වයඹ ජල හිඟයට කාලීන විසඳුම | සිළුමිණ

වයඹ ජල හිඟයට කාලීන විසඳුම

‘වාරි සෞභාග්‍යා’ වැඩසටහන් යටතේ ඉදිකරන වයඹ පළාත් මහ ඇළට අනුබද්ධ මහ කිරුළ හා මහ කිතුල ජලාශවල ඉදිකිරීම් සමාරම්භයට අදාළ සමරු ඵලකය කුරුණෑගල ප්‍රදේශයේදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා අතින් නිරාවරණය කළ අවස්ථාව. මෙම අවස්ථාවට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අය ඇතුළු පිරිසක් එක්වූහ.

- මහ වැව් 8 ක් කුඩා වැව් 350 ක් පෝෂණය කරයි
- මෙගා වොට් හයක් රටට දෙන ජල විදුලි බලාගාර දෙකක්
- අක්කර 32000 ක් යල මහ අස්වද්දන්න ඇති තරම් ජලය
- මහවැලි ජලය වයඹට ගෙන යන කි.මී.90 ක් දිග වයඹ මහ ඇළ
- ගොවි පවුල් 55,000 කට සෙත
- අලි - මිනිස් ගැටුමට විසඳුම්

යඹ පළාතට තවමත් දරුණු ජල හිඟයක් තිබේ. එපමණක් නොව වයඹ ජන ජීවිතයට ප්‍රශ්න රැසකි. වකුගඩු රෝගය, අලි කරදර ෆ්ලෝරොසියාව ඒ අතර ප්‍රමුඛය. ඒ අයුරින් මෙතෙක් කල් දුක් වින්ද ජනතාවට යල මහ දෙකන්නයේම තම කෙත් වතු හා ගෙවතු අස්වැද්දීමට ඇති තරම් ජලය දීමට දැන් අලුත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමාගෙත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය තුමාගේත් වාරි මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂයන්ගේත් උපදෙස් මත ක්‍රියාත්මක මේ මහා ව්‍යාපෘතිය වනාහි මහවැලි ජලයෙන් වයඹ සරු කරන වයඹ පළාත් මහ ඇළ ව්‍යාපෘතියයි.

බෝවතැන්න ජලාශය අසල සිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ඇහැටුවැව දක්වා කිලෝමීටර් 90 ක් දිගට හා මීටර් 3.5 ක පළලට ඉදිවන මේ වයඹ මහ ඇළින් වයඹ පළාතේ ජනතාවට නොඅඩුව වාරි ජලය හා පානීය ජලය ලැබෙන බව ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන වාරිමාර්ග අමාත්‍යාංශයේ මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ වැඩසටහන් අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. බී. විජයරත්න පවසයි‍.

අපේ රටේ දැනට ක්‍රියාත්මක ලොකුම බහුකාර්ය යෝජනා ක්‍රමය වන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ තවත් අතුරු ප්‍රතිලාභ ගෙන එන ප්‍රධාන ව්‍යාපෘති 3කි. ඉන් පළමුවැන්න උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය දෙවැන්න වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියයි. තෙවැන්න මිනිපේ වම් ඉවුරු ඇළ ව්‍යාපෘතියයි.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. මහවැලි ජලය වයඹට දීමට බෝවතැන්න ජලාශය අසල සිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ඇහැටුවැව දක්වා කිලෝමීටර් 90 දිගට හා මීටර් 3.5 ක් පළලට ඉදිවන වයඹ පළාත් මහ ඇළ ඉදිකිරීම දැන් සාර්ථකව සිදු කෙරේ.

වයඹ පළාතේ මහ වැව් අටක් හා කුඩා වැව් 350 ක් පෝෂණය කරන මේ මුළු වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය සම්පූර්ණ වියදම රුපියල් කෝටි 5200 බව වාරිමාර්ග අමාත්‍යාංශය කියයි.

