
බුදුරජාණන් වහන්සේගේ දේශනාව ආගමක් ද එසේ නොවන්නට දර්ශනයක් ද යන්න විවාදයක්ව පවතී. ඇතැම් විට එය ශාස්ත්‍රීමය සංවාද දක්වා යන අවස්ථා ද වෙයි. ඇතැම් අවස්ථාවල එක්තරා ද්වේෂ සහගත සංවාදයක්ව ඉදිරියට පැමිණි අවස්ථා ද වෙයි. බුදුරජාණන් වහන්සේගේ අප සතුව ඇති දේශනාවට හො ආගමට හෝ දිය හැකි ශාස්ත්‍රීමය වචනය එසේ නැති නම් එහි අරුතයි. බුදු සමය ලෙස හැඳින්විය හැකිය. 'සමය' යන්නෙන් අදහස් කරනුයේ කාලය යන අරුත ද දෙයි, එයට අමතරව ' සමය' ලෙස කිසියම් දේශකයකු විසින් දේශනා කරන ලද දේශනාවක් ද මේ නමින් හැඳින්වේ. ඕනෑම සමයක් තුළ ආගම දර්ශන සහ ආගමික ලක්ෂණ මෙන්ම දාර්ශනික ලක්ෂණ ද වෙයි. වඩාත් නිවැරැදිව පැහැදිලි කරන්නේ නම් සමයක් තුළ සංයුතීන් පහක් ප්‍රධාන වශයෙන් වෙයි.
ඒවා ශාන්ති කර්ම, ආචාර ධර්ම, සාහිත්‍යය, ඉතිහාසය සහ දර්ශනය නම් වේ. මෙහි පළමු කරුණ වන ශාන්ති කර්ම ඕනෑම ආගමක ඕනෑම සමයක වෙයි. බොහෝ විට ඒවා සම වන්නේ ක්‍රියාවලින් නොව අරමුණුවලිනි. කිතුනු ආගම තුළ ශුද්ධ ජලය, ශුද්ධ නූල් අපේ බුදු සමය තුළ එවැනි ශාන්තිකර්ම වෙයි. එනම්, පිරිත් පැන්, පිරිත් නූල් වෙයි. බෞද්ධයන් ලෙස අප පිරිත් සජ්ඣායන, බෝධි පූජා සහ ශාන්තිකර්ම සිදු කරයි. ශාන්තිකර්මවල ලක්ෂණය නම් අලෞකික ශුභ සිද්ධියයි. එසේ නොමැති නම් මෙලොව යහපත උදෙසා ශාන්තිකර්ම භාවිත වෙයි. ශාන්තිකර්මයක් කර පරලෝක සුබ සිද්ධිය එනම් විමුක්තිය සාධනය කර ගැනීමට අපේක්ෂා නොකරයි. නිරෝගී සම්පත ලබාගැනීම, අමනුෂ්‍ය උපද්‍රවවලින් බේරීම, රෝග දුක්ඛවලින් වැළකීම, රැකියා ලබා ගැනීම වැනි ලෞකික අපේක්ෂා සඳහා ශාන්තිකර්ම කරනු ලබයි. ශාන්ති කර්මවල අර්ථය තේරුම් ගැනීමට කිසිසේත් අපහසු නැත. පිරිත් දේශනා කළද සාමාන්‍ය ජනයාට එහි අවබෝධයක් නොතිබුණද පිරිත් සජ්ඣායනා කරනු ලබයි.
එහි යථාර්ථයක් ඇති අතර පිරිත් නියමාකාරයෙන් වටහා ගැනීමට සන්න පොත් ව්‍යාඛාන පොත්වල ඊට අදාළ අර්ථ කථන වෙයි. මේවා සමයක, ආගමක ලක්ෂණ වෙයි.
