එන්නත්කරණය ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක් | සිළුමිණ

එන්නත්කරණය ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක්

* එන්නත්කරණය කොවිඩ් 19 වයිරසය සඳහා ඇති එකම විසඳුම ද?
* මේ දක්වා ලංකාවට ගෙන්වා ඇති එන්නත්වල විද්‍යාත්මක උපයෝගීතාව කෙබඳුද? 
* පළමු මාත්‍රාව පමණක් ලබාගත් කොවිෂීල්ඩ් එන්නත්කරණය ලබාගත් අයගේ දෙවැනි මාත්‍රාව ප්‍රමාද වීම එහි ප්‍රතිශක්තිකරණයට ගැටලුවක් ද?
* එන්නත් ලබාදීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ඔබ තෘප්තිමත් ද?
* එන්නත්කරණය ගැන පැතිර යන විවිධ මත දුර්මත සේ සලකා එකහෙළා ප්‍රතික්ෂේප කළ හැකිද?

ප්‍රජා පොලිස් සහ ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම

1 අවසාන විසඳුම වන්නේ ලෝකයම පිළිගත් එන්නත්කරණයයි. ප්‍රවේශම් වුණොත් රෝගයෙන් වැළකිලා ඉන්න පුළුවන්. නමුත් අවසානයක් කරා යන්න නම් එන්නත්කරණය සියයට සියයක් විය යුතුයි. එයයි අවසාන විසඳුම. පී.සී.ආර් කිරීමෙන් වෙන්නේ කොවිඩ් ආසාදිතද නැද්ද යන්න හඳුනා ගැනීම පමණයි. නමුත් එය රෝගයට අවසාන විසඳුමක් වෙන්නේ නැහැ. එය ප්‍රතිකාර කිරීම සඳහා උපකාර වෙනවා පමණයි. ප්‍රධාන කාරණය එන්නත්කරණය ඉතාමත් කඩිනමින් රට පුරා සිදු කළ යුතුය. එතෙක් ජනතාව අනිවාර්යෙන් මීටර දෙකේ පරතරය, මුහුණු ආවරණ පැලඳීම වැනි සෞඛ්‍ය රීති අනුගමනය කළ යුතුයි. සංචරණ සීමා පැනවිය යුතුයි. නමුත් මේ සියල්ල අවසාන විසඳුම නොවෙන අතර සියයට සියයක් එන්තත් කරණය කළ යුතුයි. වඩා වේගයෙන් වයිරසය පැතිර යන ප්‍ර දේශවල ජනතාව කඩිනමින් එන්නත්කරණයට ලක් කළ යුතුයි.

2 මේ එන්නත් සියයට සියයක් පර්යේෂණ පවත්වා තහවුරු කරගත් එන්නත් නොවන බව කිව යුතුයි. ලෝකයේ සාමාන්‍යෙයන් එන්නත් සොයාගෙන ඒවා පරීක්ෂා කිරීමට කාලයක් ගත වෙනවා, අවුරුදු තුන හතරක් නොයෙක් පරීක්ෂණවලට ලක් කරනවා. මේ එකම එන්නත් වර්ගයක්වත් ඒ කියන ආකාරයට පරික්ෂා කර නැහැ. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මතයි අපි මේ සියලු එන්නත් භාවිත කරන්නේ. ඇස්ට්‍රාසෙනිකා එන්නත අපිට ගෙන්වා ගැනීමට අපහසු වී තිබෙනවා. ඒවා විටින් විට ඇතිවන ප්‍රායෝගික ගැටලු. සයිනොෆාම් එන්නත පිළිබඳව මතවාද තිබුණත් මේ වන විට මෙරට විශාල ප්‍රමාණයක් එන්නත් කර තිබෙනවා. අපට සපයා ගන්න පුළුවන් එන්නත්වලින් අපි උපරිමයෙන් ජනතාව ආරක්ෂා කරනවා.

