
- මොරටුමුල්ලෙ නොහික්මුණු ක්‍රියාවට ජනපතිගේද දෝෂදර්ශනය
- මොරටු පුරපති ජූනි 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
- නීතිය සැමට සාධාරණ වීම ගැන පොලිසියට සමාජ මාධ්‍යයෙන් පැසසුම්
ලෝක ව්‍යාප්ත කොරෝනා වසංගතය මැඬලීමට තිබෙන හොඳම විසඳුම එන්නත්කරණය බව වර්තමානය වන විට ලෝකයම පිළිගෙන අවසානය. මේ වන විට මෙරට තුළද බස්නාහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මහජනයා එන්නත්කරණ වැඩපිළිවෙළ සෞඛ්‍ය බලධාරින් මෙන්ම ත්‍රිවිධ හමුදා වෛද්‍ය ක්ෂේත්‍රයේ නිලධාරින්ද එක්ව සාර්ථකව සිදු කරමින් සිටී.
එහෙත් එම එන්නත්කරණ වැඩපිළිවෙළ තුළදී ඇතැම් ස්ථානවල සුළු සුළු නොමනා සිදුවීම්ද වාර්තා වීම් නැතුවාම නොවේ. එවැනි සුළු කොට තැකිය නොහැකි සිදුවීමක් වාර්තා වූයේ මොරටුව ප්‍රදේශයෙනි. පසුගිය 27 වැනිදා පෙරවරුවේ එම අශෝභන සිදුවීම වූයේ මොරටුමුල්ල පොලිස් වසමට අයත් මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහා එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙද්දීය. ඒ මොරටුමුල්ල මෙතොදිස්ත දේවස්ථානයේ පැවැති එන්නත්කරණ මධ්‍යස්ථානයේදියි.
එම එන්නත්කරණ වැඩපිළිවෙළට අනිසි බලපෑම් කළ බව කියන මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ජූනි මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ හෙයිනි. එහෙත් නගරාධිපතිවරයාගේ නීතිඥයන් පසුගිය 01 වැනිදා මෝසමක් ඉදිරිපත් කරමින් නගරාධිපතිවරයාට ඇප ඉල්ලා සිටියත් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ, අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් එම ඇප ඉල්ලීමද ප්‍රතික්ෂේප කළේය. ඉන් ඔහු සිදුකළ වරදේ බරපතළකම මනා ලෙස පසක් වේ.
මැයි 27 වැනිදා පෙරවරුවේ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් (MOH) මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසමේ එන්නත්කරණය ආරම්භ කෙරිණි. එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි මනුජා තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් අදාළ ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරින් මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු වගකිවයුතු සියලු පාර්ශ්ව ද කැටුව එන්නත්කරණයට සූදානම් වූහ. එහෙත් එක්වරම ඊට බාධකයක් වූයේ එම ස්ථානයට මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු පැමිණීමත් සමඟිනි.
ඒ වන විට මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දැනුම් දීම මත අදාළ වසම්හි ජනතාව අලුයම 4 සිට එම ස්ථානයට පැමිණ පෝලිම් ගැසී සිටියේ කොරෝනා මාරයාගෙන් බේරීමට තිබෙන එකම මඟ එන්නත්කරණයට යොමු වීම බව පැහැදිලි වූ හෙයිනි.
එහෙත් සමන් ලාල් පැමිණි සැණින් මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි මනුජා ඇතුළු කණ්ඩායම පවසන්නට වූයේ, ඔහු විසින් දී තිබෙන ‘ටෝකන්‘ අංකවලට පිටතින් එන්නත්කරණය සිදු නොකරන ලෙසටයි.
