‘ජනමාධ්‍යයේ සුසමාදර්ශීය වෙනසක්’ | සිළුමිණ

‘ජනමාධ්‍යයේ සුසමාදර්ශීය වෙනසක්’

සෑම අවස්ථාවකදීම සමාජ වගකීමකින් යුතුව ක්‍රියා කිරීම ජනමාධ්‍ය භාවිතයේදී අපේක්ෂා කෙරෙයි. එය අතිශයින් තීරණාත්මක වන්නේ හදිසි ආපදාවකට මුහුණ පා සිටින අවස්ථාවකදීය. මේ වන විට අප අත්විඳිමින් සිටින COVID-19 වසංගත අර්බුදය එයට උදාහරණ සපයයි.

කොරෝනා වසංගතය අපට වඩා පුරුදු ගංවතුර, නායයාම් වැනි ආපදාවලට වඩා බෙහෙවින්ම වෙනස්ය. මේ වන විට වසර එක හමාරකට ආසන්න කාලයක් පුරා පැවැති ඇති වසංගතය විසින් අධ්‍යාපනය, ආර්ථිකය, ආගමික චර්යා, සංස්කෘතික කටයුතු සහ විනෝදාස්වාදය වැනි ජන ජීවිතයේ සියලුම පැතිකඩවල දැඩි බලපෑමක් කර තිබේ. මේ වසංගත තත්ත්වය යථා තත්ත්වයට පත්වීම කෙදිනක සිදුවේද යන්න පිළිබඳව අවිනිශ්චිතය. මින් පෙර නොවූ විරූ අර්බුදයක් මතුව ඇති මේ අවස්ථාවේ පුරවැසියන් ලෙස අපි පෞද්ගලික චර්යා වෙනස් කර ගන්නා පරිදිම, ජනමාධ්‍ය ද නව යථාර්ථයට අනුව සැබෑ යථාර්ථය හමුවේ මාධ්‍ය හැසිරවීම හදිසි අවශ්‍යතාවකි.

මෙරට නූතන ජනමාධ්‍යවල සියවස් දෙකකට ආසන්න ඉතිහාසයක් වෙයි. මෙතෙක් කල් පවත්වා ගෙන පැමිණි මාධ්‍ය සම්ප්‍රදා (business as usual) ගැන ස්වයං විවේචනයක යෙදෙමින් වඩාත් වගකීම් සහගත, ආචාර ධර්මීය මාධ්‍යකරණයකට මෙරට ජනමාධ්‍ය වහාම යොමු විය යුතුව ඇත. ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය පිළිබඳව මෙහිදි අවධාරණය කරනු ලබයි. එසේ අවධානය යොමු කිරීමට හේතු සාධක කුමක්දැයි විමසා බැලිය යුතුය. සමස්ත ලක් සමාජය සලකා බලන විට මිලියන විසි දෙකකට ආසන්න ජනගහන බහුතරයක් තවමත් ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු ලබා ගන්නේ ටෙලිවිෂන් සහ රේඩියෝ හා පුවත්පත් යන ජනමාධ්‍ය මූලාශ්‍රය භාවිතයෙනි.

2019-20 ශ්‍රී ලංකා මාධ්‍ය ග්‍රාහක අධ්‍යයනය හෙළි කළ අන්දමට, නාගරික හා ග්‍රාමීය භේදයකින් තොරව ලාංකිකයෝ අති බහුතරයක් (96%) දේශිය ටෙලිවිෂන් නාලිකාවලින් පුවත් හා කාලීන තොරතුරු සොයා ගනිති. දෙවැනුව වැඩිපුරම භාවිත කරන පුවත් මූලාශ්‍රය රේඩියෝ මාධ්‍යයයි (55%). දිනපතා සහ සතිපතා පුවත්පත් හරහා ප්‍රවෘත්ති ලබා ගන්නා බව අධ්‍යයනයේ දී දීප ව්‍යාප්ත විශාල නියැඳියන්ගෙන් 39% දෙනෙකු පවසා ඇත.