3 මේ එන්නත ලබාගත් පසු එහි දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට සති දහසයක පමණ කාලයක් තිබෙනවා. දෙවැනි එන්නත ලබා ගැනීම සඳහා කිසිම කෙනෙකුට සති දහසක් මේ වනවිට ගත වෙලා නැහැ. සති කිහිපයක් තුළයි දෙවැනි එන්නත ලැබීමට තිබුණේ. නමුත් මේ වන විට කොවිෂීල්ඩ් එන්නත ලැබීමට ප්‍රමාදයි. ලෝකයේ කොහේ හෝ තිබෙනවා නම් අපි ගෙන්වා ගැනීමට උත්සාහ කරනවා. නමුත් කොවිෂීල්ඩ් හිඟයක් සහ ඒ පිළිබඳ ප්‍රායෝගික ගැටලු සියලු රටවලට තිබෙනවා. අපි බලනවා ඒ එන්නත ගත්ත අයට එයම ලබා දෙන්න. ලෝකයේ දැනට පරික්ෂා කරමින් යනවා දෙවැනි මාත්‍රාවක් වෙනත් එන්නත් වර්ගයකින් ලබාදෙන්න පුළුවන්ද කියලා. එසේ ලබාදිය හැකි නම් එය කරනවා. එසේ නැතිවුවහොත් සෞඛ්‍ය අංශවලින් දැනුම්වත් කර තිබෙනවා, කලින් ලබාදුන් එන්නතෙහි බලපෑම් සම්පූර්ණයෙන් ඉවත් වූ විට වෙනත් එන්නත් වර්ගයකින් එන්නත් මාත්‍රා දෙකම ලබා දිමට හැකි බව. අපි උත්සාහ කරන්නේ එය විකල්පයක් ලෙස කිරීමටයි. ඒ දේ සිදුවන්නේ කොවිෂීල්ඩ් සොයා ගැනීමට නොහැකි වුවහොත් පමණයි. නමුත් අපට එන්නත් සොයා ගැනීමට හැකිවෙයි කියා විශ්වාසයක් තිබෙනවා.

