
පසුගිය සති කිහිපය තිස්සේම මහත් ආන්දෝලනයට තුඩුදුන් කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව පසුගිය 20 වැනිදා සවස පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 91කින් සම්මත විය. පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් 18 වැනිදා පෙරවරුවේ ප්‍රකාශයට පත්කළ පසුව පනතේ විවාදය 19 සහ 20 යන දෙදින පැවැත්විණි. පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සඳහා තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වන අතර, ඇතැම් වගන්ති සඳහා විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් යන දෙකම අවශ්‍ය බව සඳහන් වුණි.
එම පනතට සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය ඇතුළු පක්‍ෂ කිහිපයක් විසින් සංශෝධන ඉදිරිපත් කර තිබිණි.
එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කරන ලද්දේ සංශෝධන සිදු කරන්නේ නම් සාමාන්‍ය බහුතර ඡන්දයෙන් වුවද පනත සම්මත කළ හැකි බවයි. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පාර්ලිමේන්තුවට පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරනු ලැබ ඇති සංශෝධන සියල්ල රජය පිළිගන්නා නිසා පනත සරල බහුතරයකින් සම්මත කරගත හැකි බවයි. එමනිසා එයට විශේෂ බහුතරය හෝ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
20 වැනිදා පැවැත්වුණු ඡන්ද විමසීමේදී දෙවන වර පනතට පක්ෂව ඡන්ද 148ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 59ක් ලැබුණි. තුන්වන වර ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 149ක් ද විපක්‍ෂව ඡන්ද 58ක් ද හිමි විය.
පනතට සමගි ජනබලවේගය, දෙමළ ජාතික සන්ධානය, ජාතික ජනබලවේගය ඇතුළු පක්‍ෂ කිහිපයක් විරුද්ධ විය. ඡන්ද විමසීම පැවැත්වුණේ විද්යුත් ක්‍රමවේදයටය.
ඡන්ද විමසන අවස්ථාවේ මන්ත්‍රීවරුන් 16 දෙනකු පැමිණ නොසිටි අතර සමගි ජනබලවේගයේ මුජිබර් රහුමාන් සහ ආණ්ඩු පක්ෂයේ එම්. රමේෂ්වරන් මන්ත්‍රීවරු කොවිඩ් - 19 ආසාදනය වීම නිසා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත. ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා ද අසනීප වීම නිසා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.
සමගි ජනබලවේගය නියෝජනය කළ ෆයිසාල් කාසිම්, එච්. එම්. එම්. හාරිස්, එම්. එස්. තවුෆික්, මන්ත්‍රීවරුන් ඡන්දය දෙන අවස්ථාවේ සභාවේ නොසිටි අතර හරින් ප්‍රනාන්දු අසනීප තත්ත්වයෙන් පසුවන නිසා සභාවට නොපැමිණි බව වාර්තා කර තිබුණි. මුස්ලිම් කොන්ග්‍රසයේ රාවුෆ් හකීම් සහ නසීර් අහමඩ් ද ඡන්දය දෙන අවස්ථාවේ සභාවේ සිටියේ නැත.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්‍ෂයන්ද ඡන්ද විමසීමට පැමිණි නොසිටි අතර විදේශගතව සිටි නිසා අමාත්‍ය මහින්ද සමරසිංහද පැමිණ සිටියේ නැත. එමෙන්ම අසනීප තත්ත්වයේ පසුවන නිසා විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.
ඉලංකෙයි මක්කල් කොංග්‍රස් දිඟාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ් මන්ත්‍රීවරයා පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර ඔහු දෙවන වර ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් වන ඩයනා ගමගේ (ජාතික ලැයිස්තු), අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් ද බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර්ද පනතට පක්ෂව ඡන්දය ලබා දීමයි. එමෙන්ම මුස්ලිම් ජාතික සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි ෂබ්‍රි රහීම්ද මෙහිදී පනතට පක්ෂව ඡන්ද ලබා දුන්නේය.