දෙවැනි ලක්ෂණය නම් ආචාර ධර්මයි. එනම්, හොඳ නරක ඉගැන්වීම් ගුණ යහපත්කම් ඉගැන්වීමයි. මේ ඉහත කී ආකාරයේ ආචාර ධර්ම ඉගැන්වෙයි. මේ කරුණු පහෙන්ම ඉහත කී ආචාර ධර්ම ඉගැන්වේ. හැම ආගමක බොහෝ දුරට මේ ගුණධර්ම සමාන වෙයි. සතුන් නොමැරීම බොරු නොකීම, කාමයෙහි වරදවා නොහැසිරීම වැනි කාරණා බොහෝ දුරට සමාන වෙයි, මෙහි තුන් වැනි කරුණ නම් සාහිත්‍යයයි. එහිදී පුරාතන සාහිත්‍යය, නූතන සාහිත්‍යය, ද්‍යෂ්‍ය කාව්‍ය සාහිත්‍යය,ශ්‍රව්‍ය කාව්‍ය සාහිත්‍යය සියල්ල වෙයි. හතර වැනි කාරණාව ඉතිහාසයයි. එහිදී බුදුන්වහන්සේ ඉපදුණු, බුදුවූ ස්ථාන, ධර්ම දේශනා කළ ස්ථාන වැනි පුරාවිද්‍යාවට අයත් කරුණු වෙයි. මේ සෑම සමයකම ආගමක සංයුතිගත ලක්ෂණ වෙයි.
පස්වැනි කරුණ නම් දාර්ශනික ප්‍රපංච දර්ශනය පිළිබඳ ලෝකය විග්‍රහ කර ඇති ආකාරය, සත්ත්වයා සහ ගහකොළ විස්තර කර ඇති ආකාරය විමුක්තිය සහ රහත් භාවය ඇති කර ගන්නේ කෙසේද? වැනි කරුණු වෙයි. මේ දාර්ශනික ප්‍රපංචයන් සහ ආචාර ධර්ම මූලධර්ම ග්‍රන්ථවල ලියැවී ඇත. ඒවා ආගමික පාඨ ග්‍රන්ථ වෙයි. බුදු දහම අනුව ත්‍රිපිටකය, කිතුනු බයිබලය, ඉස්ලාම් කුරාණය මේ වැනි ග්‍රන්ථවල ඉතිහාස කරුණු සාහිත්‍ය කරුණු බොහෝ සෙයින් අඩුවෙන් පවතී. ආචාරධර්ම ඇතැම් සමයක බහුල වශයෙන් වන අතර ඇතැම් සමයක දාර්ශනික කරුණු ද බහුල වශයෙන් වෙයි.
මේ කරුණුවලින් ඇතැම් කරුණු වැඩි අවධානයකට ගත් විට ඒවා මූලධර්ම ලක්ෂණ නමින් හැඳින්වේ. උදාහරණ ලෙස බුදු පියාණන්වහසේ විසින් දේශනා කරන ලද ආකාරයට සිත මූලික වෙයි. මනො පුබ්බං ගමා ධම්මා , එසේ නැති චිත්තේන නීයතී ලෝකෝ වශයෙන් සිත මුලික කර බුදුන් වහන්සේ දේශනා කර ඇති කරුණු වෙයි. ඒ කරුණු දේශනාවලින් විශාල කොට සැලකූ විට බුදු සමය මනස පිළිබඳව විග්‍රාහයක් ලෙස බෞද්ධ මූලධර්මයක් ගොඩනගන්නට හැකියි. බුදුන්වහන්සේ දේශනා කර ඇති ආකාරයට ලෝකය ශූන්‍ය ලෙස දකින ලෙසත් ඒ ශූන්‍ය සේ දකින්න යැයි සඳහන් කරන කාරනාව පමණ ගෙන ඕනෑම කෙනෙකුට බුදු සමය ශුන්‍යතාවාදයක් ලෙස මූලධර්මයක් ගොඩනැගිය හැකියි.
ඊට අමතර කරුණ නම් මේ දේශකවරුන් ආගමක් දේශනා කොට නැත. බුදුන් වහන්සේ ගත් විට ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගත්තද ඒ අය ඉපදුණ කාලයේ අප කියන ලද මේ ආගම එවකට තිබුණේ නැත. බුදුන්වහන්සේ දේශනා කරනු ලැබු ඒ දේශනාව බෞද්ධ සමාජයට දේශනය වූවක් නොවෙයි. යුදෙව් සමාජයකට මේ දේශනාවන් කරනු ලැබිණි. ඉස්ලාම් ආගම නොවන සමාජයකට නබිනායකතුමා දේශනා කරනු ලැබිණි. බුදුන් වහන්සේ තුළ පැවැතියේ දේශනාවකි. ඒ දේශනාව පසුකාලීන සංවර්ධනය වෙයි. සංවර්ධනය වනු ලබන්නේ ආගමික ලක්ෂණ අනුවයි. ඒ බුදුන් දේශනා කරන ලද දහම ශ්‍රාවකයන් ලෙස අසනු ලැබුයේ ක්‍රි.පූ. 6 දීය. ඒ ප්‍ර දේශය ඉන්දියාවයි.