4 ලංකාවේ මිලියන 20ක් සඳහාම එක දවසේ එන්නත ලබාදීමට හැකිනම් අපි තෘප්තිමත් වෙනවා. නමුත් ඒ ආකාරයට මෙය කරගැනීමට නොහැකි වීමයි ගැටලුව වී තිබෙන්නේ. ලෝකයේ සමහර රටවලට එන්නත් ගෙන්වා ගැනීමටත් නොහැකි තත්ත්වයක් තුළ යම්තාක් දුරකට අපේ රජයේ එන්නත්කරණ වැඩසටහන සාර්ථක වී තිබෙනවා. අපි ආරම්භ කළේ දවසට එන්නත් දෙදහක් පමණ වුවත් දැන් එය අසූදහ දක්වා ගෙනයන්න ත්‍රිවිධ හමුදාවේ සහායෙන් හැකි වුණා. සමහර රටවල් එන්නත තිබෙනවා, විඳින්න පිරිස නැහැ. නමුත් අපි ඒ සියලු ගැටලු දැනගෙන කල්තියා සුදානම් වුණා. ඒ ගැන සෞඛ්‍ය අංශවලට, ආරක්ෂක අංශවලට අපි ස්තූතිවන්ත විය යුතුයි. ඒ වගේම මේ එන්නත් කිරීමට පදනම් විය යුතු වන්නේ ආසාදිත මට්ටම් අනුවයි. ඊට අමතරව අපිට එන්නත් වැඩි ප්‍රමාණයක් ලැබුණාම වැඩිපුර ජනතාව සමඟ ගැටෙන පිරිසට උදාහරණයක් වශයෙන් ත්‍රිරෝද රථ, පෞද්ගලික බස් සහ ගමනාගමන සේවාවේ බස් රථ රියැදුරන්ට සහ සහායකයන් සහ පොලිස් නිලධාරීන් වැනි කාණ්ඩ අනුව එන්නත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඇතැමුන් චෝදනා කරනවා එන්නත්කරණයේ බලය අනිසි විදිහට පවරා ගනිමින් මන්ත්‍රීවරුන්, නගරාධිපතිවරුන් හිතවතුන්ට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කර තිබෙනවා කියලා. ඒ කවුරුත් බෙහෙත් විඳගෙන නැහැ. ඕනෑම විදිහකට වැඩක් කරන්න ගියාම අදාළ ස්ථානයේ පී.එච්.අයි, ග්‍රාම නිලධාරි රජයේ සේවකයන්ගේ හිතවතෙක් නම් අනෙක් අයට කලින් බෙහෙත විඳගන්න පුළුවන්. අපි එය නැහැ කියන්නේ නැහැ. ජිවිතය ගැන නොතකා සේවය කරන නිලධාරින්, රජයේ නියෝජිතයන්, පී.එච්.අයි මහත්තයා, නර්ස් නෝනා හිතවත් කෙනෙක් ගෙන්වාගෙන බෙහෙත් විද්දා කියලා ඒ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. එක වසමක කෙනෙක් අනෙක් වසමට ගිහින් බෙහෙත විඳගන්නවා නම් එක එච්චර ලොකු දෙයක් නොවෙයි. නමුත් මේ අය කරන සමාජ මෙහෙවර ගැනයි අපි කතා කරන්න අවශ්‍ය වන්නේ.ඒ අයගේ මෙහෙවරයි වැදගත් වෙන්නේ. නමුත් හැමවිටම එහෙම දෙවල් වෙනවා කියලා කියන්න බැහැ. ලෝකයේ අනෙක් රටවල්වල මේ ගැටලුව ගැන හිතාගන්න බැරිවෙලා තියෙද්දි අපි මේ නගරාධිපතිගේ, මන්ත්‍රීගේ හිතවත්කමට බෙහෙත් විඳපු දේවල් ගැන කතා කරනවා. ඒ රටවල්වල ජනතාව ජීවත් කර ගැනීමේ සටනකයි නිරත වෙලා තියෙන්නේ. පෝලිමේ පිට එන්නත් කිරීමට වඩා දෙයක් මේ වන විට රජයේ නියෝජිතයෝ ජනතාව වෙනුවෙන් කරලා තිබෙනවා. ඇතැම් රූපවාහිනී නාළිකාවල දකින්නේ පෙන්වන්නේ වැරදි පමණයි. රජය කරන හොඳ දේවලුත් පෙන්වන්න පුළුවන් නේද? ඇතැම් නාළිකා යුද්ධය වෙලාවේ කළෙත් ඔය වගේ විවේචන පමණයි. රටට සාමය ඇතිවුණ එක ගැන කතා කළේ නැහැ. අදත් නිදහසේ පාරේ බැහැලා යන්නේ ඒ විජයග්‍රහණය නිසා කියලා සමහරුන්ට දැන් අමතකයි.

5එන්නත්කරණය පිළිබඳව මේ වනවිට විවිධ මතවාද පැතිරෙනවා. ඒ මත දුර්මත කියලා බැහැර කරනවාද යන කාරණාවේදී අපිට විකල්ප දෙකක් තියනවා. ලෙඩේ හැදිලා මියැදෙනවාද? නැතිනම් එන්නත ලබාගන්නවාද කියලා. කොයි එක කරන්නත් අවසරය තියනවා. මේ එන්නත ගැන දුර්මත පතුරවන්නට අනවශ්‍යයි. දැනට අපට තිබෙන එකම විකල්පය එන්නතයි. ලෝකයේ විද්‍යාඥයන්ගේ කටයුත්ත අපි අතට අරගෙන එන්නත අරගන්නේ නැතිව, ජනතාවට එය ලබානොදී රෝගියෙක් බවට පත්වෙනවාට වඩා හොඳයි එන්නත ලබාගෙන ආරක්ෂා වීමට කටයුතු කිරීම. මේ සම්බන්ධයෙන් ඇතැම් මතවාද බැහැර කරන්නත් බැහැ. මේ එන්නත සාමාන්‍ය ලෝකයේ අනෙක් එන්නත් පරික්ෂා කරන ආකාරයට පරීක්ෂා නොකරන බව මම ඉහතදිත් කිව්වා. එය බොරුවක් නොවෙයි. එය ඇත්තක්. නමුත් මෙවැනි වසංගතයකදී දැනට ඇති විසඳුම එන්නත නම් අපි එය ලබාගත යුතුයි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසූරිය

