කොරෝනා නිසා අඩ­පණ නොකළ යුතු සංචා­රක කර්මා­න්තය | සිළුමිණ

කොරෝනා නිසා අඩ­පණ නොකළ යුතු සංචා­රක කර්මා­න්තය

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කරමින් ලබන ජුනි මස 01 වැනි දා සිට ගුවන්තොටුපළ විවර කරන්නට රජය තීරණය කර තිබේ.

පසුගිය වසරේ කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝක සංචාරක කර්මාන්තය 73%කින් බිඳ වැටී ඇති බවත්, ඒ අනුව අන්තර්ජාතික මට්ටමෙන් අහිමි වූ රැකියා සංඛ්‍යාව මිලියන 62ක් පමණ වන බවට ගණන් බලා ඇති බවත්, පසුගිය දිනෙක ඉතාලියේ පැවැති ජී -20 රටවල සංචාරක ඇමැතිවරුන්ගෙන් සමුළුවෙන් පසු එම සංවිධානය පෙන්වා දී ඇති පසුබිමක, ශ්‍රී ලාංකීය සංචාරක කර්මාන්තය හෙමි හෙමින් හෝ යළි පණ ගසන්නට පටන් ගෙන තිබීම සතුටට කරුණකි.

එමෙන්ම බිඳ වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා ලෝක බැංකු සහාය ලබාදීමට එහි මෙරට නියෝජිතවරිය, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා එකඟ වී ඇත්තේ ද, මෙවැනි පසුබිමක් තුළ වීම විශේෂත්වයකි. පසු ගිය දිනවල දෙදෙනා අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඇය මේ බව දන්වා තිබුණා ය.

ඒ අනුව, සංචාරක ජාතික ප්‍රතිපත්තිය සැකසීමේ දී උපායමාර්ගික සැලසුම් සකස් කිරීම, සංචාරකයන් සඳහා හඳුන්වා දෙන නව ජංගම යෙදවුමට, මෙරට තිරසාර සංචාරක කලාප හඳුන්වා දීමේ වැඩසටහනට සහාය ලබාදීමට ද ලෝක බැංකුවේ අවධානය යොමුව තිබේ.

ජාතික සංචාරක ප්‍රතිපත්තිය සැකසීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා උපාය මාර්ගික සැලසුම් හඳුනාගෙන ඇති බවත්, මෙම ජාතික සංචාරක ප්‍රතිපත්තිය සැකසීම කඩිනම් කිරීමට අපේක්ෂා කරන බවත් සහ තිරසර සංචාරක ගමනාන්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ, සීගිරිය හා යාල සංචාරක කලාප තිරසර සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත්, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා ඇතැයි වාර්තා වී ඇත්තේ ද මේ සාකච්ඡාවෙන් අනතුරුව ය.

කෙසේවෙතත් මෙරට සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා ලෝක බැංකුව සිය සහාය ලබාදීමට සූදානම් බව වාර්තා වන මොහොතක, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ වත්මන් තත්ත්වය සහ එහි නියැළෙන්නන්ගේ උන්නතිය උදෙසා ගෙන ඇති පියවර පිළිබඳ, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ධම්මිකා විජයසිංහ ගෙන් විමසා සිටියෙමු.

" ඇත්තටම පුළුවන් සෑම ආකාරයකින් ම අපි දැන් යළි හිස එසවිය යුතුයි. මොකද, අපේ රටේ සංචාරක ව්‍යාපාරය 90%කට වඩා කඩා වැටිලා. පහුගිය ජනවාරි ඉදලා මැයි 19 වෙනකල් සංඛ්‍යා ලේඛන ගත් විට, සංචාරකයන් 15, 300කට ආසන්න ප්‍රමාණයක් පමණයි මෙරටට පැමිණ තිබෙන්නේ. හදිසියේ ගුවන් තොටුපළ වසා දැමුණු නිසා, එයින් 2,800 ක විතර ප්‍රමාණයක් තවමත් ලංකාවේ රැඳී සිටිනවා.

