බුද්ධගයා වෙසක් මහෝත්සවය ගැන අසිරිමත් මතකයක් | Page 2 | සිළුමිණ

බුද්ධගයා වෙසක් මහෝත්සවය ගැන අසිරිමත් මතකයක්

සුගිය ශතවර්ෂය තුළ බෞද්ධ ලෝකයේ පැවති විශාලතම වෙසක් උත්සවය පැවැත් වූයේ 1956 වර්ෂයට යෙදුණු බුද්ධ ජයන්තිය වෙනුවෙනි. මේ සඳහා වර්ෂය පුරා බෞද්ධ රටවල විවිධ උත්සව සංවිධානය කෙරුණි. ඒ් අතරින්ත ප්‍රධානතම උත්සවය පැවතියේ වෙසක් දින යෙදුණු මැයි 23වැනිදා ඉන්දියාවේ බුද්ධගයාවේය. මෙම දිනය සැමරීම වෙනුවෙන් ඉන්දියාවට ගොස් තාවකාලික පැවිද්ද ලැබූ සිංහල තරුණයකුගේ අපූරු දිනසටහනක් මේ ලිපියට මූලාශ්‍රය විය.

මීට වසර හැට පහකට පෙර මෙම පුණ්‍ය කර්මය කරනු ලැබූගේ එවකට 27හැවිරිදි අවිවාහක තරුණයකු වූ මා පියාණන් විසිනි. නුවරඑළිගේ රාජ්‍ය ලේඛනාගාරගේ සේවය කරමින් සිටි බණ්ඩාර මනතුංග නම් වූ ඔහු මාස තුනක කාලයකට වැටුප් රහිත නිවාඩු ලබා ඉන්දියාවට ගොස් ග‌ෙම් පුණ්‍ය කර්මයට දායක වී ඇත. මේ සඳහා ඔහු දිවයිනෙන් පිටත් ව ඇත්තේ 1956 මාර්තු 30 වෙනිදාය. එදින රත්මලානෙන් උදේ පිටත් වූ “එයාර් සිලෝන් ”යානයෙන් යාපනය හරහා මදුරාසියට ගිය ඔහු මදුරාසියේ මහාබෝධි මන්දිරයේ නවාතැන්ත ගෙන ඇත. එම දිනවල උතරු ඉන‍්දියාව “ගිනිගගන දැවෙන අපායක්” ලෙස එහි සිටි අය 'මවා පෙන්නුව ද, තම අභිමතාර්ථය ඉටුකර ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුක්ත වූ ඔහු ඉන් අධෛර්යයට පත් වී නැත. මදුරාසියේ සිට අප්‍රේල් 2වැනිදා “ එයාර් ඉන්ඩියා ”ගුවන් යානයෙන් කල්කටාවට ගිය ඔහු කල්කටාවේ මහා බෝධි මන්දිරයේ නතර වී ඇත. ඒහි සිටි දින කීපයේදී බටහිර බෙංගාලගේ මහ ඇමතිවරයා ද, හිරගෙවල් බාර ඇමතිවරයාද හමුවීමට ඔහුට අවස්ථාව ලැබී ඇති අතර; ඒ දිනවල ලංකාවේ පැවති මහමැතිවරණයේ ප්‍රතිඵල ගැන ඔවුන් වඩාත් උනන්දු වෙන් කරුණු විමසූ බව සඳහන්ය. කල්කටාවේ සිට අප්‍රේල් 09 වැනි දින රාත්‍රී දුම්රියෙන් ඔහු ගයාවට ගොස් ඇත. පසුදා උදෑසන ගයාවේ මහා බෝධිය බාර ස්වාමීන් වහන්සේ සමඟ රික්ෂෝ රථ දෙකකින් ගයාවේ සිට සැතපුම් 7ක් පමණ දුර වූ බුද්ධගයාවට පැමිණි බව සඳහන් ය.

“වියළී ගොස් තිබුණු නේජංජනා ගඟ පසෙකින් පිහිටි මාවත දිගේ බුද්ධගයාවට යද්දි මට ඇති වූ හැඟීම් විස්තර කරන්නට අමාරුයි ....

ඇති වූ ශ්‍රද්ධාව නිසා දෝ වරින්වර කඳුළු නෙත් දෙකට ගලා එන්නට වුණා. බුද්ධගයාවට ගොස් බසින විට වෙලාව නවය හමාරට පමණ ඇත. උෂ්ණත්වය අංශක 106 ට නැග තියෙනවාට කිසිම සැකයක් නැතැ”යි ඔහුගේ දින සටහන්වල සටහන් වඇත. බුද්ධ්‍ගයාවේ සිට එදින ම ගයාවට ගොස් එහි මහා බෝධියේ නතරව සිට පසුදා උදෑසන නාලන්දාවට යාමට ඔහුට සිදු විය.

