
“වේලාව සවස 4.30ට පමණ ඇති. වාට්ටු රෙජිස්ට්‍රාර් HDU එකට පැමිණ බඩදරු අම්මා කෙනකුට ඇඳක් විමසුවා. ඒ වන විට අපේ ඇඳන් 6ම රෝගීන්ගෙන් පිරිලා තිබුණා. සියලුදෙනාම ජීවිතයත් මරණයත් අතර සටනක සිටියා. නමුත් රෙජිස්ට්‍රාර්ගේ ඉල්ලීම තුළ තිබුණේ ජීවිත 2ක්. අපට වෙන විකල්පයක් තිබුණේ නැති නිසා තරමකට හෝ ස්ථාවරව සිටි රෝගියකු විගසින් වාට්ටුවකට මාරු කර ඇඳක් සූදානම් කර ගත්තා. ඇය අවු: 45ක පමණ තෙමස් ගැබිනි මවක්. ඇය HDU එකට ඇතුළුවන විටම ඉල්ලා සිටියේ ඇගේ දරුවා බේරා දෙන ලෙසයි. ඇය ඉතා අපහසුවෙන් හුස්ම ගනිමින් සිටියා. කතා කිරීමට අපහසුවෙන් සිටියා. විනාඩි 45ක් පමණ අප දන්නා සියලු ශිල්ප කළා. නමුත් ජීවිතය අනිත්‍ය බවත් කොවිඩ් වසංගතයේ දරුණු බවත් පසක් කරමින් ජීවිත 2ක් එකට නැති වුණා. අප සියලුදෙනා විනාඩි කීපයක් නිරුත්තර වුණා. හෙදියන්ගේ විඩාබර දෙනෙතින් කඳුළු කැට කඩා වැටුණා.“ මෙම අනුවේදනීය සටහන මුහුණපොතට එකතු කර තිබුණේ රාගම ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍ය තරිඳු සී. පෙරේරා ය.
වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය රෝගියකුගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් අවසාන තත්පරය දක්වා සිදු කරන අරගලය මෙම සංවේදි සටහනෙන් අපූරුවට පැහැදිලි වේ. කොරෝනා වසංගතය හමුවේ දිවා රෑ නොබලා, සිය ජීවිත අවදානම ද නොතකා වෛද්‍යවරුන් කරන කැපවීම මිල කළ නොහැකිය. ඇතැම් විට ඔවුන්ට කෑමට බීමට පවා ඉස්පාසුවක් නැත. රෝගින්ගේ ජීවිත බේරා ගැනීම ඔවුන්ගේ ඒකායන අපේක්ෂාවයි.
රෝගින්ගේ ජීවිත බේරා ගැනීමේ සටනක නිරත වී සිටින වෛද්‍යවරුන්ට මුහුණදීමට සිදුවන අභියෝග ද නැතිවා නොවේ. පළමු කොවිඩ් රැල්ලේ දී අයි.ඩී.එච්. රෝහලේ වෛද්‍ය, හෙද ඇතුළු කාර්යය මණ්ඩලයට කුලී නිවෙස්වලින් ඉවත් වීමට සිදු වූයේ ඔවුන්ගෙන් නිවැසියන්ට කොවිඩ් බෝවිය හැකිය යන වැරදි අදහස නිසාය. අයි.ඩී.එච්. රෝහලේ සේවය කරන අයට බඩු විකිණීමට පවා සමහර වෙළඳුන් අකමැති වූ බව වෛද්‍යවරයකු මා සමඟ පැවසුවේ පළමු කොවිඩ් රැල්ල පැවති කාලයේදීය. එහෙත් ඔවුන් රෝගින්ට ප්‍රතිකාර කිරීම නවතා දැමුවේ නැත. සියලු අභියෝගවලට මුහුණදෙමින් රෝගින් සුවපත් කිරීමේ මෙහෙවරේ නිරත වූහ.