1 එන්නත ඉතාමත්ම වැදගත්. නමුත් මේ කියන වසංගතයේ ස්වභාවයත් එක්ක එන්නත ගැන විතරක් අපේ අවධානය යොමු කරන එකත් භයානකයි. එකක් මේක වයිරස් එකක්. වයිරස් එකක් කියන්නේ ඒක වෙනස් වෙන සුලුයි. ඒ නිසාම එන්නත් තුළින්ම පාලනය කිරීම අමාරුයි. එන්නත ගත්තොත් සමහර එන්නත්වලින් රෝග සම්පූර්ණයෙන්ම වළක්වන්න පුළුවන්. සමහර එන්නත්වලින් කරන්නේ රෝගය තුරන් කරන එකම නෙවෙයි. එය පොඩ්ඩක් පාලනය කරන එකයි. ඉතින් මේ එන්නත්වලින් කරන්නේ මේක පාලනය කිරීමට යම් කිසි උපකාරයක් කරන එක. මේ එන්නතෙන් සඳහටම මේ රෝගය තුරන් වෙන්නේ නැහැ. සමහර විට අපිට විටින් විට එන්නත් ගන්න සිදුවෙයි. අවුරුදු 2,3කට වරක් ගන්න වෙන්නත් පුළුවන්. ඒ වයිරසයේ වෙනස් වෙන ස්වාභාවයත් එක්ක. එම නිසා එන්නත ගත්තම සියලු ප්‍රශ්න විසඳෙනවා කියන මානසිකත්වයෙන් ඉන්න හොඳ නැහැ. එන්නත තිබ්බත් රෝගය සදහටම තුරන් කිරීමට තව කාලයක් ගත වෙන්න පුළුවන්. විශේෂයෙන් ප්‍රජාවෙන් සියයට 70ක්වත් මේකට ඔරොත්තු දෙන තත්ත්වයකට පැමිණියාට පසුව තමයි අපිට එහෙම පාලනය කරන්න පුළුවන් වෙන්නේ කියලා වෛද්‍යවරු හා විද්‍යාඥයන් කියන්නේ. ඒ නිසාම එන්නත්කරණ අතරතුරම තව අවුරුදු 2,3 ක් යන තෙක්ම අපිට අනිත් සෞඛ්‍යාරක්ෂක පුරුදුත් පාවිච්චි කරන්න වෙනවා.

2මේ ලෝකයේ තියන භයානකම වසංගත තත්ත්ව මත මේ සියලුම එන්නත් ගැන ගෝලීය වශයෙන් වුවත් තියන තොරතුරු සීමා සහිතයි. සාමාන්‍යයෙන් එන්නතක් හෝ බෙහෙතක් එළියට දාන්නේ අවුරුදු ගාණක් ඒක ගැන පර්යේෂණ කරලා. නමුත් එන්නත්වලට ඇති අවශ්‍යතාව නිසා මේ එන්නත් පර්යේෂණ කරන ගමන්ම එළියට දානවා. අවදානමට ලක් වෙන වයස් කණ්ඩායම්, එහෙමත් නැත්නම් වෙන රෝග තියන අයට, ගර්භණී මව්වරුන්ට කොහොමද බලපාන්නේ? විවිධ ජාතීන්ට ඒක බලපාන විදිහ වෙනස් ද? එන්නත් ගැන එවැනි දත්ත ගැන අපිට ලොකු තොරතුරු නැහැ. නමුත් පොදුවේ ගත්තම විද්‍යාඥයන් කියන්නේ මේක තුළින් යම් කිසි පාලනයක් ගෙන්න පුළුවන් කියලා. අඩුම වශයෙන් ගොඩක් ආසාදනය නොවෙන්න පුළුවන් සහ යම් කිසි විදිහකට බෝ වෙන ප්‍රමාණය එයින් අඩුවෙන්න පුළුවන්. සියලුම එන්නත්වලින් යම් කිසි පාලනයක් වෙනවා කියන එක දැන් ගෝලීය වශයෙන් පිළි අරගෙන තිබෙනවා.

