
- මරණ අතර වයස අවුරුදු 104ක කාන්තාවකුත්
- දින 44ක් තුළ පමණක් මරණ 691ක් ඉකුත් සතියේ
- නව ආසාදිතයන්ගේ ක්‍රමානුකූල අඩුවීමක්
ගෝලීය කොවිඩ් 19 වසංගතයේ දරුණු බව මේ වන විට ශ්‍රී ලාංකාවට ද වැඩි වශයෙන් දැනෙමින් ඇත. රජය විසින් සෞඛ්‍ය විශේෂඥයන්ගේ නිර්දේශ මත රට පුරා දැඩි සංචරණ සීමා පනවනු ලැබුවේ ද වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාය. අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය දිනෙන් දින වඩාත් උග්‍ර අතට හැරෙමින් පවතින අතර මේ වන විට ඉන්දියාවේ සමස්ත මරණ සංඛ්‍යාව තුන්ලක්ෂය ඉක්මවා ඇත.
අලුත් අවුරුදු උත්සව සමයෙන් පසු මෙරට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන්නට පටන් ගත් අතර ඒ සමඟ මරණ සංඛ්‍යාව ද වැඩි වන්නට විය. මැයි 12 සිට 25 දක්වා වූ දින 15 තුළ පමණක් මෙරටින් නව ආසාදිතයන් 38,802ක් වාර්තා විය. සති අන්තය වන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව ජනගහනයෙන් මිලියනයකට සාපේක්ෂව 7,793ක් වන අතර මරණ මිලියනයකට 58ක් බව වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත සඳහන් කරයි.
කොවිඩ් මරණ තහවුරු කරන නව නිර්ණායක
පුද්ගල මරණයක් කොවිඩ් අසාදිත මරණයක් බවට තහවුරු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගියදා සියලුම වෛද්‍යවරුන්ට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අනුගමනය කළ යුතු නිර්ණායක හඳුන්වා දෙමිනි. එම නිර්ණායකවලට අනුව කිසියම් පුද්ගලයකු කොවිඩ් -19 රෝග ලක්ෂණ සහිතව මියගොස් ඇති බව සායනිකව තහවුරු කිරීම අනිවාර්ය වේ. දීර්ඝකාලීනව රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයකු මරණයට පත්වූ විට ඔහු කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණද එම මරණ වෙනමම ගණනය කර ඔහුගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව කොවිඩ් -19 ආසාදනය වීම අදාළ මරණයට ප්‍රධානතම හේතුව බවට සාක්ෂි ඇත්නම් පමණක් එය කොවිඩ් -19 ආසාදිත මරණයක් ලෙස තහවුරු කළ යුතු බව එම නිර්ණායක අතර වේ.
පෞද්ගලික රෝහල්වලටත් විශේෂ මාර්ගෝපදේශ මාලාවක්
පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන පෞද්ගලික රෝහල් සඳහා මාර්ගෝපදේශ කිහිපයක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිකුත් කරනු ලැබිණි. එම මාර්ගෝපදේශ අනුව ඉහත සඳහන් පරීක්ෂණ සිදු කළ යුත්තේ ප්‍රතිකාර නිශ්චය කිරීම භාර වෛද්‍ය විශේෂඥයා හෝ වෛද්‍ය නිලධාරියා නිර්දේශ කර ඇත්නම් පමණි. සාම්පල ලබාගැනීමෙන් පසු ප්‍රතිඵල ලැබෙන තුරු ආයතනය හෝ නිවෙස තුළ හුදෙකලාව සිටින ලෙස රෝගියාට නියම කළ යුතු අතර රෝගියාට කොවිඩ් ආසාදනය වී ඇත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයට, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට සහ රෝගියාට දැනුම් දීම රෝහල් බලධාරීන්ගේ වගකීමක් බව ද එම මාර්ගෝපදේශවල දැක්වේ. ආසාදිත රෝගීන් බලයලත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක රැඳවීමට රෝහල් බලධාරීන් කටයුතු කළ යුතු අතර එම නියමයන් කඩ කරන්නේ නම් අදාළ පරීක්ෂණ කිරීමට රෝහලට ලබා දී ඇති බලපත්‍රය අහෝසි කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දන්වා ඇත.
