
- වරාය නගරයෙන් ලක්ෂ 2කට රැකියා හිමිවන බව අගමැති කියයි
- අපේ පුහුණු ශ්‍රමිකයන්ට ලොකු පඩි සමඟ ලොකු ඉල්ලුමක්
- වඩු - මේසන් - විදුලි කාර්මික ශිල්පීන්ට ඩොලර් වලින් වැඩි වැටුප්
- පෝර්ට් සිටියේ පළමු ආයෝජනය අද හෙටම වැඩ අරඹයි
- පනත අනුමත වීම නිසා වරාය නගරය දකුණු ආසියාවේ මුල්‍ය හා සේවා කේන්ද්‍රස්ථාන වෙයි
පාර්ලිමේන්තුවේදි වරාය නගරය ගැන බහුතර වැඩි ඡන්දයෙන් සම්මත කිරීම, කොළඹ වරාය නගරය දකුණු ආසියාවේ මුල්‍ය හා සේවා කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම සඳහා තබන ලද දැවැන්ත පියවරකි. මෙම පනත මඟින් ස්ථාවර ප්‍රතිපත්තිමය පසුබිමක් සමඟ කාර්යක්ෂම පරිපාලන ක්‍රියාවලියක් ද වරාය නගරය සඳහා ක්‍රියාවට නැංවේ. මේ නිසා කොළඹ වරාය නගරය මෙරටට වර්තමානයේ අත්‍යවශ්‍ය වී ඇති විදේශ ආයෝජනය ආකර්ෂණය කර ගන්නා සහ සේවා අපනයන ප්‍රවර්ධනය කරන කේන්ද්‍රස්ථානයක් බවට දැන් පත්වී ඇත. එය රටේ දියුණුවට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් බව වරාය නගරයේ ව්‍යාපෘති සමාගම (CHEC) අවධාරණය කරයි.
දේශ සීමාවලට බරපතළ යුද්ධ කරන මේ වකවානුවේ අපේ රටට අලුත් ඉඩම් අක්කර 663ක් ලැබී ඇත. ඒ වරාය නගරය නිසාය. පර්චස් එකක් රුපියල් කෝටි 2ක් වටිනා බවට ඇස්තමේන්තු කළහොත් මේ මුළු ඉඩම් අක්කර 663 ප්‍රමාණය රුපියල් කෝටි 2,12,160 ක් වටිනා බව ආර්ථික විශේෂඥයෝ පවසති.
වරාය නගරයෙන් ඉදිරි වසර පහ ඇතුළත අපේ රටේ පුද්ගලයන් ලක්ෂ දෙකකට රැකියා හිමිවන බවත් ඉදිරි වසර 5 ඇතුළත අමෙරිකානු ඩොලර් බිලියන 15ක ආයෝජන වරාය නගරයට ගෙන ඒමට හැකිවනු ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් පවසයි.
වරාය නගරයේ ඉදිකරන සියලු ආයතන සඳහා අවශ්‍ය වන රැකියාවලින් සියයට 75 - 80ක් ශ්‍රී ලාංකිකයන්ටම ලැබෙන පරිදි කොමිෂන් සභා පනත වෙනස් කරන බවත් අග්‍රාමාත්‍යවරයා පවසයි.
මේ අනුව වරාය නගරය ඉදිකළ වරාය නගර ව්‍යාපෘති සමාගම අපට එතෙර මෙතෙර ආයෝජන සමඟ පිටරට සල්ලි උනන උල්පතක් මහමුහුදේම සකස් කර දී තිබේ. ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක ආයෝජනයක් ඇතිව ඉදිකරන මේ කලාපයට ඇමෙරිකන් ඩොලර් බිලියන 5.7ක විදෙස් ආයෝජන ලැබෙනු ඇතැයි වරාය නගර ව්‍යාපෘති සමාගමේ (CHEC) මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් පවසයි. “මෙම වරාය නගරයේ ප්‍රථම ආයෝජනය ලෙස බ්‍රවුන්ස් සමාගමත් වරාය නගර සමාගමත් එක්ව කොළඹ අන්තර් ජාතික මුල්‍ය මධ්‍යස්ථානය (CIFC) ඉදිකිරීමට ගිවිසුම් අස්සන් කළා. ඒක රුපියල් කෝටි 10,000ක් වටිනා ආයෝජයනයක්. එය ළඟදීම ආරම්භ කරනවා.“ ඊට අමතරව ආයෝජන සංවර්ධන මණ්ඩලයෙන් තවත් ව්‍යාපෘතියකට ළඟදීම ගිවිසුම් අස්සන් කිරීමට යෝජිතයි.