බොහෝ දෙනා පුවත් සඳහා තනි මූලාශ්‍රයකට සීමා නොවේ, එකිනෙකට වෙනස් මූලාශ්‍ර තුනක් හෝ ඊට වැඩි ගණනක් පරිශීලනය කරති, පුවත් සහ කාලීන තොරතුරු දැන ගැනීම පිණිස වෙබ්ගත මූලාශ්‍ර භාවිත කරන පිරිස 40% පමණකි.

මේ අනුව මුහුණු පොත ඇතුළු සමාජ ජාලමාධ්‍යවලින්, නැතහොත් පුවත් වේබ් අඩවි හෝ ගොසිප් වැනි වෙබ් අඩවිවලින් කාලීන තොරතුරු ලබා ගන්නේ මෙරට සමාජයේ හරි අඩකටත් අඩු පිරිසකි.

මේ පසුබිම තුළ වසංගතය පිළිබඳ තොරතුරු මෙරට සමාජයේ ගෙන යෑමේ වැඩි විභවය ඇත්තේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවලටය. 2020 මාර්තුවේ සිට පැතිර ගිය වසංගතයේ පළමු වැනි සහ ‍දෙවැනි රැලි මර්දනය කිරීමට මහජන සෞඛ්‍ය පද්ධතිය සහ රජය ගත් උත්සාහයන්වලදී ජනමාධ්‍යවලින් සැලකිය යුතු දායකත්වයක් ලැබුණු බවද කිව යුතුය.

නව රෝගකාරකය පැතිරෙන ආකාරයත් ඉන් වැළකී සිටීමේදී පිළිපැදිය යුතු චර්යාවන් ගැනත් මූලික දැනුම කඩිනමින් සමාජගත වූවේ ජනමාධ්‍ය හරහාය. එසේ නොවන්නට 2020 වර්ෂයේ ආසාදිතයන් සංඛ්‍යාව මීට වඩා වැඩි වීමට ඉඩ තිබිණි. එසේම රෝග මර්දනය සඳහා ගන්නා පරිපාලනමය පියවර ගැන ජන සමාජය නිතිපතා දැනුම්වත් කිරීමේ සහ ඒවායේ මහජන සහයෝගය ලබා ගැනීමෙ අවශ්‍ය සන්නිවේදනය සඳහා රජය විසින් රාජ්‍ය සහ පෞද්ගලික ජනමාධ්‍ය පුළුල්ව යොදා ගත් බව අපි දනිමු.

පසුගිය මාස 15ක පමණ කාලයේ වසංගතය පිළිබඳව ජනමාධ්‍යවල පුවත් වාර්තාකරණය, තොරතුරු විශ්ලේෂණය සහ මත දැක්වීම පොදුවේ සලකා බලන විට සෑහීමකට පත්විය නොහැකිය.

සමහර ජනමාධ්‍ය වසංගතය සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති ආකාරය අතිශයින් ගැටලු සහගතය. සමහර ජනමාධ්‍ය මුල් මාස කිහිපයේදී වසංගතය වාර්තා කළේ ඔවුන් ආවරණය කරන සියලු ස්ථානවල සිටින්නේ මිනිස් ජීවිතයක් බව ඇතැම් මාධ්‍යකරුවන්ට අමතක වී තිබුණ කරුණකි. වසංගතයේ මුල් රැල්ලේදී ආසාදිතයන් හඳුනා ගැනීම සහ නිරෝධායනය කිරීම සම්බන්ධයෙන් ඇතැම් රූපවාහිනී නාළිකා ගෙන ගියේ කොවිඩ් ආසාදිතයන් අපකීර්තියට සහ අවමානයට (stigma) පත් වන ආකාරයෙනි. එය මාධ්‍ය ආචාර ධර්මයන්ට පටහැනි වාර්තාකරණයකි. ආසාදිතයනගේ පෞද්ගලික පරිශ්‍රයන්ට අනාරාධිතව පිවිසි කැමරාකරුවන් අනවසරයෙන් හසු කර ගත් වීඩියෝ රූප, ටෙලිවිෂන් ප්‍රවෘත්ති හරහා රටටම පෙන්වනු ලැබීය. රෝගියකු හෝ ආසාදිතයකු ගැන පමණක් නොව, අපරාධයක් පිළිබඳව සැක කරනු ලබන අයකුගේ වුවද ද පෞද්ගලිකත්වයට හානි කිරීමෙ ජනමාධ්‍යවලට අයිතියක් නැත.