එන්නත්කරණය ගැන සුබවාදී බලාපොරොත්තු
කොවිඩ් වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ කොවිඩ් මර්දන එන්නත් ගැන ජනතාව තුළ උනන්දුව ද වැඩිවෙමින් ඇත. ඉකුත් මැයි මස 12-25 දක්වා වන දින 15 තුළ පමණක් මෙරට පුද්ගලයන් 6,19, 659කට එන්නත ලබාදී ඇති අතර ඒ වන විට කුමන හෝ එන්නතකින් එහි මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව
3,40, 928කි. එසේ එන්නත්කරණය සම්පූර්ණ කළ සංඛ්‍යාව මෙරට ජනගහනයෙන් සියයට 1.6කි. චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් එක් කෝටි හතළිස් ලක්ෂයක් මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි විසිදෙකක් වෙන් කිරීමේ යෝජනාවට පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.
එම එන්නත් තොගය කොටස් කීපයක් යටතේ ආනයනය කිරීමට සැලසුම් කර ඇති අතර තොග සියල්ල ලබන නොවැම්බර් තිස් වැනිදාට පෙර ගෙන්වීමට නියමිතය. රජය විසින් චීනයෙන් ඇණවුම් කර ඇති තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් මසක් ඇතුළත ලබාදීමටත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමටත් සැලසුම්කර ඇතැයි චීන තානාපතිවරයා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පසුගියදා නිවේදනය කළේය. රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් මර්දන 'ස්පුට්නික් V' එන්නත් මාත්‍රා 50,000ක ප්‍රමාණයක් ද ඉකුත් 27 වැනිදා රාත්‍රියේ මෙරටට ලැබීමට නියමිතව තිබුණි.
චීනයේ සයිනොවැක් කොරෝනා එන්නත ඉදිරි මාස දෙකේදී චීන - ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් ලෙස මෙරටේදී නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.
මේ අතර සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි විසින් ඉදිරිපත් කරන ලද කොරෝනා මර්දන වැඩසටහනට ගම් මට්ටමින් දායකවන රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට එන්නත ලබාදීමට ප්‍රමුඛත්වය ලබාදීම සඳහා වන යෝජනාවට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය. ඒ වැඩසටහන යටතේ සෑම ගමකම සිටින ග්‍රාම නිලධාරි, පවුල් සෞඛ්‍ය සේවිකා නිලධාරිනී, ආර්ථික සංවර්ධන නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ කෘෂිකර්ම පර්යේෂණ, නිෂ්පාදන සහකාර නිලධාරී යන ක්ෂේත්‍ර නිලධාරීන්ට සයිනොෆාම් එන්නත ලබාදීමේදී ප්‍රමුඛතාව හිමිවනු ඇත. එමෙන්ම රටපුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලවලට, ග්‍රාම නිලධාරීවරුන් සංවර්ධන නිලධාරීන්ට මීළඟ අදියරේදී කොරෝනා මර්දන එන්නත් ලබාදීමට පියවර ගන්නා බව ස්වදේශ කටයුතු කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද ප්‍රකාශ කළේය. ඒ අනුව ඉදිරි දිනවලදී ග්‍රාම නිලධාරීන් ඇතුළු පිරිසට එන්නත් ලබාදෙන හෙයින් වර්ජනය අතහැර මහජන සේවාවන් කාර්යක්ෂම කිරීමට කැපවන ලෙස ද හෙතෙම ග්‍රාම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
ජනපති උපදෙසින් සයිනොෆාම් එන්නත්කරණය කඩිනම් වේ
ඉකුත් 26 වැනිදා චීන රජයෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මෙරටට ලැබුණු අතර චීන රජය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ දෙවෙනි එන්නත් තොගය මෙයයි. චීන රජය පළමු එන්නත් තොගය ලෙස මාත්‍රා ලක්ෂ හයක් මෙරටට පරිත්‍යාග කළේ පසුගිය මාර්තු මස 31 වැනිදාය. අලුතින් ලැබුණු සයිනොෆාම් එන්නත් මාත්‍රා 1,25,000ක් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල කොවිඩ් අවදානම් ප්‍රදේශවල ජනතාවට ලබාදීමේ එන්නත්කරණ වැඩසටහන ඉකුත් 27 වැනිදා ආරම්භ විය.