එවක සිටි ඉන්දියානු ජනතාවට කිසිම ආකාරයක බුදුදහමේ ආගමික ලක්ෂණ දක්නට නොලැබිණි. ඒ අනුව බුදුන්වහන්සේ කරනු ලැබුයේ දේශනාවකි. ලෝකය විග්‍රහයක් හෝ එසේ නොමැති නම් සත්ත්වයා විග්‍රහ කරන ලද්දක් වේ නම්, ඒ සියල්ල කරනු ලැබුයේ ඒ ප්‍ර දේශයට ඒ කාලයට සහ එහි සිටි ජනතාවටයි. එවකට ආගමක් ලෙස සංවර්ධනය වී නොතිබිණි. ශාන්තිකර්ම සංවර්ධනය වී නොතිබිණි. ශාන්තිකර්ම ආචාර්ය ධර්ම දාර්ශනික කරුණු සියලු දෙනා අසා නොතිබිණි. එය දේශනාව පමණක් වූ අතර ඒ දේශනාව එවකට සීමිත පිරිසක් විසින් අසා තිබිණි. ඒ සීමිත පිරිස කල්පනා කළ කරුණ නම් මේ කරුණු යාවත්කාලීන නොකර සංරක්ෂණය කළ යුතු බවයි. එවකට සිටි සීමිත ශ්‍රාවකයන් තීන්දු කරන ලද කරුණක් නම් ඉතා පැහැදිලිව මේ ධර්ම කරුණු එලෙස නඩත්තු කර තබා ගත යුතු බවයි. සංරක්ෂණය කරගත යුතු බවයි. ඒ සඳහා ඒ අය කළේ අනුගාමිකයන් පිරිසක් ගොඩනැගීමයි.
ඒ අනුගාමිකයන් අතරින් පූර්ණකාලීන සහ අර්ධකාලීනයන් ගොඩනගන ලදී. පූර්ණකාලීනයන් ලෙස භික්ෂු භික්ෂුණින් ද අර්ධකාලීනයන් ලෙස උපාසක උපාසිකාවන් ද බුද්ධ දේශනාවලට අනුකූලව ගොඩනගන ලදී. අර්ධකාලීනයන් විසින් පූර්ණකාලීනයන් පෝෂණය කිරීම සංවිධානය කරනු ලැබිණි. පූර්ණ කාලීනයන් විසින් පූර්ණකාලීනව දහම රැකගැනීමට යොදාගනු ලැබිණි. පූර්ණකාලීනයන්ට වාසස්ථාන, යෑපීම් මාර්ග සෑදීම කළ යුතුවිය. පුදපූජා වත් පිළිවෙත් ආදී සංවිධිත ව්‍යුහයක් යටතේ මොවුන් ගොඩ නැගුණි. ඒ ගොඩනැගුණේ දේශනාව ආරක්ෂා කර ගැනීමටයි .
බුදු දහම ආගමක් ද දර්ශනයක් ද යන ශාස්ත්‍රීය නොවන ප්‍රශ්නයට පිළිතුර නම් මෙය දර්ශනයකි. ආගමික ව්‍යුහයක් යටතේ එය සංවිධිත ගත කරනු ලැබිණි. එයට හේතුව මේ දර්ශනය රැක ගැනීම උදෙසායි. එහිදී මේ සංයුතිගත කරන ලද ආගම තුළ පසුකාලීන ජනප්‍රිය ලක්ෂණ ගොඩ නැගුණි. ඒ ජනප්‍රිය ලක්ෂණ ගොඩනැගීමට හේතුව ශ්‍රාවකයා සහ අනුගාමිකයා පිළිබඳ වූ විවිධත්වයයි. උගතුන් සේම නූගතුන් වෙයි. උපකාරකයෝ අපකාරකයෝ ද වෙති. අද වන විටත් ශාන්තිකර්ම පමණක් කරනු ලබන පිරිස් වෙයි. අදටත් ඉතිහාස කාරණා පමණක් හදාරන බෞද්ධයන් වෙයි. දාර්ශනිකව ග්‍රහණයක කරගත්තෝ සේම ආචාර්ය ධර්මියව ග්‍රාහණය කරගත් බෞද්ධයෝ ද වෙති.