මාධ්‍ය නිදහස යනු රටේ ව්‍යවස්ථාවෙන් ම සහතික කර ඇති සියලු පුරවැසියන්ගේ ප්‍රකාශන නිදහසේම දිගුවකි. එය ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා වැදගත් නිසා මහත් උනන්දුවෙන් රැක ගත යුතු බව සත්‍යයකි. එහෙත් තොරතුරු ගවේෂණය කිරීමට මාධ්‍යවේදීන්ට ඇති අයිතිය සීමාරහිත එකක් නොවේ. මාධ්‍ය නිදහසේ නාමයෙන් ඕනෑම තැනකට කඩා වදින්නට හෝ ඕනෑම අනුමානයක් සැබෑවක් ලෙස පළ කරන්නට මාධ්‍යවලට ඉඩ නොතිබිය යුතුය. “අපි පෙනී සිටින්නේ මහජනතාවගේ තොරතුරු දැන ගැනීම වෙනුවෙන්” යනුවෙන් තර්ක කරමින් තහවුරු නොකළ කරුණු, අර්ධ සත්‍ය, කුමන්ත්‍රණවාදී ප්‍රබන්ධ ඇතුළු වෙනත් දුර්තොරතුරු සමාජගත කිරීම ඇතැම් ජනමාධ්‍ය තවමත් සිදු කරයි.

වසංගතය සමඟ පොර බදන සමාජයකට බෙහෙවින් අහිතකරය. කොරෝනා වසංගතයෙ සමාන්තරව තොරතුරු වසංගතයක් (infodemic) මතු විය. වසංගතය පිළිබඳ වුවමනාවෙන්ම විකෘති කරන ලද තොරතුරු ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා පැතිර යාම නිසා වසංගත මර්දනයේදී අනවශ්‍ය බාධා මතු වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරුව ඇඟ වූවේ 2020 මාර්තු මාසයේදීය.

දැනට වසරකට වැඩි කලක් පුරා ශ්‍රී ලංකාව ද වයිරස් වසංගතය සහ ‍ෙතාරතුරු වසංගතය යන දෙකම පාලනය කරගන්නට වෙර දරමින් සිටීයි. කඩිමුඩියේ ප්‍රවෘත්ති වාර්තා කරන විට අත්වැරදි සිදුවිය හැකිය. අත්වැරදි සිදු නොවන ජනමාධ්‍ය ලෝකයේ නැත.

නමුත් දැන දැනම විකෘති කරන ලද තොරතුරු, නැතහොත් පට්ටපල් බොරු “ප්‍රවෘත්ති” ලෙස මාධ්‍ය ග්‍රාහකයන්ට ඉදිරිපත් කරන අශිෂ්ට ජනමාධ්‍යකරණයක් අපේ රටේ තිබේ. මාධ්‍ය නිදහස අවභාවිත කරන මේ අශිෂ්ටත්වය හැකි ඉක්මින් දුරු කළ යුතුය.

මේ සඳහා උදාහරණ මුද්‍රිත මෙන්ම විද්යුත් මාධ්‍යවලිනුත් සොයා ගත හැකිය. COVID-19 රෝගකාරකය කොරෝනා වයිරසයක් නොව ‘එක්තරා අද්බූත බැක්ටීරියාවක්’ යැයි සිංහල ජාතික පුවත්පතක් සිය කතුවැකියේම පවසා තිබුණේ මැයි මස දෙවන සතියේය. (එය මුළුමින්ම වැරදිය). ‘

වසංගතය උත්සන්න වීම නිසා ඉන්දියාවේ ජනයා මහ පාරේ මැරී වැටෙනවා’ යයි කියමින් පෞද්ගලික ටෙලිවිෂන් නාළිකාවක් අප්‍රෙල් මස අග සතියේ පුවත් විකාශයක රූප රාමු ගණනාවක් පෙන්වන ලදී. එය දුටු ප්‍රේක්ෂකයන් කම්පාවෙත් භීතියෙත් පත්වූ නමුත් ඇත්ත වශයෙන්ම එම රූපරාමු කිසිසේත්ම වසංගතයට සම්බන්ධ නැති බව කරුණු විමර්ශක (fact-checking) කණ්ඩායමක් සොයා ගත්තේය.

