
අද බොහෝ දෙනකු කොරෝනා රෝගය කෙරෙහි පූර්ණ අවධානය යොමු කර සිටින්නේ කොරෝනා වසංගතය බියකරු ලෙස මුළු ලෝකයම වෙළාගෙන ඇති නිසාය. උණ, ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ මතු වූ සැණින් කොරෝනා ආසාදනය වී ඇතැයි යන හැඟීම ඇති වන්නේ නිරායාසයෙනි. එහෙත් මෙම රෝග ලක්ෂණ ඩෙංගු රෝගයට ද මතු විය හැකිය.
“රෝග ලක්ෂණ මතු වුණාම තමුන්ට හැදිලා තියෙන්නේ කොරෝනා ද වයිරස් උණක් ද ඩෙංගු ද කියලා තමුන් තීරණය කරන්න එපා. ඒක වෛද්‍යවරයකුට බාර දෙන්න. රෝග ලක්ෂණ මතු වුණාම ඉක්මනින් වෛද්‍යවරයකු හමුවෙන්න. එතකොට වෛද්‍යවරයා රැපිඩ් ඇන්ටිජන්, Full Blood Count පරීක්ෂණවලට රෝගියාව යොමු කරවලා පරීක්ෂණ වාර්තා අනුව රෝගය නිශ්චය කරලා ප්‍රතිකාර කරයි. ඩෙංගු රෝගයටත් උණ සහ ඇඟපත වේදනාව එනවා. කොරෝනා රෝගයටත් උණ සහ ඇඟපත වේදනාව එනවා. වෙනසකට තියෙන්නේ කොරෝනා රෝගයට ස්වසන අපහසුතා මතු වෙනවා. ඒත් ඩෙංගු රෝගයට ස්වසන අපහසුතා මතු වෙන්නේ නැහැ. ඩෙංගු සහ කොරෝනා යන රෝග දෙකම බෝවෙන්නේ වයිරසයකින්. වෙනසකට තියෙන්නේ ඩෙංගු ව්‍යාප්ත වෙන්න අතරමැදියෙක් අවශ්‍යයි. ඒ අතරමැදියා තමයි මදුරුවා. කොරෝනා වයිරසය ව්‍යාප්ත වෙන්නේ පුද්ගලයන්ගේ කෙළ බිඳිති මඟින්.“ යනුවෙන් පැහැදිලි කළේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ඉන්දික වීරසිංහ ය.
ඔහු මේ බව අනාවරණය කළේ පසුගියදා ඩෙංගු රෝග ව්‍යාප්තිය සහ එය පාලනය කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදීය. අද දවසේ බොහෝ දෙනකුට ඩෙංගු රෝගය අමතක වී ඇති මොහොතක මෙවැනි මාධ්‍ය හමුවක් zoom තාක්ෂණය ඔස්සේ සංවිධානය කර තිබුණේ සෑම වසරකදීම ඩෙංගු රෝගින්ගේ ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදු වන්නේ ජුනි සහ ජූලි මාසයේ වන බැවිනි. මැයි මාසයේ ඇතිවූ වර්ෂාවෙන් අනතුරුව ජුනි - ජූලි මාසවල ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යෑම මෙම වසරේදීත් සිදු විය හැකි බැවින් ඊට සූදානම් වීම අනිවාර්ය කාරණයකි. 2021 වර්ෂයේ මැයි මාසය අවසාන වන විට ඩෙංගු රෝගීන් 7,674ක් වාර්තා වී තිබේ. එයින් 2884ක් වාර්තා වන්නේ මඩකළපුව දිස්ත්‍රික්කයෙනි. ඩෙංගු රෝගීන් 1249 දෙනකු කොළඹ දිස්ත්‍රික්කයෙන් ද 569 දෙනකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී තිබේ. කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් පමණක් ඩෙංගු රෝගීන් 381 දෙනකු වාර්තා වී ඇත. 2021 වර්ෂයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම සලකා බැලූ විට වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ මැයි මාසයේදීය. රෝගීන් ගණන 766කි. කොරෝනා වසංගතය හමුවේ වුවද ඩෙංගු රෝගය අමතක නොකළ යුතු වන්නේ එම නිසාය.
“ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීමේ අඩුවක් තිබෙනවා. 2020 වසරේ ඩෙංගු රෝගීන් 31,600ක් වාර්තා වුණා. 2020 වර්ෂයේ අනිත් අවුරුදුවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීමේ අඩුවීමක් දකින්න ලැබුණා. ඒකට හේතුව හැටියට අපි දකින්නේ 2020 මාර්තු මාසයේ පටන් මාස කීපයක් රට ලොක්ඩවුන් කර තිබීමත් එක්ක ජනතාව ගෙවල්වල ඉඳගෙන නිවාස හා අවට පරිසරය පිිරිසිදු කිරීම. ඒනිසා වතුර එකතු විය හැකි ස්ථානවලින් මදුරුවන් බෝවීම පාලනය කරගන්න පුළුවන් වුණා. ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය අපි ලංකාව පුරා දකින්නේ නැහැ. බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, කෑගල්ල, මහනුවර, කුරුණෑගල දිස්ත්‍රික් තුළ වැඩි වශයෙන් වාර්තා වෙනවා. ඒත් සෑම අවුරුද්දකම දකින්න ලැබෙන ජුනි - ජූලි කාලයේ ඩෙංගු රෝගින්ගේ ව්‍යාප්තියට අපි මේ අවුරුද්දෙත් සූදානම් විය යුතුයි. ඒ නිසා මේ අවුරුද්දෙත් මහජනතාවගේ සහාය අපිට අවශ්‍ය වෙනවා.“ යනුවෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි සඳහන් කළාය.
මෙම ලොක් ඩවුන් කාලයේ තමතමුන්ගේ නිවාස පරිශ්‍ර සහ කාර්යාල ශුද්ධ පවිත්‍ර කර, ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කර ගත හැකි බව ඈ පෙන්වා දුන්නේ අද වන විට ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම උදෙසා කටයුතු කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය කොරෝනා වසංගතය පාලනය කිරීමේ කටයුතුවල නිරත වී සිටින බැවිනි.
“අද අපිට ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා සාමාන්‍ය ක්‍රමවේද අනුගමනය කරන්න බැහැ. මීට පෙර වතාවලදි නම් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරික්ෂා කරන්න අපේ කණ්ඩායම් නිවාසවලට කාර්යාලවලට ගියා. ඒත් දැන් පවතින කොරෝනා වසංගතය එක්ක ඒ අයව ඒ විදිහට යවන්න බැහැ. නිවෙස්වල අය බාහිර පුද්ගලයන් නිවෙස්වලට එනවාට කැමති නැහැ. ඒ වගේම අපේ නිලධාරින්ටත් අවදානමක් තිබෙනවා. ඒ නිසා නිවාස පරීක්ෂා කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදවලින් බැහැර වෙලා අලුත් ක්‍රමවේද සොයන්න සිදු වී තිබෙනවා. මහජනතාවගේ සහයෝගය මේ අවස්ථාවේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා අපිට ගොඩාක් වැදගත් වෙනවා.“ යනුවෙන් පැවසුවේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය අරුණ ජයසේකර ය.
2021 මැයි 31 වැනි දින වන විට ඩෙංගු රෝගය හේතුවෙන් ලංකාවේ මිය ගිය ගණන 4කි. 2020 වසරේ මිය ගිය ගණන 35කි. කොළඹ නාගරික බල ප්‍රදේශයේ පමණක් ඩෙංගු රෝගයට ගොදුරු වූ 381 දෙනා අතර වැඩි වශයෙන් දරුවන් සිටින බව සඳහන් කළේ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්, නීතිඥ රෝෂිණි දිසානායක ය.
“ගොඩාක් අවුරුදුවල කොළඹ මහ නගර බල ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් වැඩියෙන් වාර්තා වුණා. 2019 මැයි මාසයේ විතරක් එකසිය ගණනක් වාර්තා වුණා. ඒත් 2020 මැයි මාසයේ ඩෙංගු රෝගින් වාර්තා වුණේ 66යි. මේ අවුරුද්දේ මැයි මාසයේ වාර්තා වුණේ 58යි. කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම අඩු වුණේ සංචරණ සීමා කාලයේ හැමෝම තමුන්ගේ ගෙවල්, අවට පරිසරය ශුද්ධ පවිත්‍ර කර ගත් නිසයි. හැමෝම ගෙවල්වල ඉන්න මේ දවස්වල කවුරුත් නිවාස, වත්තපිටිය පිරිසිදු කර ගන්නවා නම් ඩෙංගු රෝගය පහසුවෙන් පාලනය කරගන්න පුළුවන්.“ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්, නීතිඥ රෝෂිණි දිසානායක විස්තර කළාය.