3ගැටලුවක් තියෙනවා. එන්නත් එක් මාත්‍රාවක් දුන්නමත් යම් කිසි විදිහකට ප්‍රතිශක්තිකරණයට යම් බලපෑමක් එනවා. නමුත් ඒක හොඳටම ඵලදායී වෙන්නම් නම් දෙවැනි මාත්‍රාවත් අත්‍යවශ්‍යයි. එම නිසා දෙවැනි මාත්‍රාව නොලැබෙනවා කියන්නේ පළවෙනියට දීපු එන්නතෙහි ඵලදායීතාව අඩු වෙනවා. දීර්ඝකාලීනව එහි බලපෑම මොකද්ද? ඒක ශරීරයේ තියෙන කාලය අඩු වෙනවද? එසේ නැතිනම් එහි සර්ථකභාවය කෙමෙන් අඩු වෙනවද? වෙන එකක් දෙන්න වෙනවද? නැතිනම් ආයෙත් මූල ඉඳන් පටන් ගන්න වෙනවද? කියන තොරතුරු නම් තවම මට ලැබිලා නැහැ. නමුත් බලාපොරොත්තු වන ප්‍රතිඵලය පළවැනි මත්‍රාවෙන් පමණක් ලැබෙන්නේ නෑ කියන එක තමයි මම නම් සිතන්නේ. ප්‍රතිශක්තිකරණයට යම් බලපෑමක් තිබෙනවා. නමුත් බලාපොරොත්තු වූ ප්‍රමාණයට ලැබෙන්නේ නෑ.

4අපි තෘප්තිමත් නැහැ. පළවෙනි කාරණය අපිට අවශ්‍ය එන්නත් ප්‍රමාණය අපි ලබා ගන්න සැලසුම් කරන්නේ දැන් තමයි. ඒකට ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ නිශ්චිත සැලසුමක් අපිට තිබිලා නැහැ. දෙවැනි කාරණය යම් කිසි විධිමත් භාවයකින් ඒක ක්‍රියාත්මක වනවා කියන දෙයත් පැහැදිලි නැහැ. ඒක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. එන්නත්කරණය සාමාන්‍යයෙන් ලංකාවේ සෞඛ්‍යය පද්ධතියේ ඉතාමත්ම සාර්ථකයි. ඒක සාර්ථක වෙන්නේ මහජන සෞඛ්‍ය සේවාවේ කුඩාම ව්‍යුහය තුළයි. ඒ ව්‍යුහය අපට තිබෙනවා. එම ව්‍යුහය මීට වඩා ශක්තිමත් කරලා පාවිච්චි කළා නම් හොඳයි. නමුත් එහෙම වෙන බවක් හරියට පේන්නේ නෑ. තුන්වෙනි කාරණය විධිමත් official plan එකක් තියෙන ගමන් වෙන විදිහට ඒ සඳහා බලපෑම් තිබෙන බවත් දැන් තොරතුරු ලැබෙනවා.

5ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒවා විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙන්නේ. අපි මෙයට බය විය යුතු නැහැ .මේ එන්නත සාර්ථකයි. මෙය අපේ රටේ පමණක් නෙවෙයි,ලෝකයම භාවිත කරනවා. එම නිසා ඒ සඳහා බිය නොවී එන්නත ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණු වහාම එය ලබා ගත යුතුයි. මේකේ සුළු පිරිසකට සුළු ආසාත්මික තත්ත්වයන් ඇති විය හැකියි. ඕනෑම බෙහෙතකට එහෙම බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයක් එන්න පුළුවන්. නමුත් ඒක නිසා මුළු එන්නතම ප්‍රතික්ෂේප කළ යුතු වන්නේ නෑ. වෙන රටවල්වලට සාපේක්ෂව ලංකාවේ අපේ එන්නත් ලබා ගැනීම පිළිබඳ හොඳ අවධානයක්, විශ්වාසයකුත් තිබෙනවා. අපේ රටේ අනෙකුත් රෝග සඳහා එන්නත්කරණය ඉතාමත්ම සාර්ථකයි. එම නිසා තමයි අපිට මේ වන විට බොහෝ රෝග පාලනය කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. එම නිසා මේ පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු වන්නේ නැහැ. අවස්ථාව ලැබුණු වහාම මේ එන්නත ලබා ගත යුතුයි .

