
වයෝවෘද්ධ ගුවන්විදුලි හා රූපවාහිනි සන්නිවේදකයකු වූ මැල්කම් මගරිජ් (Malcolm Muggeridge) මහතා වයසින් මුහුකුරා යාමත් සමඟ සන්නිවේදන කුසලතාවෙන්ද මුහුකුරා ගිය කෙනෙකු ලෙස අපට පෙනිණ. ඔහු සිනාසෙමින් වතාවක් පැවැසූ දෙයක් අපට අමතක නොවේ.
කුමක්ද ඔහු කීවේ?
"මා මේ මැදිරියට ඇරියුම් කළ අයට තමන්ගේ මතවාද නිදහස් ලෙස කියාපෑමට ඇති ඉඩකඩ මම කිසිසේත් අහුරන්නේ නැහැ. ඒ නිසා මගේ පළමුවන වගන්තිය මොකක්ද?"
මම එකඟ වෙමි.
I agree.
ඒ වගන්තිය ඉතා සාමාන්‍ය කියමනක්. බොහෝ දෙනෙක් තවත් බොහෝ දෙනෙකු හා සමඟ එකඟවන හැටි අපට නිතරම පේනවා.
ඒත් මේ අතර අප සමඟ සිටින තවත් සමහරුන්ට මෙහෙම කීමට පුළුවන්.
මම එකඟ නොවෙමි.
I disagree.
ඊළඟට සාවධානව ඇසිය යුත්තේ කුමක්ද?
ඇයි මට එකඟ නොවන්නේ?
Why don't you agree with me?
ඔන්න දැන් ඉතින් පටන් ගත්තා වඩාත් වැදගත් සන්නිවේදන කාර්යය.
ඒ කුමක්ද?
කෙනෙකු හා සමඟ තව කෙනෙකු එකඟ නොවීමට එකඟ වීම.
Agree to disagree.
දැඩි සන්නිවේදන මිත්‍රත්වයකින් මේ කාර්යය ඉටු කිරීමට අපි නිදහස ලබා දිය යුතු යි."
මෙහෙම මුලින්ම පවසන සන්නිවේදක මගරිජ් ඊළඟට තවත් ඇරියුම් කළ මතවාදින් හමුවේ දිග හරින්නේ විවාදාපන්න මාතෘකාව කි. ඊළඟට ඔහු කෘතඥතා පූර්වකව යමක් පවසන්නට පටන් ගත්තා හැටිත් පෙනේ.
"මේ සන්නිවේදන මතවාද මගේ හිතේ උපන් මතවාද ලෙස සලකන්නට එපා. අපි කෘතඥවිය යුත්තේ ඇමෙරිකන් ජනාධිපතිවරයකු වූ තියඩෝර් රූස්වෙල්ට් (Theodore Roosevelt) මහත්මයා. ඇයි?
එතුමා ඔය විදිහේ සන්නිවේදන කතිකා න්‍යායක් (communication discourse) ගොඩ නැගූ බව මට දැන ගැනීමට ලැබුණා, මම ඒ ගැන සෙවිල්ලෙන් බැලිල්ලෙන් පස්සෙ කලින් ලබා තිබූ දැනුමට වැඩි දැනුමක් ලබා ගැනීමට පුළුවන්කමක් ලැබුණා."
මට මෙහිදි මතක් වූයේ අප අතර පවතින 'බහින්බස්වීම' නම් වූ සංකල්පය යි.
අපේ පඬිවරුන් කියා ඇත්තේ,
"කසින් කසින් කස් බෝ වේ.
බසින් බසින් බස් බෝ වේ," යනුවෙනි.
මොකක්ද 'කසින් කසින් කස් බෝ වේ' කියන්නේ?
වෙදමහත්වරුන් පවසන පරිදි සිරුර කහන්නට කහන්නට තව තවත් කහන්නට සිදු වෙන බව යි.
එලෙසින්ම 'කතාබහ කරන්නට කරන්නට තව තවත් කතාබහ ඇතිවේ.'
අන්තිමට බාගදා ගුටිකෙළි යන තරමට 'බහින්බස්වීම' සිදු වේ.
මේ නිසා කළ යුත්තේ කුමක් ද?
'එකඟ නොවීමට එකඟවීම' යන සංකල්පය ගුරුතන්හි තබා සැලකීමට හුරු වීම යි. මේ කාර්යය වඩාත් ඵලදායක ලෙස ඉටු කිරීමට නම් 'මාධ්‍ය කතිකා' නමින් හඳුන්වනු ලබන විවාදාත්මක වැඩසටහන් විධිමත් කළ යුතුයි. ඒ සඳහා ගුරුහරුකම් ලබාගත හැක්කේ ඒ වැඩසටහන් සඳහා සහභාගි කරගන්නා උදවිය අතර 'එකඟ නොවීමට එකඟවීම' යන සන්නිවේදන සංකල්පය ක්‍රියාත්මක වීමට නිදහස ඇතිකරවීම යි.
නිදහස් ප්‍රකාශනය (Freedom of Expression) මෙකල උසස් සන්නිවේදන සංකල්පයකි. විරුද්ධවාදීන්ගේ මත මෙන්ම පක්ෂපාතීන්ගේ මත ද, ග්‍රාහකයින් හෙවත් පාඨක, ශ්‍රාවක, ප්‍රේක්ෂක ජනයා බුද්ධිමත් කළ යුතු බව වටහා ගත යුතු යි.