
- ගෙවුණු වසරේ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 661ක්.
- තෙල් ටොන් 01ක් සෑදීමට කොප්පරා කිලෝ 1,600-1,700 ක්
- පොල්තෙල් කර්මාන්තකරුවන් ආරක්ෂා කරනවා
- ඉදිරියේදි පිරිසුදු පොල්තෙල් සාධාරණ මිලකට
ශ්‍රී ලංකාවට ආනයනය කරන ආහාර ද්‍රව්‍ය බොහෝමයක ඇෆ්ලටොක්සීන් (Aflatoxin)වැනි පිළිකාකාරක ඇතුළු ශරීරයට අහිතකර රසායනික අඩංගු වී ඇති බවත්, පොල්තෙල් ආනයනය කරන සමාගම් කිහිපයක් මෙරට තුළ ක්‍රියාත්මකවන නමුත්, ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය හිමිව ඇත්තේ ඉන් එක් සමාගමකට පමණක් බවත්, ඒ සමාගම ගෙන්වන පොල්තෙල් සම්පූර්ණයෙන් ශරීරයට හිතකර බව වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සිද්ධිකා සේනාරත්න පසුගිය දිනක පැවසීම ආන්දෝලනයකට තුඩු දුන් කරුණක් විය.
අතීතයේ පොල් ත්‍රිකෝණය ලෙස හැඳින්වූ කොළඹ, කුරුණෑගල, හලාවත පොල් වගා භූමි පැවති සමයේ අපට අවශ්‍ය පොල් ප්‍රමාණය මෙරට නිෂ්පාදනය වූ අතර පසුකාලීනව සශ්‍රීක තැනිතලා භූමි ලෙස පැවති පොල් ඉඩම් සංවර්ධන කටයුතුවලට යොදා ගැනීමත්, ක්‍රමයෙන් ඉහළ නැඟි ජනඝනත්වයට සාපේක්ෂව ඉඩම් අවශ්‍යතාවය ඇති වීමත්, මංමාවත් ඉදිකිරීම, ගස්වල කාලය ඉකුත් වීම සහ කාලගුණික විපර්යාස ආදී හේතු නිසා පසුව පොල් වගාව අඩු විය. එනිසා අවශ්‍යතාවයට සරිලන පොල් මෙරටට ප්‍රමාණවත් නොවීය.
අක්කර දස ලක්ෂයකට වැඩි පොල් ඉඩම්වලින් වසරකට පොල් ගෙඩි මිලියන 2800 ත් 3000 ත් අතර ප්‍රමාණයක් ලැබෙන අතර, ඉන් මිලියන 1800 පමණ (තුනෙන් දෙකක ප්‍රමාණයක්) එදිනෙදා ආහාරය සඳහා යොදා ගනී. මින් තුනෙන් එකක ප්‍රමාණයක් දේශීය කර්මාන්ත සඳහා ලබා දෙයි. පිටරටවලට යවනු ලබන ආහාරමය පොල් ආශ්‍රිත නිෂ්පාදන 40 ක් පමණ ඇති අතර(පොල් කිරි, කිරි පිටි, ක්‍රීම්, නැවුම් තෙල්), ඒ සඳහා පොල් ගෙඩි මිලියන 3600 පමණ අවශ්‍ය වේ. ඒ අනුව මිලියන 700-800ක පමණ ප්‍රමාණයක් විදේශයෙන් ගෙන්වීමට අවශ්‍ය බව පොල් සංවර්ධන අධිකාරියේ සැපයුම් සංවර්ධන අධ්‍යක්ෂ පියසේන එදිරිමාන්න පවසයි.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින පොල් සංවර්ධන අධිකාරිය මඟින් පොල් ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනයටත්, පොල් වගා කිරීමේ මණ්ඩලය පොල් වගාව පවත්වාගෙන යෑම සඳහත් කටයුතු කරන අතර, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ ඒ ආශ්‍රිත පර්යේෂණ කටයුතු සිදු කිරීම පොල් පර්යේෂණ ආයතනය මඟින් සිදු කරයි. මේ ආයතන ත්‍රිත්වය ඒකාබද්ධව කටයුතු කිරීම මඟින් යම්කිසි ස්ථාවරත්වයක් මෙම ක්ෂේත්‍රය තුළ පවත්වාගෙන යාමට හැකි වී ඇත.