එය 2020 මැයි මාසවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ‘විසාකපට්නම්’ හී සිදු වූ කාර් මික විෂවායු කාන්දුවකට අදාළ වීඩිවයෝ දර්ශන පෙළකි. රෝගය ගැන බොරු භීතිකා පතුරුවනවාට අමතරව මුව වැසුම් භාවිත කිරීම සහ එන්නත්කරණය ගැනත් දුර්මත ඇතැම් ජනමාධ්‍ය විසින් සමාජගත කරනු දක්නට ලැබේ. වසංගතයට අවසන් විසඳුම වන්නේ, එන්නත්කරණය බව ජනාධිපතිවරයා මෑතදී අවධාරණය කළ පසුවත්, සමහර ජනමාධ්‍ය එන්නත් ලබා ගැනීම පිළිබඳව අනිසි බියක් සැකයක් ජන මනසේ ඇති කරනු ලබන්නේ ඇයි?

එන්නත්වලින් ප්‍රතිශක්තිකරණය ලබාදීම පිළිබඳව සමස්ත දියුණු වන ලෝකයේම දශක ගණනක ආදර්ශවත් ඉතිහාසයක් මෙරටට තිබේ. මෙරට මහජන සෞඛ්‍ය සේවාවේ ලබා දෙන ළමා සහ වැඩිහිටි එන්නත් ගැන කිසි දිනක සැකයක් හෝ දෙගිඩියාවක් මෙරට ජනයාට නොතිබිණි. එන්නත් ගැන ඇතැම් විදෙස් රටවල බොරු භීතිකා වේබ්ගත මූලාශ්‍රවලින් සොයා ගෙන, ඒවා අවිචාරශිලීව සහ අවියත් ලෙසින් දේශිය භාෂාවලට පෙරළා සමහර ජනමාධ්‍ය පළ කිරීම මේ අවස්ථාවේ සැබැවින්ම සමාජ විරෝධී ක්‍රියාවකි.

‘සමාජ මාධ්‍යවල මීටත් වඩා බොරු ප්‍රචාර බොහෝවිට හමුවෙතැයි’ කියා ප්‍රධාන ජනමාධ්‍යවලට මේ වැරදිවලින් නිදහස් විය නොහැකිය. ප්‍රමිතියක්, සංයමයක් සහ වාරයක් ඇති ව තොරතුරු වාර්තාකරන්නට ඇතැම් රූපවාහිනී, ගුවන්විදුලි සහ පත්තරවලට නීතිමය මෙන්ම ආචාධාර්මීය වගකීමක් තිබේ. ශ්‍රී ලංකාවේ රේඩියෝ සහ ටෙලිවිෂන් මාධ්‍ය ආයතනවල බල පවත්වන මාධ්‍ය ආචාරධර්ම මාලාවක් නැත.

ඇතැම් විද්යුත් මාධ්‍ය තමන්ගේ ආචාරධර්ම පද්ධතියක් තිබේ යැයි කීවද, එබදු ආචාරධර්ම පද්ධතියක් පිළිබඳව ප්‍රසිද්ධියට පත්කොට නොමැත.

මුද්‍රිත මාධ්‍යවල නම් පොදු ආචාර ධර්ම මාලාවක් නාමික මට්ටමින් හෝ තිබේ. එනම් ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් සම්පාදනය කරනු ලැබ, අවසන් වරට 2016දී සශෝධනයට ලක් වූ මාධ්‍ය වෘත්තිය ප්‍රතිපත්ති (ආචාර ධර්ම) සංග්‍රහයයි. ජනමාධ්‍යයේ තොරතුරු ගවේෂණය පොදු උන්නතියට (public interest) අදාළ සහ වැදගත් විය යුතුය. එමෙන්ම එය ආචාරධර්මීය රාමුවක් තුළ පමණක් සිදු කළ යුතුය.

