‘බ්‍රේක් ’නැති කොවිඩ් රට පුරා පැතිරුණු හැටි | සිළුමිණ

‘බ්‍රේක් ’නැති කොවිඩ් රට පුරා පැතිරුණු හැටි

ලොව පුරා රටවල් 222ක් පුරා තම අණසක පතුරවමින් සිටින ගෝලීය කොවිඩ් 19 වසංගතය ඉකුත් සතිය ආරම්භයේදී ලොව පුරා මිලියන 164ක් ආසාදිතයන් බවට පත්කොට මිලියන 3.4ක් මරු වසඟයට ගෙන තිබුණි. ලොව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන දෙවැනි රට වන අසල්වැසි ඉන්දියාවේ දෛනික කොවිඩ් මරණ වාර්තාව පසුගිය සතියේදී යළි අලුත් විය. ඒ, වසංගත ව්‍යාප්තිය තුළ රටක් තුළ එක් දිනකදී සිදුවූ ඉහළම මරණ සංඛ්‍යාව වාර්තා කරමිනි. එම මරණ සංඛ්‍යාව 4,525 ක් වූ අතර ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 3ට අඩු අගයක් ගත්තද දෛනික මරණ සංඛ්‍යාව දිනෙන් දිනම වාර්තාගත අයුරින් ඉහළ යමින් පවතී.

පසුගිය වසරේ මාර්තු 11 වැනිදා මෙරටින් පළමු කොවිඩ් ආසාදිත ශ්‍රී ලාංකිකයා වාර්තා වීමත් සමඟ මේ වන විට ශ්‍රී ලංකාවට ද කොවිඩ් රැලි 3කට මුහුණ දීමට සිදු විය. ඒ අතර විශේෂ කොවිඩ් ආසාදිත පොකුරු කිහිපයක්ම වාර්තා වීම විශේෂත්වයකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ඉකුත් 18 වැනිදා පළකොට තිබූ දත්ත වාර්තා අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් අතර මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයන් ලෙස 3,059ක් පෑලියගොඩ පොකුරේ ආසාදිතයන් 82,785ක්, බන්ධනාගාර පොකුරේ ආසාදිතයන් 5,277ක් සහ අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 47,775ක් විය. මේ අතර සතියකට අධික කාලයක් අඛණ්ඩව දෙදහසකට අධිකව මෙරටින් වාර්තා වූ දෛනික නව කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 19 වැනිදා තුන්දහසේ සීමාව ඉක්මවා ගියේය. එදින වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3,521ක් විය.

- මෙරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව පළමු වරට තුන්දහස ඉක්මවයි
- මෙරට කොවිඩ් මරණ දහස ඉක්මවයි
- අලුත් අවුරුදු කොවිඩ් පොකුර පනස් දහස ඉක්මවයි
- දින 35ක් ඇතුළත මරණ 447

සමස්ත ආසාදිතයන් 
1,51,311

සුවය ලැබූවන් 
1,22,367

ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 
28,976

මරණ 
1,051
(මෙහි ඇත්තේ මැයි 19 වැනිදා දක්වා වාර්තා වූ දත්තයන්ය)

ඔබගේ හදිසි ප්‍රයෝජනය සඳහා දුරකතන අංක 

කොවිඩ් 19 වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය - 1999 
රජයේ තොරතුරු මධ්‍යස්ථානය- 1919 
සුවසැරිය හදිසි ගිලන්රථ සේවාව- 1990 
වසංගත රෝග විද්‍යා අංශය- 0112 695112 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන අංශය- 011 2 11705 
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය- 011 2 696606