මේ ආකාරයට විවිධ කණ්ඩායම් ගොඩ නැගුණි. එහිදී ජනප්‍රිය කණ්ඩායම ජනප්‍රිය කණ්ඩායම සේ වර්ධනය විය. ඒ ජනප්‍රිය කණ්ඩායමත් කොටස් කීපයකට බෙදුණි. ඒවා අත්තනෝමතික බෙදීම් නොවෙයි. ජනප්‍රිය බුද්ධාගම සලකන පිරිස දන්සැල, තොරණ සාදති. බෞද්ධ කවි ගීත ප්‍රචාරය කරති. ඒ ආකාරයට ජනප්‍රිය තලයේ සෞන්දර්යාත්මක බෞද්ධ සන්නිවේදකයන් පිරිසක් ගොඩ නැගුණි. මේ අතරතුර ජනප්‍රිය දේශකයන් වටා ගොඩනැගුණු විශාල පිරිසක් වූහ. ඔවුහු දේශකයාගේ පෞරුෂය හා දේශනාවේ පෞරුෂය මත ගොඩනැගුණහ. අද වන විට විවිධ සම්ප්‍රදායන් ගොඩනැගී ඇත. ඒ සම්ප්‍රදායන් තුළ එක්තරා ස්වාමීන්වහන්සේ නමක් වෙති. උන්වහන්සේගේ දේශනාව ආකර්ෂණීයය. එකී දේශකයා වටා ශ්‍රාවකයන් ගොඩනැගෙයි. එලෙස දේශකයා වටා ශ්‍රාවකයා ගොඩ නැගුණුවිට දේශකයා විසින් ශ්‍රාවකයන්ගේ බහුත්වය පාවිච්චි කරනු ලැබ වෙනම ආයතනයක් ගොඩනගයි. ඒ ආයතනය තමාගේම සහෝදර ආයතන සමඟ තරගයක් ස්වෙච්ඡාවෙන් ඇති කරගෙන මතුවීමට උත්සාහ දරයි. එහිදී එකම ආගමක් ඇතුළත ආයතන අතර තරගයක් ඇති වෙයි.
එකම ශාස්ත්‍රෘෘන්වහන්සේගේ ශ්‍රාවකයන් අතර සමයාභ්‍යන්තර ගැටුම් ඇති වෙයි. සමයාන්තර ගැටුම වෙන එකකි. එහෙත් සමයාභ්‍යන්තර ගැටුම තව එකකි. ඒආකාරයට ප්‍රසිද්ධියට පත් වෙන ජනප්‍රසාදයට පත් වෙන යම් යම් ස්වාමීන්වහන්සේ හා පුද්ගලයන් විසින් එකී කණ්ඩායම කෙමෙන් වර්ධනය කර ගැනීමේ ප්‍රතිඵලය මත උන්වහන්සේ වෙත ලාභය ද ප්‍රශංසාව ද කීර්තියද පිරිස් බලය ද ධනය ද ගොනු වෙයි. පිරිස් බලය ධන බලය විසින් තමාට ආවේණික අනන්‍ය ආයතන සම්ප්‍රදායක් ගොඩ නඟාගනු ලබයි. එය සාමාන්‍ය සමාජ විද්‍යාත්මක සත්‍යතාවයකි. සමාජ අර්බුදයක් නොවෙයි. මෙය කුඩා අභ්‍යන්තර සමාජ සාමාජීය දේශපාලනික කාරණාවකි. මානව විද්‍යාවේ, සමාජ මානව විද්‍යාවේ නව කරුණක් නොවෙයි. ධනය හා බලය විසින් ආයතනික ව්‍යුහයක් ස්වාධීනව ගොඩනැගීමේ ලක්ෂණයක් එහි වෙයි. අද වන විට නූතන ශ්‍රී ලංකාවේ බෞද්ධ ආයතනික සම්ප්‍රදා කිහිපයක් ගොඩනැගී ඇත. ඒ සියලු ආයතනික බෞද්ධ සම්ප්‍රදායන්වල බෞද්ධයෝම වෙති.
