෙවන අතුරු වාර්තාව 2020 මාර්තු මස 02 දිනවල ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන් විසින් කොමිසම පත් කරන ලද්දේ 2019 සැප්තැම්බර් 22 වැනිදා ය.

කොමිසම දින 214ක කාලයක් 457 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගන්නා ලදි. ඒ අතර ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ රජය නියෝජනය කළ මැති ඇමැතිවරුන් මෙන්ම වත්මන් ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන්ද ආරක්ෂක සේවාවන්ට අයත් පිරිස් මෙන්ම අගතියට පත් පාර්ශ්වයන් හා මාධ්‍යවේදීහු කිහිප දෙනෙක්ද සාක්ෂි ලබා දුන්හ.

සම්පූර්ණ වාර්තාව පිටු 472කින් මෙන්ම ඇමුණුම් 215කින් සහ වෙළුම් 6කින් සමන්විත විය.

‘පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාවේ‘ සහ ‘පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ‘ සඳහන් පරිදි ප්‍රහාර මාලාව පිළිබඳ සංක්ෂිප්තයක් අපට මෙසේ ගොනු කළ හැකිය.

අදාළ වාර්තාවනට අනුව 2019 අප්‍රේල් මස 04 වැනිදා රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වෙත 'WhatsApp' හරහා ප්‍රහාරය සඳහා පළමු පණිවුඩය ලැබී ඇත. ඒ හා සමාන තොරතුරක් ඔහුට පසු දින ලිඛිතව ලැබී තිබේ. ඔහු එම තොරතුර අප්‍රේල් 07 වැනිදා ම ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් වෙත ලබා දී ඇත.

පසු දින එනම් අප්‍රේල් 8 වැනිදා ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් එම ලිපිය එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරට යොමු කර ඇත.

පොලිස්පතිවරයා විසින් එම ලිපිය පසුදිනම එනම් අප්‍රේල් 9 වැනිදා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, අපරාධ, සංවිධානාත්මක අපරාධ, පොලිස් මත්ද්‍රව්‍ය කොට්ඨාස සහ විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් , විශේෂ ආරක්ෂක දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක හා ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර වෙත යොමු කර ඇත.

ඒ වන විට කාත්තන්කුඩියේ සහරාන්ගේ ක්‍රියාකාරකම් ගැන බුද්ධි අංශ වෙත වාර්තා වී තිබූ නිසා සහරාන් සහ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස් ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා විසින් 10 වැනිදා උපදෙස් ලබා දුන් බවක් ද වාර්තා වේ සඳහන්ය. කොමිසමට ලද වාර්තාවට අනුව දැනගන්නට ඇත්තේ 11 වැනිදා මේ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාද දැනුවත් කර ඇති බවයි.

මේ අතර 16 වැනිදා කාත්තන්කුඩි ප්‍රදේශයේ දැඩි වර්ෂාව මධ්‍යයේ දුරස්ථ පාලකයක් මඟින් යතුරු පැදියක් පුපුරුවා හැරීමක් පිළිබඳව ආරක්ෂක අංශ විසින් දැනුවත් කර තිබුණි.

ඒ ඔස්සේ තොරතුරු සොයා බැලූ බුද්ධි විසින් අංශ එම යතුරු පැදිය පුපුරුවා හැරීම සහරාන් හෂීම් විසින් සිදු කරන්නට යෝජිත යම් විනාශකාරී ක්‍රියාවක පෙරහුරුවක් බව පොලිස්පතිවරයාට දන්වා යවා ඇත.

අප්‍රේල් 19 වැනිදා රාජ්‍ය බුද්ධි සේවය විසින් හමුදා බුද්ධි අංශ වෙත එම බුද්ධි තොරතුරු දන්වා ඇත. රාජ්‍ය බුද්ධි සේවය විසින් බුද්ධි තොරතුරු පිළිබඳ හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා දැනුවත් කරනු ලබන පළමු අවස්ථාව එයයි.

පොලිස්පතිවරයා හා නිලන්ත ජයවර්ධන අතර එදින දුරකථන සංවාදයක්ද මේ පිළිබඳව හුවමාරු වී තිබේ.

අදාළ වාර්තාවන්ට අනුව හෙළිව ඇත්තේ අප්‍රේල් 20 වැනිදා රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර අමතා පසුදින භයානක සිදුවීමක් විය හැකි බවයි.

පොලිස්පතිවරයා එය පළාත් 9 හි හා අනෙකුත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දන්වා තිබේ. එසේම ආරක්ෂක ලේකම්වරයාටද එම තොරතුරු එදිනම රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී විසින් යොමු කර තිබේ.

පසුදින එනම් ප්‍රහාරය එල්ල වූ අප්‍රේල් 21 වැනිදා පෙරවරු 6.45ට පමණද ප්‍රහාරය ගැන නැවත දැනුවත් වීමක් ලැබී ඇත.

එසේ තිබියදී ප්‍රහාරය එල්ල වන තුරුම තොරතුරු එහාට මෙහාට හුවමාරු වූවා මිස ඒ සඳහා නිසි විසඳුමක් ලබා දී නොතිබුණි. ප්‍රහාරයෙන් ටික දිනකට පසුව ආරක්ෂක ලේකම්වරයා වූ හේමසිරි ප්‍රනාන්දු මාධ්‍යයට පවසා සිටියේ යම් සිදුවීමක් වන බවට තොරතුරු ලැබී තිබුණු නමුත් මෙතරම් බරපතළ ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි බලාපොරොත්තු නොවූ බවයි.