“අපට මරණ අවශ්‍ය නැත. අපට කිසිදු මරණයක් අවශ්‍ය නැත. කරුණාකර ඔබේ මුහුණු ආවරණ නිසි ලෙස පැලඳ ගන්න. හොඳින් අත් පා පිරිසිදුව තබා ගන්න. දුරස්ථභාවය තබා ගන්න. සමූහයා සමඟ එක්රැස්
![]() |
වමේ සිට වෛද්‍ය මයුර මලදෙවොලගේ, වෛද්‍ය දේවින්ද ජයතිලක, වෛද්‍ය විරාජ් ජයසිංහ, වෛද්‍ය මන්දික විජේරත්න, වෛද්‍ය නවීන්ද සොයිසා |
නොවන්න. ඔබට පිරිනමන විට එන්නත ලබා ගන්න. ඔබට අන් අයව පාලනය කළ නොහැක. නමුත් ඔබට ඔවුන්ව ආරක්ෂා කළ හැකිය.“ යනුවෙන් වෛද්‍ය රමින්ද ගුණරත්න සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණේ වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ මරණයත් සමඟිනි. රාගම ශික්ෂණ රෝහලේ සේවය කළ 31 හැවිරිදි වෛද්‍ය ගයාන් දන්තනාරායන මරණයට පත් වූයේ කොවිඩ් රෝගයට ගොදුරු වීමෙනි.
“ලංකාවේ මේ වන විට සේවය කරන වෛද්‍යවරුන්ගේ ගණන 20,000කට ආසන්නයි. මේ වෛද්‍යවරුන් අතරින් කොවිඩ් ආසාදනය වී මරණයට පත් වුණේ එක් වෛද්‍යවරයකු පමණයි. ඒත් වෛද්‍යවරුන් 40ක් පමණ කොවිඩ් ආසාදිතයන් බවට පත්වුණා. යුද්ධයකට ගියොත් යුද්ධ කරන්න බැහැ කියලා ඉන්න බැහැනේ. වෛද්‍යවරුන්ටත් ඒවගේ තමයි. ඕනෑම වසංගත තත්ත්වයක් යටතේ රෝගින් සුවපත් කරන්න උපරිමයෙන් දායක වෙන්න සිද්ධ වෙනවා. වෛද්‍යවරුන් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරගෙන තමයි රෝගින්ට ප්‍රතිකාර කරන්නේ. වෛද්‍යවරුන් ලෙඩ වුණොත් රෝගින්ට ප්‍රතිකාර කරන්නේ කවුද? මෙය ජනතාව තේරුම් ගත යුතුයි.
වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත ඇඳුම් කට්ටල, ගොගල් කණ්ණාඩි, මුඛ ආවරණ, අත්වැසුම්, හිස් වැසුම් පාවිච්චි කරනවා. ඒවගේම එන්නත්කරණයත් සිද්ධ වෙනවා. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය තමුන්ගේ නිවෙස්වලට යන්න ඕනෑ. ඔවුන්ට රෝහලේ පදිංචි වෙලා ඉන්න බැහැ. ඒත් වෛද්‍යවරුන්ගේ පවුලේ සාමාජිකයන්ට කොවිඩ් එන්නත් ලබා දීමේදී සමාජයෙන් ගැටලු මතු වුණා. වෛද්‍යවරයාත් ඔවුන්ගේ පවුලේ අයවත් ආරක්ෂා කර ගත්තොත් තමයි වෛද්‍යවරුන්ට උපරිමයෙන් කැපවෙලා සේවය කරන්න පුළුවන් වෙන්නේ. මේ ගැන ජනතාව නිවැරදිව තේරුම් ගන්නවා නම් ගොඩාක් හොඳයි.“ යනුවෙන් පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා ය.
පවතින කොවිඩ් වසංගතය සමඟ රෝහල් ධාරිතාව උපරිමය ඉක්මවා ඇති අද දවසේ වෛද්‍යවරුන්ගේ හිඟකමක් ද තිබේ. පශ්චාත් උපාධි අධ්‍යාපනය හදාරන වෛද්‍යවරුන් 300 දෙනකු අධ්‍යයන කටයුතු නවතා මේ වන විට රෝහල් සේවයට යොදවා ඇති බව වෛද්‍ය නවීන් ද සොයිසා තවදුරටත් සඳහන් කළේය. මේ අනුව වෛද්‍යවරුන්ගේ කැපවීම සහ මෙහෙවර අගය කළ යුතුමය.