ඇතැමෙක් දාර්ශනිකව ධර්මය විග්‍රහ කරති. තවත් ජනප්‍රිය අයෙක් සංස්කෘතිකව ජනප්‍රිය වෙති. එසේ ජනප්‍රිය කර තමන්ට ආවේණික වර්ණයන් ද පූජා විධින් ද නාමයන් ද බොහෝ දෑ ආවේණිකව ගොඩනගා ගනිති. ඒ අතරවාරයේදී අනෙකා සමඟ ගැටුම් ඇති කර ගනිමින් එකිනෙකා අභියෝග කර ගන්නා නිර්ලජ්ජිත අවස්ථාවන්ට ද පත් වෙති. මේ සියලු දෙනාගේම අවසානික ඵල ප්‍රාප්තියේ නිෂ්ඨාව පරමාර්ථය විය යුතුව තිබෙන්නේ තථාගත දේශනාව සමය තුළ නොව සමයෙන් බැහැරව ව්‍යාප්ත කිරීමයි.
බොහෝ දෙනාගේ අරමුණ තමාගේ ආයතනය රැක ගැනීම සහ ආයතනය පුළුල් කිරීමේ අභියෝගයකට මුහුණදීමයි. ඒ ජනප්‍රියත්වය විසින් අමන්දානන්දයට පත් වූ සහ අමන්දානන්දයෙන් ස්වයංව මත් වීමකට පත් වූ පිරිස් මූලික පරමාර්ථයෙන් බැහැරව ගොස් ආයතනික පරමාර්ථයට ලඝු වූ සහ කොටු වූ පටු තැනක හිර වෙති. එවැනි ගණාචර්යවරු ,ගණ නායකයෝ එසේ නැතිනම් ස්වාමීන් වහන්සේ අපේ සම්බුද්ධ ශාසනයේ අද වන විට වෙති.
මෙය නූතන ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ආගමික ආයතනික සම්ප්‍රදායේ ස්වභාවයයි. නූතන ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ආගමික ලක්ෂණ ලෙස මේ තොරණ, දැන්සැල වැනි දේවල් හැඳින්විය හැකියි. අනෙක් කරුණු හැඳින්විය හැක්කේ නූතන ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ආගමික ආයතනික ලක්ෂණ වශයෙනි. ජනප්‍රිය බුදු දහමේ ජනප්‍රිය බෞද්ධ ආගමික සම්ප්‍රදායන් සහ ජනප්‍රිය බෞද්ධ ආගමික ආයතනික සම්ප්‍රදායන් එකනෙකට වෙනස් කොටස් දෙකකට විග්‍රහ කළ හැකියි. මෙහි ස්වභාවය එයයි. මෙය බුද්ධාගමට පමණක් ආවේණික ලක්ෂණයක් නොවෙයි .
අද වන විට කතෝලික පල්ලිය ක්‍රිස්තියානි මූලධර්මවාදී ජනප්‍රිය දේශකවරුන් විසින් වෙනස් කරනු ලැබ ඇත. එසේම ඉස්ලාම් ආගමත් මේ ආකාරයට බොහෝ දෙනා අතර ප්‍රචලිත වන වෙනත් මූලධර්මවාදී ලක්ෂණයන් විසින් ආගම්වලට අභියෝග එල්ල කරන තැනට පත් වී ඇත. ඒවා දේශපාලන කල්ලි කණ්ඩායම් විසින් පෝෂණය කරනු ලැබ තම බලය තහවුරු කරගැනීම සඳහා මෙවලමක් ලෙසත් පාවිච්චි කරනු ලැබ ඇත. ආගම බල මෙවලමක් වශයෙන් මේ වෙනකොට භාවිත වෙයි. ඒ නිසා ජනප්‍රිය තලයේ දේශකවරුන් ඝනාචාර්යවරුන් තමාගේ ග්‍රහණයට හසු කර ගැනීම සඳහා තමා ඔවුන්ගේ ග්‍රහණයේ සිටින බව ප්‍රකාශ කිරීමට දේශපාලකයෝ සූදානමින් සිටිති.
ජනප්‍රියම ආගමික ආයතන ප්‍රධානියා තමාගේ ග්‍රහණයේ සිටින බව පෙන්වීමට ඔහු ඒ තැනැත්තාගේ ග්‍රහණයට හසු වූ බව ඒ තැනැත්තාට පෙන්නුම් කර සිටියි. සැබවින්ම වන්නේ ඔහුගේ ග්‍රහණයට තමා හසු වීම බව එකී දේශකවරුන්ට, ගණාචර්යවරුන්ට පසු කාලයේදීවත් තේරුම් නොයෑමයි. මෙය නූතන ශ්‍රී ලංකාවේ ජනප්‍රිය බුදු දහමේ සලකුණු ලෙස සමාජ විද්‍යාත්මකව විග්‍රාහ කළ හැකියි.