ඊට සමඟාමීව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරුවන්, වෙළෙඳ සේවකයන් සහ ව්‍යාපාරිකයන් 1,610 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබාදීම ද එදිනම ආරම්භ විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ උපදෙස් පරිදි වසංගත රෝග විද්‍යා අංශය නිර්දේශ කරන ප්‍රදේශවල ජනතාවට එන්නත් ලබාදීමේදී ප්‍රමුඛතාව හිමිවන බව සෞඛ්‍ය අංශ පවසයි. අලුතින් ලැබුණු සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5න් එන්නත් මාත්‍රා 3,75,000ක් දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා වෙන්කර ඇති අතර එන්නත්කරණයේ දෙවැනි වටය ලබන 8 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
නිවෙස්වල මියයන රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑමට හේතු
කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන පසුබිමක් තුළ නිවෙස්වල මියයන ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද ප්‍රතිශතයක් ලෙස සියයට 13 දක්වා ඉහළ ගියේය. කොවිඩ් ආසාදිත මෙරට සමස්ත මරණවලින් සියයට 76ක්ම වයස අවුරුදු 60 ඉක්මවූවන්ය. ඉකුත් 24 වැනිදා වාර්තා වූ කොවිඩ් මරණ අතර ගිණිමැල්ලගහ දකුණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 104ක කාන්තාවක් ද විය. කොවිඩ් නිව්මෝනියාව හේතුවෙන් මිය ගිය ඇය කලක් රෝගී තත්ත්වයෙන් පසුවී ඇති අතර දින දෙකකට පමණ පෙර උණ රෝගය වැලඳීමෙන් පසු නිවසේදීම මියගොස් ඇත. මේ දිනවල නිවෙස්වල සිදුවන කොවිඩ් ආසාදිත මරණ වැඩිවීමට බලපාන කරුණු පිළිබඳ අදහස් දක්වමින් වසංගත රෝග අංශයේ ප්‍රධානි, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ එම රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුනොවී නිවෙස්වලම රැඳී සිටීම සහ ඔවුන්ගෙන් බහුතරය පෙළෙන නිදන්ගත රෝග ඊට හේතුවන බවයි. එබැවින් නිවසේවල සිටින වයස්ගත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට කොවිඩ් රෝග ලක්ෂ පහළ වුවහොත් වහාම රෝහල් ගත කරන ලෙස හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
පක්ෂ පාට නොසලකන කොවිඩ් සතුරා
විපක්‍ෂ නායක සජිත් ෙප්‍ර්මදාස සහ ඔහුගේ බිරිය ජලනි ෙප්‍ර්මදාස කොවිඩ් ආසාදිත බව හඳුනා ගත්තේ ඉකුත් 23 වැනිදාය. මේ වන විට ඔවුහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර විපක්ෂ නායකවරයාට කොවිඩ් ආසාදනය වූ බව තහවුරු වීමත් සමඟ ඔහුට ආශ්‍රිත වී ඇති මන්ත්‍රීවරු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් සොයා පාර්ලිමේන්තුවේ සී.සී.ටී.වී කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමට වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ ලේකම්වරියක ඇතුළු සේවකයන් දස දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට සහ ඔහුගේ බිරියට ද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇත. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට කොවිඩ් වයිරසය ආසාදනය වු දොළොස් වැනි මන්ත්‍රීවරයා ඔහු වේ. මීට පෙර කොවිඩ් ආසාදිත වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් ඉකුත් 26 වැනිදා සුවය ලබා රෝහලෙන් පිටව ගියේය.
