මාස හතරකදී මිනිසුන් 47කට හා අලි 120කට මරු කැඳවූ අලි-මිනිස් ගැටුම | සිළුමිණ

මාස හතරකදී මිනිසුන් 47කට හා අලි 120කට මරු කැඳවූ අලි-මිනිස් ගැටුම

- ප්‍රජා මුලික අලි වැටක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි
- අලි ප්‍රදේශවලට කොටු කිරීමට උත්සාහ කිරීම ‘කුල්ලක දේ අල්ලට දැමීමක්ද ?
- විදුලි වැට ගැසිය යුත්තේ පරිසර පද්ධතිවල මිස වන ජිවි කලාපවල නෙමෙයි

සර 70 ක් වු දිගු කාලයක සිට ලංකාවේ නිමා නොවූ ගැටලුවක් වන්නේ අලි මිනිස් ගැටුමය. පසුගිය වසරට සාපේක්ෂව ගත වූ මාස හතර තුළ අලි මිනිස් ගැටුමින් මරණ 47 ක් සිදුව ඇති අතර 2020 වසරේ මුල් මාස තුන තුළ සිදුව ඇත්තේ පුද්ගල මරණ සංඛ්‍යාව 34 කි. පසුගිය මාස 4 පමණක් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් මාසයේදිය. අලි මිනිස් ගැටුම හේතුවෙන් ගෙවුණු මාස හතරේදි පමණක් අලි මරණ 120 ක් පමණ සිදුව තිබීම අලි මිනිස් ගැටුමේ අභාග්‍යය සම්පන්න ඉරණමකි. 

එයින් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ හඳුනා නොගත් හේතූන් මතවීම විශේෂත්වයකි. මෙම මාස හතරේදි පමණක් සිදුව ඇති අලි මරණවලින් වෙඩි තැබීම් නිසා අලි මරණ 13 ක්ද,විදුලි වැට නිසා මරණ 27 ක්ද, හක්ක පටස් නිසා මරණ 19 ක්ද, තුවාල වීම් නිසා මරණ 8 ක්ද සිදුව ඇත. මේ නවතම දත්ත අනුව අලි මරණද මිනිස් මරණද පසුගිය වසරට සාපේක්ෂව යම් වැඩි වීමක් පෙන්නුම් කිරීම මේ සියල්ලේ වැදගත්ම නිරීක්ෂණයකි. ගෙවුණු 2020 වසර තුළ ශ්‍රී ලංකාවේ අලි මරණ 327ක් සහ මිනිස් මරණ 113ක් වාර්තා විය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම වඩාත්ම උග්‍ර වූ වසර 2019 ය. එම වසරේදී අලි 407ක් සහ මිනිසුන් 122ක් මරණයට පත්ව තිබුණි.

අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවෙන රට බවට ලංකාව පත්ව ඇතැයි පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති රාජ්‍ය ගිණුම් කාරක සභාවේදීද හෙළිදරවු විය. මෙහි දෙවැනි තැනට ලංකාවට ආසන්නම ඉන්දියාව පත්විය. ලංකාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන්

වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 ක් බව අදාළ පාර්ශ්ව පෙන්වා දෙති. අලි මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මියයන මිනිසුන් ගණන 85 ක් වුවද, 2019 වසරේ මිනිසුන් 122 දෙනෙකු මියගොස් ඇත. මේ සියල්ලෙන්ම අනාවරණය වන්නේ අලි මිනිස් ගැටුම උග්‍ර වී ඇති බවට පැහැදිලි සාක්ෂියකි.

අලි මිනිස් ගැටුමට විසදුම් සොයන්නේ වසර 70 ක පමණ කාලයක සිටය. එහෙත් පසුගිය කාලයක් පුරාවට කිසිදු ප්‍රගතියක් අත් නොවීමද මතභේදයට තුඩු දෙන්නකි. 1752 වසරේදී වල් අලියකු කොළඹට පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කළ පුවත අප අසා ඇත. එදා කොළඹටද වල් අලි පැමිණි ඇති බව මෙයට හොඳම උදාහරණයකි. 1948 නිදහස ලැබීමෙන් පසු වසරකදී වැඩිම අලි ඇතුන් මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේදීය. දිවයිනේ පළාත් 8 ක හා දිස්ත්‍රික්ක 19 ක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 131 ක අලි මිනිස් ගැටුම් අද වාර්තා වන්නේය. ලංකාවේ සිටින ආසියාතික අලියා ලංකාව ඇතුළුව රටවල් 13 ක වෙසෙති. අලි සංගණනයට නිසි ක්‍රමවේදයක් නොමැති වීම නිසාවෙන් අවසාන වශයෙන් අලි සංගණනයක් සිදුව ඇත්තේ 2012 වසරේදී පමණය. ඒ වන විට අලි 5825 කට ආසන්න ප්‍රමාණයක් සිට ඇති අතර මේ වන විට දළ වශයෙන් අලි 6000 කට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ වාසභූමි කර ගෙන ජීවත් වන බව මේ සම්බන්ධ පර්යේෂණ කරන විද්වතුන්ගේ මතය වී ඇත්තේය.