මොන තත්ත්වයක් යටතේ සංචාරකයන් මෙරටට පැමිණියත් සංචාරක බුබුළු ක්‍රමය යටතේ පමණයි; ඔවුන් මෙරට සියලු නැරැඹීම් කටයුතු සිදුකරන්නේ.

මේ සංකල්පය තුළ ඔවුන් බාහිර ලෝකයාට විවර වන්නේ නැහැ. සිය බුබුළෙන් පිට, බාහිර පුද්ගලයන් සමඟ සමග ගැවසෙන්නට අවස්ථාවකුත් නැහැ. සෑම ගමනක් බිමනක්ම ඔවුන් යන්නේ සිය බුබුළ තුළ සිටින කණ්ඩායම සමඟ පමණයි. නමුත් එහෙමයි කියා, අපි පූර්ණ වශයෙන් සංචාරකයන් කොටු කරන්නෙත් නැහැ. හෝටලය තුළ සිටින විට, වරකට සීමාසහිත ප්‍රමාණයක් ලෙස ඔවුන්ට ස්විමින් පූල් එක පවා පාවිච්චි කරන්නටත් අවස්ථාව තිබෙනවා.

මේ බුබුළු සංකල්පය ඇතුළේ හැසිරෙන සංචාරකයන් අවසානයේ යන්නේ තමන්ගේ රටට. හැබැයි මේ අයට සේවය කළ, සත්කාරක සේවා කළ හෝටල් සේවකයන්, රියැදුරන්, මග පෙන්වන්නන් ආදී මේ සියල්ලෝ යළි එන්නේ ගමට; ගෙදරට. අන්න ඒ නිසයි මේ අයට දින14ක ආරක්ෂාව යටතේ ඉඳලා ගෙදර යන්න කියන්නේ.

දැන් ටික ටික හෝටල් සේවකයනුත් මේ තත්ත්වයට හැඩ ගැහෙමින් පවතිනවා. මොකද එසේ නොකළොත්, ඔවුන්ගේ රැකියා පවත්වාගෙන යන්නට අවස්ථාවක් නැහැ. බොහෝ රැකියාවල මෙන් හෝටල් ක්ෂේත්‍රයේ දී work from home හෙවත් ගෙදර ඉඳන් වැඩ කිරීමක් නැහැ. හෝටල් ක්ෂේත්‍රයේ දී කියන්න වෙන්නේ, stay at work කියලා. ඒ කියන්නේ, වැඩ කරන තැන කාලයක් ඔවුන්ට ඉන්න සිද්ධ වෙනවා කියන එක. මේ තත්ත්වය තුළ දේශීය සංචාරකයන්ටත්, විදේශීය සංචාරකයන් ලැගුම් ගන්නා හෝටල්වල ඇති රෙස්ටූරන්ට්වල කෑමට හෝ බාර්වලට යෑමට අවස්ථාව උදා වන්නේ නැහැ. හෝටල් හිමියන් සම්පූර්ණයෙන්ම වගකීමෙන් බැඳී සිටිනවා; විදේශීය සංචාරකයන්ගේ ලැගුම් ගෙන ඇති කාල වකවානුවල දී දේශීය සංචාරකයන්ට මේවා විවෘත නොකිරීමට.