මෙවැනි අලුත් මහා පරිමාණ ව්‍යාපෘති වරාය නගරය තුළ ආරම්භ කරන විටම අපේ රටේ ජනතාවට වරාය නගරයේ ප්‍රතිලාභ ලැබීම අරඹනවා. මුලින්ම අදාළ ගොඩනැඟිලි ඉදිකිරීමට සිමෙන්ති, කළුගල්, පස්, වැලි, කම්බි ආදිය දෙන අයට, ප්‍රවාහනයට කටයුතු කරන අයට, මේසන්, වඩු, විදුලි කාර්මික වැඩ කරන අයට ඒවාට අත්වැඩ දෙන අයට මින් රැකියා අවස්ථා උදා වෙනවා. පිටරට සමාගම් තමයි ඒ අයට වැටුප් දෙන්නේ. ඒ අනුව රට සල්ලි අපේ ගම්වලට එනවා.“ කස්සප සෙනරත් පවසයි.
මේ ගැන කරුණු දක්වන ආර්ථික විශේෂඥ මහාචාර්ය සමිත හෙට්ටිගේ පවසන්නේ වරාය නගරයේ ප්‍රතිලාභ රැසක් වරාය නගරය සම්පූර්ණයෙන් ඉදිකිරීමට පෙර සිටම අපේ ජනතාවට ලැබෙන බවයි. අපේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍ය වන මේ ව්‍යාපෘතිය සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමත් සමඟ දැන් නිතර ආයෝජන විමසීම් සිදුවෙමින් පවතින බවද දැනගන්නට ඇත.
මේ නව ව්‍යාපෘති ඉදිකිරීම් ආරම්භයේ සිටම අපේ තරුණ පරපුරට වැඩි රැකියා අවස්ථා ලැබේ. ඒ අනුව ඍජු රැකියා අවස්ථා 80,000 ක් හා ඍජු නොවන රැකියා 50,000 - 60,000 ක් අතර ලැබෙනු ඇතැයි ද මාහාචාර්ය සමිත හෙට්ටිගේ පෙන්වා දෙයි.
වරාය නගරයේ සෑම බිම් අඟලකම පරම අයිතිකරු ශ්‍රී ලංකා රජයයි. එහි සියලු ආරක්ෂක කටයුතු කරන්නේ අපේ පොලිසියයි. නීති ගැටලු විසඳන්නේ අපේ උසාවියයි.
වරාය නගර පනත සම්මත වීම අපේ තරුණ පරපුරට ද මහඟු සෙතකි. ඒ අනුව දැන් සිටම කළ යුත්තේ ළඟදීම අරඹන වරාය නගරයේ අලුත් ගොඩනැඟිලි ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් සූදානම් කරවීමයි.
මේ පිිළිබඳව කරුණු දක්වන නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු, අධ්‍යාපන පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ පවසන්නේ වරාය නගරය සඳහා පුහුණු ශ්‍රමිකයන් ලබාදීමට නිපුණත්වයෙන් යුතු ශිල්පීන් 50,000 ක් බිහිකිරීමට වැඩපිළිවෙළ රැසක් දැන් ක්‍රියාත්මක කරන බවයි. නව නගරයෙන් ගොඩනැඟිලි ඉදිකිරීමේ සිට වෛද්‍ය වෘත්තිය දක්වා රැකියා උත්පාදනය වෙනවා. ඒ අනුව මේසන්, වඩු, විදුලි කාර්මික, ශීතකරණ, වායු සමීකරණ කාර්මික, උද්‍යාන අලංකරණය වැනි රැකියා මුලින්ම මේ නගරයේ ඇති වෙනවා. අලුත් ආයෝජකයන් ගොඩනැඟිලි ඉදිකිරීම් අරඹන විටම මේ අයට රැකියා ලැබෙනවා. ඒ අයට ඩොලර් වලින් ලොකු වැටුප් ලැබෙනවා. ඒ මඟින් අපේ රටට පිටරට සල්ලි ලැබී රටේ ආර්ථිකය සරු වෙනවා. ඊට අපි තරුණ පිරිස දිරි ගැන්විය යුතුයි.“ ඇමැතිනිය පෙන්වා දෙන්නීය.