කොවිඩ් රෝගින්ට ප්‍රතිකාර කරන රෝහලක් වූ නැඟෙනහිර කොළඹ (මුල්ලේරියාව) මූලික රෝහල කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන්ට ප්‍රතිකාර කිරීමෙහි‘ලා විශේෂත්වයක් ගනී. කොවිඩ් ආසාදිත මවකට ප්‍රථම වතාවට සිසේරියන් සැත්කමක් මඟින් දරු ප්‍රසූතිය සිදු කළේ ද නැඟෙනහිර කොළඹ (මුල්ලේරියාව) මූලික රෝහලේ ය. එහි සේවය කරන නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මයුර මාලදෙවොලගේ සම්බන්ධ කර ගනු ලැබුවේ එබැවිනි.
“නැඟෙනහිර කොළඹ මූලික රෝහලේ කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 500කට වැඩි ප්‍රමාණයකට ප්‍රතිකාර කර තිබෙනවා. සාමාන්‍ය විදිහට දරුවන් ප්‍රසූත කළ කොවිඩ් ආසාදිත මව්වරුන් 200ක් පමණ සිටිනවා. දැනට සිසේරියන් සැත්කම් මගින් කොවිඩ් ආසාදිත මව්වරුන් 104 දෙනකු දරුවන් ප්‍රසූත කර තිබෙනවා. මෙම සැත්කම් 104න් 70කට වැඩි ප්‍රමාණයකට මම සම්බන්ධ වුණා. සමහර දවසට එක දිගට සැත්කම් 3ක් 4ක් කර තිබෙනවා. කොවිඩ් ආසාදිත මව්වරුන් නිසා ශල්‍යාගාරයේ හැමෝම විශේෂිත ආරක්ෂක ඇඳුම් කට්ටල ඇඳගෙන ගොගල් කණ්ණාඩි දාගෙන මුඛ ආවරණ හිස්වැසුම් පැළඳගෙන වැඩ කරන්නේ. ඒ විදිහට එක දිගට වැඩ කරන්න හරිම අමාරුයි. දවසක් අපේ සහායට හිටපු හෙදියක් ක්ලාන්ත වුණා අමාරු වැඩිකමට. සමහර වෙලාවට ගොගල් කණ්ණාඩියේ මීදුම වගේ බැඳෙනවා. එතකොට පැහැදිලිව පෙනෙන්නේ නැහැ. ඒත් අපිට ඒවා ගලවලා පිහින්න බැහැ, අපි කොවිඩ් ආසාදිතයකු එක්ක සිටින නිසා. ඒවගේ අපහසුතා මැද තමයි අපි රෝගින් වෙනුවෙන් වැඩ කරන්නේ. ඇත්තටම මට කියන්න සතුටුයි අපේ රෝහලේ කොවිඩ් ආසාදිත කිසිම ගැබිනි මවක් මිය ගියේ නැහැ. ඒකට හේතුව විදියට මම දකින්නේ සියලුම සැත්කම් සඳහා විශේෂඥ වෛද්‍යවරුන් සහභාගි වීම.“ යනුවෙන් නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මයුර මාලදෙවොලගේ විස්තර කළේය.
කොවිඩ් රෝගින් රෝහල්ගත කළ පසුව ඔවුන් බැලීමට අවසර හිමි වන්නේ නැත. ඇතැම්විට ඔවුන්ගේ නිවැසියන් ද නිරෝධායනයට ලක්වනවා විය හැකිය. කොවිඩ් රෝගින් සහ නිවැසියන් අතර සම්බන්ධතාව සීමාසහිත වන විට එහි වැඩි බලපෑමක් එල්ල වූයේ දරුවන් බිහි කළ කොවිඩ් ආසාදිත මව්වරුන්ටය. ඒ ඔවුන්ට සහ බිලිඳුන්ට අවශ්‍ය ඖෂධ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලුවට ඔවුන් මුහුණදෙන නිසාය. එවැනි අවස්ථාවලදි වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය විසින් ඔවුන්ගේ වියදමෙන් අවශ්‍ය කළමනා සැපයූ බව සඳහන් කළේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මයුර මාලදෙවොලගේ ය.
