
- ආපදාව නිසා පවුල් 10,000 කට බලපෑම්
- නායයෑම් පිළිබඳව දිස්ත්‍රික්ක 11 කට අනතුරු ඇඟවීම්
දැන් ‘යාස්’ සුළි කුණාටුව ඉන්දියාවට ගොස් තිබේ. නමුත් එහි බලපෑම් තවමත් පවතී. ‘යාස්’ කුණාටුවේ බලපෑම් ඉදිරි දිනවල ක්‍රමයෙන් අඩු වුණත් අපට සතුටුවීමට නොහැකිය.දැන් ආරම්භ වී ඇති නිරිතදිග මෝසමේ ආපදා බහුලය. ඉදිරි මාස 2 ඇතුළත කොයි මොහොතක හෝ මෙවැනි සුළි කුණාටු අඩු පීඩන තත්ත්ව අප අවට මුහුදු තීරයේ ඇතිවීමට ඉඩකඩ තිබේ. ඒ මේ නිරිත දිග මෝසමේ හැටිය. නිරිතදිග මෝසම නිසා දවසේ කොයි මොහොතක හෝ වැස්ස හා සුළං ඇතිවීමට ඉඩකඩ ඇත. පසුගිය දිනවල ‘යාස්’ සුළි කුණාටුව නිසා අපේ රටේ බස්නාහිර සබරගමුව, දකුණ, මධ්‍යම පළාත්වලට හා වයඹ පළාතේ යම් යම් ප්‍රදේශවලට ආපදා ඇති විය.
විශේෂයෙන් කළු, නිල්වලා, වලවේ, කැලණි ගංගාවල ජල මට්ටම වැඩිවී ගංගා පිටාර දැමීම ද සිදුවිය. දිස්ත්‍රික්ක 11 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ද නිකුත් කර තිබුණි.
කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසන පරිදි නිරිතදිග මෝසම දැන් සක්‍රීය වී තිබේ.
පසුගිය දිනවල බෝගල බොක්ක ආශ්‍රිතව පැවැති කැලඹිලි ස්වාභාවය නිසා රටේ තෙත් කලාපයට වැස්ස බහුලව ලැබුණි. රත්නපුරයට හා ගාල්ල පහත් බිම්වලට මෙහිදී වැඩිපුර බලපෑම් එල්ල වූ බවත් නිරිතදිග මෝසම නිසා ඉදිරි මාස දෙක ඇතුළත අඩු පීඩන තත්ත්ව අධික වැස්ස, තද සුළං, ගංවතුර ඇතිවීමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ කරුණානායක පවසයි.
ඉදිරියේදීත් බෙංගාල බොක්ක හා අරාබි මුහුද ප්‍රදේශයේ අඩු පීඩන හා කැලඹිලි ඇතිවීමට පෙර තම ආයතනය විසින් ජනතාව දැනුම්වත් කරන බවත් ඔහු කියයි.
නිරිතදිග මෝසම අපේ රටට ඉතා වැදගත් කාලයකි. රටේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ ගංගා මහ වැව් ජලාශ බහුලව පිරෙන්නේ මේ සමයේ ලැබෙන වැස්ස නිසාය. ඒ නිසා මේ වැස්ස කරදරයක් නොව සම්පතක් ලෙස අප සිතිය යුතු ය. ගහ කොළ වර්ධනයට ද මේ වැස්ස අත්‍යවශ්‍ය වේ.
මේ කාලයේ ශ්‍රී ලංකාවේ කාලගුණය මෙම නිරිතදිග සුළං වල පවතින භෞතික ලක්ෂණ මත රදා පවතී. ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ හා හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ කේ.ආර්. අභයසිංහ මහතා පවසන පරිදි අපේ රට හරහා බලපාන පීඩන අනුක්‍රමණය සහ හමා යන සුළං ප්‍රවාහවල ප්‍රධාන දිසාව අනුව මෙම ඍතුවට නිරිතදිග මෝසම් ඍතුව යන නාමය ලැබී ඇත. මැයි සිට සැප්තැම්බර් දක්වා බල පැවැත්වෙන නිරිතදිග මෝසම් වැසි සමයේදී බහුලව වැසි ඇතිවන්නේ රටේ නිරිතදිග කොටසටය. බටහිරින් පුත්තලම ප්‍රදේශයෙන් ගල්ගමුව, බකමූණ, බිබිලේ, බදුල්ල, ඇඹිලිපිටිය යන ප්‍රදේශවලින් ද, දකුණු දෙසින් රිදීගම අම්බලන්ගොඩ ප්‍රදේශවලින් ද මායිම්වූ දිවයිනේ නිරිතදිග ප්‍රදේශය නිරිතදිග මෝසම් මඟින් වැසි ලැබෙන ප්‍රධාන ප්‍රදේශයයි.
නිරිතදිග මෝසම් වැසි, දවසේ ඕනෑම මොහොතක ඇතිවිය හැකි වුව ද පෙරවරු සහ සවස් කාලයේ දී වැඩි වර්ෂාපතනයක් ලැබෙන බව ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ. ආර්. අභයසිංහ පවසයි.