අපේ රටේ තරුණ තරුණියන්ට විශේෂයෙන් පුහුණු වෘත්තිකයනට පුහුණු ශිල්පීන්ට මේසන්, වඩු, විදුලි කාර්මික, ඉංජිනේරු, කාර්මික නිලධාරි, වැඩ මූලික, හෙදි, වෛද්‍ය, පරිගණක, ඉලෙක්ට්‍රොනික යනාදි සියලු ක්ෂේත්‍රවල අයට මේ නගරයෙන් රැකියා දහස් ගණනක් ලැබෙනු ඇත. මුලින්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා වැඩිපුර ලැබේ. ඒ මගින් අපේ රටට එතෙර සල්ලි ගලා එන අතර දැනට වඩා වැඩි වැටුප් ඔවුන්ට ලැබේ. මේ අනුව බුද්ධි ගලනය අඩුවී රටේ ආර්ථිකය නව ඉදිරිගමනකට මුල පුරනු ඇත.
මේ අනුව රජය දැනටමත් වරාය නගරයේ රැකියා ඉල්ලුමට සරිලන සේ අපේ තරුණ තරුණියන් ඊට අනුගත කිරීමට සූදානම් කර තිබේ. වරාය නගරය පනත අනුව මෙහි රැකියා අවස්ථා ලබා දීමේදී සුදුසුකම් ලත් මෙරට තරුණ තරුණියන්ට ප්‍රමුඛතාව ලබාදීමට පියවර ගෙන ඇත. ඒ සඳහා “පුරවර විශ්වවිද්‍යාල“ ඇති කිරීමටත් සුදුසු පරිදි අදාළ ආයතන සමඟ අවබෝධතා ගිවිසුම් ඇති කිරීමට රජය කටයුතු කරමින් තිබේ.
වරාය නගරයේ කටයුතු කරන සැමට වැටුප් ඩොලර් වලින් ලබාදෙයි. එය තම බැංකු ගිණුමට දැමූ විට රුපියල් වලින් ඒ මුදල ආපසු ගත හැකිය. මේ පිළිබඳව කරුණු දක්වන මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ වරාය නගරය අයිති ඇමැතිවරයකු ළඟදීම ජනාධිපතිතුමා විසින් පත්කරනු ලැබ ඇති බවයි.
ඒ අනුව වරාය නගරයේ වගකීම ඔහුට පැවරෙනවා. වරාය නගරය පිළිබඳ විගණනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. දැනටම වරාය නගරයට එතෙර මෙතෙර ආයෝජන විමසුම් ගලා එනවා. ලංකාවේ ආයෝජනයක් ළඟදීම අපි මුලින්ම ආරම්භ කරනවා යැයිද ඇමැතිවරයා පවසයි.
පසුගියදා පාර්ලිමේන්තුවේදි බහුතර ඡන්දයෙන් සම්මත වූ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත අපේ රට තුළ බලාත්මක කිරීම මගින් රජය කාලීන හා ක්‍රමෝපායික වැදගත් තීරණයක් ගෙන ඇති බව වරාය නගරය ඉදිකළ ව්‍යාපෘති සමාගමේ CHEC Port City Colombo හි කළමනාකාර අධ්‍යක්ෂ ජියැංහව්ලියැං (Jiag Houliang) පවසයි. ශ්‍රී ලංකාවට අලුතින්ම එක්වූ දකුණු ආසියාවේ ජගත් මුවදොර යන විරුදාවලිය ලත් කොළඹ වරාය නගර භූමිය තුළ ඕනෑම විදේශ ව්‍යවහාර මුදල් ඒකකයකින් ගනුදෙනු කරන ජාත්‍යන්තර ව්‍යාපාර හා බහු සේවා සහිත විශේෂ ආර්ථික කලාපයක් බවට මෙය පත්වනු ඇතැයි ද ජියැං හව්ලියැං පවසයි.