බස්රථ කිහිපයකින් ද අශ්ව කරත්තවලින් ද බොහෝ දුෂ්කරතා මැද ගයාවේ සිට නාලන්දාවට ගිය ඔහු එහිදී සිය ගුරු හාමුදුරුවන් වූ වංග ජාතික බුද්ධ රක්ඛිත හිමියන් හමු විය. ඒ හිමියන් ද සමඟ නාලන්දා විශ්වවිද්‍යාලයේ උපකුලපති ජගදීශ කාශ්‍යප සහ කුලපති මුකර්ජි යන මහත්වරු හමු වී සාකච්ඡා කිරීමට එදින ඔහුට අවස්ථාව උදා විය. පසු දා නාලන්දාව පිළිබඳව ලංකාවේ සඟරාවකට ලිපියක් ලියමින් කාලය ගත කළ ඔහු අප්‍රේල් 13 වැනිදා තාවකාලික පැවිද්ද ලැබීය.

“අද උදේ 7.30 ට පමණ මාගේ හිස බූ ගෑවා. මං හිතනවා එසේ කළේ කාම්බෝජ හාමුදුරු නමක් කියල. ඉන්පසු කාම්බෝජ, සියම්, බුරුම, ටිබෙට්, යන රටවල්වලට අයත් ස්වාමීන් වහන්සේලාත් ලංකාවේ හාමුදුරුවරුත් 12 දෙනෙක් ඉදිරිපිට පැරණි නාලන්දාවේ නටබුන් අතර ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ

චෛත්‍යය අසල දී “සබ් දුක්ඛ” නිශාරණ යන වාකය ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව කියා චීවරය පැලද ගත්තා. ගම් චාරිත්‍ර සිදුකිරීමට පැයක් පමණ වේලා ගත වුණා. ගම් අවස්ථාගේ දී මුළු ශරීරය කිලිපොළා යන අන්දමේ ප්‍රීති හිඟයක් ඇති වුණා. මේ උත්සව අවස්ථාවේදීම එය නැරඹීමට පැමිණි ඉන්දීය ජාතිකයෙක් වැඩ සිටි ස්වාමීන් වහන්සේලාගෙන් පන්සිල් සමාදන් වී බෞද්ධාගම වැලඳ ගත්තා. ජපන් ජාතික තසොකි මහතා සහ තවත් විදේශීය ස්වාමීන් වහන්සේ නමක් මහණ කිරීමේ උත්සවය ඡායාරූප ගත කළා. ඉන්පසු නවාතැන් පොළට ආ හැටියේ සිංහල ස්වාමීන් වහන්සේ නමක් මට තේ කෝප්පයක් සාදා දී අද සිංහල අවුරුද්ද බවත් ඒ නිසා වඩාත් සතුටු විය යුතු බවත් කීවා.

සවස් වනතුරු නාලන්දාව ගැන ලියා එය අපේ බුද්ධ ජයන්ති කලාපයේ පළ කිරීමට යැවීමට සූදානම් කළා. පසුව කාම්බෝජ ජාතික ෂොනන්ද ස්වාමීන් වහන්සේ සමඟ නාලන්දා නටබුන් බලන්නට ගියා.

මේ නටබුන් විද්‍යා පීඨය සැතපුම් 01ක හමාරක් පමණ හරියක පැතිර ඇත. මේ නටඹුන් බලා ආපසු යන්ට සැරසෙද්දී ‍ෂොනන්ද හාමුදුරුවෝ අසල පැවති සැණකෙළියක්, (මේලාවක්) බලන්ට යන්ට කතා කළා. මේවා බැලීමට මගේ කිසිම උනන්දුවක් නැත; බොරු සිල්වත් කමක් දක්වන්තට හදනවාය යන හැඟීම ඒ් හාමුදාරුවන්ත තුළ ඇතිවේය යන සාංකාව ඇති වූ නිසා බලවත් අකමැත්තෙන් ඒ් දෙසට ගියා. මා බලාපොරොත්තු වූ පරිදි එහි කිසිවක් දක්නට තිබුණේ නැහැ. රැස්ව සිටි ජනයා හින්දු ආගමික චාරිත්‍ර විධි අනුගමනය කරමින් සිටියා. පූජකවරුන් අසල පොකුණකි නා සතර දිසාවට දණ්ඩ නමස්කාරය කරනු මා දුටුවා.

පැවිද්දකු වශයෙන් නාලන්දාවේ ඔහු ගත කළ ජීවිතය අතිශයෙන් ම ආදර්ශවත් ය. දෛනික භාවනායෝගී ජීවිතය හැරුණුවිට අවස්ථා දෙකකදීම රජගහනුවර නටබුන් නැරඹීමට යාමට ද මේ කාලය තුළ ඔහුට අවස්ථාව ලැබී ඇත. එමෙන් ම ඒ කාලය තුළ ඉන්දියාවේ චීන තානාපතිවරයා ඇතුළු දූත පිරිසකගේ නාලන්දා සංචාරය ද ඔහුගේ අමතක නොවන සිදුවීම් අතරට ඇතුළත් ය. වරක් දානය පිණිස පිණ්ඩපාතයේ වැඩීමට ද ඔහුට අවස්ථාව උදා විය. නාලන්දාවේ සිට මැයි මස 15 වැනිදා බුද්ධයාවට පැමිණ 23 වෙනිදාට යෙදී ඇති බුද්ධ ජයන්ති වෙසක් දිනයට සූදානම් වීමට ඔහු කටයුතු කර ඇත. 

