නයිටින්ගේල් පරපුරේ සුව විරු මෙහෙවර | සිළුමිණ

නයිටින්ගේල් පරපුරේ සුව විරු මෙහෙවර

- වර්තමාන තත්ත්වයට මුහුණ දීමට හෙදියන් ප්‍රමාණවත් නැහැ
- පශ්චාත් හෙද පුහුණු නිලධාරිනියනුත් අද සේවයට යොදවලා

ලාම්පුව රැගෙන යන කාන්තාව ලෙසින් හැඳින්වෙන්නේ ඉතාලියේ උපන් ඉංග්‍රීසි ජාතික ෆ්ලොරන්ස් නයිටිංගේල් ය. ඒ, සිය පෞද්ගලික වියදමෙන් රෝහල් ගොඩනැඟිලි ඉදිකර අවශ්‍ය බෙහෙත් වර්ග මිල දී ගෙන පැය 20ක් පමණ රෝගීන්ට උවටැන් කළ ඈ, රාත්‍රි කාලයේදී පවා ලන්තෑරුමක් ගෙන රෝගීන්ගේ තත්ත්වය සොයා බැලූ නිසාය. ඇගේ සාත්තුව නිසාම රෝගීන්ගේ මිය යෑම ශීඝ්‍රයෙන් පහත වැටුණු අතර යුද සෙබළුන් රැසකගේ ජීවිත බේරා ගැනීමට ඇයට හැකි විය. දෙමව්පියන්ගේ විරෝධතාව නොතකා ‍රෝගීන්ට උපස්ථාන කිරීමට යොමු වූ ෆ්ලොරන්ස් නයිටිංගේල්, රෝගින්ගේ සාත්තු සේවය විද්‍යාත්මක පදනමකින් ක්‍රමවත් ආකාරයට සකස් කළාය.

වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ප්‍රමාණවත් තරම් නැති 1853 තරම් ඈත යුගයක රුසියාව සහ තුර්කිය අතර ඇවිළුණු යුද්ධයේදී රුසියානු ප්‍රහාරවලින් තුවාල ලැබූ එංගලන්ත සහ ප්‍රංස හමුදා භටයන්ට ප්‍රතිකාර කිරීමට හෙද කණ්ඩායමක් සමඟ ක්‍රිමියාව බලා ඈ පිටත් වී ගියේ රෝගීන් කෙරෙහි ඇති වූ කරුණාබර සිතිවිලි නිසාය. ඇගේ හෙද සේවය අගය කරමින් බ්‍රිතාන්‍ය රජය ඇයට පවුම් 10,000 ක් ප්‍රදානය කළද එම මුදල ප්‍රයෝජනයට නොගත් ඈ එය ආරෝග්‍යශාලා අරමුදලකට යෙදවුවාය. තම සේවා කාලය තුළ හෙදකම පිළිබඳ පොතපත රචනා කළ ඈ 1860 වර්ෂයේදී ලන්ඩන් නගරයේ ශාන්ත තෝමස් විදුහලට අනුබද්ධ නයිටිංගේල් හෙද විදුහලද ලිවර්පූල් නගරයේදි ප්‍රජා සෞඛ්‍ය හෙද සේවාවද ආරම්භ කළාය. 1907 වර්ෂයේදි ඇයට බ්‍රිතාන්‍ය රජයෙන් ගෞරව ගුණ සමරු නාමයක් පවා ප්‍රදානය කළේ ක්‍රමවත් හෙද සේවයක් අරඹමින් ඈ අනුපමේය සේවයක් කළ නිසාය.

හෙද සේවය වෙනුවෙන් මහඟු කාර්යභාරයක් ඉටු කළ ෆ්ලොරන්ස් නයිටිංගේල්ගේ ජන්ම දිනය යෙදී ඇති මැයි 12 වැනි දිනය ජාත්‍යන්තර හෙද දිනය ලෙස නම් කළේ ජාත්‍යන්තර හෙද කවුන්සිලය විසිනි. ඒ අනුව 1965 වසරේ පටන් සෑම වසරකදීම මැයි 12 වැනි දා හෙද දිනය සමරනු ලබයි. ජාත්‍යන්තර හෙද දිනයට තේමාවක් යොදා ගැනීම ඇරඹුණේ 1988 වසරේදීය. 2008 වර්ෂයේ සිට එක් වසරකට යොදා ගත් තේමාව යටතේ අනු තේමා යොදා ගනිමින් එක් වසරක තේමාව වසර කීපයක් උපයෝගි කර ගනු ලබයි. මේ අනුව 2017 ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් යොදා ගත් තේමාව 2021ටත් වලංගුය. 2021 වසරේ අනු තේමාව වන්නේ “අනාගත සෞඛ්‍ය සේවාවේ නව දැක්මක නියමු හඬ හෙදියයි” යන පාඨයයි. 

