
මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබූ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනා එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පසුගියදා නියෝග කළේය.
දීර්ඝ නඩු විභාගයකින් පසුව ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ඒකමතිකව එම තීන්දුව ලබා දෙන ලදී.
නිදොස් කොට නිදහස් කරන ලද සෙසු විත්තිකරුවන් වූයේ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර, නන්දන දියබලනගේ, නිලුපුල් කොස්තා, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් දිසානායක, ඇල්ප්‍රඩ් තිලකරත්න සහ අදාළ නැවේ කපිතාන්වරයා වූ යුක්රේන ජාතික ගෙනඩි ග්‍රැබ්රි ලෝජ් යන අයයි.
එම නඩුවේ තවත් විත්තිකරුවකු ලෙස නම් කර සිටි පී.බී.ප්‍රේමචන්ද්‍රන් නඩු විභාගය අතරවාරයේ මියගොස් තිබුණි.
ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසට සිදු වූයේ කුමක්ද?
රට රැක ගැන්මේ මහඟු මෙහෙයක නිරතව සිටි මේජර් නිශ්ශංක සේනාධිපති යුද හමුදාවෙන් නීත්‍යානුකූලව විශ්‍රාම ගොස් විදෙස් පුහුණුවකින් පසුව ඔහු සතු දැනුම සහ මූල්‍ය ශක්තිය භාවිත කරමින් පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කෙළේය. ඒ සියලු කටයුතු ඔහු සිදු කෙළේ සියලු නීත්‍යානුකූල අවසරය පරිදිය. එහෙත් පසුගිය යහපාලන සමයේ ඔහු අත්අඩංගුවට ගත්තේ අභූත චෝදනා රැසක් නගමිනි. අවසානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ඒ අනුව 2015 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගිනිඅවි 816 ක් සහ උණ්ඩ 203,395ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරන ලදි. ඒ අතර චූදිතයන් 5 දෙනකු නඩුවෙන් නිදහස් කෙරිණි. සෙසු අට දෙනාට විරුද්ධව නඩු පැවරුණි. ඒ චෝදනා 7,573ක් යටතේය
ඒ අතර ඇවන්ගාඩ් නඩුවෙන් ඇප පිට නිදහස් වූ නිශ්ශංක සේනාධිපති විසින් දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලිමේ ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. ඒ තමාට සහ ඇවන්ගාඩ් සමාගමට සිදු වූ අගතීන් පිළිබඳවය. විශේෂයෙන්ම ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් සිදුවු හානිය සම්බන්ධයෙන් ඔහු දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණිලි කරන ලදී..
කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් නිශ්ශංක සේනාධිපති පැවසුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයන්ට මුදල් ලබා දුන්නේ යැයි දිවුරුමක් දෙන්නේ නම් තමාව සියලු නෛතික ක්‍රියාමාර්ගවලින් නිදහස් කරන බවට අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ තමාට පැවසු බවයි.
තමාගේ ව්‍යාපාරය තුළින් මසකට මිලියන 500 ක ආදායමක් මෙරට රැගෙන ආ අතර 4,500 කට අධික ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා ලබා දුන් බවද නිශ්ශංක සේනාධිපති කොමිසමට පැහැදිලි කළේය. 2015 ජනවාරි මස 18 වැනි දින එනම් යහපාලන රජය ආරම්භ වී දින 10කට පසුව ගාල්ල වරාය පොලිස් ස්ථානය විසින් ගාල්ල වරාය අසල නැංගුරම්ලා තිබු ඇවන්ගාඩ් සමාගමට අයත් එම්.වී. මහනුවර පාවෙන අවි ගබඩාව පරීක්ෂා කළ බවත් ඒ සඳහා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට නීති විරෝධි අවි ගබඩාවක් පවත්වාගෙන යාම යටතේ කරුණු වාර්තා කරමින් තිබූ බවත් නිශ්ශංක සේනාධිපති පවසා තිබුණි.
ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ දී රජයට රුපියල් කෝටි 1,140 ක පාඩුවක් කළැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා තිබූ නඩුවේ චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අටදෙනකු නිදහස් කිරීමට අභියාචනාධිකරණය පසුව නියෝග කරන ලදී.
හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යම් නඩු කටයුත්තකට සිරගත කිරීමේ අරමුණක් තිබූ බව නිශ්ශංක සේනාධිපති කොමිසම හමුවේ පැහැදිලිව පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් පසුකලක දිල්රුක්ෂි ඩයස් තමා අමතා දේශපාලනික බලපෑම් මත තමන්ට සහ ගෝඨාභය රාජපක්ෂයන්ට නඩු පැවරීමට සිදු වූ බවත් ඒ වෙනුවෙන් සමාව ඉල්ලූ බව ද ඔහු සඳහන් කළේය
නඩු විභාගය අතරතුර කරුණු විමසීමට අධිකරණයට කැඳ වූ එවක ‘යහපාලන‘ රජය සමයේ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි විසින් පැවසුවේ ඇවන්ගාඩ් සමාගමට සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබු රක්නා ලංකා සමාගමට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා අනුමැතිය ලබාදී තිබු බවයි.
ඒ අනුව ඇවන්ගාඩ් නෞකාව තුළ ගිනිඅවි සහ පතොරම් තබා ගැනීමට අවසර තිබූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා අනාවරණය කෙළේය. එමෙන්ම පරිපාලන පහසුව සඳහා එම ගිනිඅවි සහ පතොරම් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ලිපියක්ද නිකුත් කර තිබූ බවද ඔහු පවසා තිබුණි.
නෞකාව තුළ ගිනිඅවි සහ පතුරම් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළේ යැයි සඳහන් කරමින් විත්තිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ ලිපිය නීත්‍යානුකූල ලියවිල්ලක් බවත් එය ව්‍යාජ ලිපියක් නොවන බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළි ගන්නා ලදී.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඇවන්ගාඩ් නෞකාව තුළ ගිනිඅවි සහ පතොරම් ළඟ තබාගැනීමට වලංගු බලපත්‍රයක් තිබූ හෙයින් එහි නඩු කටයුත්තක් නොමැති බව අධිකරණය තීන්දු කෙළේ ආරක්ෂක ලේකම්වරයා විසින් එම බලපත්‍රය නීත්‍යානුකූල බව පිළිගැනීම නිසා බලපත්‍රය ව්‍යාජ එකක් බව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබූ හෙයිනි.
එසේනම් ව්‍යාජ පැමිණිල්ලක් මත අධිකරණයේ නඩු පවරා සිදු කරන්නට උත්සාහ ගත් අරමුණ කුමක්ද?
වසර 6ක් පමණ විභාග වූ නඩුවේ තීන්දුව එලෙස ලබා දුන් අතර මේ සම්බන්ධව සිළුමිණ මේජර් නිශ්ශංක සේනාධිපතිගෙන් කරුණු විමුසවෙමු.
‘‘මට දැන් අවුරුදු 58ක් වෙනවා. සමාජ සේවය කරන්න ගිහින් මට වෙච්ච හරිය හොඳටම ඇති. ඉතිරි කාලය මම පාඩුවෙ ජීවත් වෙනවා. නඩු කියන්න විතරක් මට රුපියල් මිලියන 838ක් වැය වුණා. ඒ සේරම මුදල් මේ රටේ ජනතාව වෙනුවෙන් මට වැය කරන්න තිබුණු මුදල්. විශේෂයෙන්ම හමුදාවේ සේවය කරල ඉතිරි කාලය ගත කරන හමුදා නිලධාරීන්ටයි සෙබළුන්ටයි සේවාවක් සලසන්න තිබුණු මුදල්.
ඒත් අකමැත්තෙන් වුණත් කියන්න වෙන්නෙ මේ රටේ ජනතාවත් පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ කවුරුන්දැයි තෝරාගෙන නැහැ. එහෙම වුණානම් අද පාඨලී චම්පික, රාජිත සේනාරත්න, අනුර කුමාර පාර්ලිමේන්තුවට එවන්නේ නැහැ. ඒ අයගෙන් වගේම අර්ජුන රණතුංගගෙන් මම අහන්න කැමතියි දැන් සතුටුද කියලා. අවුරුද්දකට 25,000කට රැකියා දෙන්න තිබුණු අවස්ථා අහිමි වුණා. ලංකාවට අවුරුද්දකට ඇමරිකන් ඩොලර් බිලියනයක් ලබා දීමේ ව්‍යාපෘතියක් ඒ අය නැවැත්වූවා.
