මාළුන්ගේ ජීවිත බේරන්න ජීවිතයෙන් වන්දි ගෙවූ හාමුදුරුවෝ | සිළුමිණ

මාළුන්ගේ ජීවිත බේරන්න ජීවිතයෙන් වන්දි ගෙවූ හාමුදුරුවෝ

ඝාත­න­යට ලක්වූ දේවා­නන්ද හිමියෝ

- විහාරස්ථානය අසල ගඟේ මසුන් ඇල්ලීමට විරුද්ධව කතා කළා
- ඇල්බීසියා පොල්ලක් කැඩී යනතෙක් පහර කෑවා

බෝධි පූජාවක් පවත්වන පරිසරය ශාන්ත සුන්දර තැනක් විය යුතුය. එහෙත් නෙතු පිනවන මාළු රංචුවක දිවි තොරකරනු දකිමින් තවත් අයෙකුගේ ජීවිතය බේරාගන්නට බෝධි පූජාවන් පවත්වන්නට සිදුවන්නේ නම් එය කෙතරම් අවාසනාවන්ත ද? එවන් ක්‍රියාවක් වළක්වාලමින් ප්‍රාණ ඝාතනයේ ආදීනව කියාදෙන්නට ගිය හිමිනමක් සාහසිකයන් පිරිසක් විසින් අමානුෂික ලෙස ඝාතනය කරන්නේ ඉකුත් 17 වැනිදාය. 

ශ්‍රී විවේකාරාම විහාරස්ථානය ආරම්භ කර ඇත්තේ දෙදහස් දාහතර වර්ෂයේදීය. ඒ ප්‍රදේශයේ ජනතාවට වැඳුම් පිදුම් කිරීමට හා ආගමික වතාවත් ඉටුකර ගැනීමට එතෙක් තිබූ අඩුපාඩුවක් සපුරාදෙමිනි. විහාරස්ථානය ආරම්භ කළ ද ප්‍රදේශයේ තිබූ අඩු පහසුකමක්ම හා දුෂ්කරතා හේතුවෙන් මෙම විහාරස්ථානයේ වැඩවාසය කිරීමට පැමිණෙන ස්වාමීන්වහන්සේලා වැඩි කාලයක් එහි රැඳී නොසිට ඉවත්ව යාම මහා ගැටලුවක් බවට පත්ව තිබුණි. ශ්‍රී විවේකාරාම විහාරස්ථානයට තිත්තගල්ලේ දේවානන්ද හිමියන් වැඩම කරන්නේ මීට වසර දෙකකට පෙරය. මේ නිසා ප්‍රදේශවාසීන් ද නිතර විහාරස්ථානය වෙත පැමිණෙන්නට විය.

පසුගිය කාලයේ කෙරෝනා මර්දනයට රටපුරා ඇඳිරි නීතිපැනවීම නිසා පන්සලට දානය දෙන්නට නොහැකි විය. අසූපස් හැවිරිදි දේවානන්ද හිමියන් එය බාධාවක් බවට පත්කර නොගෙන තමන් විසින්ම දානය පිළියෙල කර ගෙන වළඳා දවස ගෙවා දැමූවේ නිකම්ම නොවේ.

කොරෝනා නිසා ඇතිව තිබූ මහා කරදරකාරී තත්ත්වයෙන් රටත් ජනතාවත් ආරක්ෂා කර දෙන්නැයි බෝධිපූජා හා පිරිත් සඣජායනා කළහ.

විහාරස්ථානය ආසන්නයෙන් ගලාගිය ගොවියාපාන ගඟ විහාරස්ථානයට එක්කර තිබුණේ අලංකාරයකි. එහෙත් බීමතින් පසුවන්නන් විහාරස්ථානය අසල ගඟේ නිතර නිතර මසුන් ඇල්ලීම කළහ.

මේ නිසා අවස්ථා කීපයකදීම මසුන් අල්ලන පිරිස් හමුවට වැඩි දේවානන්ද හිමියෝ ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ විහාරස්ථාන සීමාවෙන් පිටට ගොස් මසුන් ඇල්ලීම සිදුකරනා ලෙසයි. එහෙත් මත් ලෝලීන් එය තැකීමක් නොකළහ. අවසානයේ විසඳුමක් සොයා දේවානන්ද හිමියෝ වැලිගම පොලීසිය වෙත පැමිණිල්ලක් ගොනු කරමින් ඉල්ලා සිටියේ ඇත්තේ විහාරස්ථානය ආසන්නයේ මසුන් මැරීමෙන් වළකින ලෙසය.

පසුගිය අප්‍රේල් 29 දා දවස ගෙවෙමින් තිබුණේ මහා ඛේදවාචකයකට පසුබිම් සකසමිනි. වේලාව සවස හතරයි තිහ පසු විය. එදින දේවානන්ද හිමියන්ට දක්නට ලැබුණේ එදින ද විහාරස්ථානය අසල මසුන් මැරීමට පැමිණ ශබ්ද කරමින් සිටිනා බවයි.