කොවිඩ් මර්දන එන්නත් ගැන විද්වත් අදහස්
කොරෝනා මර්දන එන්නතකින් පුද්ගලයකුට රැකවරණය සැලසෙන්නේ වසරක පමණ කාලයකට පමණක් බවට වෛද්‍ය පරීක්ෂණ මඟින් තහවුරු වී ඇතැයි වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකු වන මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.
එබැවින් කිසියම් කොවිඩ් මර්දන එන්නතක දෙවැනි මාත්‍රාව ගත් පුද්ගලයකු වසරක් ගත වීමට පෙර එහි තුන්වැනි මාත්‍රාව ලබාගැනීම වැදගත් වන බව ද හෙතෙම සඳහන් කළේය.
ශරීරයේ නිපදවන ප්‍රතිදේහ මට්ටම එන්නත ලබාගෙන කාලයක් ගතවද්දී හීන වී යන බැවින් එය නැවත වැඩිදියුණු කිරීම සඳහා තෙවැනි මාත්‍රාවක් ලබාදීම වෛද්‍ය මතය බව ද මහාචාර්යවරයාගේ අදහසයි. ආසාදිතයන්ගෙන් සියයට අසූවකට රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන නමුත් ඔවුන් ප්‍රබල රෝග වාහකයන් බව ද මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.
කොවිඩ් වෙනුවෙන් නව ප්‍රතිකාර ඒකක කිහිපයක්
කොවිඩ් ආසාදිත අසාධ්‍ය රෝගීන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් ගම්පහ රෝහලේ අලුතින් ස්ථාපිත කළ අධි ප්‍රතිකාර ඒකකය ඉකුත් වෙසක් පොහෝ දින ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ධන පරිත්‍යාගයෙන් ස්ථාපිත කළ මෙම ඒකකය ඇඳන් 15කින් සමන්විත වන අතර එහි කටයුතු සඳහා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ලබාදී තිබුණි. කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් මුල්ලේරියාව රෝහලේ ඉදිකෙරුණු ඇඳන් 352 යුත් නව වාට්ටු දෙකක් ද එදිනම විවෘත කෙරුණේ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙනි.
රෝහල්වල ඇඳන් ධාරිතාව වැඩි කරන්න යුද හමුදාවත් එක්වෙයි
කොවිඩ් ආසාදිත පුද්ගලයන් සඳහා රෝහල්වල ඇඳන් ධාරිතාව වැඩි කිරීම සඳහා යකඩ ඇඳන් 20,000කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. කොස්ගම යුධ හමුදා යුධෝපකරණ බළකා මධ්‍යස්ථානය තුළ මෙම ඇඳන් නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති අතර ඇඳන් 10,000ක් මේ වනවිටත් රෝහල්වලට ලබාදී ඇත. ඇඳන් නිෂ්පාදනයට අමතරව ආසාදිතයන් වෙනුවෙන් යුද හමුදාව විසින් මේ වන විට කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 112ක් පවත්වාගෙන යයි. කොරෝනා වයිරසයේ තුන්වැනි රැල්ල වේගයෙන් වර්ධනය වීමත් සමඟ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්වල පහසුකම් අවම වීම හේතුවෙන් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කෙරුණි.