රටට ඩොලර් බිලියන 3ක් වත් ලබාදෙන්නයි මගේ සැලසුම වුණේ. ඒත් රටේ අවාසනාවට වෙන්න ඇති ඒක කරන්න පුළුවන් වුණේ නැහැ. පුළුවන් හරිය මම රට වෙනුවෙන් කළා.
ටිකක් හිතල බලන්න මට මේ තත්ත්වය උදා කළ යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරුන්. ඒ වුණත් ඒ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි අධිකරණයට කරුණු දක්වමින් කියනවා මේ ව්‍යාපෘතිය තුළින් අවුරුද්දකට ඇමරිකන් ඩොලර් බිලියනයක් උත්පාදනය කරන්න පුළුවන් බවත් ඒ වගේම රැකියා 25,000ක් පමණ උත්පාදනය තකරන්න පුළුවන් බවත්.
ඒක ආරක්ෂක ලේකම්වරයා විසින් කියන්නෙ හිතුමතේට නෙමෙයි. එයාට එහෙම කියන්නත් බැහැ. බොරු කිව්වොත් වෙන දේ එතුමත් දන්නවනෙ.
ලේකම්වරයා අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ අත්සන් කළ අදාළ ගිවිසුම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරියට පවත්වා ගෙන යාමට අනුමැතිය ලබා දීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බවයි.
මම හමුදා නිලධාරියෙක්. සාමාන්‍ය පුද්ගලයෙක්. මම දවසකට කන්නෙ තුන්වේලයිනෙ. වැඩිපුර මුදල් ලැබුණා කියල දහපාරක් කන්න බැහැනෙ. මම සිගරට්. මත්පැන් පානය කරන්නෙ නැහැ. රන් අභරණ පලඳින්නේ නැහැ. ඕනකමක් වුණොත් මෝටර් සයිකලෙන් පවා ගමන් යන කෙනෙක් මම. අපි හමුදාවෙ ලබපු විනයගරුක පුහුණුවත් එක්කයි ජීවත් වෙන්නෙ.
විශ්‍රාම ගිය හමුදාවෙ අයට ඉදිරි දිවිය සුඛිත මුදිත ලෙස දිවි ගෙවීමටයි මම මේ ව්‍යාපෘතිය පටන් ගත්තෙ. මොකද ඒ වගේ දෙයක් රජයකට කරන්න පුළුවන් දෙයක් නොවන නිසා. මොකද තුවක්කුව අතට ගත්ත හමුදාවෙ අයට කරන්න පුළුවන් රස්සාව මොකක්ද? එකම දේ ආරක්ෂක සේවාවකට යෑම පමණයි. ඒත් පැය 12ක් රාජකාරි කරල රුපියල් 35,000ක් 40000ක් ගන්න පුළුවන්. එවැනි තත්ත්වයකින් මුදවාගෙන මසකට රුපියල් ලක්ෂ එකහමාරක් දෙකක් විතර වැටුපක් ගන්න ක්‍රමයක් හදන්නයි මට ඕන වුණේ.
මම බන්ධනාගාරෙ හිටපු කාලෙ රැඳවියන් විඳපු දුක දැකපු නිසා තමයි ඔවුන් වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක් සිදු කරන්න සූදානම් වුණේ. ඒත් කුහක දේශපාලඥයන් එක්ක මේ කටයුතු කරන්නෙ කොහොමද?‘
මේජර් නිශ්ශංක සේනාධිපති විමසයි.
කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීන්දුව ලබා දෙමින් පැවසුවේ නඩුව ගොනු කළ ඇති ආකාරය දෙස බැලීමේදී හා පුද්ගලයන් අත්අඩංගුව ගෙන ඇති ආකාරය දෙස බැලීමේදී පෙනී යන්නේ රටේ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය පිළිබඳව යළි සලකා බැලිය යුතු තත්ත්වයක් උදා වී ඇති බවයි.