වර්තමානයේ ශ්‍රී ලංකාවේ හෙද සේවයේ නිරත පිරිස 36,000ක් පමණ වේ. එයින් 9%ක් පිරිමි හෙදියෝ වෙති. හෙද පාලිකාවන්ගේ ගණන 390කි. හෙද ගුරුවරුන්ගේ සංඛ්‍යාව 1475කි. ඒ අතර මහජන සෞඛය හෙදියෝ 220ක් සිටිති. මෙම හෙද නිලධාරින්, හෙද සොයුරු සොයුරියන්, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරින්, මහජන සෞඛ්‍ය හෙද සොයුර සොයුරියන්, මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් සියලුදෙනාගේ අතිවිශිෂ්ට කැපවීම නිසා අද ‍රෝගීන් බොහෝදෙනකුහට ජීවිත දානය ලැබී තිබේ. මේ වන විට 300 කට ආසන්න ප්‍රමාණයක හෙද හෙදියෝ කොරෝනා ආසාදනය වී සිටිති. කොරෝනා ආසාදනය වී හෙදියන් දෙදෙනකු මේ වන විට මරණයට පත්වී ඇති බව වාර්තා වේ.

“කොරෝනා වසංගතය එක්ක පෙරමුණේ ඉන්නේ හෙදියන්. වෛද්‍යවරුන්ගේ උපදෙස් ක්‍රියාත්මක කරන්නේ හෙදියන්. රෝගීන් ළඟට යන්නේ ඒ අය. ඒ නිසා කොරෝනා ආසාදනය වීමේ අවදානමක් එක්කයි අපි වැඩ කරන්නේ. එහෙම කියලා අපි රෝගින්ට නොසලකා හරින්නේ නැහැ. මට හිතෙන්නේ කොරෝනා එක්ක රෝගීන් සහ හෙද නිලධාරීන් අතර හොඳ සම්බන්ධයක් ඇති වුණා කියලා. කොරෝනා වැලඳුණු රෝගීන් අපේ රෝහලට ආවේ පුදුම බයකින්. එයාලාව කවුරුවත් බලන්න එන්නේ නැහැ, කොන් කරලා කියලා ලොකු මානසික කඩා වැටීමකින් හිටියේ. ඒ අය ළඟට ගිහින් ආදරෙන් කතා කළේ අපි. ඒ අය තනි වෙලා නැහැ කියන හැඟීම දුන්නේ අපි.

අපි වාට්ටුවේ රෝගින් ළඟට යනවිට විශේෂිත ආරක්ෂිත ඇඳුමක් ඇඳගෙන යනවා. අපි ‍‍මේ ඇඳුම ඇඳගෙන එන්නේ එයාලාට බයෙන් නෙමෙයි, අපි අසනීප වුණොත් එයාලාව බලාගන්න කවුරුත් නැති නිසයි කියන හැඟීම අපි රෝගීන්ට දුන්නා. සමහර රෝගීන් සනීප වෙලා රෝහලෙන් යන විට අපිට වැඳලා ගියේ.” යනුවෙන් විස්තර කළේ අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ සේවය කරන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී, ගීතානි උඩුගමකෝරාළ ය.