මෙම ඇළට ජලය ලැබෙන්නේ මූලික ලෙස බෝවතැන්න විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයෙන් හා නාලන්දා ජලාශයෙනි‍. මෙහිදී බෝවතැන්න ජලාශයෙන් එන ජලය කිලෝමීටර් 8 ක උමඟක් මඟින් වෑමැඬිල්ල ජලාශයට එවනු ලැබේ. ඊට අමතරව නාලන්දා ජලාශයේ ජලය වැලමිටිඔය හරහා වෑමැඬිල්ල ජලාශයට ලැබේ. ඊට පසු මේ ව්‍යාපෘතිය යටතේ මුලින් ම සිදු කර ඇත්තේ මේ වෑමැඬිල්ලට ලැබෙන ජලය දේවහූව ප්‍රදේශයට ජලාශය වෙත රැගෙන යාමට වයඹ මහ ඇළ ඉදිකිරීම බව වයඹ මහ ඇළ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු අශෝක පෙරේරා පවසයි. අශෝක පෙරේරා පවසන පරිදි මේ ව්‍යාපෘතිය මඟින් හෙක්ටයාර 13000 ක් යල මහ අස්වැද්දීමට ජලය ලබා දෙන අතර එමඟින් වයඹ පළාතේ ගොවි පවුල් 12500 කට සෙත සැලසේ. ඊට අමතරව වක්‍ර මාර්ගයෙන් කෘෂිකර්මයට තවත් පුද්ගලයන් 40000 කට පමණ මේ වයඹ පළාත් ඇළ මඟින් සෙත සැලසෙන බවත් අශෝක පෙරේරා පවසයි.

මෙම ව්‍යාපෘතිය ප්‍රධාන ව්‍යාපෘති අදියර 3 ක් යටතේ ක්‍රියාත්මකය. ඒ අනුව වෑමැඬිල්ල ජලාශයේ සිට නෑබඩගලවත්ත දක්වා කොටස මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුවේ මුල් කොටසයි. එහි සිට දේවහූව ජලාශයට තවත් කිලෝමීටර් 3 ක් යා යුතුය. මේ කොටසේ ඉදිකිරීම්වලින් සියයට 97 ක් දැන් අවසන් බව ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පවසයි.

මෙහි ඡායාරූපවල දකින්නේ ඒ කොටසේ ඉදිකිරීම් පිළිබඳ ඡායාරූපයි. වෑමැඬිල්ල ජලාශයේ අලුත් සොරොව්වක් ඉදිකරන අතර එහි සිට නෑබඩගහවත්ත දක්වා සම්බන්ධක ඇළ හා වම් ඉවුරු ඇළ ඉදිකිරීම් සිදුකර ඇත.

මේ නව ඇළ ව්‍යාපෘතිය නිසා මධ්‍යම හා වයඹ හා උතුරු මැද පළාත්වලට යළි ජල හිඟයක් ඇති නොවේ. මේ ජලය මීට පෙර බෝවතැන්නට, අඹන් ගඟට ගොස් වැඩිපුර වැස්ස ඇති කාලයේදී පහළ ප්‍රදේශයේ ගංවතුර ඇති කර කිසිම වැඩක් නොගෙන මහවැලි ගඟට ගොස් එහිදී මහ මුහුදට ගලා ගියේය.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන් අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.බී‍. විජයරත්න පවසන පරිදි මෙහි බෝවතැන්නේ සිට වෑමැඬිල්ල දක්වා කිලෝමීටර් 8.8 ක උමං මාර්ගයක් ඉදිකිරීම මෙම ඇළේ සුවිශේෂී අංගයක් වේ. ඒ ව්‍යාපෘතියට අනුබද්ධව කුඩා ජල විදුලි බලාගාර දෙකක් ද ඉදි වේ. ඉන් මෙගා වොට් හයක් ජාතික විදුලි බල පද්ධතියට එක්කෙරේ.

