නිදහසේ අරුණලු කැන්දූ ජනරජ දිනයට වසර 49යි | සිළුමිණ

නිදහසේ අරුණලු කැන්දූ ජනරජ දිනයට වසර 49යි

අපි අද සමරන්නේ පූර්ණ නිදහස ලැබූ දිනය නොවෙයි 
- මහාචාර්ය මාලනි ඇඳගම

ලංකාව තවමත් යටත් විජිතයක් 
- ආචාර්ය සූරිය ගුණසේකර 

ලංකාව යනුවෙන් හැඳින්වූ අපේ රට ශ්‍රී ලංකාව ලෙස හැඳින්වීමට පටන් ගත්තේ 1972 මැයි 22 දා සිට ය. ඊට විශේෂ හේතුවක් තිබිණි. ඒ, 1972 මැයි 22 දා අපේ රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් පූර්ණ නිදහස ලැබීමය. එමනිසාම මැයි 22 වැනිදා දිනය ශ්‍රී ලංකා ජනරජ දිනය ලෙස නම් කෙරිණි. 1972 මැයි 22 වැනි දින ශ්‍රී ලංකාව පූර්ණ නිදහස ලැබුවේ නම් සෑම වසරකම අතිමහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබන පෙබරවාරි 04 වැනි දින ලැබූ නිදහස කුමක්දැයි ප්‍රශ්නයක් මතු විය හැකිය.

“1948 පෙබරවාරි 04 වැනිදා අපේ රට ලබාගත්තේ ඩොමීනියන් නිදහසකි. එය අර්ධ නිදහස හැටියටත් හඳුන්වනවා. නිදහස ලබා ගැනීමට පුරෝගාමි වූ ජාතික නායකයන් ලෙස සැලකෙන ධනපති පන්තිය ඇත්ත වශයෙන්ම පූර්ණ නිදහසක් ඉල්ලුවේ නැහැ. ඔවුන් ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් ඉල්ලා සිටියේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක්. වැඩි බලතල තමයි ඔවුන් ඉල්ලුවේ. අපේ රටේ පූර්ණ නිදහස එක හඬින් ඉල්ලා සිටියේ වාමාංශික පක්ෂවල නායකයන් පමණයි. 1931 දී පූර්ණ නිදහස වෙනුවෙන් හඬ නැඟුවේ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ විතරයි. ඊටපසුව සූරියමල් ව්‍යාපාරය හරහා වාමාංශික දේශපාලනයට එකතු වුණු රැඩිකල් තරුණයින් හඬක් නැඟුවා. ඉන්දියාවේ ධනපති පන්තිය වුණත් ජාතික සටනට එකතු වුණා. ඒ නිසාම ඉන්දියාවට අර්ධ නිදහස ලබා අවුරුදු 1 1/2කින් පූර්ණ නිදහස ලබා ගැනීමට හැකි වුණා. අපිට පූර්ණ නිදහස ලබා ගැනීමට අවුරුදු 24ක් ගත වුණා.“ යනුවෙන් විස්තර කළේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් ඩිව් ගුණසේකර ය.

1948 පෙබරවාරි 04 වැනිදා ලංකාවට නිදහස ලැබුණු දිනය අප විසින් සමරනු ලැබුවත් 48 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලංකාව සතු වූයේ එංගලන්තයේ ආධිපත්‍යයයි. ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් පත් කළ අග්‍රාණ්ඩුකාරවරයාය. එසේම මෙරට ඇතැම් කරුණු පිළිබඳව අවසන් බලය පැවරී තිබුණේ එංගලන්තයේ ආයතනයන්ටය. බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් අග්‍රාණ්ඩුකාරයා අත්සන් කරන තුරු පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කළ පනතක් වුවද නීතිගත වූයේ නැත. විශේෂයෙන් මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කර හදිසි නීතිය පැනවූ අවස්ථාවකදී සන්නද්ධ සේනාවන් හී සේනාධිනායක වූයේ අග්‍රාණ්ඩුකාරවරයාය. ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ බලය පැවතියේ ද එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයටයි. මෙරට ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව පවා අයත් වූයේ එංගලන්තයටය. රාජකීය ගුවන් හමුදාව, රාජකීය යුද හමුදාව, රාජකීය නාවික හමුදාව යනුවෙන් 1972 මැයි 22 වැනි දින තුරු මෙරට ත්‍රිවිධ හමුදාව හැඳින්වූයේ එබැවිනි.