ඒ නිසාම කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් කිසිවක්, සංචාරකයන් පළමු දින 14තුළ ලැගුම් ගන්නා level-1 හෝටල් බවට පත් වීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. මෙම level - 1 හෝටල් බොහෝ විට තිබෙන්නේ, හික්කඩුව, බෙන්තොට, යාල, වැලිගම, නුවර, සීගිරි සහ දඹුලු වගේ පළාත්වලයි. සංචාරක හෝටල් 189 ක් මෙම level - 1 තත්ත්වයෙන් ක්‍රියාත්මක වෙනවා. එම හෝටල්වල වැඩ කරන සේවකයන්ට සෑහෙන කලකට ගෙදර යන්නට අවස්ථාවක් නැහැ. ඒ වගේම, සංචාරකයන් හා ඍජුව සම්බන්ධ වන 20,000කට ආසන්න පිරිසක් සඳහා ඉතා ඉක්මනින් එන්නත ලබා දීමටත් අප ඉල්ලීම් කර තිබෙනවා. දැනට level - 1 හෝටල්වල සේවකයන්ට, සංචාරක මඟ පෙන්වන්නන් සහ රියැදුරන්ටත්, අධීක්ෂණ කටයුතු සඳහා නිතර ක්ෂේත්‍රයට යන නිලධාරීන්ටත් මෙම එන්නත ලබා දීමේදී අප ප්‍රමුඛතාව ලබා දෙනවා. මේ ආකාරයෙන් සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන පිරිස රැක ගැන පුළුවන් ආකාරයෙන් ඉදිරියට යන්නයි අපේ වෑයම..."

සංචාරක අමාත්‍යාංශයට සමගාමී ආකාරයෙන්, මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීම උදෙසා ප්‍රවර්ධන කටයුතු සිදු කරමින්, මෙරට කර්මාන්තයේ උන්නතියට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන, සංචාරකයන් ගෙන්වන්නන් ගේ සංගමය හෙවත් SLITO සභාපති, තිලක් වීරසිංහ පැවසුවේ මෙවැනි අදහසකි.

" සෑම වසරකම මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් 65%ක ප්‍රමාණයක් ගෙන්වන්නේ අපි. මේ සියලු පසුබැසීම්වලට පෙර, 2018 වසරේ අප ගෙන්වූ සංචාරක වටිනාකම, ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2ක් . මෙවැනි වටිනාකමක් රටට ගෙන ආවා කියලා, ඒ මුළු මුදල සංචාරක නියෝජිත ආයතනවලට පමණක් ලැබෙන්නේ නැහැ. මේ මුදල් මේ රට පුරා සංචාරක ව්‍යාපාරයේ නියැළී සිටින සෑම ක්ෂේත්‍රයක් අතරම බෙදී යනවා.

තැඹිලි විකුණන්නා, සංචාරකයන්ට ඇඳුම් විකුණන්නා, සංචාරකයන් ගමන් කරන මේ රටේ දුම්රියට - වාහනවලට, ඔවුන් නරඹන සීගිරි දඹුලු වැනි ස්ථාන අයත් මධ්‍යම සංස්කෘතික අරමුදලට, වනජීවියට ගමට නගරෙට වගේ සෑම තරාතිරමකම අංශ වෙත මේ මුදල් බෙදී යනවා. එහෙම බලද්දී, සංචාරක නියෝජිතයන් කරන්නේ, අතරමැදි කාර්යයක් පමණක් නෙවෙයි. ඊට වඩා බොහෝම ඉහළ විග්‍රහයක් ඇති සේවාවක්.

සෑම වසරකම මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශයට අමතරව, ජාත්‍යන්තර ප්‍රචාරණ ප්‍රවර්ධන කටයුතු සහ සබඳතා ඇති කරගැනීම් සඳහා රුපියල් බිලියන 1.5 ක මුදලක් අප සංගමයේ සාමාජිකයන් වියදම් කරනවා. මේ සා මුදලක් වියදම් කර අප සංචාරකයන් රටට ගෙන් වූ පසු, මේ රටේ කී දෙනෙක් එයින් ප්‍රයෝජනය ලබනවාද? ඒ නිසා රජයට වගකීමක් තිබෙනවා, මේ ක්ෂේත්‍රයේ නියැළී සිටින අප සහ සෑම කුඩා තරාතිරමක ම වෘත්තිකයන් මේ අමාරු කාලය තුළ රැක ගන්නට. මොකද නැත්නම් වෙන්නේ; මිනිස්සු මේ පීඩනය දරාගන්න බැරි වුණාම ක්ෂේත්‍රය අත් අරින එක. රට රස්සාවලට යන එක. එහෙම වුණොත්, මේ ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් වුණත්, පළපුරුදු වෘත්තිකයන් නැති කමින් එහි වර්ධන වේගය අඩාළ වෙන එකයි.