“1500ක් එන්නත් ගහන්න ඉන්න තැනකට එන්නත් 600කින් කොහොමද ගහන්නෙ. මං දුන්නු ටෝකන්වලට විතරයි එන්නත් ගහන්න ඕන. නැත්නම් එන්නත්කරණ වැඩසටහන කරන්න දෙන්නෙ නෑ...“
නගරාධිපතිවරයා එසේ පවසමින් සිය තනතුරේද ගරුත්වය හෑල්ලු කරමින් හැසිරුණත් එම ගෙරවිලි හඬ තඹ සතේකට මායිම් නොකළ වෛද්‍යවරිය, නගරාධිපතිවරයාට අභියෝග කළේ,
“එහෙම කොහොමද ඔබතුමා කියන විදිහට කරන්නෙ... අපි ආපු පිළිවෙළට එන්නත් කරනවා; කවුද කිව්වෙ 600කට විතරක් ගහනවා කියලා; ඔබතුමාට පැහැදිලිවම කිව්වා නොම්මර දෙන්න එපා; ඒ දේට අපි කැමැති නැහැ කියලා...“
එසේම වෛද්‍යවරිය, නගරාධිපතිවරයාගේ ක්‍රියාවට එරෙහිව දිගින් දිගටම පවසන්නට වූයේ, “ඔබතුමා නගරාධිපතිතුමානේ; රාජ්‍ය නිලධාරියකුට කතා කරන විදිහ දැනගන්න ඕනෙ; මෙතන කිසිම දෙයක් හොරෙන් වෙන්නෙ නෑ “ යැයි පවසමින් ඇය ඉහළ නිලධාරින්ටද දැනුම් දුන්නෙ නගරාධිපතිවරයාගේ කඩාකප්පල්කාරි ක්‍රියාපිළිවෙත නිසාවෙන් එන්නත්කරණ වැඩපිළිවෙළට මහත් බාධාවක් වී ඇති බව පවසමිනි.
කෙසේ හෝ වෛද්‍යවරිය පෝලිමේ සිටි පිරිස පැමිණි පිළිවෙළට එන්නත් කිරීමට සැරැසුණත් නගරාධිපතිවරයා දිගින් දිගටම පැවැසුවේ “නෑ... නෑ... එන්නත් කරන්න ඉඩ දෙන්නෙ නෑ...“ යැයි තර්ජනාත්මක ස්වරයෙනි. එහෙත් රජය විසින් වසංගතය මැඬලීමට ගෙන යන එන්නත්කරණ වැඩපිළිවෙළ එලෙස තනි පුද්ගලයකු විසින් නතර කිරීමට දරන උත්සාහයට ජනයාද විරෝධය පෑවේ එලෙස කටයුතු කිරීමට තරම් ඔහුට තිබෙන ‘හයිය‘ කුමක්ද යන්න ප්‍රශ්න කරමිනි.
අනතුරුව එම ස්ථානයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියගේ දැනුම් දීම මත ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර ප්‍රමුඛ පොලිස් නිලධාරි කණ්ඩායමක්ද පැමිණියේය. නගරාධිපතිවරයා පසුව එම පොලිස් නිලධාරින්ගේ රාජකාරියටද බලපෑම් කළේ වෙනත් පෝලිමක සිටි ඔහුගේ ටෝකන් අංක අතැති පිරිස වැඩිපුර එන්නත්කරණයට යොමුකරන ලෙසට ඉල්ලා සිටිමිනි.
නගරාධිපතිවරයා විසින් තම හිතෛෂින්ට ලබාදුන් ටෝකන් අංකය සහිත කොළ කැබැල්ලේ පිටුපස රබර් මුද්‍රාවක්ද තබා තිබුණේ, ‘ඩබ්ලිව්. සමන්ලාල් ප්‍රනාන්දු, නිල නොලත් මහේස්ත්‍රාත් හා සාම විනිසුරු, නගරාධිපති, මොරටුව මහා නගර සභාව යනුවෙන් සඳහන් කරමිනි. එලෙස ඉංග්‍රිසි පාලන සමයේ නිකුත් කරන ලද 1947 අංක 29 දරන ආඥා පනතේ ප්‍රකාරව නගරාධිපතිවරයාට නිල නොලත් මහේස්ත්‍රාත් තනතුරත් හිමි වුවත් එය වර්තමාන පරිපාලන ව්‍යුහය තුළදී එතරම් වැදගත් නොවන බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මතයයි. මෙවැනි යල් පැන ගිය පනත් පිළිබඳවද මෙවැනි සිදුවීම් ඔස්සෙ හෝ නැවත සලකා බැලීම සිදුවිය යුත්තකි.