ඡන්ද විමසීමේදී එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා දෙවන වර කියැවීමේදී ඡන්දය ලබා දී ඇතත් තුන්වන වර කියැවීමේදී සභාවෙන් පිටව ගොස් ඇත. අධිකරණ අමාත්‍ය අලි සබ්රි හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ජයරත්න හේරත්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සටහන්ව නැති බවට ඡන්ද ප්‍රකාශ කර ප්‍රතිඵල නිකුත් කර අවසානයේ පසුව වාර්තා වුණි.
විද්‍යුත් ඡන්ද ගණනයේදී එවන් වරදක් සිදුවිය හැකිද යන්න මෙහිදී මතුවන ප්‍රශ්නයයි. මේ සම්බන්ධයෙන් කථානායක වරයාට පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කටයුතු කිරීමෙන් පසුව කථානායකවරයා විසින් ඒ සම්බන්ධව විමර්ශන කටයුතු අංශ දෙකකට පැවරීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව තාක්ෂණික විද්‍යුත් ක්‍රමයට ඡන්දය විමසීමේදී යම් දෝෂයක් ඇති වූයේ නම් ඒ සම්බන්ධව සොයා බැලීමට තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට බාර දී ඇත. එමෙන්ම ඡන්ද විමසීමේදී පරිපාලන දෝෂයක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධව සොයා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්වරයකු වූ ධම්මික කිතුල්ගොඩගේ ප්‍රධානත්වයෙන් සොයා බැලීමට කටයුතු යොදා තිබේ.
ඡන්ද විමසීම අවසානයේ පෝට් සිටි පනත වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායෙන් පනත. 2/3කින් සම්මත වී තිබිය යුතුය. එහෙත් සිදුවූ ඡන්ද ගණනය කිරීමේ දෝෂය නිසා 2/3 බහුතරයෙන් පනත සම්මත වීම සිදුව නැත.
කෙසේ හෝ ඡන්ද ගණනය කිරීමේදී සිදු වූ දෝෂය සම්බන්ධව ඉදිරියේදී විමර්ශනය කෙරෙන ඇත. කෙසේ වුවත් කථානායක කාර්යාලය පැවසුවේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන්ට අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල කිසිසේත්ම වෙනස් කිරීමක් සිදු නොවන බවයි.
විමර්ශනයන්හිදී සිදු වන්නේ ඡන්ද ගණනයේදී විද්යුත් ක්‍රමයේ ඇති වූ දෝෂයක් නිසා වූවක්ද එසේ නැත්නම් පරිපාලනමය දෝෂයක්ද යන්න හෝ වෙන යම් සිදුවීමක් වූවාද යන්න සොයා බැලීම පමණක් බවයි.
ඡන්ද ගණනයේදී පාර්ලිමේන්තුවේ කටයුතු එසේ සිදු වූ අතර 20 වන සංශෝධනයට පක්ෂ වූ එමෙන්ම කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතටද පක්ෂ වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනා මෙන්ම මන්ත්‍රීවරියගෙන් අපි තොරතුරු විමසුවෙමු.
ඔවුන් පැවසුවේ රට සංවර්ධනය වෙනවා දැකීම ඔවුන්ගේ එකම අදිටන බවයි.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර් පැවසුවේ පෝට්සිටි ව්‍යාපෘතියෙන් වන යහපත ගැන දැනුවත් කිරීමෙන් පසු තමන්ට හොද අවබෝධයක් ලැබුණු බවයි.
‘‘ අපිට ඕන දේශපාලනයෙන් ඉස්සරහට යන්න කලින් මේ රට නංවන එකයි. පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කරන්න රජය කටයුතු කිරීම නිසා මමත් මගේ ඡන්දය පනතට පක්ෂව ලබා දුන්නා.
පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ නිසයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමැතිය දුන්නෙ. ඒ නිසා රට ගොඩ ගැනීම වෙනුවෙන් මගේ ඡන්දය භාවිත කළා..“
පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි ෂබ්‍රි රහීම්ද පැවසුවේ තිස් අවුරුදු යුද්ධයෙන් පසු රට සංවර්ධනය කිරීම උදෙසා මෙවන් ව්‍යාපෘති රටට අවශ්‍ය බවයි.
‘‘අපට අයත් මුහුදු සීමාවෙන් රට දියුණු කිරීමේ මාර්ගයක් තෝරාගෙන තියෙනවා. එයින් කොටසක් චීන ආයෝජකයන්ට පවරනවා. ඒ සම්පූර්ණයෙන්ම අපේ හිමිකාරික්වය යටතේ. අපේ රටේ භූමි කොටසක් ආයෝජනය කරන්න විදේශීය රටකට ලබා දීම කිසිදු ගැටලුවක් වෙන දෙයක් නෙමෙයි කියල අපට පැහැදිලියි. ඒ වගේම මේ වගේ ආයෝජන ලෝකෙ බොහෝ රටවල තියෙනවා. ඇයි අපි විතරක් මේ විදිහෙ ආයෝජනයකට බොරුවට කෑගහන්නෙ. මට නම් පේන්නෙ ඒක නොදැනුවත්කම නෙමෙයි. දේශපාලන වාසි ගන්න කියලයි. මේ හරහා අලුතින් නිර්මාණය වන රැකියා 83,000ක් විතර තියෙනවා. එයින් 75,000ක් විතර අපේ රටේ අයටයි ලැබෙන්නෙ. අපි ජාති, ආගම් ආදිය සොයන්න කලින් රට ගැන හිතන්න ඕන‘‘
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් පැවසුවේ මෙරට ඉංග්‍රීසීන්ගෙන් නිදහස් කරගත් දින සිට සියලු ජාතීන් හා එක්ව කටයුතු කිරීමට මුස්ලිම් ජනතාව කටයුතු කළ බවත් අද තමන් වුවද ඒ ලෙසින් කටයුතු කරන බව කීවේය.
‘‘ ඩී.එස්. සේනානායක මහත්තයා රටට නිදහස ලබා ගන්න ටී.බී. ඡායා, සිද්දි ලෙබ්බෙ වගේ අයත් උදවු කළා. ඒ වගේ මමත් රටට ආදරෙයි. මම ඉන්නෙ බහුතර සිංහල බෞද්ධ ජනතාවක් ඉන්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව - අවුකන ප්‍රදේශයේ. සිංහල ජනතාව 96%ක් ඉන්නවා. මුස්ලිම් ජනතාව 4% ඉන්නෙ. නමුත් අපි බොහොම සාමයෙන් කටයුතු කරන්නෙ.
ඒක නිසා අපිට රට ගැන ලොක හැඟීමක් තියෙනවා. මහ මුහුදේ කොටසක් ගොඩ කරලා එයින් රටට ආදායමක් උපයා ගැනීමටයි ආණ්ඩුව මේ කටයුතු කරන්නෙ. ඒකට විරුද්ධ වෙන්නෙ කොහොමද කියලා මට හිතාගන්න බැහැ.
එදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයගෙ ආණ්ඩුවෙ ඇමැතිකම් දරමින් පෝට්සිටි ව්‍යාපෘතියට ආවඩපු අය අද කිසි දෙයක් දන්නෙ නැහැ වගේ කතා කරන්නෙ. ගොඩ කරන හෙක්ටයාර් 269න් වැඩි කොටසක් අපට හිමි වෙනවා. චීනයට දෙන කොටස දෙන්නෙත් අවුරුදු 99ක බද්දට. ඒ වගේ තවත් රටවලට ආයෝජනවලට ආරාධනා කරල තියෙන්නෙ. කොරෝනා වසංගතය නිසා රට ආපස්සට ගියා. මම ව්‍යාපාරිකයෙක්. මම දේශපාලනයට ආවෙ 2015 අවුරුද්දෙ. ව්‍යාපාරිකයෙක් හැටියට මම දන්නවා ලාභ ලබන්න මොනවද කරන්න ඕන කියලා. ‘‘
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පවසන්නේ දේශපාලනය කිරීමට පළමුව රටක් තිබිය යුතු බවයි. රටේ ණය බර අඩු කර ගත හැකි, රටට හානි නොවන විසඳුමකට තමන් එකඟ වන බවද ඇය පැවසුවාය.
