මකුළුවම ශෝකයෙන් පීඩිත කර අවසන් ගමන් ගිය ජීවිත තුනක් | සිළුමිණ

මකුළුවම ශෝකයෙන් පීඩිත කර අවසන් ගමන් ගිය ජීවිත තුනක්

මියගිය තිදෙනා වන ඉලේපෙරුම රංග අශෝක, සෙල්ව රාජා ජගදිස්වරන්(පියා) සහ පුතු ජගදිස්වරන් සදේෂ් සහ ඉදිකරගෙන යන ගොඩනැගිල්ල

- සෝපානය සඳහා වෙන්කොට ඇති තට්ටුව මත වූ සෙවිලි තහඩුවක් කඩා වැටිලා
- සරුංගල් යවද්දී වහලය කඩා වැටිලා 
- කරාපිටිය රෝහලට ගෙන යද්දිත් මිය ගිහින්

ගාල්ල මකුළුවේ පදිංචිව සිටි සෙල්වරාජා ජගදිස්වරාන් (41) දෙදරු පියෙකි. හේ ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේ ස්වර්ණාභරණ සැලක් පවත්වාගෙන ගියේය. මකුළු ප්‍රදේශයේ කොයිකවුරුත් සෙල්ව රාජා හැඳින්වුයේ රාජා යන ආදර නාමයෙනි. රාජාගේ බිරිද කන්දයියා වසන්ති කුමාරි රැකියාවක් නොකළාය. මෙම යුවළගේ එකම පුතු ජගදිස්වරන් සදෙස් පස් හැවිරිදිවියේ පසුවිය. අට හැවිරිදි වියේ පසුවු දියණිය ගාල්ල ශ්‍රි හෘදයකන්‍යාරාමයේ අකුරු කරන්නිය. රාජාගේ නිවස අසල පදිංචිව සිටි ඉලේපෙරුම රංග අශෝක (43) දෙදරු පියෙකි. ඔහු ව්‍යාපාරිකයෙකි. ඔහුගේ බිරිද පුද්ගලික රෝහලක සේවය කරන්නීය. මෙකී යුවළගේ එකම පුතු පාසල් යන අතර දියණිය පෙරපාසල් යන දැරිවියකි. රංග අශෝක දිරිය මිනිසෙකි; රාජා හිත හොඳ අයෙකි.

රාජා හා රංග අශෝක හොඳ මිතුරන්ය. රාජා මෙම ප්‍රදේශයේ පදිංචි සිංහල, මුස්ලිම් පවුල් සමඟ ඉතා සුහදව කටයුතු කළේය. සිංහල, මුස්ලිම් පවුල්ද රාජා සමඟ දැඩි සහෝදරත්වයෙන් ඉතා සුහදව කටයුතු කරනු ලැබිය. මොවුන් අතර ජාති ආගම් බේදයක් නොතිබුණි. එක පවුලක අය මෙන් මොවුන් මෙකී ගම්මානයේ පදිංචිව සිටියහ. රාජාගේ නිවසට යාබද ඉදිකරගෙන යනු ලබන තෙමහල් ගොඩනැගිල්ලක් විය.

එය ව්‍යාපාරික ස්ථානයක් සඳහා ඉදිකරගෙන යන ගොඩනැගිල්ලකි. එහි කිසිවකු පදිංචිව නොසිටි අතර එම නිවස රංග අශෝකගේ සහෝදරයකුට අයත් එකකි. මෙකී කාලයේ කොරෝනා වසංගය නිසා සංචරණ සිමා පනවා තිබු නිසා රාජා මෙන්ම රංග අශෝකද පවුලේ අය සමඟ නිවෙස්වලට වී සිටියහ. රාජා ද දරු දෙදෙනා සමඟ විනෝද වෙමින් සිටියහ. දිනය ඉකුත් 14 වැනිදාය. වෙලාව පස්වරු 4.00ට පමණ වන්නට ඇත. 

මම පුතා එක්ක සරුංගල් අරින්න යනවා; තම බිරිදට එසේ කියු රාජා පස් හැවිරිදි පුතු සදෙස් සමඟ ඉදිකරගෙන යන ගොඩනැගිල්ල වෙත ගියේය. රංග අශෝකද ඒ වනවිට සිය නිවසේ දරු දෙදෙනා සමඟ සිටියහ. රංග අශෝකගේ බිරිද එදින රැකියාවට ගොස් නිවසට පැමිණ සිටියාය.