නයිටිංගේල් ප්‍රතිඥාව දී හෙද සේවයට පැමිණෙන හෙද නිලධාරින් ඇතැමුන් විසින් නයිටිංගේල් නොව ෆයිටිංගර්ල් ලෙස හැඳින්වුවත් එය වෙනස් වී ඔවුන්ට නිසි ගෞරවය ලැබුණේ කොරෝනා වසංගතය සමඟ ඔවුන්ගේ දිවි පරදුවට තබා රෝගීන් වෙනුවෙන් ඇපකැප වී සේවය කරන නිසා බව ඇගේ අදහස විය. තිස් වසරක් මුළුල්ලේ පැවැති යුද්ධයේදි ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ අවස්ථාවලදී කොළඹ ජාතික රෝහලේ ‍හදිසි අනතුරු අංශයේ හෙද හෙදියන් කඩිගුලක් මෙන් දිව යන ආකාරය අපේ මතකයේ තවමත් ශේෂ වී තිබේ. වාට්ටුවල ප්‍රතිකාර ලබන රෝගීන් වෙනත් වාට්ටුවලට මාරු කරමින් ලේ වහනය වන රෝගීන්ගේ තුවාල පිරිසිදු කරමින් ප්‍රතිකාර කිරීමට දිවා රෑ වෙහෙසුණු කණ්ඩායමේ ප්‍රමුඛත්වය වෛද්‍යවරුන්ට මෙන්ම හෙද හෙදියන්ට ද හිමිවිය යුතුය.

“මට මතකයි මම මුල්ම පත්වීම ලැබිලා අනුරාධපුර රෝහලට ගිය කාලය. ඒ කාලයේ තමයි 71 කැරැල්ල ඇති වුණේ. මම නවක හෙදියක්. අපි ජ්‍යෙෂ්ඨ හෙදියන්ගේ උපදෙස් පිළිපදිමින් එක දිගට වැඩ කළා. 8 වාට්ටුවට තමයි තුවාලකරුවන් ඇතුළත් කළේ. තුවාල වුණු කැරලිකරුවන් වගේම තුවාල වුණු හමුදා නිලධාරීන්වත් දැම්මේ ඒ වාට්ටුවට. අන්තිමට වාට්ටුවේදි දෙගොල්ලේ ගහ ගත්තා. ඊටපස්සේ හමුදා නිලධාරීන්ව වෙනම වාට්ටුවකටත් කැරලිකරුවන්ව වෙනම වාට්ටුවකටත් දැම්මා. ඒකාලේ හෙදියන්ට දැන් වගේ අතිකාල දීමනා තිබුණේ නැහැ. ඒත් අපි දවස් ගණන් රෝහලේ නැවතිලා එකදිගට වැඩ කළා. සිංහල අලුත් අවුරුදු කීයක් නම් මම වාට්ටුවේ වැඩ කරලා තියෙනවාද? නැකැත් වෙලාවට ගෙදර එනවා කියලා ගෙදරින් එන්නේ. ඒත් යන්න වෙන්නේ නැහැ.” යනුවෙන් හෙද සේවයේ 37 වසරක අත්දැකීම්වලින් පිරුණු විශ්‍රාමික හෙදි සොයුරිය සෝමලතා වෛද්‍යරත්න සෙල්ලහේවා විස්තර කළාය.

හෙද හෙදියන්ගේ සේවයට රැයක් දවාලක් නැත. සිංහල අවුරුද්ද - වෙසක් - පොසොන් දවස් ගැන මතක නැත. රෝගීන්ගේ උපස්ථාන කටයුතු සඳහා ඔවුන් නිවෙස්වලින් පිටත් වෙන්නේ සිය ආදරණීයයන්, දූ දරුවන් නිවසේ තනිකර දමමිනි. ඇතැම්විට වියපත් මව්පියන් නිවසේ තනි කර ඔවුහු රාජකාරියට පිටත් වෙති. ඔවුන්ගේ ඒකායන අරමුණ සිය සේවය නොපිරිහෙළා අකුරටම ඉටු කිරීමයි.

“හෙද හෙදියන් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය කැප කරමින් සේවය කරන්නේ. ඒත් අද සෞඛ්‍ය සේවයට හෙදියන්ගේ හිඟයක් තියෙනවා. එක් හෙදියකට රෝගින් තුන් හතරදෙනෙක් රැකබලා ගන්න සිද්ධ වෙලා. අවුරුද්දකට 1500ක් විතර විශ්‍රාම යනවා. හෙදි පුහුණුවට නවකයන් බඳවා ගත්තත් ඒ අයට අවුරුදු තුනක පුහුණුවක් දීමට සිද්ධ වෙනවා. ඒත් නවක හෙදියන්ට දැඩි සත්කාර ඒකකවල වැඩ කරන්න බැහැ. ඒකට වෙනම පුහුණුවක් අවශ්‍ය වෙනවා. අද දැඩි සත්කාර ඒකක කොරෝනා රෝගීන්ගෙන් පිරිලා. ඒත් දැඩි සත්කාරවල ‍සේවය කරන්න හෙදියන් මදි. මේනිසා මම නම් කියන්නේ හෙද නිලධාරීන්ගේ විශ්‍රාම යන වයස අවු: 63 දක්වා දීර්ඝ කරනවා නම් හොඳයි කියලා.” යනුවෙන් සඳහන් කළේ කොළඹ ජාතික රෝහලේ පුහුණු හෙදි නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා ය.