ඉන්දීය රෝ ඔත්තු සේවය හරහා අවශ්‍ය තරම් තොරතුරු ප්‍රහාරයට පෙර ලැබී තිබුණු බවටත් මෙරට අයිඑස්අයිඑස් සංවිධානයේ ක්‍රියාකාරීන් සිටි බවත්, එහෙත් ඒ සම්බන්ධව දැනුම්වත් කිරීම් හමුවේ පවා නිසි ක්‍රියාමාර්ග නොගත් බවට කොමිසම හමුවේ තොරතුරු අනාවරණය වී තිබේ.

එවන් පසුබිමක් තුළ කොමිසම් සභා වාර්තාවන් වලින් පසුව අදාළ ලිපි ගොනු නීතිපතිවරයාට යොමු කරන ලද්දේ මීට මාස 3කට අධික කාලයකට පෙරය. එහිදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් පැහැදිලිව පැවසුවේ විභාග කළ කරුණු අනුව මෙම ප්‍රහාරය එල්ල කෙළේ සහරාන් හෂීම් විසින් වුවත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හා ප්‍රහාරයට සම්බන්ධ වූවන් 273කට නඩු පැවරෙන බවයි.

ඒ අනුව ප්‍රහාරය එල්ල කර මිනීමැරීම හා ඊට කුමන්ත්‍රණය කිරීම වෙනුවෙන් පුද්ගලයන් 32කට හා ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනා රැසක් යටතේ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මෙන්ම ඇප පිට නිදහස්ව සිටින හා වෙනත් චූදිතයන් 241කට නඩු පැවරෙන බවයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් 754 දෙනකු අත්අඩංගුවට ගත් නමුත් සාක්ෂි නොමැතිවීම හා ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු වාර්තා නොවීම නිසා සෙසු පුද්ගලයින් නිදහස් කර ඇත.

ඒ සියලු වාර්තා ඇතුළුව අදාළ ලිපි ගොනු වරින් වර 87ක් යොමු කළ අතර ඇතැම් ඒවා අසම්පූර්ණ බව පවසා ඔහු ආපසු යවා තිබුණි.

ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්දුය්දීන් හා ඔහුගේ සොහොයුරු රියාද් ද අත් අඩංගුවට ගෙන මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටින්නේ ඔවුන් මේ ප්‍රහාරය පිටුපස සිටි චරිත බවට සමාජයෙන් එල්ල වූ චෝදනා නිසාය.

දැන් අපට මතුව ඇති ප්‍රශ්නය වන්නේ නීතිපතිවරයා විසින් තම සේවා කාලය තුළ ප්‍රහාරයට සම්බන්ධ අයට නඩු පැවරීමට නොහැකි තත්ත්වයක් තිබෙන බවට එක්වරම ප්‍රකාශ කිරීමයි.

එසේම ඔහු තවත් හෙළිදරව්වක් පසුගිය සඳුදා හෙළි කෙළේය. 

ඔහු පැවසුවේ පාස්කු ප්‍රහාරය එල්ල වන වේලාව හා දිනය නිසි ලෙසින් පවසා තිබීම දෙස බැලීමෙන් පෙනී යන්නේ මෙය දැවැන්ත සැලැසුම් සහගත කුමන්ත්‍රණයක් බවයි. මෙම ප්‍රහාරයේ මහ මොළකරු ලෙසින් හඳුන්වන නවුෆර් මෞලවි හා ප්‍රධාන වගකිවයුත්තා වන මියගිය සහරාන් වුවද සහරාන් එක් අයකු පමණක් බවයි.

එසේම මේ ප්‍රහාරය සම්බන්ධ විදේශීය නිලධාරීන් සම්බන්ධ වූවාද ඔවුන් කවුරුන්ද යන්න සඳහා සාක්ෂි නොමැති බවයි. එමෙන්ම ඔවුන් කවුරුන්ද යන්න කිසිදිනක දැනගන්නට නොලැබෙන්නටද ඉඩ ඇති බවටද ඔහු අනාවරණයක් කෙළේය.

මෙතරම් කරුණු නීතිපතිවරයා දැනගෙන තිබියදීත්, අදාළ වාර්තා ලිපි ගොනු මේ වන විට ඔහුට ලබා දී තිබියදීත්, එහි නීතිමය පියවර තමා සේවා කාලය තුළ සිදු කරන්නට නොහැකි බව ඔහු පැවසුවේ විශ්‍රාම යන්නට සතියකට දෙකකට පමණ පෙරදීය.

එහි අරුත කුමක්ද යන්න අපැහැදිලි නමුත් ඔහුට ඒ බව මාධ්‍යයට දැනුම් දීමට පෙර විෂයබාර ඇමැතිවරයාට හෝ අදාළ අංශ වෙත දැනුම් දීමට තිබුණි. මාධ්‍යවලට දැනුම් දීමෙන් සිදු වන්නේ අගතියට පත් පාර්ශ්යවයන් තවත් කලකිරීම පමණි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඝාතන හා කුමන්ත්‍රණ කළ පුද්ගලයන් 32 දෙනකු පිළිබද දීර්ඝ ලෙස හඳුන්වා දී තිබියදීත් අවම වශයෙන් එක් අයෙක් හෝ දෙදෙනෙක් හෝ නීතිය හමුවට ගෙන ඒමට නීතිපතිවරයාට නොහැකි වීම තුළ අපට ඇත්තේ බලවත් කුතුහලයකි.

එය හරියට නොකෙරෙන වෙදකටම කෝදුරු තෙල් හත් පට්ටයේ ඉතිරි ටික සොයා ගැනීම වැනි කරුණකි. එහි ඇත්ත එළිවන විට නීතිපතිවරයා විශ්‍රාම ගොස් තිබෙනු ඇත.

Comments