ඒ් අසිරිමත් දිනය පිළිබඳව ඔහුගේ දින සටහන මෙසේය.“උදේ ඇහැ ඇරෙන තෙක් ගියේ එකම නින්දකි. පාන්දර 5.5ට පමණ අවදිවත්ම අද තමා ශ්‍රී සම්බුද්ධ ජයන්ති දිනය අදට එළිවනු දක්නට තමා අප විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාව පුල පුලා සිටියේ. මෙවැනි හැඟීම් මිශ්‍රිත අදහස් රැසක් මසිත තුළට වැදී ක්‍රියා කරන්තනට වූ නිසා පසුගිය දවස් ටිකේ මා විඳි කරදර සියල්ල අමතක වී අලුත්ම ප්‍රාණවත් ගතියක් ශරීරයට දැනුණා. පසුගිය දවස්වල මහන්සි වීමත් වෙන කවරදාවත් නොකරපු වැඩ කිරීම නිසා මා බලවත් ශාරීරික පීඩාවකට පත්වීයි සිටියේ. එයින් ඇතිවී තිබූ තෙහෙට්ටුව ශ්‍රද්ධා බලවේගය ඉස්මතු වීම නිසා හිරු දුටු පිණි මෙන් අතරුදන් වූවා.

මගේ ජීවිත කාලය තුළ ලැබිය යුතු ප්‍රයෝජනය ලැබුණා යන්න මගේ සිත තුළ රැව්පිළිරැව් දෙන්න පටන් ගත්තා. මෙසේ බෝ මැඩ නමස්කාර කොට අප ආපසු එද්දී ගුරුහාමුදුරුවෝ අපව ඡායාරූපයට ගත්තා.

සතුටු සිතින් ඔදවැඩී ගිය සිතැතිව කාමරයට විත් 10.30 ට පමණ බුද්ධ පූජාව පිණිස අප හැම දෙනාම පෙළගැසී ගුරුහාමුදුරුවො එක්කොට ගෙන බෝමැඩ දක්වා ගිගේ ඉතා සාන්තදාන්ත ලීලාවෙනි. මෙසේ යද්දී නොයෙක් රටවලින් පැමිණ ප්‍රවෘත්ති වාර්තාකාරයෝ අපව අනුගමනය කරන්නට පටන් ගත්හ. ඡායාරූප සිය ගණන් ඔවුන් ගත්තා. බුදුපුදට පෙර අප බෝමැඩ වටා කීපවරක් යමින් පිරිත් සජ්ඣායනා කළා. අනතරුව බෝමැඩ ඉදිරියට යමින් ගිහි පිරිස පන්සල් හි පිහිටුවා සිල් සමාදන් වී සිටි අය අටසිල් පිහිටුවා සියලු දෙනාම එක්වී ගාථා කියා නමස්කාර කළා.

ඉන්දියානුන් පුහු වචනය පමණක් ගරු කරන්නෙ නැත. ක්‍රියාවෙන් එය ඔප්පු කළ යුතුය. සිල්වත් අයට මෙහි ලැබෙන ගරු සම්මාන බොහෝයි. මහා බෝධියේ අයට අවුරුදු පණහකටවත් අධික කාලයක් මෙහි සිටියත් කර තියාගන්නට බැරිව ඇත්තේ ප්‍රතිපත්ති අතින් අපේ අය දුර්වල නිසා මෙහි සිටි කාලය තුළ අපට වැටහී ගියා. සවස මලුවට ගොස් පහන් දැල්වීමට හරියට මහන්සි වුණා. මේ වැඩ ඉවර වනවිට රාත්‍රී 9.30 පමණ වුණා. ”

මෙලෙස බුද්ධගයාවේ සිට බුද්ධ ජයන්ති වෙසක් සැමරු ඔහු 1956 ජූනි මස 01 වැනිදා බුද්ධ ගයාවේ සිට සිවුරු හැරියා. බුද්ධගයාවේ සිට කල්කටාවට පැමිණ එතැන් සිටදුම්රියෙන් මදුරාසියට පැමිණ ඔහු ජූනි මස 09 වෙනිදා පෙරළා දිවයිනට පැමිණියා.

අසිරිමත් බුද්ධගයා වෙසක් මහෝත්සවය ගැන අසිරිමත් මතකයක් මේ වෙසක් පෝදා සිහිපත් කරන්නට සිතුවේ ගෙදර සිට සමරන මේ වෙසක් මංගල්‍යයේ හුදී ජනයාගේ සිත පහන් කිරීමේ අරමුණිනි.

පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග

Comments