“1914 ඔක්තෝබර් විප්ලවයෙන් පසුව එහි බලපෑම ආසියානු රටවල්වලටත් දැනුණා. ලංකා ජාතික සංගමයේ සභාපති ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් 1917 දෙසැම්බර් මාසයේදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ගැන පවත්වපු සම්මේලනයකදී අපේ සටනට අලුත් මිතුරෙක් ඉන්නවා කියලා කිව්වෙ ඒ නිසයි. ලංකාවේ පූර්ණ නිදහස ගැන මුලින්ම කතා කළේ 1924 දී පෙරිප්පනායගම්ගේ මූලිකත්වයෙන් තිබුණු යාපනයේ ශිෂ්‍ය සංගමය. ඒත් ඒ සංකල්පය පණ ගහලා ආවේ සූරියමල් ව්‍යාපාරයෙන්.“ යනුවෙන් පූර්ණ නිදහසේ ඉතිහාසයෙන් බිඳක් අනාවරණය කළේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් ඩිව් ගුණසේකර ය.

එහෙත් ඉතිහාසය පිළිබඳ මහාචාර්ය මාලනි ඇඳගම සඳහන් කළේ ලංකාවේ පූර්ණ නිදහස උදෙසා සිංහල බෞද්ධ බලවේග පෙළ ගැසුණු බව ය. ඉංග්‍රීසින්ගෙන් ලැබුණු අර්ධ නිදහස පූර්ණ නිදහසක් බවට පත් කර ගැනීමේ නොනිමි අරගලයක යෙදී සිටි බණ්ඩාරනායක මහතා 56 මහ මැතිවරණයේදී ජයග්‍රහණය කළේ මෙම සිංහල බෞද්ධ බලවේගය නිසා බව ඈ තවදුරටත් සඳහන් කළාය.

“බණ්ඩාරනායක මහත්මයා එංගලන්තයෙන් පූර්ණ නිදහස ලබා ගැනීමේ අරමුණින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කරන්න තේරීම් කමිටුවකුත් පත් කළා. අපි පූර්ණ නිදහස ලබා ගත්තොත් පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය අහෝසි වෙන නිසා පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය දිගටම තබා ගැනීමට බණ්ඩාරනායක අගමැතිතුමා කැමැත්ත පවා අරගෙන තිබුණා. එහෙම තියෙද්දි තමයි 59 දි බණ්ඩාරනායක මහත්මයාව ඝාතනය කළේ. ඊට පස්සේ 1960 - 1965 කාලයේදී බණ්ඩාරනායක මැතිනිය ඒ සඳහා උත්සාහ කළා. ඒත් එතුමියට පාර්ලිමේන්තුවේ 2/3 ක බලය තිබුණේ නැහැ. 1962 බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පෙරළන්න කුමන්ත්‍රණය කළ අවස්ථාවේදී කුමන්ත්‍රණකරුවන්ට විරුද්ධව දඬුවම් කිරීමටවත් අපේ නීතියට හැකි වුණේ නැහැ. විත්තිකරුවන් නඩුවෙන් වැරදිකරුවන් වුණාම ඒ අය එංගලන්ත අධිකරණයේ අභියාචනාවක් දාලා එයින් නිදහස් වුණා. එයින්ම පැහැදිලියිනේ අපට මොනම නිදහසක්වත් තිබුණේ නැහැ කියලා. අනික 1948 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණ ඇමති පදවිය හිමි විය යුතුව තිබුණේ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ කෙනකුට. උත්තර මන්ත්‍රී මණ්ඩලයට 30ක් හිටියා.

එයින් 15 දෙනෙක් මහජන ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයන්. 15 දෙනෙක් අග්‍රාණ්ඩුකාරයා පත් කළ අය. අග්‍රාණ්ඩුකාරයා පත් කළ අයගෙන් කෙනෙකුට තමයි අධිකරණ ඇමති පදවිය හිමි වෙන්නේ. අග්‍රාණ්ඩුකාරයා කියන්නේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් පත් කළ කෙනෙක්. 1948 පෙබරවාරි 04 දා ලංකාවට නිදහස ලැබුණා කියල කිව්වාට අපිට ලැබුණු නිදහසක් නැහැ.“ යනුවෙන් විස්තර කළේ මහාචාර්ය මාලනී ඇඳගම ය. 

1970 මහ මැතිවරණයට සමගි පෙරමුණෙන් තරග කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද ලංකාවට පූර්ණ නිදහස ලබා ගැනීම පිළිබඳව ඇතුළත් කළාය.

