
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම සඳහා වූ දේශීය හා විදේශීය සංවිධාන හා ආයතන සමඟ එකට එක්ව ශ්‍රී ලංකාව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කරනු ලැබ ඇත.
මේ පිළිබඳව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සුවිසල් කාර්යභාරයක් ඉටු කරන ශ්‍රී ලංකා මහ බැංකුව, එහි මුල්‍ය බුද්ධි ඒකකය සිය මෙහෙවර හා වගකීම ජාතියට පැහැදිලි කර දී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් විසින් “වසර 2021 ආර්ථික පෙර දැක්ම “මේ වසර ආරම්භයේදීම එළිදක්වමින් පැවැති දේශනයේදී කළු සල්ලි සුදු කිරීම වැළැක්වීමට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීමට දැඩිව පියවර ගන්නා බවට සහතික විය. එවැනි ක්‍රියාවන්වල නියැළී සිටින පිරිස් වෙත කිසිඳු සමාවක් හෝ ලිහිල්බවක් හෝ සිදු නොකොට මේ සමාජ විරෝධී ක්‍රියාකරුවන්ට නීත්‍යානුකූලව උපරිමයෙන් දඬුවම් දීමට මැළි නොවන බව ද අධිපතිවරයා සිය වසර ආරම්භක දේශනයේදී ප්‍රකාශයට පත් කෙළේය.
ශ්‍රී ලංකාව, මුදල් විශුද්ධිකරණයට හා ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපැයීමට ක්‍රියා කරන අයගේ තෝතැන්නක් වීම වැළැක්වීමට මහ බැංකුව එවැනි දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සැමගේ ගෞරවයට හා ප්‍රසාදයට හේතු වී තිබේ. ඒ නිසාම ශ්‍රී ලංකාව මහ බැංකුවේ විශේෂයෙන් මුල්‍ය බුද්ධි ඒකකයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව බුද්ධිමත් රටවැසියන් හා අප බුද්ධිමත් පාඨක ප්‍රජාව දැනුම්වත් කිරීම කාලෝචිත යැයි අප කල්පනා කළෙමු.
මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ තක්සේරුව වූයේ මෙරට මුල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට හා විශ්වාසනීයත්වය ඉහළ නංවා ගැනීමට නම් අපි මේ සමාජ විරෝධී ක්‍රියා සිදු කරන්නන්ට කිසිදු ඉඩක් ලබා නොදිය යුතු බවය. එම අරමුණින් මෙරට මුල්‍ය බුද්ධි ඒකකය, එහි ආරම්භයේ සිටම ජාතික හා අන්තර්ජාතික බලධාරීන් සමඟ සමීප සහයෝගයෙන් යුතුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ සඵලදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමේ සිය ප්‍රයත්නයෙහි අඛණ්ඩව නිමග්න වන ලදී. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ 2006 වර්ෂයේදී පිහිටුවන ලද මූල්‍ය බුද්ධි ඒකකය, ස්වාධීන ව්‍යවස්ථාපිත අධිකාරියක් ලෙස රටෙහි මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ ප්‍රධාන නියාමකයා ලෙස කටයුතු කරයි.