වාර්ෂිකව රටේ පාරිභෝජනය සඳහා (ආහාරයට ගැනීම සහ පොල්තෙල් නිපදවීම සහ කර්මාන්ත) මෙට්‍රික් ටොන් 180,000ක් පමණ අවශ්‍ය වුවද, පොල් සංවර්ධන අධිකාරිය ලබාදෙන්නේ මින් 25% පමණ ප්‍රතිශතයකි. ඉතිරිය පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා ලබාදේ. මෙරට පරිභෝජනයට අවශ්‍ය ඉතිරි 75% හිඩස පියවීම සඳහා අවශ්‍ය තෙල් ආදේශක විවිධ නම්වලින් මෙරටට පැමිණේ. මෙහිදි ගෙන්වනු ලැබූ ලාභදායිීම තෙල් වර්ගය වූයේ ෆාම් ඔයිල්ය.
අප විදේශීය විනිමය උපයාගන්නා එක් මාර්ගයක් වන්නේ පොල් ආශ්‍රිත නිෂ්පාදනය. එලෙස පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් පසු ගෙවී ගිය වසර තුළ ඩොලර් මිලියන 661ක් උපයා ගැනීමට අපට හැකි විය. එලෙස උපයාගත් මුදල මෙරට වටිනාකමින් රුපියල් බිලියන 125 කි.
පොල් ගෙඩියක් අප සාමාන්‍ය මිලකට ගෙන පොල්තෙල් බවට පත් කර ලැබෙන අගය රුපියල් 25 - 30 ක් පමණ වන අතර එය ඉතා අඩු ආදායමකි. නමුත් එමඟින් පොල් කිරි, පිටි වැනි දෑ නිෂ්පාදනයක් කළහොත් රුපියල් 100 - 110 වැනි ඉහළ මිලක් ලැබේ. ඒ අනුව පොල් කිරි පිටි සහ කිරි වශයෙන් නිෂ්පාදනය කළහොත් ලැබෙන ලාභාංශය පොල්තෙල් බවට පත් කර ලැබෙන ලාභාංශයට වඩා වැඩිය.
එනිසා බොහෝ දෙනා වෙළෙඳ පොළට පොල් නිකුත් කිරීමට වඩා මෙවැනි කර්මාන්ත සඳහා පොල් සැපයීමට වැඩි රුචියක් දක්වති. ඒ නිසා පොල්තෙල් නිෂ්පාදනයට සහ පොල් ගෙඩි වශයෙන් වෙළෙඳ පොළට ලැබෙන්නේ අවම වශයෙනි.
සාමාන්‍යයෙන් දේශීය පාරිභෝජනය සඳහා මසකට අවශ්‍ය පොල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 15000-17000 ත් (180,000 12න් බෙදුවිට) අතර ප්‍රමාණයකි. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය 50% පමණ (පොල්තෙල් ටොන් 7500ක් සැකසීමට) ගෙන්වීමට පිටරටින් බලාපොරොත්තුවේ. ඒ අනුව කොප්පරා මෙට්‍රික්ටොන් 13000ක්ද ගෙන්වීමටද බලාපොරොත්තුවේ. සාමාන්‍යයෙන් තෙල් ටොන් 01ක් සෑදීමට කොප්පරා කිලෝ 1600-1700 පමණ අවශ්‍ය වේ. ඒ සඳහා සාධාරණ මිලකට වියට්නාමය, ඉන්දුනීසියාව, පිලිපීනය වැනි රටවලින් පොල් ගෙන්වීමට සැලසුම් කර තිබේ. මීට අමතරව තිබෙන පොල්ගස් සරු කිරීමටත්, නව පොල් ප්‍රභේද හඳුන්වාදීම සහ නව බීජ රෝපණය කිරීමටත් පියවරගෙන තිබේ. දිගුකාලීන විසඳුම ලෙස නව වගා බිම් ඇති කිරීම මඟින් පරිභෝජනයට මෙන්ම විදේශ වෙළඳ පොළ රැක ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමට අපේක්ෂා කරන බව අධ්‍යක්ෂ පියසේන එදිරිමාන්න පවසයි.