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන

1 කොවිඩ් 19 වයිරසය ශරිරයට ඇතුළු වන ක්‍රම කිහිපයක් තියනවා. ඒ නිසා පළමුවෙන් රෝගය වළක්වා ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ නිසයි ආණ්ඩුවට අපි කිව්වේ කළ යුතු වන්නේ මේ වයිරසය රටට ඇතුළු වීම වළක්වා ගැනීම බව. ඒ වගේම අපි කිව්වා ගුවන්තොටුපළ සහ වරාය නිසි අධීක්ෂණයට ලක් කරන්න කියලා. රෝගය රටට ඇතුළු වූ පසු සෞඛ්‍ය අංශවලට පහසුකම් දිය යුතුයි. එන්නත්කරණයේදී එන්නත කොපමණ කාලයකින්ද ලබාදෙන්නේ? එකම එන්නත ලබාදෙනවාද? රටේ කොතරම් ප්‍රමාණයකට එන්නත්කරණය කරනවාද යන කාරණාවලට අවධානය යොමු කිරීමෙන් පමණයි මෙය පාලනය කළ හැකිවන්නේ. ඒ වගේම මේ රෝගයෙන් අපිට ජය ගැනීමට දුරස්ථභාවය, මුහුණු ආවරණ පැලඳීම සහ දෑත් පිරිසිදු කිරීම ද කළ යුතුයි. එන්තත්කරණය කඩිනම් කළ යුතුයි. රට තුළට නැවත වයිරසයන් ඇතුළුවීම වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය කාරණා සෞඛ්‍ය අංශවලට ලබාදීම කළ යුතුයි. රජයෙන් විය යුතු වගකීම කොතරම් දුරට සිදුවනවාද යන්න සම්බන්ධයෙන් සාධාරණ සැකයක් ඇතිවී තිබෙනවා.

2 අපේ රටට ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 1.2කට ආසන්න ප්‍රමාණයක් ලැබුණා. විශේෂයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්දියාවෙන් ප්‍රධානයක් ලෙසත් ලක්ෂ දෙකකට ලක්ෂ දෙකාමාරකට වැඩි සංඛාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් අනෙක් මාත්‍රා මිල දී ගැනීම් සිදු වුණා. ඒ වගේම දැන් මාත්‍රා ලක්ෂ නවයකට වැඩි ප්‍රමාණයක් ලැබිලා තියනවා. රජයට මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් නැහැ. ඉතිරි ලක්ෂ හයට දෙවැනි මාත්‍රාව හෝ ලබාදීම සඳහා මැදිහත් වීමට රජයට වැඩපිළිවෙළක් නැහැ.විශේෂයෙන් ස්පුට්නික් එන්නත ලබාදී තියෙනවා 13000 කට ආසන්න සංඛ්‍යාවකට.විශේෂයෙන්ම සයිනොෆාම් එන්නත ලක්ෂ හයකට ආසන්න සංඛ්‍යාවක් ලැබිලා තිබෙනවා. මේ එන්නත හදිසි අවස්ථාවලදී භාවිතයට ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර තියෙනවා. නමුත් ලංකාවේ විශේෂඥ කමිටුව මං හිතන්නේ අනුමත කළේ නැහැ. ඒ විශේෂඥ කමිටුවම ඉල්ලා අස්වුණා. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිසක් ඉන්නවා එහි දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට නොහැකිව. එම දෙවැනි මාත්‍රාව ලබාගත යුතු කාලසීමාවක් තිබෙනවා. එම කාලය ඉක්ම යෑමට ප්‍රථමයෙන් එන්නත් ලබාදිය යුතුයි. ඒ කාලසීමාව ඉක්ම ගිය විට එහි ප්‍රතිශක්තිකරණය සඳහා ඇති ප්‍රබලත්වය අඩුවිය හැකියි. ඒ නිසා වහාම එන්නත්කරණයට ප්‍රමුඛත්වය දීමට අවශ්‍ය බව අපි විශ්වාස කරනවා.