ලංකාවේ අලි ගහනයෙන් සියයට 30% ක් පමණ ඇත්තේ පිරිමි සතුන් වන අතර එයිනුත් සියයට 7% ක් ඇතුන් වේ. සාමාන්‍යයෙන් අලි ඇතුන්ට වෙන් වූ සංචරණ සීමාවන් ඇත.ඔවුන් සෑම තැනකම සංචරණය කරන්නේයැයි එදා විශ්වාස කළද පර්යේෂණකයෝ පෙන්වා දෙන්නේ ලංකාවේ අලින්ගේ වාසභූමි වර්ග කිලෝ මීටර 50-600 ත් දක්වා වෙන්ව ඇති බවකි.

මෙසේ අලි ඇතුන්ගේ සංචරණ වාසභූමිය තීරණය වන්නේ ඔවුන්ට ආහාර සොයා ජීවත් වීමට ඇති පසුබිම මතය. නමුත් යම් හෙයකින් සංවර්ධන ක්‍රියාවන් සිදු වෙද්දි මේ සතුන්ගේ සංචරණ වාසභූමි ප්‍රමාණය විශාල වන අතර ඔවුන් ආහාර සොයා ගම් වඳින්නේ එවන් අවස්ථාවන්හීදීය.

අලි මිනිස් ගැටුමට විසඳුම් ඉදිරිපත් කරන පරිසරවේදීන් ප්‍රකාශ කරන්නේ පසුගිය වසර 70 ක් පුරාවටම අලි මිනිස් ගැටුමට ලබා දී ඇති විසඳුම නොවෙනස්ව ඇති බවත්,මෙතෙක් ලබා ඇත්තේ අසාර්ථකත්වයක් පමණක් බවත්ය.

“පසුගිය වසර 70 ක්ම පුරාවටම කළේ අලි මිනිස් ගැටුම විසඳීමට වන ජිවි සංරක්ෂණ ප්‍රදේශ මායිම් කර අලි වැට ගැසීමයි. මෙම ප්‍රශ්නය විසඳීමට මේ වන තෙක් කිසිදු සංකල්පනාමය වෙනසක් සිදු කළේ නැහැ. මේ වන විට ගත් ක්‍රියාමාර්ග සාර්ථක වුවා නම් අලි මිනිස් ගැටුම මේ වන විට විසඳිය යුතු වෙනවා.

පසුගිය කාලය පුරාවට අලි මිනිස් ගැටුම විසඳන්න උත්සහ කළේ මිනිසාට වුවමනා ආකාරයටයි. සාමාන්‍යයෙන් දෙදෙනකු අතර ගැටුමක් විසඳිය යුතු වන්නේ දෙදෙනාටම සාධාරණයක් ඉටුවන ආකාරයටයි. නමුත් මේ ප්‍රශ්නයට විසඳුම් සෙවූයේ මිනිසාට

වුවමනා ආකාරයටයි. නමුත් මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුත්තේ අලින්ගේ හැසිරීම අනුවයි. මෙතැනදී අලින්ගේ උවමනා තේරුම් ගත යුතුයි. සමහර ප්‍රදේශවල තියෙන්නේ පරිසර පද්ධති. මෙවැනි තැන්වල විදුලි වැට ගැසිය යුත්තේ වන ජීවි මායිම්වල නෙමෙයි. අලියා මේ මායිම් දන්නේ නැහැ. ඌ හැසිරෙන්නේ පරිසර පද්ධතිය තුළයි. ඒ නිසා විදුලි වැට ගැසිය යුත්තේ පරිසර පද්ධති මායිම්වලයි. එම ඉඩම් රජයේ, පෞද්ගලික හෝ මහවැලි මායිම් විය හැකියි.

ඒ නිසා දැනට තිබෙන ඒවා නැවත ගලවා ස්ථාපනය කළ යුත්තේ මේ පරිසර පද්ධති මායිම්වලයි. සාමාන්‍යයෙන් ගැහැනු අලි රංචුවකට වර්ග කිලෝ මීටර 50-100 ක භූමි ප්‍රමාණයක් අවශ්‍යයි.