මම පුතා එක්ක සරුංගල් අරින්න යනවා බිරිදට එසේ කියු රංග, අශෝක තම පුතු සමඟ සරුංගල් ඇරිම සඳහා ඉදිකරගෙන යන ගොඩනැගිල්ල වෙත ගියේය. මොවුන් ඉදිකරගෙන යනු ලබන නිවසේ ඉහළ මාලය වෙත නැඟී කථා බස්කරමින් සරුංගල් යවමින් සිටියහ. ඉදිකරගෙන යමින් පවතින තෙමහල් ගොඩනැගිල්ලේ සෝපානය සඳහා වෙන්කොට ඇති තට්ටුව මත සෙවිලි තහඩුවක් අතුරා තිබුණි.

ඒ ජලය කාන්දු වැළැක්විම සදහාය. රාජා හා රංග අශෝක දරුවන් සමඟ සරුංගල් යවමින් සිටියෝය. මේ අතර සරුංගලය කඩාගෙන යන්නට වූ අතර ඉන්පසු රාජා හා රංග අශෝක ගොඩනැගිල්ල මත ඇති බැම්මට පිටුපස වාඩි වි කතාබස් කරමින් සිටියහ. එහෙත් ඔවුන්ට වැඩිවෙලාවක් කතාබස් කරමින් සිටිමට හැකිවුයේ නැත. සෙවිලි තහඩුවත් කඩාගෙන රංග අශෝක හා රාජා තම පුතු සමඟ ගොඩනැගිල්ලෙන් පහතට වැටුණි. අඩි 35ක පමණ උසකින් මොවුන් තිදෙනා වැටි තිබුණි. කෙසේවුවද රංග අශෝකගේ පුතු තට්ටුව මත සිටි නිසා ඔහුට කිසිදු අනතුරක් නොවිය. අම්මේ තාත්තා වැටුණා; පුතු දිව ගොස් තම මවට කිවාය. ඒ සමඟ මෙම ස්ථානයට අසල්වැසියන්ද එක් රොක්වන්නට විය. ඒ වනවිට රාජා ඔහුගේ පුතු හා රංග අශෝක ලේ පෙරාගෙන වැටී සිටියහ. මොවුන්ගේ හිස්කබල්වලින් ගලා ආ රුධිරයෙන් පොළව තෙත්වී තිබුණි. මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබු මොවුන් තිදෙනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යනවිටත් මියගොස් සිටියහ.

තිදෙනකුට මරු කැඳවමින් වූ මෙකී ඛේදවාචකයෙන් මකුළුව ප්‍රදේශයම ශෝකයෙන් ඇළලී ගියේය. අනේ මට මගේ මහත්තයා හා දරුවා නැතිවුණායි කියමින් රාජාගේ බිරිද වසන්ති කුමාරි වැලහින්නියක් සේ හඩා වැලපෙන්නීය. ඇයට තම පුතුගේ හා සැමියාගේ හදිසි වියෝවය දරාගත නොහැකිය. අනේ මම දුව සමඟ තනිවුණා ඇය හඩා වැටෙමින් කෑගසන්නීය. රංග අශෝකගේ බිරිද වන අමාලි සේවිවන්දි ට තම සැමියාගේ වියෝවය දරාගත නොහැකිව හඩා වැලපෙන්නීය. මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ ගාල්ල මකුළුව ප්‍රදේශයේ පදිංචිව සිටි පිය පුතු දෙපළක් වන සෙල්වරාජා ජගදිස්වරාන් (41) ජගදිස්වරන් සදෙස් (05) සහ ඉලේපෙරුම රංග අශෝක (43) නැමති දෙදරු පියෙකි. කන්දයියා වසන්ති කුමාරි (35) හඩා වැලපෙමින් අප සමඟ මෙසේ කීවාය.

මිනිස්සු කෑගහන ශබ්දයට මාත් බලන්න ගියා. මහත්තයා දරුවා හා මහත්තයාගේ මිතුරා බිම වැටි හිටියා. තිදෙනාගේ හිස්වලට තුවාල වී, ලේගලමින් තිබුණා. මිය ගොස් ඇත්තේ මගේ සැමියා හා පුතා. අපි විවාහ වෙලා වසර 08ක් වෙනවා. අපිට දරුවන් දෙදෙනෙකු ඉන්නවා. මියගිය පුතාට අවුරුදු 05ක් වෙනවා. දුවගේ වයස අවුරුදු 08යි. ඇය ගාල්ල ශ්‍රි හෘදයකන්‍යාරාමයේ ඉගෙනුම ලබනවා. මහත්තයා ස්වර්ණාභරණ වැඩ කළා.