‘‘අපේ රටේ විපක්ෂය බොහෝ විට කටයුතු කරන්නෙ ආණ්ඩු පක්ෂය කරන දේට විරුද්ධවයි. කලින් අධිවේගී මාර්ගය හදද්දි කිව්වා මහින්ද මහත්තයල ගෙදර හදන ඇඹුල් තියල් ගෙන්ව ගන්න අධිවේගී මාර්ග හදනව කියලා. ඒ එක්කම චීනෙ අයට රස්සා දෙන්න චීනෙට ආදායම ගන්න අධිවේගය හදනව කිව්වා.
එක චීන වැසියෙක් අධිවේගී මාර්ගයේ ඉන්නවද? මේ වෙනකොට අධිවේග මාර්ගයෙන් රුපියල් කෝටි ගණනක ආදායමක් ලැබිලා තියෙනවා. ඇමරිකාවෙන් ආධාර ගත්තොත් ඒක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියයි. පෝට් සිටි වගේ ව්‍යාපෘති ලෝකෙ පුරා 5,460ක් විතර තියෙනවා. ශ්‍රී ලංකාවෙ ඉන්න අපි හැම කෙනෙක්ම ලක්ෂ 6ක් විතර ලෝකෙට ණයයි. ඒ ණය බර ටිකක් හරි සැහැල්ලු කර ගන්න ඕන මේ වගේ ව්‍යාපෘති හරහා.
සංචාරකයො එයි, අටමස්ථාන, සීගිරිය වගේම දකුණේ සංචාරක ස්ථාන බලයි. ඒකෙන් විතරක් මේ ණය බරෙන් නිදහස් වෙන්න පුළුවන්ද? මේ විදිහෙ අය රජකාලෙ හිටියනම් ඔය දැගැබ් වැව් එහෙම හදන්න දෙන එකක් නැහැ.
දූපතක් විදිහට අපට මේ තියෙන්නෙ හොඳම අවස්ථාවක්. ඒකෙන් ආයෝජන ගන්න එපානම් මේ අය මොනවද යෝජනා කරන්නෙ.
අවුරුදු 30ක් ආපස්සට ගිය රටක් ගොඩ ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මම අනිවාර්යෙන්ම කියනව අද පෝට් සිටි එකට විරුද්ධ වෙන අයම තමයි විවෘත වෙච්ච ගමන් එතෙන්ට ගිහින් ඒකෙන් ප්‍රයෝජන ගන්න යන්නෙ. “
පෝට් සිටි හෙවත් වරාය නගරයේ ආයෝජකයන් හෙට අනිද්දා වැඩ අරඹනු ඇත. ඒ ආයෝජන ශ්‍රී ලංකාව වෙනුවෙනි. වරාය නගරයේ අයිතිය ශ්‍රී ලංකාව සතුය. එහෙත් චීනය ඇතුළු රටවලට ලබා දෙන පරිපාලනමය කටයුතුවල පූර්ණ බලයක් කොමිසමට ලැබිය යුතු අතර ඒ කොමිසමේ සභාපති ඇතුළු සෙසු පිරිස්ද අපක්ෂපාතීව මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුමය. එසේ කටයුතු කළහොත් පෝට්සිටියෙන් හොඳ ආයෝජනයක ප්‍රතිඵල ලැබෙන දිනයද වැඩි ඈතක නොවනු ඇත.