සංචාරකයන් ගෙන්වන්නන්ගේ සංගමයට අමතරව, 'One Industry - One Voice' කියන තේමාව යටතේ ක්‍රියාත්මක, සංචාරක ව්‍යාපාරයේ නියැළී සිටින කුඩා ම පුද්ගලයාගේ සිට ඉහළම කෙනා දක්වා සෑම තරාතිරමකම වෘත්තිකයන් ව්‍යවසායකයන් ඒකරාශී කරගෙන යන ගමනක් මේ. මේ සංවිධාන දෙකේම සභාපතිවරයා විදියට මටත් වගකීමක් තිබෙනවා, ඒ අය වෙනුවෙන් පෙනී සිටින්නට. ඔවුන්ට ධෛර්යය දෙන්නට.

අනික, පිට රැටියන් මෙහෙ ඇවිත් හෝටල් හදලා, සේවකයන් හැටියට පමණක් අපේ මිනිස්සු ටික දෙනෙක් අරගෙන, ලබන ලාභය සේරම ඔවුන්ගේ රටට අරන් යන ක්‍රමවේදයකට වඩා, රට ඇතුළේ සංචාරක ව්‍යාපාරය අපිට කොයිතරම් වටිනවද --කියන එකටයි, අපි අවධානය දෙන්න ඕනේ. රට ඇතුළේ සල්ලි ඉතිරි වෙන්නේ, රටේ මිනිසුන්ගේ ආර්ථිකය හැදෙන්නේ, පිටරැටියන් ඇවිත් හෝටල් හදන තරමට ම නෙවෙයි. අපේ රටේ සම්පත් ටික, රටේ සංවර්ධනයට යොදා ගත හැකි ක්‍රමවේදයකින් පමණයි එය සිදුවන්නේ. සංචාරකයන් ශ්‍රී ලංකාවට එන්නේ ලස්සන හෝටල් හොයාගෙනම නෙවෙයි. එහෙම හෝටල් ම හොයනවා නම් ලෝකේ ඕනේ තරම් ලස්සන තැන් තිබෙනවා. ඔවුන් අපේ රටට එන්නේ ස්වභාව සෞන්දර්ය ය, මුහුදු වෙරළ, ශ්‍රී ලාංකීය සංස්කෘතිය, අනන්‍යතාව ඇතුළු ගොඩක් දේ දැක ගැනීම වෙනුවෙන්.

උද්ගත වී ඇති තත්වය තුළ, සිය වර්ගයා වෙනුවෙන්, ජාතික සංචාරක වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති, අදහස් දැක්වූයේ මෙලෙසිනි.

" අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ, ක්ෂේත්‍රයේ අනික් අය වගේම, අපේ සංචාරක මඟ පෙන්වන්නන් ගත කරන්නේත් එකම දුෂ්කර කාල පරිච්ඡේදයක්. ගුවන්තොටුපළ අරින එක ඉතාම හොඳයි. මොකද, අපි කරන්නේ දවස් පඩි රැකියාවක්. ETF - EPF තබා අඩුම තරමේ ඉන්ෂුවරන්ස් එකක් වත් සංචාරක මඟ පෙන්වන්නන් සඳහා නැහැ. ඒ නිසා මේ රස්සාවේ වර්තමාන පරම්පරාව තුළ මේ වන විට පැවතීමේ ප්‍රවණතාවක් නැහැ. ඇත්තටම කිව්වොත්, 50% කට වඩා පිරිසක් දැන් ක්ෂේත්‍රයෙන් ගිලිහිලා ඉන්නේ. ඉතිරි 50% ගේත් ප්‍රශ්නවලට හරි විසඳුමක් නැහැ. සංචාරක ව්‍යාපාර සඳහා යොදාගත් සමහරුන් ගේ වාහන ලීසිං කොම්පැණිවලින් ඒ අයට අඩම්තේට්ටම් කර උස්සන් යන්න පටන් අරන්. ඇමතිතුමා නම් කියනවා සංචාරක ක්ෂේත්‍රයේ ලක්ෂ තිහක් රැකියාවල නියැළී ඉන්නවා කියා. නමුත් අමාත්‍යංශය සතුව ඒ අයගේ ලැයිස්තුවක් වත් නැහැ. නමුත් අපිට ළඟ තිබෙනවා. අපි ඉදිරිපත් කළ විට, එය ගන්න සුදානමකුත් නැහැ.

කොහොම වුණත්, මේ දුෂ්කර කාලයේ අත්විඳින එවැනි සිත් රිදීම් අතර ඉතා හොඳ පැත්තකුත් තිබෙනවා. ඒ තමයි මෙරට පළමු කොවිඩ් රෝගියා සංචාරක මඟ පෙන්වන්නෙක් වුණත්, සංචාරක ව්‍යාපාරයෙන් කොවිඩ් පොකුරක් හැදුණේ නැති වීම. කොවිඩ් රෝගය වැලඳුණු ඔහු බලපත්‍රලාභි සංචාරක මඟ පෙන්වන්නෙක්. ඔහුට රට ගැන වගකීමක් තිබුණා. ඔහු වහාම රෝහල්ගත වුණා සැඟවුණේ නැහැ.

ඒ වගේම, කොවිඩ් පොකුරක් නොහැදෙන්නට බලපෑ අනෙක් ප්‍රබල ම හේතුව තමයි, රජය මේ වෙලාවේ සංචාරකයන් ගෙන්වීමේ දී මැදිහත් වී, බලපත්‍රලාභී පුහුණු වෘත්තිකයන් පමණක් එම කාර්ය සඳහා යොදා ගත් එක. ඒ ගත් නුවණක්කාර තීරණය නිසා රටේ මොන කොවිඩ් පොකුරු හැදුණත්, 'සංචාරක පොකුරක්' නිර්මාණය වුණේ නැහැ. එහි ගෞරවය රාජයට හිමිවිය යුතුයි.

සංචාරක සේවා අධිකාරියේ මැදිහත්වීමෙන්, ඔවුන් සතු සංචාරක පොලීසියේ නිලධාරීන් සෑම තැනකම යොදවා, සංචාරකයන් ගමන් ගන්නා වාහනවල රියදුරු සහ ගෝලයින්ගේ බලපත්‍ර අඛණ්ඩව පරික්ෂා කරන්න ගත්තා. බලපත්‍ර රහිත අයට දඬුවම් දෙන්න පටන් ගත්තා. සංචාරකයන් ගැවසෙන සෑම ක්ෂේත්‍රයකම දැන් සංචාරක පොලීසිය ක්‍රියාත්මකයි.

මේ වෙලාවේ වසංගතයෙන් බේරෙමින්, කර්මාන්තය ඉදිරියට ගෙන යන්නට නම්, රටට සංචාරකයන් තව තවත් ගෙන්විය යුතුයි. බුබුළු සංකල්පය ක්‍රියාත්මක කරමින්, ඉදිරියේදීත් බලපත්‍රලාභී වෘත්තිකයන් පමණක් මේ කාර්යයන් සඳහා යෙදවිය යුතුයි. රජය ගත් මේ පියවර අපි වෘත්තිකයන් ලෙස ඉතාමත් අගය කරනවා."

 

Comments