ඇෆ්ලටොක්සීන් (Aflatoxin) වැනි විස කාරක පොල්තෙල්වල අඩංගු බව හෙළි වූයේ නියාමනය නිසි පරිදි සිදුවීම හේතුවෙනි. මෙවැනි දෑ වාර්තා වීම මීට ප්‍රථමවද සිදුව තිබේ.
ආසන්න වශයෙන් පසුගිය 2018-2019 වසරවලද මේ ආකාරයේ පරිභෝජනයට අහිතකර දෑ අඩංගු පොල්තෙල් සහ ආහාර වර්ග මෙරටට පැමිණි අතර ඒවා ප්‍රති අපනයනය කිරීමට පියවර ගත්හ. ඒ අනුව ඇෆ්ලටොක්සීන් අඩංගු පිළිකාකාරක පොල්තෙල් මෙට්‍රික්ටොන් 105 මැලේසියාවට ප්‍රතිඅපනයනය කිරීමට පසුගියදා රජය කටයුතු කළේය.
මේ අතර දේශීය පොල්තෙල් කර්මාන්තය සහ දේශීය පොල්තෙල් සන්නාමය ආරක්ෂා කළ යුතු බවත්, ඒ වෙනුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්තකරුවන් ආරක්ෂා කළ යුතු බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
පසුගිය රජය විසින් ආනයනික ආදේශක පොල්තෙල් සහ දේශීය පොල්තෙල් කලවම් කර ලබාදීමට බලය ලබාදී තිබූ 2016/10/07 වන දිනැති සහ අංක 1987/51 දරන ගැසට් පත්‍රය අවලංගු කිරීමට අදාළ අංශවලට දැනුම්දීමට අමාත්‍යවරයා කටයුතු කළේය.
මේ වනවිට භාවිතයට ගන්නා පොල්තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බව සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය 07 වැනි දා නිකුත් කර තිබේ. ඒ පොල් තෙල් ආනයනකරුවන්, පිරිපහදු කරන්නන්, නිෂ්පාදකයන්, තොග රැස්කර තබා ගන්නන්, ඇසුරු කරන්නන් සහ බෙදාහරින්නන්ටය.
දේශීය පොල්තෙල් කර්මාන්තකරුවන්ට පොල්තෙල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නොමැති කමින් කර්මාන්තශාලා බොහෝමයක් මේ වනවිට වසා දමා ඇති අතර, ඔවුන්ට ඒ සඳහා ලබාගත් බැංකු ණය පියවා ගැනීමට නොහැකි වී ඇත.
මේ නිසා කඩා වැටී තිබෙන දේශීය පොල්තෙල් කර්මාන්තය නගාසිටුවීම සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන අමුද්‍රව්‍ය (කුරුට්ට සහිත කැබලි කරන ලද වියළි පොල්මද) සුදුසු රටකින් ආනයනය කළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශගේ අදහසය.
ඒ අනුව විශේෂ කැබිනට් පත්‍රිකාවක් මඟින් පොල් කර්මාන්තයේ තත්ත්වය පැහැදිලි කළ අමාත්‍යවරයා, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන අයට මේ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකසන ලෙසද පැවැසීය.
එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය කර්මාන්තයට අවශ්‍ය කුරුට්ට සහිත කැබලි කරන ලද වියළි පොල් මද මෙට්‍රික්ටොන් 39,000ක් මූලික වටයේ අවශ්‍යතාවය ලෙස හඳුනාගෙන එම ප්‍රමාණය බී.සී.සී. ආයතනය මඟින් ආනයනය කර දේශීය කර්මාන්කරුවන් අතර බෙදාහැරීම සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් ලබාගත්තේය. මෙම ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත.
මෙනිසා ඉදිරියේදී පාරිභෝගිකයන් සඳහා සෞඛ්‍යාරක්ෂිත පොල්තෙල් නොවෙනස් මිලකට ලබාදීමට හැකිවනු ඇති බව කර්මාන්තකරුවන්ගේ මතයයි.