ව්‍යවස්ථාපිත අවශ්‍යතාවලට අනුකූලව, වාර්තාකරණ ආයතන විසින්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ කර්තව්‍යයට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම්, රක්ෂණ සමාගම්, කොටස් තැරැව්කරුවන් සහ මුදල් හෝ මූල්‍ය වටිනාකම් හුවමාරු කිරීමේ සේවා සපයන ආයතන විසින් රුපියල් මිලියනයක් හෝ විදේශ මුදල්වලින් ඊට සමාන මුදල් ඉක්මවන මුදල් ගනුදෙනු සහ විද්යුත් මුදල් ප්‍රේෂණ ගනුදෙනු (දේශීය හා විදේශීය) මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කරන ලදී. ඒ අනුව, 2019 වසරේදී, වාර්තාකරණ ආයතන විසින් මිලියන 4.9 ක (තාවකාලික) මුදල් ගනුදෙනු සහ මිලියන 6.6 ක (තාවකාලික) විද්‍යුත් මුදල් ප්‍රේෂණ සංඛ්‍යාවක් වාර්තා කරන ලදී. තවද, මුදල් ගනුදෙනු වාර්තා පනතෙහි 7 වන වගන්තිය අනුව, වාර්තාකරණ ආයතන විසින් මූල්‍ය බුද්ධි ඒකකය වෙත සැක කටයුතු මුදල් ගනුදෙනු වාර්තා කරන ලදී. මෙහෙයුම් හා උපායමාර්ගික විශ්ලේෂණවලින් අනතුරුව සැක කටයුතු ගනුදෙනු වාර්තා වැඩිපුර විමර්ශනය සඳහා නීති බලාත්මක කරන අධිකාරීන් සහ නියාමන අධිකාරීන් වෙත යොමු කරන ලදී. 2019 වසර තුළදී, සැක කටයුතු වාර්තා 2,806 ක් මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කරන ලද අතර, මූල්‍ය බුද්ධි ඒකකය විසින් සැක කටයුතු වාර්තා 1,478 ක් වැඩිදුර විමර්ශන සඳහා නීති බලාත්මක කරන අධිකාරීන් සහ නියාමන අධිකාරීන් වෙත යොමු කරන ලදී.
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතනයක් හෝ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයක් විසින් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.
ඒ අනුව, රටේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2021 ජනවාරි 01 සිට 2021 මාර්තු 31 දක්වා කාලය තුළ පනවන ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 4 කි.
ප්‍රධාන වශයෙන්, එක්සත් ජාතීන්ගේ සම්බාධකවලට අදාළ පිරික්සුම් කිරීම, ගනුදෙනුකරුවන් හඳුනාගැනීම සහ තහවුරු කරගැනීම, සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීම, නිසි අවදානම් පාලනය සහ අවදානම් අවම කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 2016 අංක 1 දරන මූල්‍ය ආයතන (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීති උල්ලංඝනය කිරීම් සඳහා ද දණ්ඩන පනවන ලදී.
2021 ජනවාරි 01 සිට 2021 මාර්තු 31 දක්වා කාලය තුළ මූල්‍ය බුද්ධි ඒකකය විසින් පනවන ලද දණ්ඩන පිළිබඳ විස්තර පහත පරිදි වේ;
දණ්ඩන පනවන ලද දිනය ආයතනය වටිනාකම (රුපියල්)
• 2021 ජනවාරි 20, කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් රුපියල් මිලියන 1
• 2021 පෙබරවාරි 18, කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පී.එල්සී.
රුපියල් මිලියන 3
මෙලෙස ශ්‍රී ලංකා රජය ඉතා ශක්තිමත් හා ස්ථාවර මූල්‍ය පද්ධතියක් පවත්වා ගෙන යෑමට ගන්නා උත්සාහ හේතුවෙන් අනාගත කොළඹ වරාය ව්‍යාපෘතිය යටතේ පිටරටට ඇඳි ඒ හා මූල්‍ය අංශවල ආයෝජකයින්ගේ විශ්වාසය හා ආරක්ෂාව ද තහවුරු වනු ඇත.
ශ්‍රී ලංකාව මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ ක්‍රියාකාරිත්වය අනාගත කොළඹ ඉදිවන ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ ක්‍රියාකාරකම්, සංවර්ධනය හා සාර්ථකත්වය සඳහා ද ඉවහල් වනු ඇත. එය ශ්‍රී ලංකාවේ අනාගත සෞභාග්‍ය උදා කර ගැනීමේ සුවිසල් අපේක්ෂා, බලාපොරොත්තු බලගන්වන ක්‍රියාන්විතය වඩාත් නිවැරදි ලෙස ලෝකය පිළිගන්නා තත්ත්වයකට රැගෙන යෑමට මඟ කියා දෙනු ඇත.