අපේ රටේ නීතිය සාධාරණ බව පිළි ගැනේ. ඕනෑම අයකුට නීතිය හමුවට යා හැකිය. ඕනෑම අයකුට හෝ ආයතනයකට තවත් අයකුට එරෙහිව නඩු පැවරිය හැකිය. එහෙත් අසාධාරණ ලෙස හෝ පළිගැනීමක් පිණිස නඩු පවරා අගතියට පත් පාර්ශ්වයට වන්නේ කුමක්ද යන්න අපේ රටේ නීතියේ පැහැදිලිව සඳහන්ව නැත. අගතියට පත් පාර්ශ්වයට හැකි වන්නේ තවත් නඩුවක් පවරා ඒ වෙනුවෙන් කටයුතු කිරීම පමණි. එහෙත් අධිකරණයේ බොරු සාක්ෂි ලබාදීම වෙනුවෙන් නම් අධිකරණයේ අභිමතය පරිදි දඬුවම් නියම කළ හැකිය. මේ නඩුව විභාග කරමින් තීන්දුව ලබා දුන් ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ල තීන්දුව ලබා දෙමින් පැවසූ පරිදි අපරාධ පනත ගැන යළි සලකා බැලිය යුත්තේ යම් අයකුට අගතියට පත්වන ආකාරයේ හිතාමතාම පැමිණිලි ගොනු කර ඇත්නම් හෝ නඩු පවරා ඇත්නම් නඩු පැවරූ ආයතනයට හෝ පුද්ගලයාට දඬුවම් හිමිවන ආකාරයටය.
කවුද මේ නිශ්ශංක සේනාධිපති..
සංග්‍රාම භූමියේ හමුදාවට දැවැන්ත ප්‍රහාර එල්ල වුණු . කට්ටපරිච්චාන් සංග්‍රාමය ජයග්‍රහණය කරන්නට හැකිවූයේ කොමාන්ඩෝ බළකායේ ප්‍රහාර හමුවේය. ඊට මූලිකත්වය ලබා දුන් රණවිරුවන් අතර මේජර් නිශ්ශංක සේනාධිපති ද මුල් තැනක් ගනී.
පසුකාලීනව හමුදා දිවියට සමුදුන් මේජර් නිශ්ශංක සේනාධිපති තිදෙනෙකුගෙන් යුක්ත පෞද්ගලික ආරක්ෂක සේවාවක් ආරම්භ කරයි. ඒ 1996 වසරේදීය. ඒ ආරක්ෂක සේවාව 2005 වසර වන විට ඇවන්ගාඩ් නමින් 4500ක ආරක්ෂක නිලධාරීන් සිටින ආරක්ෂක සේවාවක් බවට පත් වේ. දේශීය පමණක් නොව විදේශීය ආරක්ෂක සේවාවන් පවා පවත්වා ගෙන යන්නට ඇවන්ගාඩ් ආයතනයට හැකි විය. 2015 වසරේ යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට එම සේවාවේ විශ්‍රාමික රණවිරුවන් 25,000ක් පමණ සේවාවේ නිරත විය. එහෙත් යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරුන් කිහිප දෙනෙකු එකතුව ඒ සේවාව සුනුවිසුනු කර දමන්නේ විශ්‍රාමික රණවිරුවන්ගේ රැකියා 25,000ක් අහිමිකර දමමිනි. වසර 6කට පසුව අධිකරණය තීන්දු කරන්නේ නඩුවක් දැමීමට පමණක් නොව අත්අඩංගුවට ගැනීමටවත් එහි නිමිත්තක් නැති බව පවසමිනි. එහෙත් ගොනු කළ චෝදනා සංඛ්‍යාව 7,573කි. එතරම් දරුණු පහරදීම් හමුවේ පවා ඔහුගේ සමාජ සේවා අඛණ්ඩව සිදු කරන ලදී. නිශ්ශංක සේනාධිපති විසින් පසුගිය වසර 3ක කාලයකදී රු. ලක්ෂ 7,020ක වැයකර සමාජ සේවාවන් සිදුකර තිබේ.