තරාතිරම නොබලන කොවිඩ් මාරයා

දිනෙන් දින වැඩිවන කොවිඩ් මරණ සලකා බැලීමේදී සනාථ වන්නේ කොවිඩ් වයිරසය කිසිදු තරාතිරමක් වැදගත් නොවන බවයි. දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී කේ. තුරෙයිරෙත්නසිංහම්(80) කොවිඩ් ආසාදනය වීමෙන් ඉකුත් 17 වැනිදා මියගියේ කන්තලේ රෝහලේදීය. කොවිඩ් ආසාදිතව මියගිය දෙවැනි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහු වන අතර හිටපු කථානායකවරයකු වූ විජමු ලොකුබණ්ඩාර ද මියගියේ කොවිඩ් ආසාදනය වීමෙනි. එමෙන්ම ලක්සල සහ සළුසල සභාපති ලෙස කටයුතු කරමින් සිටි ප්‍රදීප් ගුණවර්ධන ද කොරෝනා වයිරසය ආසාදිතව පසුගිය 18 වැනිදා අභාවප්‍රාප්ත වූයේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුතපාණ්ඩි රමේෂ්වරන් ද 19 වැනිදා කොවිඩ් ආසාදිතව රෝහල්ගතකර තිබුණි. ජනප්‍රිය ගායන ශිල්පී භාතිය ජයකොඩි ද කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් පසුවේ. කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ද මේ වන විට සුවය ලබමින් පසුවේ. 

රට පුරා සැර කොරෝනා වයිරස ප්‍රභේද හයක්

මේ වන විට මෙරට සැර කොරෝනා වයිරස ප්‍රභේද හයක් ව්‍යාප්තව පවතින බවට සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි. එම ප්‍රභේද වන්නේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය,ඉන්දියානු ප්‍රභේදය, අප්‍රිකානු ප්‍රභේදය ,ඩෙන්මාර්ක් ප්‍රභේදය, නයිජීරියානු ප්‍රභේදය හා ශ්‍රී ලංකා ප්‍රභේදයයි. එම සැර වයිරස ප්‍රභේද රැසක් ආසාදිත පුද්ගලයන් බහුතරයක් වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලිනි. එම ප්‍රභේද අතරින් භයානකම වර්ගය බ්‍රිතාන්‍ය ප්‍රභේදය බවත් එහි පැතිරීමේ ශීඝ්‍ර ඉහළ අගයක් ගන්නා බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේද හා සෛල ජීව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී, ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේය.

කොවිඩ් නිසා තැපෑලටත් බාධා

කොවිඩ් ව්‍යාප්තියත් සමඟ තැපැල් බෙදාහැරීමේ ප්‍රමාදයක් මතුව ඇතැයි වාර්තා වේ. මේ වනවිට තැපැල් දුම්රිය ධාවනය අත්හිටුවා ඇති අතර හා තැපැල් ප්‍රවාහන ලංගම බස් රථ ධාවනය ද සීමා කර තිබීම ඊට හේතුවයි. එමෙන්ම අන්තර් පළාත් සංචරණය සීමා කිරීම හේතුවෙන් ඇතැම් තැපැල් සේවකයන් සේවයට වාර්තා කිරීම ද සීමා වී ඇත. කොරෝනා ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් මේ වනවිට ග්‍රෑන්ඩ්පාස්, කොටහේන හා හැටන් තැපැල් කාර්යාල මෙන්ම උප තැපැල් කාර්යාල 40 ක් පමණ වසා දමා ඇත.

එන්නත් ගැනනව අපේක්ෂා දැල්වෙයි

රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් V' එන්නත් මාත්‍රා 1, 85,000ක් ලබන අඟහරුවාදා (25) මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පැවසීය. එමෙන්ම සයිනොෆාම් එන්නතේ තවත් මාත්‍රා ලක්ෂ 6ක් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදෙන බවත් එය මෙම මාසය තුළ ලැබෙනු ඇති බවටත් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සනාථ කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ එන්නත ලබාගැනීම සම්බන්ධයෙන් ජනතාව තුළ විශාල උනන්දුවක් ඇතිවී ඇත. ඉකුත් 19 වැනිදා වන විට ඉන්දියාවේ කොවිෂිල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 9,25, 243ක් වූ අතර එහි දෙවැනි මාත්‍රාව 2,97, 683කට ලබාදී තිබුණි. චීනයේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 4,37, 840කටත් එහි දෙවැනි මාත්‍රාව 2,435කට ලබා දී ඇත. රුසියාවේ ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 14,917කි.

පී.සී.ආර්. පරීකෂණාගාර තවත් වැඩි වෙයි

කොවිඩ් ආසාදිතයන්ගේ වැඩි වීම සැලකිල්ලට ගනිමින් පවතින පී.සී.ආර් පරීක්ෂණාගාරවල ධාරිතාව වැඩිකිරීමට දැනටමත් කටයුතු කර ඇති බවත් මේ වන විටත් එම පරීක්ෂණාගාර පැය 24ම කාර්යයේ යෙදෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය. මේ වන විට දෛනිකව මෙරට සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ විසි දහසට අධිකය. 