කර්තෘ සංසදයේ ආචාරධර්මවල පොදු උන්නතිය හෙවත් මහජන යහපත යන්නෙන් ආවරණය වන්නේ කුමක්ද යන්න පිළිබඳව විග්‍රහයක් හමු වේ. එක් සාධකයක් වන්නේ “මහජන සෞඛ්‍ය සහ සෞඛ්‍යාරක්ෂාව සමාජ, සංස්කෘතික සහ අධ්‍යාපනික සම්මත ආරක්ෂා කිරීම” ය.

සමස්ත ආචාරධර්ම මාලාව දෙස බලන විට පෙනී යන්නේ මාධ්‍යවේදීන් මහජනයාගේ තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින විට සැම විටම ඔවුන් නීතයානුකූලව සහ ආචාරධර්මීය ක්‍රියා කිරීමට වගකීම ද අනිවාර්යෙන්ම දරන බවය. මෙම මාධ්‍ය ආචාරධර්ම මාලාව හුදෙක් නාමික ලියවිල්ලකට පමණක් සීමා වී ඇත්දැයි ප්‍රශ්න කළ යුතුය.

එයට හේතුව කර්තෘ සංසදයේ ඉහළ නිලධාරීන් කතුකම දරන පුවත්පත්වලත් එකී ආචාර ධර්ම නිතර බිඳ හෙලනු පෙනීමය.

අවසන් වශයෙන් කිව හැක්කේ වසංගතය නිසා මතු වන දැවැන්ත සමාජ හා ආර්ථික අභියෝගවලට මුහුණදීමට මෙරට සමාජය ප්‍රත්‍යස්ථීතිය (resilience) නැමැති ගුණාංගය ප්‍රගුණ කළ යුතු බවය. එදිනෙදා උපමාවකින් මෙය පැහැදිලි කළහොත්, මහ ගස් පවා මුලින් ගැලවී පෙරලෙන දැඩි සුළඟ ඔරොත්තු දීමට උණ ගසට හැකිය. ඒ එහි ප්‍රත්‍යස්ථීතිය වැඩි බැවිනි.

සුවිසල් ආපදාවකදී කලබල නොවී සන්සුන්ව, නැණවත්ව අවිනිශ්චිත තත්ත්ව දරා ගැනීමට හැකියාව අද වැනි කලෙක ඕනෑම ජන සමාජයකට අවශ්‍ය වෙයි. ජපානය හා කොරියාව වැනි රටවල ජන සමාජයේ ප්‍රත්‍යස්ථීතිය තීව්‍ර කරන්නට වගකීම් සහගත ජනමාධ්‍යකරණය පැහැදිලිවම දායක වන සැටි අධ්‍යයන හරහා හෙළි වී තිබේ. හිමිකාරීත්වය කුමක් වුවත්, ආපදා හා වෙනත් ජාතික අර්බුද අවස්ථාවන්හිදී ඒ රටවල මාධ්‍යවේදියෝ පොදු උන්නතිය වෙනුවෙන් එකසේ පෙළ ගැසෙති.

ඩිජිටල් තාක්ෂණය අතින් සහ එම නවීන මෙවලම් හැසිරවීමට කුසලතාව අතින් අප සිටින්නේ එම රටවලට සම කළ හැකි මට්ටමකය.

එහෙත් ඒ රටවල ජනමාධ්‍ය පරිණත බව මුල් බැස ගෙන ඇත්තේ ආචාරධර්මික රාමුවක් තුළ, පොදු උන්නතිය වෙනුවෙන් සෑම විටම ක්‍රියා කිරීමට මාධ්‍යවේදීන් සැදී පැහැදී සිටින බැවිනි. ජනමාධ්‍යකරණයේ සුසමාදර්ශීය වෙනසක් (paradigm shift) දැන් අවශ්‍ය වී තිබේ. ජනමාධ්‍ය ආචාරධර්ම පිළිගන්නා බවට නාමිකව ප්‍රකාශ කරමින්, එහෙත් කිසිදු හිරිකිතයකින් තොරව ඒවා නිතර බිඳ හෙළන ජනමාධ්‍ය සිදු කරන්නේ වසංගත අවදානම තව තවත් උග්‍ර කිරීමකි.

Comments