පිරිමි අලියකුට සංචරණයට වර්ග කිලෝමීටර් 250 ක භුමි ප්‍රමාණයක් අව්‍යශයයි. නමුත් කුඩා කැළෑ කුට්ටියකට අලි වැට මායිම් ගැසීමේදි මේ සංචරණ භූමි ප්‍රමාණය සැලකිල්ලට ගත යුතු වෙනවා. ඒ වගේ කුඩා භුමියක වැටක් ගැසීමෙන් සිදුවන්නේ ඒ සතුන්ට සංචරණයට තිබෙන ඉඩ ප්‍රමාණවත් නොවීමයි. මේ නිසා එවැනි ප්‍රදේශවල අලි වැට ගැසිය යුත්තේ ගම්මාන, නිවෙස් මෙන්ම කුඹුරු වටේයි. මෙවැනි ප්‍රජා මුල වැට යම් යම් පළාත්වල සාර්ථක වී තියෙනවා. නමුත් මේ ක්‍රමය මුළු රටේම ව්‍යාප්ත කිරිමට නොහැකිවුණා. මීට යම් යම දේශපාලන මැදිහත් විම් සිදුවුණා. කෙසේ වෙතත් මේ වන විට අපි මේ සම්බන්ධ සැලසුම් අදාළ දේශපාලන බලධාරින්ට ලබා දී අවසන්....“ ඒ ආසියානු අලි පිළිබඳ විශේෂඥයකු සහ හිටපු වන ජිවී අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටියයි. මොවුන්ගේ එකම තර්කය වී ඇත්තේ එක් පාර්ශ්වයක් වෙනුවෙන් අවධානය යොමු කරමින් ප්‍රශ්න විසඳීමට යෑමෙන් මේ වන තෙක් මේ අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට නොහැකි වී ඇති බවකි. 

අලි සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීම, නම්‍යශිලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මෙන්ම ප්‍රජා මුලික අලි වැටක් කෙරේ අවධානය යොමු කිරීම මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය හැකි බවකි.

“මේ වන විට අලි මිනිස් ගැටුම උග්‍ර තත්ත්වයකට පත්ව තියෙනවා. වසර ගණනාවක් පුරාවටම මීට නිවැරදි විසදුම් ඉදිරිපත් කළේ නැහැ.

එසේ වුණේ අලි රක්ෂිත ප්‍රදේශවලට කොටු කිරීමයි. අපි මේ සඳහා ජාතික සැලැස්මක් ඉදිරිපත් කළා. නමුත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. විදුලි වැට නිර්මාණය කිරීම ප්‍රජා මූලිකව සිදු කළ යුතුයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ගොවි ජන සේවා කාර්යාල ඊට මූලික කර ගත යුතුයි. අලි මිනිස් ගැටුමින් දෙපැත්තටම හානි වෙනවා. ඒත් කවුරුත් අලි ගැන බලන්නේ නැහැ. අලි වැට ගැසීම, අලි පැන්න වීම යන ක්‍රියා මිනිසුන් වෙනුවෙන් යෙදූ පිළිතුරු.

බොහෝ අය මීට විසඳුම් සොයන්නට උත්සාහ ගන්නේ වන ජීවි අමාත්‍යාංශය හරහායි. වන ජීවි අමාත්‍යාංශයේ ඉන්නේ නිලධාරීන් 1500 ක් පමණයි. මෙයිනුත් මේ රාජකාරියේ නියැළෙන්නේ 100 ක වගේ සුළු පිරිසක් පමණයි. මේ නිසා අලි මිනිස් ගැටුම මහ ජනතාවගේ ප්‍රශ්නයක් නම් ඊට විසඳුම් සෙවිමට රජයේ සියලු ආයතන මුල් විය යුතුයි”. සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ සභාපති ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දුය.

අලි මරණවලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා බව ඉහත සංඛ්‍යා ලේඛනවලින් මනාව ඔප්පු වෙයි. වෙඩි තැබීම, විදුලි සැර වැදීම, හක්කපටස් හෝ අලි ඇතුන්ගේ මුඛය තුළ පුපුරා යන පුපුරන සුළු ඇමක් ඇනීම මේ මරණ වලට හේතුව වෙයි. එසේම නිශ්චිත හේතුවක් නොමැතිව සිදුවූ මරණවලටද ස්වභාවික හේතුන්ට වඩා මිනිස් ක්‍රියාකාරකම් රැසක් බලපා ඇත. අලි මරණවලින් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ අනුරාධපුර සහ පොලොන්නරු දිස්ත්‍රික්ක සහ නැගෙනහිර පළාත් වලිනි.මිනිසුන් ජීවත්වන ප්‍රදේශවල සිටින අලි එම ප්‍රදේශවලින් පන්නා දැමීම, අලි පමණක් සිටින ප්‍රදේශවලට කොටු කිරීමට උත්සහ කිරීම 'කුල්ලක දේ අල්ලට දැමීම' වැනි ක්‍රියාවක් බව මේ විද්වතුන්ගේ මතය වී ඇත්තේය. මේ නිසා අලි මිනිස් ගැටුමට විසඳුම් සොයා යා යුත්තේ අලි- මිනිස් දෙපැත්තටම සාධාරණයක් ඉටුවන පරිදිය.

Comments