එන්නත්කරණය සඳහා ලියාපදිංචි වීමට වෙබ් පිටුවක්

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක් වී මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ කාර්යක්ෂම කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. ඒ අනුව කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමට බලාපොරොත්තු වන ජනතාවගේ පහසුව සඳහා වෙබ් පිටුවක් නිර්මාණය වන අතර එය ඉදිරි දින දෙක තුළ එළිදැක්වීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ උපදෙස් අනුව එම වැඩසටහන අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් සම්බන්ධීකරණය කරනු ලැබේ. එම වෙබ් පිටුව මඟින් ජනතාවට එන්නත් ලබා ගැනීමට දිනයක්, වේලාවක් සහ මධ්‍යස්ථානයක් වෙන්කර ගැනීමේ අවස්ථාව ද හිමිවේ. ඒ ඔස්සේ එන්නත්ලාභීන්ට ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති එන්නත්කරණ සහතිකයක් ලබාදීමට නියමිතය.

දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය සම්පුර්ණයි

කොවිඩ් රෝගීන්ට පිහිට වීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ සංකල්පයකට අනුව රට පුරා ක්‍රියාත්මක වූ දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය ඉකුත් 16 වැනිදා සම්පූර්ණ කිරීමට ඒ සඳහා ස්වෙච්ඡාවෙන් සම්බන්ධවූ තරුණ තරුණියෝ සමත් වූහ. එම ව්‍යාපෘතිය සඳහා ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යොවුන් සේනාංකය පෙරමුණ ගත් අතර රාජ්‍ය ආයතන හා විවිධ ස්වෙච්ඡා සංවිධාන ද ඒ සඳහා පුළුල් දායකත්වයක් ලබා දුන්හ. දින 10න් ඇඳන් 10, 000ක් ව්‍යාපෘතිය ඉකුත් 5 වැනිදා ආරම්භ වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපෘතිය ඔස්සේ බොහෝ රෝහල්වල අලුත්වැඩියා කටයුතු සඳහා ද තරුණ තරුණියන් යොමු වූ අතර පහසුකම් සහිත අතිරේක වාට්ටු සංකීර්ණ 13ක් අලුතින් රෝහල්වලට එක් වී ඇත.

මෙරට කොවිඩ් මරණ දහස ඉක්මවයි

කොවිඩ් ආසාදනය වීමෙන් මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව දහස ඉක්මවා ගියේ ඉකුත් 18 වැනිදාය. එදින මරණ 34ක් වාර්තා වූයේ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1015 දක්වා ඉහළ නංවමිනි. මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් 18ක් සහ කාන්තාවන් 16ක් වන අතර ඒ අතර 20 හැවිරිදි තරුණයකු සහ අවුරුදු 38 සහ 32 යන වයස්වල පසුවූ කාන්තාවන් දෙදෙනකු ද විය. කොවිඩ් හේතුවෙන් මෙරට මියගිය බහුතරය වයස අවුරුදු 60ත් 75ත් අතර වයසේ පසුවන්නන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 19 වැනිදා වන විට මෙරටින් වාර්තා වී තිබූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව වූ 1,015න් 623 ක් පිරිමි පුද්ගලයන් වන අතර 392ක් කාන්තාවන්ය.

දින 100ක් තුළ ආසාදිතයන් මිලියනයක් වාර්තා වීමේ අවදානමක්

දින සියයක් තුළ මෙරටින් කොවිඩ් රෝගීන් මිලියනයක් වාර්තා වීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවති. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ සාමාන්‍ය ගණනය කිරීම් අනුව දින 5 හෝ 6ක් ඇතුළත මේ රෝගය එක් අයකුගෙන් තවත් කෙනෙකුට බෝවන්නේ නම් සෑම දින 5කට වරක් නව රෝගීන් සංඛ්‍යාව දෙගුණ වන බවයි. එසේ වුවහොත් වුණොත් අනිවාර්යයෙන්ම දින 100ක් පමණ කාලයක් ගතවද්දී රෝගීන් සංඛ්‍යාව මිලියන ඉක්මවිය හැකි බවට ඔහු අනතුරු ඇඟවීමක් කළේය.