වයඹ පළාතේ උග්‍ර ජල ගැටලු ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයේ පිහිටි වැව් ගණනාවක් පෝෂණය කර ජල හිඟය මග හැරීමටත් කෘෂි කර්මාන්ත නඟා සිටුවීමටත් වකුගඩු රෝගය වැනි පීඩා අවම කිරීමත් අරමුණු කර ගනිමින් මහවැලි ජලය අක්කර අඩි 105000 ක් පමණ වාර්ෂිකව වයඹ පළාතට ලබාගැනීම සඳහා වයඹ ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවත් වැඩසටහන් අධ්‍යක්ෂ විජේරත්න පවසයි.

පළාතේ මහ වැව් 8 ක් හා කුඩා වැව් 350 ක් පමණ මහවැලි දියෙන් පෝෂණය කර හක්වටුණා ඔය ජලාශය යටතේ හෙක්ටයාර් 500 කට පමණ ද මීඔය ද්‍රෝණය යටතේ හෙක්ටයාර 3500 ක් ඇතුළුව පළාතේ මුළු ගොවි බිම් හෙක්ටයාර් 12000 කට වඩා යල මහ දෙකන්නයේම වගා කටයුතු සඳහා වාරි ජලය සැපයීමට ව්‍යාපෘතිය ඉවහල් වේ. මේ අනුව ඇතැම් ප්‍රදේශවල දැනට පවතින වකුගඩු රෝගය සඳහා ද හේතුවන උග්‍ර පානීය ජල ගැටලුවට පිළියම් ලැබීම හා ඉදිකිරීම් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට නව රැකියා අවස්ථාව ද මේ මඟින් උදා වෙයි.

මහවැලි ජලය ඝන මීටර් මිලියන 100 ක් වාර්ෂිකව වයඹට දෙන මෙම ව්‍යාපෘතිය මඟින් කුඹුරු අක්කර 32000 ක් යල මහ අස්වැද්දීමට ජලය නොඅඩුව ලබාදෙනු ලබන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු අශෝක පෙරේ‍රා පවසයි.

ඒ අනුව ව්‍යාපෘතිය යටතේ මූලික ලෙස වයඹ පළාතේ උතුරු ප්‍රදේශයේ ජල ගැටලුව විස‍ඳෙයි.

හක්වටුණා ඔය, මැඩියාව, අතරගල්ල, අඹකොළවැව පාලකඩවැව යන මහ වැව් ද මීඔය ද්‍රෝණියේ කුඩා වැව් 320 ක් පමණ හා මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රදේශයේ කුඩා වැව් 30 ක් පෝෂණය වෙයි.

ව්‍යාපෘතියට අදාළව වෑමැඬිල්ල වැවට නව සොරොව්වක් ඉදිකිරීම දැනටමත් අවසන් වෙමින් පවතින අතර මහමැඩිල්ල ජලාශයේ සිට දේවහුව ඇළ දක්වා නව සොරොව්ව පහළින් කෙටි ඇළ මාර්ගයක් ඉදිකරනු ලබන අතර එහි ඉදිකිරීම් අවසන් වෙමින් පවතී. දේවහුව ජලාශයට ජලය ගෙන යන ‍දේවහුව ඇළ ද දැන් කොන්ක්‍රිට් ආස්තරණය කර නවීකරණය කරමින් පවතී.

මෙම ඇළ අවසානයේ සිට මහකිතුල වැව දක්වාවූ ඇළ මාර්ග ඉදි කිරීමත් දැන් ආරම්භ කර ඇත.