එවර ඇයට අවශ්‍ය ආකාරයටම පාර්ලිමේන්තුවේ 2/3ක බලය සමගි පෙරමුණට හිමි විය. ඉන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් තෝරා ගැනිණි. ඊට ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, පීටර් කෙනමන්, ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක, ටී.බී. ඉලංගරත්න, ටී.බී. සුබසිංහ, මෛත්‍රිපාල සේනානායක, ස්ටැන්ලි තිලකරත්න වැනි විද්වත් පිරිසක් අයත් වූහ. මෙම සම්පාදක මණ්ඩලය පාර්ලිමේන්තුවේදී හමු නොවී කොළඹ රාජකීය විදුහලේ නව රඟහලේ හමු වී සාකච්ඡා කළේ රටක උත්තරීතර නීතිය කෙටුම්පත් කරන කමිටුව පාර්ලිමේන්තුවෙන් බැහැර විය යුතුය යන අදහස පෙරදැරි කර ගනිමිනි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් කෙටුම්පත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් එය සම්මත විය. ඉන්පසුව 1948 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අහෝසි වී 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක විය. ඊට අනුකූලව 1972 මැයි 22 වැනි දින ලංකාවට පූර්ණ නිදහස ලැබී ජනරජ දිනය ලෙස ප්‍රකාශයට පත් විය.

“එංගලන්තයෙන් ලැබුණු අර්ධ නිදහස පූර්ණ නිදහසක් බවට පත්වීමත් සමග ලංකාව කියලා හැඳින්වුණු අපේ රට ශ්‍රී ලංකාව කියලා හඳුන්වන්න පටන් ගත්තා. රාජකීය යුද හමුදාව, රාජකීය ගුවන් හමුදාව, රාජකීය නාවික හමුදාව ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව වශයෙන් වෙනස් වුණා. බ්‍රිතාන්‍යයට අයිති වී තිබුණු වතු රජයට පවරා ගත්තා. බෝගල පතල රජයට පවරා ගත්තා. ත්‍රිකුණාමලයේ තිබුණු තෙල් ටැංකි බ්‍රිතාන්‍යයට මුදල් ගෙවා ලංකාවට අයිති කර ගත්තා. ලංකා රාණි නැව අරගෙන නැව් සංස්ථාව පිහිටෙව්වා. එයින් විදේශ විනිමය පිටරටට යන එක නැවතුණා. කෘෂිකර්මය දියුණු කිරීමට වගා සංග්‍රාමය ආරම්භ කළා. 1972 මැයි 22 දා ඇති වූ ජනරජය සමග එක්තරා දේශපාලනික විප්ලවයක් ඇති වුණා.“ යනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු ප්‍රධානි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසීය.

1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අග්‍රාණ්ඩුකාරයා ඉවත් වී ජනාධිපතිවරයකු පත් කිරීම සහ උත්තර මන්ත්‍රී මණ්ඩලය අහෝසි වීම විශේෂයෙන් සඳහන් කළ යුතු ම ය. ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා සමාජවාදි ප්‍රජාතන්ත්‍රවාදි ජනරජයක් ලෙස හැඳින්විය. එහෙත් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ආයුෂ තිබුණේ වසර 6ක් වැනි කෙටි කාලයක් පමණි. 1977 මහ මැතිවරණයෙන් සමගි පෙරමුණ රජය පරාජයට පත්වී එක්සත් ජාතික පක්ෂය 5/6ක බලයක් සහිතව ජයග්‍රහණය කර ආණ්ඩුව පිහිටුවනු ලැබීය.

“1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි වුණා. 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන්නේ ඇමෙරිකානු, ප්‍රංශ හා එංගලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල සංකලනයක්. අලුත් ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිට අසීමිත බලයක් පැවරුණා.

80 ජූලි වැඩ වර්ජනය, ඉන්දීය සාම සාධක හමුදාව මෙරටට පැමිණීම, 88 - 89 භීෂණය මහා ඛේදවාචකවලින් අවසන් වුණේ මේ ව්‍යවස්ථාවෙන් ලැබුුණු අසීමිත බලය නිසයි. 83 කළු ජූලිය ඇති වෙලා එය ජන වාර්ගික අර්බුදයක් දක්වා ඇවිළුණා. දකුණෙ භීෂණය තරුණයන් 60,000කගේ ජීවිත අහිමි කළා. රට හරියට දෙකොන ඇවිළෙන විලක්කුවක් වගෙයි.

1978 සිට ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස ලැබුණු මැයි 22 ජනරජ දිනය සැමරීම අහෝසි වුණා. නැවතත් අපිට අර්ධ නිදහසක් ලැබුණු පෙබරවාරි 04 දිනය ජාතික නිදහස් දිනය ලෙස සමරන්න පටන් ගත්තා. ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස හැඳින්වූ අපේ රට 1978 ව්‍යවස්ථාවෙන් පසු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජය ලෙස හැඳින්වූවා.“ යනුවෙන් පැහැදිලි කළේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ය.