අපි පසුගිය 14 වැනිදින නිවසට වෙලා හිටියා. එදින පස්වරු 4.00 විතර මහත්තයා පුතා සමඟ සරුංගල් අරින්න අසල්වැසි ගෙදරකට යන බව කියා ගියා. මම ගෙදර හිටියා. අසල්වැසි නිවසක වහලයකට නැගලා ඉන්නා අතරේ සෙවිලි තහඩුව කඩාගෙන මේ අය පහතට වැටිලා තියෙනවා. මිනිස්සු කැගහන ශබ්දයට මාත් බලන්න ගියා. මහත්තයා දරුවා හා මහත්තයාගේ මිතුරා බිම වැටී හිටියා.

තිදෙනාගේ හිස්වලට තුවාල වී, ලේගලමින් තිබුණා. තුන් දෙනාම එකට වැටිලා හිටියා. තුන්දෙනාම කරාපිටිය රෝහලට රැගෙන ගියා. පසුව දැන ගත්තා තිදෙනාම මියගිය බව. රෝහලේ දි පී.සී.ආර් පරික්ෂණයක්ද කළා. කොරෝනා නැති බව පරික්ෂණයේ දි තහවුරු වුණා යැයි ඇය කීවාය. 

මියගිය ඉලේපෙරුම රංග අශෝකගේ බිරිද වන සමරවික්‍රම ආරච්චිගේ අමාලි සේවිවන්දි (29) නැමැත්තිය හදිසි මරණ පරික්ෂණයේ දි සාක්ෂි දෙමින් මෙසේ කීවාය.

මියගොස් ඇත්තේ මගේ ස්වාමි පුරුෂයා . අපි විවාහවෙලා වසර 09ක් වෙනවා. අපිට දරුවන් දෙදෙනෙකු ඉන්නවා. පුතා පාසල් යනවා; දුව පෙර පාසල් යනවා. මහත්තයා ව්‍යාපාර කටයුතු කරනවා. මා පුද්ගලික රෝහලක සේවය කරනවා. මම නයිට් කරලා ගෙදර ආවෙ. මහත්තයා මට කෑම කන්න කීවා. මහන්සි නිසා මම ඇඳට ගියා. අසල්වැසි ගෙදරකට සරුංගල් අරින්න යන බව කියා මහත්තයා ගියා; මම නින්දට ගියා. මහත්තයා නැවත ගෙදර ඇවිත් කෑම කාලා ගිහින් තියෙනවා; පුතාත් ගිහින් තිබුණා. අසල්වැසි නිවසේ අයකුද එහි ඉදලා තියෙනවා. ඉදිකරගෙන යන නිවසේ ඉහළ මාලයේ ස්ලැබ් එකේ ලිප්ට් එක ළඟ පොඩි වහලයක් තියෙනවා.

මේ අය වහලයට නැගලා තියෙනවා. පුතා වෙනම ඉඳලා තියෙනවා. තාත්තා වැටිලා කියා පුතා ඇවිත් මට කීවා. මම එතනට දිව ගියා. අසල්වැසි අයද රැස්වුණා. මහත්තයාගේ හිසට තුවාල වෙලා තිබුණා. මහත්තයා ඇතුළු අනික් දෙදෙනා රෝහලට රැගෙන ගියා. මියගොස් ඇති බව පසුව දැනගත්තායි ඇය කිවාය.

මියගිය තිදෙනාගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකරනු ලැබීය. පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර විසින් සිදුකළ අතර සාක්ෂි මෙහෙය වීම ගාල්ල පොලිසියේ පොලිස් සැරයන් 27747 විදුර විසින් කරනු ලැබිය. ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා මියගිය තිදෙනාගේ මොලයට හා හිස්කබලට වු තුවාල නිසා මරණය සිදු වී ඇති බවට තීන්දු කළේය.

මියගිය තිදෙනාගේ අවසන් අවසන් කටයුතු අක්මීමන බටදුව පොදු සුසානභුමියේ දි සිදුකරනු ලැබිය. තිදෙනාගේ මෘත දේහයන් එකම ස්ථානයක මිහිදන් කෙරිණි.

Comments