කොරෝනා වසංගතයට එරෙහි එකම පිළියම වන එන්නත්කරණයට එදින මෙතොදිස්ත දේවස්ථානයට පැමිණි අයවලුන් අතරින් එක් පුද්ගලයකු මොරටුව නගරාධිපතිවරයාගේ එම හැසිරීම සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර තිබිණි. එම වීඩියෝව සැණින් මෙරට බොහෝමයක් විද්‍යුත් මාධ්‍ය නාලිකාවන්හි ප්‍රධානතම ප්‍රවෘත්තියක් විය. මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ එම සිදුවීම දුටු පක්ෂ, පාට බේදයකින් තොරව සෑම දෙනෙකුම පාහේ මොරටුව නගරාධිපතිවරයාට දෙහි කපන්නට වූයේ ඔහුගේ නොහික්මුණු ක්‍රියාපිළිවෙතට එරෙහිව වගකිවයුතු පාර්ශ්වයන් වහා නිසි පියවර ගත යුතු බව පවසමිනි.
ඒ අතරේ පසුදා කොවිඩ් කමිටු රැස්වීමේදී ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ද මොරටුව නගරාධිපතිවරයා හැසිරුණු ආකාරය ඉතා ‘කැත‘ දර්ශනයක් බවත්, ඉන් මුළු වැඩසටහනම විනාශ වූ බව පවසමින් නගරාධිපතිවරයාගේ හැසිරීම දෝෂදර්ශනයටද ලක් කළේය. එසේම ජනපතිවරයා එම ‘කැත‘ සිදුවීම මාධ්‍යයෙන් දුටු සැණින් පොලිස්පතිවරයා අමතා නියෝග කර තිබුණේ ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසටය.
ඒ අනුව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න උපදෙස් දී තිබුණේ බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එම සිදුවීම පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදුකොට එකී නගරාධිපතිවරයාට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසටයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ බස්නාහිර දකුණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටියගේ ඍජු අධීක්ෂණයෙන් පරීක්ෂණ සිදු වෙද්දී මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියගෙන් මොරටුමුල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ල අනුව මොරටුමුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කමල් බණ්ඩාර ප්‍රමුඛ පොලිස් නිලධාරි කණ්ඩායමක්ද නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කළේය. ඒ අතර බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාස නිලධාරි කණ්ඩායමක්ද නගරාධිපතිවරයා පසුපස පැන්නුවේය. එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස පොලිස් කණ්ඩායම් නගරාධිපති අත්අඩංගුවට ගැනීමට ඔහුගේ විල්ලෝරාවත්තෙ නිවෙසට ගියද ඒ වන විට නගරාධිපතිවරයා නිවෙසින් බැහැරව සිටියේය.
නගරාධිපතිවරයා සිදුකළ ක්‍රියාව පිළිබඳව බොහෝ වගකිවයුත්තන් දැක්වූයේ දැඩි අප්‍රසාදයකි. ඒ මෙවැනි අදූරදර්ශී ක්‍රියා නිසාවෙන් රාජ්‍ය සේවකයන් ඇතුළු රටේ ජනතාව පමණක් නොව රජයද අපහසුතාවට පත්වන බව ඕනෑම අයකුට වැටහෙන නිසාවෙනි. අනතුරුව නගරාධිපතිවරයා පසු දින එනම් 28 වැනිදා පෙරවරුවේ ගල්කිස්ස පොලිස් ස්ථානයට පැමිණ පොලිසියට බාර වූයේය. පසුව මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියගෙන් මොරටුමුල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ල අනුව නගරාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණද සඳහන් කළේය. පොලිසිය විසින් නගරාධිපතිවරයාට එරෙහිව අයුතු ඇතුළු වීම, රජයේ නිලධාරියෙකුට බැණ තර්ජනය කිරීම, රාජකාරියට බාධා කිරීම, රජයේ නිලධාරියකුට අඩන්තේට්ටම් කිරීම සහ වසංගත රෝගයක් පැතිරීමට ඉඩහසර විවර කිරීම යන චෝදනා යටතේ මැයි 28 වැනිදා සවස් යාමයේම නගරාධිපතිවරයා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ නියෝග කළේ නගරාධිපතිවරයා ජූනි 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි. මොරටුව මහා නගර සභාවේ නගරාධිපති සමන් ලාල් මීට පෙරද එන්නත්කරණ වැඩපිළිවෙළකදී මෙවැනිම ආකාරයට අයුතු ලෙස හැසිරී ඇත්තෙ ටෝකන් ලබා දෙමිනි. ඒ පසුගිය 17 වැනිදාද මොරටුව, ලුනාව ප්‍රදේශයේ පැවැති එන්නත්කරණ වැඩසටහනකදියි. එදිනද තෝරාගත් පිරිසකට ටෝකන් ලබා දී එන්නත්කරණයට ප්‍රමුඛත්වය ලබාදීම නිසාවෙන් මතබේදාත්මක තත්ත්වයක් උදාවී තිබිණි.