එහෙත් මේ පැමිණ සිටින්නේ තමාගේ මරුවා බව දේවානන්ද හිමියන්ට වැටහුනේ නැත. මේ පිළිබඳ කතා අවසානයේ පිරිස හා හිමියන් අතර වාදයක් ඇතිවිය. අනතුරුව දේවානන්න හිමියන් විහාරස්ථානය තුළට වැඩිපසු ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිස හිමියන් සංඟාවාසයෙන් පිටතට ඇදගෙන විත් පහරදෙන්නට පටන්ගෙන ඇත්තේ ලෙසය. දේවානන්ද හිමි දෑත් එක්කොට තමාට පහර නොදෙන ලෙස ඉල්ලා සිටියද පිරිසට එය කිසිදු ගණනක් නොකර දිගින් දිගටම පහරදුන්හ. ප්‍රදේශවාසීන් ද දේවානන්ද හිමියන් බේරා ගැනීම උත්සාහ කළ ද අවසානයේ ඇල්බීසියා පොල්ලක් කැඩී යනතෙක් පහර කෑ දේවානන්ද හිමියන් ගිලන්ව ගියේය.

“මට සිද්ධිය ආරංචි වූ විගස මම පොලීසියට දිව ගියා. පොලීසියත් සමඟ එන ගමන් 1990 ගිලන් රථයකටත් කතාකර ඉක්මණින් අපේ හාමුදුරුවෝ මාතර මහ රෝහලට ඇතුළත් කළා. හාමුදුරුවන්ට ගහල තිබුණෙ හරිම අමානුෂික විදියට. අතක් පවා කැඩීගොස් තිබුණා. 29 වැනිදා රෝහලට ඇතුළත් කළ අපේ දේවානන්ද හාමුදරුවෝ 16 දින රාත්‍රී අපවත් වුණා . මේක මහා අපරාධයක්. “ ශ්‍රී විවේකාරාම විහාරයේ භාරකාරත්වය දරන වැලිගම ගුරුබැබිල ශ්‍රී නාගවිහාරාධිපති ප්‍රාදේශීය සභා මන්ත්‍රී දෙනගම රාහුල හිමියන් එලෙස පැවසූවේ සිදුව ඇති විපත්තියෙන් ඇති වූ වේදනාව ද සමඟය.

“උන්වහන්සේ පන්සල අවට පිරිසුදුව තබාගනිමන් අවට මල් වගා කරල යන එන පිරිස ට ඉතාමත් සුන්දර ස්ථානයක් බවට තබාගෙන හිටියා. මේ ගමේ ධීවර රැකියාව කරගෙන යන පිරිසක් නැහැ. ප්‍රදේශයේ එහෙම ලියාපදිංචි ධීවර සමිතියකුත් නැහැ.

නමුත් කීප දෙනෙක් ගඟේ විහාරස්ථානය ඉදිරිපස කොටසේ මාළු ඇල්ලීම සිදු කරන නිසා දේවානන්ද හාමුදුරුවන් කීප වතාවක් අවවාද කර තිබෙනවා. මේ ගැන උන්වහන්සේ වැලිගම පොලිසියේ පැමිණිල්ලක් දමා දැනුවත් කිරීමක් ද කර තිබුණා. ඒ ගැන ජනාධිපතිතුමාටත් ලියා දන්වා තිබුණා. ඒ අනුව ජනාධිපති කාර්යාලයෙන් අදාල අංශ වෙත මේ පිළිබඳ සොයා බලන ලෙස දැනුම්දීමක් ද සිදුකර තිබුණා. මෙම සිදුවීමට අදාළ ප්‍රධාන පුද්ගලයා මීට පෙරත් ආරවුලකදී හිමිනමකට බෙල්ලට පිහිය තබා තර්ජනය කරීම පිළිබඳ පොලිස් විමර්ශනයක් ද තියෙන අයෙක්. ගම් දෙක අතර සමගිය සඳහා මම තමයි මේ පුද්ගලයා එදා පොලීසියට ගෙනගොස් භාරදුන්නේ. ඔහුට විරුද්ධව තවත් ප්‍රශ්න පොලිස් පොතේ තිබෙනවා. මෙම සිදුවීමට පස්දෙනක් පැමිණි බව තමයි ආරංචි වුණේ.

අපි මේ අපරාධය සිදුකළ අයට නිසි දඬුවම් අපේක්ෂා කරනවා” දෙනගම රාහුල හිමියන් වැඩිදුරටත් පැවසූහ.

මෙම සිදුවීමට අදාළව වැලිගම මූලස්ථාන පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී පහරදීම සිදුකළ පුද්ගලයා ඇතුළු සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් හයදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තවත් දෙදෙනෙකු ඇපමත මුදාහැර ඇත.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරී චන්දන හේරත්ගේ උපදෙස් පරිදි වැලිගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේසේකරගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධර්මවර්ධන ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Comments