වෛද්‍යවරයාත් රෝගියාත් අතර සම්බන්ධය පවතින්නේ හෙද හෙදියන් මඟිනි. එබැවින් ඇගේ වටිනා සේවය සුළුකොට තැකිය යුතු නැත. ඇගේ සේවයට සරිලන පරිදි පහසුකම් සැපයිය යුතුය. එමෙන්ම සේවයට බඳවා ගත් පසුව ලබාදෙන පුහුණුව තවතවත් වැඩිදියුණු කරමින් විධිමත් කළ යුතුය. පුහුණු හෙදි නිලධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසා පැවසුවේ හෙද හෙදියන්ට හෙද උපාධිය දක්වා උසස් අධ්‍යාපනයක් හිමිවිය යුතු බවයි. 

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ලංකාවේ හෙද හෙදියන් මුහුණදෙන ගැටලු රාශියක් තිබෙන බව සඳහන් කළහ.

“හෙද නිලධාරින්ට නිසි ඇගයීමක් ලැබෙන්නේ නැහැ. රෝගීන් වෙනුවෙන් කැප වෙලා ඉන්නේ ඒ අය. කොරෝනා රෝගින්ට සාත්තු කරන්නේ ඔවුන්. ඒ නිසාම අද හෙද නිලධාරිනුත් 300කට ආසන්න පිරිසක් කොරෝනා ආසාදිතයන් වෙලා. කොරෝනා වසංගතය එක්ක හෙද හෙදියන්ගේ හිඟය උග්‍ර වුණා. අලුතින් බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. හෙද හෙදියන්ගේ ගැටලු අසීමිතයි. ඒත් කියන්න කෙනෙක් නැහැ.” උන්වහන්සේ තවදුරටත් පැවසූහ.

පසුගිය මැයි 12 වැනි දිනට යෙදුණු ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පණිවුඩයේ සඳහන් කර තිබුණේ වසර 3ක හෙද ඩිප්ලෝමාව වසර 4ක උපාධිය දක්වා උසස් කිරීමටත් හෙද හෙදියන් ජාත්‍යන්තර පුහුණු ක්‍රමවේදවලට අනුගත කරමින් ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීම ඔස්සේ විදෙස් රැකියා අවස්ථා සූදානම් කිරීමටත් රජය පියවර ගෙන ඇති බවය.

‍මේ වන විට පශ්චාත් හෙද පුහුණු නිලධාරිනියන් ද සේවයට කැඳවා තිබෙන්නේ හෙද හිඟයට විසඳුමක් වශයෙනි.

“දැන් කොරෝනා වසංගතය එක්ක අලුත් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පටන් අරන් තියෙනවා. අපේ හෙද නිලධාරින්ට දෙන එක දුරකතන ඇමතුමෙන් ඔවුන් එහි සේවයට යා යුතු වෙනවා. සමහර වෙලාවට මහ රෑ දුරකතන ඇමතුම දෙන්නේ. පාන්දරම සේවයට යන්න වෙනවා. අපේ අය ඒ විදිහට සේවයට වාර්තා කරන්නේ ඔවුන්ගේ පවුල් ජීවිතය, පෞද්ගලික අවශ්‍යතා සියල්ලම කැප කරලා. ඒත් සමාජය ඒවා දකින්නේ නැහැ.” යනුවෙන් සඳහන් කළේ අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනි ගීතානි උඩුගමකෝරාළ ය.

හෙද හෙදියන්ගේ සුළු අතපසු වීමකට කෑමොර දෙන ජනතාව ඔවුන් විසින් ඉටු කරනු ලබන මෙහෙවර සහ කැප කිරීම පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුත්තේ එබැවිනි.

Comments