මෙම භූමිය ගෝලීය වශයෙන් තරගකාරි, ව්‍යාපාර දිරිගැන්වීම් ක්‍රමවේදයන් හඳුන්වා දීමේ ආරම්භක ස්ථානයක් වනු ඇත. එබැවින් අන්තර්ජාතික සමාගම් සේම දේශීය සමාගම් ද මේ සුවිශේෂි වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සිය ව්‍යාපාර හා ආයෝජන කොළඹ වරාය නගරය ඇතුළත ස්ථාපිත කර ගෝලීය ව්‍යාපාර අවස්ථා ළඟා කරගන්නා ලෙස ද කොළඹ වරාය නගරයේ ව්‍යාපෘති සමාගම ලොව සියලු ආයෝජන සමාගම් වලට ආරාධනා කරයි.
මේ පිළිබඳව කරුණු දක්වන කොළඹ වරාය නගර සමාගමේ අධ්‍යක්ෂිකා (විකුණුම් හා අලෙවි) යමුනා ජයරත්න පවසන්නේ කොළඹ වරාය නගරයේ ආයෝජනය හොංකොං හා ඩුබායි වැනි දියුණු නගරවල ආයෝජනයට වඩා සියයට 70 - 80 ක් වාසිදායක වන බවයි.
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත ක්‍රියාත්මක වීම මඟින් මෙම වාසිදායක බව තවත් දියුණු වෙන බවත්, මේ මගින් අනුමැතියන් ලබාදීම සම්බන්ධ පරිපාලනමය කටයුතු වඩාත් කාර්යක්ෂම වන බවත් ඉන් ආයෝජකයනට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා ඉවත් වෙන බවත් ඇය පවසන්නීය. මේ මඟින් විධිමත් හා ඉක්මන් ලෙස ගැටලු විසඳිය හැකි යාන්ත්‍රණ බිහිවී ඇති බව පෙන්වා දෙන අධ්‍යක්ෂවරිය මෙම නගරයේ දැන් ඇති වියදම් අඩුවීමේ වාසි, එහි පිහිටීමේ වාසි හා එහි බිහිවන නව උසස් ජීවිත තත්ත්වය යනාදි සාධක සියල්ල පිළිබඳ සලකා බැලූවිට කොළඹ වරාය නගරය දෙස් විදෙස් ආයෝජකයන්ට ප්‍රතිලාභ රැසක් හිමිකර දෙන සුවිශේෂ ව්‍යාපාරික සන්ධිස්ථානයක් වනු ඇති බවත් පවසයි.
කොළඹ වරාය නගරය තිරසර මූලධර්ම පදනම් කරගෙන ඉදිකරන ලද අනාගතයට ගැළපෙන අති නවීන යටිතල පහසුකම් සමඟ ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය මැනවින් නිරූපණය කරන වටා පිටාවක් ඇතිව ඉදිකෙරේ.
විශේෂයෙන් මෙහි විශාල වෙරළක් ඇති වෙරළ උද්‍යානයක් ද ගාලුමුවදොර පිටිය මෙන් නම (9) ගුණයක් විශාල නාගරික හරිත උද්‍යාන ද ඉදි වේ. අක්කර 111 ක ප්‍රදේශයක ඒවා ඉදිවන අතර මෙහි නව වෙරළ උද්‍යානය පමණක් අක්කර 35ක භූමියක දැන්ම ඉදිකර අවසන් කර ඇත. එම වෙරළේ දිග මීටර් 1500 කි. පළල මීටර් 200 කි. මේ වෙරළ උද්‍යානවල හරිත උද්‍යානවල පහස විඳීමට ශ්‍රී ලාංකික ඕනෑම අයකුට කිසිම ගෙවීමක් නොමැතිව ඇතුළු වීමට පුළුවන. එමෙන්ම වරාය නගරයේ ඉදිවූ නව ඇළ මාර්ගයේ ජල ක්‍රීඩා කටයුතු කිරීමට ද ශ්‍රී ලාංකිකයනට ඉඩ සැලසේ. ගාලු මුවදොර පිටියට ඇතුළු වූ පසු කෙළින්ම මේ උද්‍යානවලට යා හැකි පරිදි වෙනම මාර්ගයක් ද මෙහි ඉදි වේ. ඊට අමතරව විශේෂ භෝජනාගාර විනෝද ක්‍රීඩා ආදි පහසුකම්වලින් ද මේ ප්‍රදේශය සමන්විත වේ. මෙය මෙරට විශාලතම නාගරික හරිත උද්‍යානය වනු ඇත.
මේ අනුව අපේ වරාය නගරය කොළොම් පුරේ ඉදිවූ ජගත් මට්ටමේ අසිරි පුරයක්ම වනු ඇත.