කළු දිලීර රෝගය සහ කොවිඩ් අතර සම්බන්ධය
මේ දිනවල බොහෝදෙනාගේ අවධානයට ලක්ව ඇති මියුකොමයිසිස් ( Mucormycosis) හෙවත් කළු දීලීර රෝගය වැලඳුණු කිසිදු කොවිඩ් ආසාදිතයකු මෙරටින් මේ දක්වා වාර්තා වී නැති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීර දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී, දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර සඳහන් කළාය.ඉකුත් 24 වැනිදා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරිය පැවසුවේ මෙම දිලීර ආසාදනය මෙරටට අලුත් රෝගී තත්ත්වයක් නොවන අතර 2019 වසරේදී කළු දිලීරය ආසාදනය වූ රෝගීන් 42ක්, 2020 වසරේදී රෝගීන් 24ක් සහ 2021 වසරේ මේ දක්වා රෝගීන් 24ක් මෙරටින් වාර්තා වී ඇති බවත්ය. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල රෝගීන්ට (දියවැඩියා සහ පිළිකා ආදී රෝගවලින් පෙළෙන සහ අවයව බද්ධ කළ පුද්ගලයන්) එම දිලීරය ආසාදනය වීමේ වැඩි නැඹුරුවක් පවතින බව පැවසූ විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මීට පෙර එවැනි ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල රෝගීන්ට මෙම දිලීරය ආසාදනය වූ අවස්ථා වාර්තා වූ බව ද වැඩිදුරටත් සඳහන් කළාය. මෙරට පසෙහි එම කළු දිලීරයේ බීජානු ඇති බවත් රටෙහි පිහිටීම අනුව එය වර්ධනය වීමට අවශ්‍ය සියලු පාරිසරික සාධක පවතින බවත් ඇය පැවසුවාය. එබැවින් ප්‍රතිශක්තිකරණය හීන කරන කොවිඩ් 19 ආසාදනය වීමෙන් වැළකී සිටීමට ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ වැදගත්කම ද විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය. කෙසේවෙතත් එම දීලිර ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය කරන සියලු පහසුකම් රෝහල් සතුව තිබෙන බවත් එවැනි රෝගීන්ට ලබා දීම සඳහා ඖෂධ, ඖෂධ සැපයුම් අංශය සතුව තිබෙන බව ද එම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.
•ෙමහි ඇත්තේ මැයි 27 වැනිදා දක්වා වාර්තා වූ දත්තයන්ය.
සුවසැරියේ සුවෙන් උපන් බිලිඳා
මේ දිනවල මුහුණු පොත මඟින් සංසරණය වන අපූරු ඡායාරූපයක් සහ සටහනකි. කළුබෝවිල රෝහලේ හෙද නිලධාරිනියක විසින් මුහුණු පොතේ තැබූ පහත සඳහන් සටහන සමඟ මෙම සේයාරුව ද පළ කර තිබුණි.
“අද උදෑසන මා විමතියට පත් කරමින් 1990 සුවසැරිය සේවයේ රවිඳු මහතා ගිලන් රථයකින් පිටතට පැමිණියේ දෑතින් ගත් අලුත උපන් කුඩා බිලිඳකු ද සමඟයි. මා ඔහු අසලට ගොස් සිදු වූ දෙය විමසන විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
“මිස් අපි මේ දැන් ඩිලිවර් එකක් කළා. මේ ඉන්නේ බබා, අම්මා ඇම්බියුලන්ස් එකේ ඉන්නවා. අපිට කෝල් එකක් ආවා ගැහැනු කෙනෙක් අමාරුවෙන් ඉන්නවා කියලා.
සමන්ත අයියයි මමයි ගිහින් බලද්දි ඒ අම්මාට දරුවා හම්බ වෙන්න ළං වෙලා තිබිබේ.
අපේ මේ අත් දෙකෙන් තමා බබාව ගත්තෙ මිස්.”
එසේ ජීවිතය ලද බිලිඳා සහ ඔහුගේ මව සමඟ වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලේ වාට්ටු අංක 17 වෙත යොමුකළ බවත් වසංගත අවදානම පවා නොතකා මවගේ සහ බිලිඳාගේ ජීවිත බේරාගැනීමට කටයුතු කළ 1990 සුවසැරිය සේවයේ සමන්ත මහතා සහ රවිඳු යන දෙදෙනා සැමගේ ඇගයීමට ලක්විය යුතු බවත් එම හෙද නිලධාරිනිය සිය සටහන තුළින් වැඩිදුරටත් පවසා තිබුණි.