මෙම වයඹ පළාත් ඇළ මාර්ගය පරිසර හිතකාමීව ඉදි කෙරේ. විශේෂයෙන් වනාන්තර මැද ඉදිවන ඇළ මාර්ග උඩින් කොන්ක්‍රීට් කර පස් දමා ඒ මතින් වන ජීවීන්ට ගමන් කිරීමට සුදුසු ලෙස සකස් කෙරේ. එමෙන්ම ඒ ප්‍රදේශවලදී එම උමඟ උඩින් ගහ කොළ වර්ධනයට සුදුසු පරිදි පස් යොදා ඉදිකරනු ලැබේ. විශේෂයෙන් වනජීවී කලාප තුළ හා ජනාවාස ආශ්‍රිතව ඉදිකරනු ලබන ඇළ මාර්ග කොටස් මෙලෙස ඉදිකිරීමට නියමිතය. විවෘත ඇළ මාර්ග කොටස් ද ආරක්ෂා කාරීව ඉදිවන අතර ප්‍රදේශයේ ජනතාවගේ පාරම්පරික ජලය ලබා ගැනීමේ ක්‍රමවලට බාධාවක් නොවන පරිදි මේ සියල්ල සිදු කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය නිසා ඉඩම් අහිමිවන අයට රජයේ තක්සේරුව යටතේ වන්දි මුදල් පිරිනැමීමට දැන් සිදුවෙමින් පවතී‍. ප්‍රදේශයේ සමහරුන් මේ ව්‍යාපෘතියට කැමැත්තෙන්ම ඉඩම් පිරිනමා ඇත.

වයඹ මහ ඇළ ව්‍යාපෘතිය මඟින් අතරගල්ල වැව යටතේ හෙක්ටයාර් 419 ක් හක්වටුණාඔය යටතේ හෙක්ටයාර් 2579 ක් දේවහුව වැව යටතේ හෙක්ටයාර් 1215 ක් කුඩා කුඩා වැව් 350 යටතේ හෙක්ටයාර 6500 ක් ද අස්වද්දනු ලැබේ.

මෙම ව්‍යාපෘති‍ය මඟින් පොල්පිතිගම ගල්ගමුව මහව දඹුල්ල ඇහැටුවැව, නාඋල, අඹන්පොළ, ගලේවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගොවි ජනතාවට කෙළින්ම ප්‍රතිලාභ රැසක් ලැබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රදේශයේ ජනතාව තවත් වාසි රැසක් ලැබේ. ඒ අනුව ප්‍රදේශයේ මහ හා කුඩා ජලාශවලට ජලය ලැබීමෙන් මිරිදිය මත්ස්‍ය වගාව දියුණු වේ. ප්‍රදේශයේ පාරිසරික සංචාරක කර්මාන්තය මේ මඟින් දියුණු වෙන අතර ප්‍රදේශයේ භූගත ජල මට්ටම ද ඉහළ නඟී. ඒ සමඟම මෙම ව්‍යාපෘතිය මඟින් ජලය ලබාදීම නිසා කාලගුණ සංකූලතා මඟින් සිදුවන හානි ද අවම කිරීම සිදුකෙරේ.

මේ අනුව සමස්ත ලෙස ගත්විට වාරිමාර්ග අමාත්‍යාංශය හා මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන මඟින් ක්‍රියාත්මක වයඹ ඇළ ව්‍යාපෘතිය මඟින් වයඹ හා මධ්‍යම පළාත්වලත් පසුව උතුරු මැද පළාතේ ගොවි ජනතාවට ඉමහත් සෙතක් ලැබෙන බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු නිහාල් සිරිවර්ධන පවසයි.

මෙම වයඹ මහ ඇළ සංවර්ධන ව්‍යාපෘතිය 2024 වසරේ අග භාගයේදී අවසන්වීමට නියමිත බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි. වයඹ මහ ඇළෙන් ගලායාමට නියමිත මහවැලි දියවර අරපිරිමැස්මෙන් හා සුරක්ෂිතව පරිහරණය කර ගොවිබිම් සරුකර ගැනීම වයඹ ගොවි ප්‍රජාවගේ කාලීන වගකීම බව ද අවධාරණය කරමි.

Comments