හිර ගෙදරටත් ගිය කොරෝනා

මේ වන විට බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් 104දෙනකුට කොරෝනා වයිසරය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. එම බන්ධනාගාරය තුළ මේ වන විට රැඳවියන් 536 දෙනකු රඳවා සිටින අතර ඔවුන්ට ද කඩිනමින් පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර ප්‍රකාශකයකු පැවසීය. මේ අතර කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රැඳවියන් පිරිස යාපනය බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇත. මේ අතර බන්ධනාගාරවලදී කොවිඩ් ආසදනය වන රැඳවියන් පිළිබඳ ඔවුන්ගේ ඥාතීන්ට තොරතුරු දැනගැනීම සඳහා දුරකතන අංකයක් හඳුන්වා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඒ අනුව බන්ධනාගාර කොවිඩ් තොරතුරු අංශයේ 011 4 677 101 අංකයෙන් විමසීම් කළ හැකිය.

ශීඝ්‍රයෙන් වැඩි වන අලුත් අවුරුදු කොවිඩ් පොකුර

මෙරට කොවිඩ් ව්‍යාප්තිය තුළ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කළ අලුත් අවුරුදු කොවිඩ් පොකුර ඇතිවී මාසයක් ගතවීමටත් පෙර නව ආසාදිතයන් හතළිස් දහස ඉක්මවා ගියේය. මැයි මාසයේ ගතවූ දින 18 තුළ පමණක් කොවිඩ් මරණ 337ක් සිදුව ඇති අතර අලුත් අවුරුදු කොවිඩ් පොකුර ආරම්භ වූ අප්‍රේල් මස 15 වැනිදා සිට මැයි 18 වැනිදා දක්වා කාලය තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 411කි.

නිරෝධායන නීති කැඩූ සංඛ්‍යාව දහස පනී

ඉකුත් ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 10,073කි. සංචරණ තහනම ක්‍රියාත්මක නොවන කාලයේදී නිවෙසින් බැහැරට යෑම සඳහා හඳුන්වා දී තිබෙන හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කර සංචරණ සීමා කඩ කළ පුද්ගලයන් 141ක් දෙනෙකු 18 වැනිදා දිනය තුළදී පමණක් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිසිය පැවසීය.

තුල්හිරිය ඇඟලුම්හලකින් තවත් කොවිඩ් පොකුරක්

තුල්හිරිය ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් -19 ආසාදිතයන් 400ක් පසුගියදා හඳුනාගෙන ඇත. එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් සඳහා සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ 2000කින් එම නව ආසාදිතයන් 400 හඳුනාගෙන තිබේ. එසේ නව ආසාදිතයන් හඳුනාගැනීමත් සමඟ අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පියවර ගෙන තිබුණි. එපමණක් නොව එම ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් සෙවීම සඳහා ඔවුන්ගේ පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුම්වත් කර ඇති බව ද වාර්තා විය.

කොවිඩ් අතර ඩෙංගුත් හිස ඔසවයි

දිනපතා මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිවෙමින් තිබෙන පසුබිමක් තුළ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය. ඒ හේතුවෙන් ඩෙංගු සහ කොවිඩ් රෝගීන් පහසුවෙන් වෙන්කර හඳුනා ගැනීම අපහසු බවද වෛද්‍යවරු පවසති. එබැවින් කිසියම් පුද්ගලයෙකුට උණ තත්ත්වයන් පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේය.