ඩෙංගු රෝගයට ගොදුරු වීමේ අවදානම් කාණ්ඩ වශයෙන් වයස අවු:1ට අඩු දරුවන්, ගර්භණී මව්වරුන්, නිදන්ගත රෝග සහිත පුද්ගලයන්, වයෝවෘද්ධ අය සහ අධි බරැති රෝගීන් හඳුනාගෙන ඇත. මෙම කාණ්ඩවල අය ඩෙංගු රෝගය වැලඳුණු වහාම රෝහල්ගත කරනු ලබන්නේ එබැවිනි.
ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු රෝග තත්ත්වයේ අවදානම් අවස්ථාවකි. උණ සමඟ ඇතිවන හිසරදය, ඇස්යට වේදනාව, මස්පිඬු හා සන්ධි වේදනාව, වමනය යන රෝග ලක්ෂණ ඩෙංගු රක්තපාත උණ මුල් අවස්ථාවේදී ඇතිවන බැවින් ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ වෙන් කර හඳුනාගත නොහැකිය. එහෙත් ඩෙංගු රක්තපාත තත්ත්වයේදී උණ බැස යාමත් සමඟ රුධිරවාහිනිවලින් පිටතට ප්ලාස්මා තරලය කාන්දු වීම සිදුවේ. විශේෂයෙන් පෙණහලු ප්ලූරා පටල අතරට සහ උදර කුහරයට තරලය කාන්දු වේ. උණ සෑදී 3වැනි දිනයේදි හෝ ඊටපසුව සිදු කෙරෙන FBC පරීක්ෂණවලදී මෙම තත්ත්වය හඳුනාගත හැකිය. එය හඳුනා නොගෙන නිවසට වී උණට පමණක් යම් ඖෂධයක් ලබාගෙන සිටීමෙන් ප්ලාස්මාව කාන්දුවීම දිගින් දිගටම සිදු වී කම්පන තත්ත්වයක් පවා ඇති විය හැකිය. මෙම කම්පන අවස්ථාවට පත් වීමට පෙර උදරයේ ඇති වන අධික වේදනාව, නොනවතින වමනය, විදුරුමසෙන් හා නාසයෙන් රුධිර වහනය වීම, කළු පැහැයට මලපහ වීම, පැය 6කට වඩා කාලයක් මුත්‍රා පහ නොවීම වැනි අවදානම් ලක්ෂණ මතු වේ. මරණයෙන් පවා කෙළවර වන ඩෙංගු රෝගය පිළිබඳව අවධානයෙන් පසුවිය යුත්තේ එබැවිනි.
ඩෙංගු රෝගය කීපවරක් වැලඳීමේ අවදානමක් ද තිබේ. ඊට හේතුව, ඩෙංගු වයිරසයට ප්‍රභේද 4ක් තිබීමයි. යම් පුද්ගලයකු ඩෙංගු රෝගයට ගොදුරු වූ විට ප්‍රතිශක්තිකරණය ඇති වන්නේ ඊට අදාළ වයිරස් ප්‍රභේදයට පමණි. අනෙකුත් ප්‍රභේද මඟින් නැවතත් ඩෙංගු රෝගයට ගොදුරු විය හැකිය. නැවත වතාවක් ඩෙංගු රෝගයට ගොදුරු වන පුද්ගලයා ඩෙංගු රක්තපාත තත්ත්වයට ද පත්වීමේ ප්‍රවණතාවක් ඇත. එවැනි අවදානම් තත්ත්වයට පත්වන රෝගින්ගෙන් සුළු පිරිසකට වකුගඩු හා අක්මාව අකර්මන්‍ය වීම, මොළයට බලපෑම් සිදුවීම වැනි සංකූලතා ඇති විය හැකිය. කලාතුරකින් මරණය පවා සිදුවිය හැකිය.
වසංගත දෙකක් එක මත අතිපිහිත වීමේ භයානක අවස්ථාවට එළඹීමට ඇති ජුනි - ජූලි කාලයේදී ඩෙංගු ව්‍යාප්ත වීමට ඉඩ නොදී පෙර වසරවලටත් වඩා දැඩි ආකාරයට මෙවර පාලනය කළ යුතුය. ඊට හේතුව ඩෙංගු වසංගතයක් දක්වා ව්‍යාප්ත වුවහොත් එය කිසි සේත් පාලනය කිරීමට හැකි නොවන නිසාය. මේවන විට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය කොරෝනා රෝගීන් වෙනුවෙන් ඇපකැප වී සිටීමත් දැඩි සත්කාර ඒකකවල පවතින තදබදයත් වැනි කාරණා නිසා ඩෙංගු වසංගතයක් දක්වා පැතිරෙන්නට ඉඩ නොදී පහසුවෙන් පාලනය කිරීමට සහයෝගය දැක්වීම ජනතාවගේ වගකීමකි.