එහෙත් 1994 සිට මෙරට පාලන බලය හිමි වී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන කර ගත් සන්ධානයකටය. නමුදු කිසිම අවස්ථාවක මැයි 22 ජනරජ දිනය නැවතත් නිදහස් දිනය ලෙස සැමරීමට උනන්දු වූ බවක් පෙනෙන්නට නැත.

ඒ වෙනුවට සිදු වූයේ 2021 දක්වාම ජාතික නිදහස් දිනය ලෙස පෙබරවාරි 04 දිනය උත්සවශ්‍රීයෙන් සැමරීම පමණි. ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් අර්ධ නිදහසක් ලබා ගත්තේ 1947 අගෝස්තු 15 වැනිදාය. පූර්ණ නිදහස ලබා ජනරජයක් බවට පත්වූයේ 1949 ජනවාරි 26 වැනිදාය.

ඉන්දියාව අදටත් නිදහස් දිනය ලෙසින් උත්සවාකාරයෙන් සමරන්නේ ජනවාරි 26 දිනය මිස අගෝස්තු 15 නොවේ. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වී වසර 50ක් සපිරෙන 2022 මැයි 22 වැනි දින සිට හෝ ජනරජ දිනය ලංකාවේ නිදහස් දිනය ලෙස සැලකීමට උත්සුක විය යුතු බවය.

“1972 මැයි 22 අපේ රට ලබා ගත් නිදහස මම නම් දකින්නේ 56 දේශපාලන විප්ලවයේ දිගුවක් විදිහට. අපේ රටේ අවාසනාවට පූර්ණ නිදහස වෙනුවට අපි සමරන්නේ ඩොමීනියන් නිදහස. අද ලෝකයම ආර්ථික අර්බුදයකට ලක් වී ඇති අවස්ථාවක දේශීයත්වයට මුල් තැන දීම ඉතාමත් වැදගත්. දේශීය කෘෂිකර්මයට, දේශීය කර්මාන්තවලට ප්‍රමුඛත්වය දී වැඩිදියුණු කිරීම කාලීන අවශ්‍යතාවක්. අපි දේශීයත්වයට මුල් තැන දී ආර්ථික, දේශපාලනික වශයෙන් නිදහසක් ලබා ගන්න ඕනැ. පරාධීනත්වයෙන් ගලවාගන්න ඕනෑ.

ඒනිසා මම යෝජනා කරනවා මැයි 18 සිට මැයි 22 දක්වා අධ්‍යාපනික සතියක් පවත්වලා පූර්ණ නිදහස සැමරිය යුතුයි කියලා. මොකද මැයි 18 කියන්නේ අපි උතුරේ යුද ජයග්‍රහණය ලැබූ දවස. ඒකත් අපි ලැබූ නිදහසක්නේ. මැයි 22 කියන්නේ ශ්‍රී ලංකාව පූර්ණ නිදහස ලැබූ දවස.

මේ දවස් 2 මුල් කරගෙන ඒ සතියම නිදහස වෙනුවෙන් වෙන් විය යුතුයි කියන අදහසේ තමයි මම ඉන්නේ.“ යනුවෙන් පැවසුවේ ජාතික නිදහස් පෙරමුණේ විධායක කමිටු සාමාජික වෛද්‍ය වසන්ත බණ්ඩාර ය.

එහෙත් හිටපු අතිරේක ලේකම්වරයකු වන ආචාර්ය සූරිය ගුණසේකර සඳහන් කළේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපට පූර්ණ නිදහසක් නොලැබුණු බව ය. අපේ රටට දේශපාලන අධිකාරියේ පරමාධිපත්‍ය හිමි නොවූ බව පැවසූ ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ අපි තවමත් විජාතිකයන්ට යටත් වී සිටින බවයි.

“1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අග්‍රාණ්ඩුකාරයා නැති වෙලා ජනාධිපති කෙනකු පත් වුණා. සෙනෙට් මණ්ඩලය නැති වුණා. ඒත් තවමත් අපේ රට පාලනය වෙන්නේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනවලින්. 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කියන්නේ සෝල්බරි ව්‍යවස්ථාවේ සංශෝධන 2ක්. තවමත් අපේ රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ඉඩම්, වාාරිමාර්ග, මහාමාර්ග මේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ විජාතික තත්ත්ව යටතේ බ්‍රිතාන්‍ය ජාතිකයන් පැනවූ අණපනත්වලට අනුව. ඉතින් කොහොමද අපි නිදහස් කියන්නේ? “ යනුවෙන් හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි සහ ජාතිකත්වය පිළිබඳ දේශක සූරිය ගුණසේකර විස්තර කළේය.

Comments