තහනම් කොටි සැමරුමට කොරෝනාව හරස් වෙයි | Page 2 | සිළුමිණ

තහනම් කොටි සැමරුමට කොරෝනාව හරස් වෙයි

තිස් වසරක යුද්ධය නිමාවී වසර 12 ක් ගෙවුණු 2021 වසරේ එම සැමරුම නිසි ලෙස සැමරීමට නොහැකි වූයේ පවතින කොවිඩ් 19 වසංගත අවදානමත් සමඟය. මෙය එක් ජාතියකට එක් ආගමකට පමණක් පොදු වූවක් නොවන්නේය. කොවිඩ් අවදානම හමුවේ සෞඛ්‍ය අංශ ලබා දෙන මාර්ගෝපදේශ සියල්ලන්ම එක සමානව පිළිපැදිය යුතු වුවත් එය දේශපාලන වාසියට හරවා ගැනීම කිසිවකුත් අනුමත කරන්නක් නොවේ.

එහෙත් උතුරේ දේශපාලඥයන් තමන්ගේ වාසිය සඳහා කොවිඩ් අවදානම පවා නොතකා මුල්ලිවයික්කාල් හි මියගිය කොටි සමරන්නට සැලසුම් කළහ. ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් කිසිවක් නොතකා සමරන්නට යෑමෙන් එය වළක්වා ගැනීම පිණිස පොලිසියට අධිකරණය හමුවට යාමට සිදු විය.මෙරට තිස් වසරක යුද්ධයේ නිමාව දුටුවේ මුල්ලිවයික්කාල් සිටය. ඒ 2009 මැයි මස 18 වැනිදාය. කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් අවසන් යුද්ධය මෙහෙයවනු ලැබුවේත් හමුදාවේ මෙහෙයුම් හමුවේ සැඟවී සිටියේත් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ය.

එනිසාම දෙමළ දේශපාලන නායකයන් කොටි සැමරුමට මෙම ප්‍රදේශයම තෝරාගෙන සිටිති. දෙමළ ජාතික සන්ධානයේ ආරම්භය කොටි සංවිධානයයි. කොටි සංවිධානය ජාත්‍යන්තරය මුලා කිරීමට හා ඔවුන්ගේ මතයට දේශපාලන මුහුණුවරක් දීම උදෙසා දේශපාලන පක්ෂයක් පිහිටුවීමට අදහස් කළේ 2001 වසරේදීය. ඒ වනවිට කොටි සංවිධානයට බියේ පොලිසිය හා හමුදාවේ ආරක්ෂාව මධ්‍යයේ කොළඹ සැගවී සිටි දෙමළ දේශපාලන නායකයන් ප්‍රභාකරන්ගේ පාමුලට යන්නට ගියේ ඔහුගේ දේශපාලන පක්ෂය යටතේ ක්‍රියා කිරීමට සූදානම් බව කියන්නටය.

එහි මුල්ම සාකච්ඡාව කිලිනොච්චියේදී ප්‍රභාකරන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී ප්‍රභාකරන් කී සියලු දේට හිස නමා දේශපාලන පක්ෂය ගොඩනැඟීමට මෙම දේශපාලඥයන් එකඟ විය. මෙම සාකච්ඡාව සඳහා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ වී ආනන්ද සංගරි සහ ආර්. සම්බන්ධන්, ඊ. පී. ආර්. එල්. එෆ් සංවිධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ප්ලොට් සංවිධානයේ ධර්මලිංගම් සිද්ධාර්ථන්, ටෙලෝ සංවිධානයේ එම්. කේ. සිවාජිලිංගම්, සමස්ථ ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු කිහිපදෙනකු සහභාගී වූහ.

ඒ වනතෙක් මේ සියලු දේශපාලඥයන්ගේ දේශපාලන ක්‍රියාවලිය උතුරේ සිදු වූවත් ඔවුන් සිටියේ කොළඹ ය. මෙසේ ගොඩනඟන ලද දේශපාලන පක්ෂය දෙමළ ජාතික සන්ධානය වූ අතර ආනන්ද සංගරී ප්‍රභාකරන්ගේ කොන්දේසි ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කරමින් එම සන්ධානයෙන් ඉවත් වී ඔවුන්ට තරග කිරීම සඳහා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නම සහ ලාංඡනය ලබා දීම ද ප්‍රතික්ෂේප කළේය. එදා පටන් කොටි සංවිධානය විනාශ වන තෙක්ම ආනන්ද සංගරිව මරා දැමීමට ඔවුන් නොයෙකුත් උත්සාහ දැරීය.

මෙම සැමරුම වසර දහයක් පමණ වනතුරු නොයෙකුත් බාධක මධ්‍යයේ වුවද සැමරීමට පියවර ගනු ලැබුවත් මෙවර එය එසේ කරන්නට නොහැකි වන්නේ කොවිඩ් 19 වසංගතයේ අවදානම හේතුවෙනි.

මුල්ලිවයික්කාල්හි යුද්ධයේ අවදානම දැනදැනත් සාමාන්‍ය වැසියන් බිල්ලට දුන් දෙමළ දේශපාලඥයන් කොවිඩ් හමුවේ සාමාන්‍ය වැසියන්ව යලිත් බිල්ලට දීම පුදුමයට කරුණක් නොවේය.

මැයි 19 වනදා වන විට මුලතිව් මුල්ලිවයික්කාල්, මුල්ලියාවලෙයි, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශ හුදෙකලා කරන්නට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබුණි. ඒ වනවිට කොවිඩ් ආසාධිතයින් විශාල පිරිසක් ඒ ප්‍රදේශවලින් හමුවී සිටියත් දේශපාලඥයන් ප්‍රකාශ කළේ මොවුන්ගේ මුල්ලිවයික්කාල් සැමරුම අඩපණ කිරීම සදහා ආරක්ෂක අංශ මෙම ප්‍රදේශ හුදෙකලා කර ඇති බවය. එහි ඇති කණගාටුවට කරුණ වන්නේ ලෝකයේ බුද්ධිමතුන් බිහිකරන විශ්වවිද්‍යාලයක පීඨ ශිෂ්‍ය සංගමයක් විසින් එනම් යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයත් ඒ බව නිවේදනයකින් සඳහන් කිරීමය.

මෙම අවධානම් තත්ත්වය සැලකිල්ලට ගෙන මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන හතක් විසින් අධිකරණය ට ඉදිරිපත් කරන ලද බී වාර්තා පිළිගෙන සැමරුම් උත්සව පැවැත්වීම තහනම් කර තිබිණි.

එසේ වුවද ඊට මෝසමක් ඉදිරිපත් කරමින් එම තීන්දුවට ලිහිල් භාවයක් ලබා ගැනීමට දෙමළ පක්ෂ කටයුතු කරන ලදී.ඒ අනුව සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පමණක් සැමරුම් පැවැත්වීමට දෙමළ පක්ෂ වලට අවසරය ලැබී තිබිණි.

Comments