3තවමත් මේවා පරියේෂණ මට්ටමින් පවතින නිසා අපිට නිශ්චිත වශයෙන් කියන්න අපහසුයි. විශේෂයෙන් කොවිෂීල්ඩ් එන්නත් මාසයක් ඇතුළත කළ යුතු බවත් පසුව වාර්තා වුණා එම කාලය මාස දෙකක් බව. නමුත් අපි විශ්වාස කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමක කර ඇති ආකාරයට මෙය දින එකසිය හැටත් එකසිය අසුවත් අතර ලබාදිය යුතු බවයි. දැන් මේ එන්නත් ලබාගත් පිරිස අසීරුතාවට පත්වී තිබෙනවා. ලක්ෂ තුනකට වඩා එන්නත් මාත්‍රා හිගයක් නිසා රට තුළ තිබෙනවා. ඒ නිසා ලක්ෂ හයකට වැඩි ප්‍රමාණයක් අසීරුතාවට පත්වෙලා තිබෙන බව පැහැදිලියි.

4ඇත්ත වශයෙන්ම ඒ ගැන කනගාටුයි. යම් යම් අවස්ථාවලදී යම් යම් ආකාරයෙන් දේශපාලන මැදිහත්කම් සිදු කරමින් මෙය දේශපාලනිකකරණය කරමින් සිටිනවා. ඇත්තවශයෙන්ම එන්නත්කරණය දේශපාලනිකරණ කරගැනීමට කාරණාවක් නොවෙයි. ජනතාවට එන්නත් සඳහාත් දේශපාලඥයන්ගේ දෙපා ළඟට යන්න සිදුවී තිබෙනවා. මෙය ජනතාවගේ ජීවිත අවදානම පිළිබඳ ගැටලුවක්.ජනතාව අද අසරණ වී තිබෙනවා. එයයි වැදගත්ම කාරණාව. රජයක් ලෙස දේශපාලනිකරණයකට මේ එන්නත් කරණයත් භාවිත කර ඇති පසුබිමක් නිර්මාණය කර ඇති බව අපිට පේනවා. මේ කරුණුත් සමඟ ඊට සමාගාමීව වෛද්‍යවරුන්ට සහ රෝහල්වලට ලබාදීමට අසමත් වීම තුළ රට විශාල අර්බුදයකට යන බවක් අපට පේනවා.

5 මෙය අපිට පිළිගන්නත් බැහැ. නමුත් ප්‍රතික්ෂේප කරන්නත් බැහැ. දුර්මත කියන්නේ විශේෂයෙන් දැන හෝ නොදැන කරන ප්‍රකාශ. නමුත් මේ එන්නත් ලෝකයේ අනුමත වීමට නම් වසර දහයක් පහළොවක් පමණ යනවා. විශේෂයෙන් එහි අවදානම තේරුම් ගැනීමට. නමුත් විද්‍යානුකූළව ගත්විට නිසි තීන්දුවක්, තීරණයක් අපිට ගත නොහැකියි. කොරෝනා අවදානම තේරුම් අරගෙනයි ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් අනුමත කර තිබෙන්නේ. මෙහිදී අපිට නිශ්චිත වශයෙන් තින්දුවක් තීරණයක් ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඉතාමත් බුද්ධිමත්ව මේ එන්තත් ක්‍රියාත්ම කළ යුතුයි. මේ වනවිට මේ එන්නත් ලබාදෙන පිළිවෙළ ප්‍රායෝගිකද යන්න සම්බන්ධයෙන් රටතුළ දැවන්ත කතිකාවක් ඇති වෙලා තිබෙනවා.

Comments