එලෙස පසුගිය දිනවල මොරටුව ප්‍රදේශයේ බොහෝ ස්ථානවල එන්නත්කරණ වැඩපිළිවෙළට අයුතු බලපෑම් කර ඇති මොරටුව නගරාධිපතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව දැඩිව විවේචනය කළ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රසාද් කොළඹගේ මෙසේ පැවසුවේය.
“රටේ සියලුම නගරාධිපතිවරු ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන්ට මේ අවස්ථාවේ විශාල කාර්යභාරයක් තියෙනවා කරන්න. මොරටුව නගරාධිපතිවරයාට එදා කරන්න තිබුණේ සංචරණ සීමා පනවා තිබෙන හෙයින් ඒ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය කෑමබීම ආදි පහසුකම් සලසමින් පරිපාලන කටයුතු අඩාළ නොවී සිදු කිරීමයි. එහෙම නැතුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමියට එන්නත්කරණ නිර්ණායක කියලා දෙන්න ඔහුට තියෙන අයිතිය මොකද්ද? ඒ සඳහා විශේෂඥ කණ්ඩායම් ඉන්නවා. තුණ්ඩු දීලා එන්නත් කරන්න පුළුවන්ද? එහෙමනම් ඒ කර්තව්‍යය එතුමා විසින්ම ඔහුගේ කාර්යාලයේ සිදු කළා නම් ඉවරයි.
ප්‍රාදේශීය දේශපාලනඥයන් තමන්ගේ තුණ්ඩුවලට විතරක් එන්නත්කරණය සිදුකරන්න ඕන කියලා කියනවා නම් මේ දේවල්වලට වෛද්‍යවරු හෝ විශේෂඥයන් අවශ්‍ය නෑනේ. අපි සියලුම දේශපාලන අධිකාරියෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මේ වගේ පහත් ක්‍රියාවන්ට පෙලඹෙන්න එපා කියා.“
රටටම සංචරණ සීමා පනවා ඇති මොහොතක රජය ගෙනයන භාරදූර කර්තව්‍යයට ප්‍රාදේශීය දේශපාලනඥයන් ඉමහත් දායකත්වයක් සැපයීම අනිවාර්යයෙන්ම සිදුකළ යුත්තකි. එහෙත් මෙවැනි හැසිරීම් සිහිබුද්ධියෙන් යුත් කිසිවෙක් අනුමත නොකරති. මේ වන විට මොරටුව නගරාධිපතිවරයාගේ හැසිරීමට පිළිතුර වගකිවයුතු පාර්ශ්ව සියල්ලන්ගෙන්ම ලැබී අවසන්ය. එම නිසා කුමන තරාතිරමක පුද්ගලයකු වුවද වැරැද්දක් සිදුකළහොත් අත්වන්නෙ කුමනාකාරයේ ඉරණමක්ද යන්න වටහා ගැනීමට මොරටුව නගරාධිපතිවරයාගේ මෙකී සිදුවීම ‘පාඩමක්‘ කර ගැනීම උචිතය.