මෙම කාලයේදී රත්නපුර, කලවාන, බුලත්සිංහල, අගලවත්ත, කිරිඇල්ල, යටියන්තොට වැනි ප්‍රදේශවලට මෙන් ම කෑගල්ල, පැල්මඩුල්ල, කළුතර, ඉංගිරිය වැනි ප්‍රදේශවලට බහුලව වැස්ස ඇතිවේ.
ඉදිරි සති කිහිපය ඇතුළත පහළ වලාකුළුවලින් ලැබෙන තරමක් තද මෝසම් වැසි විනාඩි 15 – 20 කට සීමාවෙන අතර, අතරින් පතරට වැසි රහිත කාලාන්තර ද ඇතිවේ.
මේ කාලයේ ඇතිවන අකුණු වැසි ඉතා දරුණුය. විනාඩි 20 ක් පමණ තිබෙන මේ අකුණු වැඩි නිසා අකුණු අනතුරු ද බහුලවීමට ඉඩ තිබේ. කෙසේ වුවත් මෙවර බක්මහ අකුණුවල අඩුවීමක් දක්නට තිබුණි.
මේ අනුව ඉදිරියට එන නිරිතදිග මෝසම් කාල පරිච්ඡේදය ආපදා බහුල කාලයකි. ඒ කාලවල සුළං කුණාටු, අකුණු, ටොනේඩෝ, මාළු වැහි නාය යෑම්, ගංවතුර බහුලවීමට ඉඩකඩ තිබේ. මේ කාලයේ ජනතාව ආපදා අවධානම පිළිබඳව උනන්දුවෙන් සිටීම කාලීන අවශ්‍යතාවක් බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ නිරිතදිග කලාපයට ඇතිවිය හැකි වැසි තත්ත්වය හේතුවෙන් ගංවතුර, නායයාම්, දැඩි සුළං සහ මුහුදු රළ ඉහළ යාම නිසා වෙරළාශ්‍රිත පහත් බිම් ජලයෙන් යටවීම, බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සහ විටින් විට පැයට කිලෝමීටර් 70 – 80 දක්වා තද සුළං වැනි ආපදා සිදුවිය හැකි බවත් මේ නිසා ආපදා අවදානම් අනතුරු ඇඟවීම් පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන ලදී. ඉදිරි දින කීපය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂිත වර්ෂාපතනය ලැබුණ හොත් ගංගා ද්‍රෝණි රැසක ගංවතුර ආපදා තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඒ අනුව මී ඔය, දැදුරුඔය, මහ ඔය, අත්තනගලු ඔය, කැලණි ගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ සහ කිරම ඔය යන ගංගාධාරයට අයත් පහත් බිම් ජලයෙන් යටවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. දිවයිනේ අධික වර්ෂාපතනයක් ඇති බදුල්ල, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික් සීමාවලට ආසන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේත් කඳුකර ප්‍රදේශ නායයාම් සහ ඒ ආශ්‍රිත ආපදා සිදුවිය හැකි බවත්, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පැති බැමි, පස් කණ්ඩි කඩා වැටීමේ අවදානම් පවතින බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන පවසයි.
ඉදිරි දින කීපය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂිත වර්ෂාපතනය ලැබුණ හොත් ඇතිවිය හැකි ආපදා බලපෑමට ලක්වන ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථානවල කටයුතු කිරීමේදී කෝවිඩ් - 19 රට පුරා පැතිරීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ විශේෂයෙන් ම ආපදා හේතුවෙන් අවතැන් විය හැකි ප්‍රදේශවල ජීවත්වන ජනතාව ආපදා අවදානම් නිවේදන සමඟ සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යාමට කටයුතු කරන ලෙස ය. අනවශ්‍ය ලෙස ඒකරාශිවීම් පාලනය කරගනිමින් විධිමත් ආකාරයෙන් සේවා සැපයීම සඳහා එය පහසුවක් වන බවත් පෙන්වා දෙයි.
විශේෂයෙන් ම කොවිඩ් - 19 පිළිබඳව අවධානය යොමු කළ ද මේ වනවිට ඩෙංගු රෝගයේ ද යම් වැඩිවීමක් වාර්තාවන බැවින් පවතින වර්ෂා තත්ත්වයත් සමඟ මේ පිළිබඳව ද වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත් ඩෙංගු රෝගී තත්ත්වය, තද උණ හෝ ස්වසන අපහසුතා පවතී නම් රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කරන ලෙසත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පවසන්නේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබඳව දැඩි අවදානයෙන් පසුවන බවත් ආපදා හදිසි ප්‍රතිචාර දැක්වීම සහ සෙවීම් සහ මුදවා ගැනීම් සඳහා අවශ්‍ය ත්‍රිවිධ හමුදා අනුකණ්ඩ මේ වනවිටත් අවශ්‍ය උපකරණ සහිතව ස්ථානගත කර ඇති බවත් ය.