ආසාදිතයන් ළඟම ප්‍රතිකාර මධ්‍යස්ථානයට හෝ අතරමැදි මධ්‍යස්ථානයට

යම් පුද්ගලයකු කොවිඩ් 19 ආසාදිතයකු වු විට ඔහුට සහ ඔහුගේ පවුල්වලට බලපාන දැඩි මානසික පීඩනය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් පසුව කොවිඩ් – 19 වයිරසය ආසාදිතයන් ඔවුන් පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථානවලට සහ අතරමැදි මධ්‍යස්ථානවලට යොමු කරමින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. කොවිඩ් මර්දන වැඩපිළිවෙළ පිළිබඳ ක්ෂණික තීරණ ගැනීම සඳහා වූ COVID – 19 විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන කමිටුව ඉකුත් 17 වැනිදා සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී එම තීරණය ගෙන තිබේ. ඊට අමතරව රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන විසින් ඉදි කරමින් යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීම, එම ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් ලබා දීම, වැඩි සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිටින රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථානවලින් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත කාර්ය මණ්ඩල යොමු කිරීම, දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දීමට අවශ්‍ය එන්නත් තොග ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කිරීමට රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් ලබා දීම සහ PCR පරීක්ෂණවලට සමගාමීව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වැඩි වශයෙන් සිදු කිරීමට ද එම කාර්ය සාධන කමිටුවේදී තීරණය කොට ඇත. 

ආසාදිතයන් වැඩි වන ප්‍රදේශ හුදෙකලා කිරීම තවදුරටත් ක්‍රියාත්මකයි

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීම තවදුරටත් සිදුවේ. ඒ අනුව ඉකුත් 19 වැනිදා වන විට ඉකුත් සති අන්තය වන විටත් කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, කෑගල්ල, ත්‍රිකුණාමලය, මාතලේ, මාතර, ගාල්ල, අම්පාර,රත්නපුර, හම්බන්තොට, මොණරාගල, නුවරඑළිය, පොළොන්නරුව සහ පුත්තලම යන දිස්ත්‍රික්ක 16ට අයත් ග්‍රාම නිලධාරී වසම් 400කට අධික සංඛ්‍යාවක් හුදෙකලා කර තිබුණි. ඇතැම් ප්‍රදේශ හුදෙකලා භාවයෙන් ඉවත් කෙරුණ ද රට පුරා ක්‍රියාත්මක කෙරෙන සංචාරණ සීමා ඒ ප්‍රදේශවලට දිගටම බලපැවැත්වෙන බව කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය. ඒ අනුව හුදෙකලා කෙරුණු ප්‍රදේශවලට පිටතින් ඇතුළු වීම සහ එම ගම්මානවලින් පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

ගැබිනි මවුවරුන්ගේ අවදානම තවදුරටත් ඉහළට

කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට මෙරට තුළ ගැබිනි කාන්තාවන් 5 දෙනෙකු මරණයට පත්ව ඇති බවත් ඉදිරියේදී මෙය තවදුරටත් ඉහළ යා හැකි බවත් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් පවසයි. ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට පවසන්නේ එවැනි තත්ත්වයක් තුළ ගැබිනි මවුවරුන්ට එන්නත ලබාදීම සුදුසු බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සයිනොෆාම් එන්නත වෛද්‍යවරුන්ගේ අනුදැනුම් ඇතුව මවුවරුන්ට භාවිත කිරීමට නිර්දේශ කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය. කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන් 160කට අධික සංඛ්‍යාවක් මේ වන විට මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන බව ද වාර්තා වේ. ගැබිනි කාන්තාවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇති බව ද වංසගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් සඳහන් කළේය. එසේ වුවද මවුකිරි දෙන සියලුම මවුවරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීම සුදුසු බවත් එන්නත ලබා ගැනීම මවුකිරී දීම වෙනස් කිරීමට හේතුවක් නොවන බවත් ඔහු පැවසීය.

සයිනොෆාම් එන්නත මෙරට නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 18 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී චීනයේ නිෂ්පාදනය කරන සයිනොෆාම් එන්නත දේශීයව නිෂ්පාදනය කිරීමට අනුමැතිය හිමි විය. එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා මහනුවර පල්ලේකැලේ පිහිටුවා ඇති කෙලුන් ලයිෆ් සයන්ස් පෞද්ගලික සමාගම මේ වන විටත් චීනයේ සිනෝවැක් බයෝටෙක් සමාගම සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත. මෙම එන්නත දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා උපරිමය වසර පහක කාලයක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මිලදී ගැනීමට ද යෝජනා කර ඇත. එමෙන්ම එන්නත් නිෂ්පාදනය කිරීමේ අනුමැතිය ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලබාගැනීම හා ගිවිසුම් අත්සන් කිරීමේ බලය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිවරයාට පැවරීමට ද යෝජනා කර තිබේ.

ඡායාරූප- විමල් කරුණාතිලක, සුලෝචන ගමගේ සහ සුදත් මලවීර

Comments