එහෙත් වෛද්‍යවරුන්ගේ කැපවීම හා මෙහෙවර ඉටු කෙරෙන්නේ කොවිඩ් රෝගින්ට පමණක් නොවේ. අනෙකුත් රෝගින් උදෙසා ද ඔවුහු ඇපකැප වී සිටිති. මහරගම අපේක්ෂා රෝහල එවැනි සුවිශේෂි රෝහලකි.
“කොවිඩ් කියලා පිළිකා රෝගින්ගේ ප්‍රතිකාර කල් දාන්න බැහැනේ. ඒ නිසා අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන්, සුළු සේවකයන් ඇතුළු සියලුම කාර්යය මණ්ඩලය වෙනදා වගේම වැඩ කළා. 1 වැනි සහ 2 වැනි කොවිඩ් රැලිවලින් නම් අපේක්ෂා රෝහලට ලොකු බලපෑමක් වුණේ නැහැ.
ඒත් මේපාර 3 වැනි රැල්ල නම් තදබල විදිහට බලපෑවා. කලින් වතාවලදී කොවිඩ් ආසාදනය වුණු පිළිකා රෝගින්ව ඒ රෝහල්වලට යැව්වා. ඒත් මේ පාර ඒ රෝහල්වල ඉඩකඩ ප්‍රශ්න නිසා අපිටම තියාගන්න සිද්ධ වුණා. ඒ නිසා අපේක්ෂා රෝහලේ විශේෂ වාට්ටු 2ක් කොවිඩ් ආසාදනය වුණු පිළිකා රෝගින් වෙනුවෙන් වෙන් කළා. වාට්ටු වැඩි වුණාට කාර්යය මණ්ඩලය වැඩි වුණේ නැහැනේ. ඒනිසා සාමාන්‍ය රාජකාරි කරන අයම අවදානම දරාගෙන මේ වාට්ටුවලත් වැඩ කළා. මේ වෙලාවේ පිළිකාවට ද මූලිකත්වය දෙන්න වෙන්නේ කොවිඩ්වලට ද කියලා අපට ලොකු ප්‍රශ්නයක් වුණා. අපේ කාර්යය මණ්ඩලය ආරක්ෂා කර ගැනීමත් ලොකු වගකීමක් වුණා. ඇත්තටම අපේ කාර්යය මණ්ඩලයේ කීපදෙනෙක් කොවිඩ් ආසාදිතයන් වුණා. ඒ වෙලාවේ අපිට සේවක සංඛ්‍යාව මදි වුණා. එතකොට ඉන්න අය දිවා රෑ නොබලා මහන්සි වුණා. කොයි තරම් ගැටලු තිබුණත් පිළිකා රෝගින්ගේ ප්‍රතිකාර ප්‍රමාද කරන්න බැහැ. ඒනිසා විකිරණ ප්‍රතිකාර, කීමෝ ප්‍රතිකාර, සායන, ස්කෑනින්, එක්ස්-රේ හැමදෙයක්ම සුපුරුදු විදිහට වැඩ කළා. හැබැයි හැමෝම ආරක්ෂිත ඇඳුම් කට්ටල ඇඳගෙන වැඩ කළේ. ඒ ඇඳුම් කට්ටලය එක්ක ගොඩාක් වෙලා ඉන්න අමාරුයි. ඒත් ඒ අපහසුතා මධ්‍යයේ අපි හැමෝම නොකඩවා පැය ගණන් එක දිගට වැඩ කළා. වෙනදා වගේම පිළිකා රෝගින්ව හැමදාම ඇතුළත් කර ගන්නවා. හැබැයි සායනවල තදබදය අඩු කර ගැනීමට අපි මාස්පතා පැමිණෙන රෝගින්ව තුන් මාසයකට වරක් පසු විපරම් කිරීමට කටයුතු කළා. මාසෙකට දෙන බෙහෙත් දැන් මාස 3කට දෙනවා. රෝගින්ගේ උදව්වට ළඟ නවතින අයව දැන් සීමා කරලා තියෙනවා. අත්‍යවශ්‍යම රෝගියකුට විතරයි කෙනෙකු ළඟ තියා ගන්න දෙන්නේ.“ යනුවෙන් විස්තර කළේ මහරගම අපේක්ෂා රෝහලේ රුධිරගත පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය දේවින්ද ජයතිලකය.
කොවිඩ් වසංගතය හමුවේ මහරගම අපේක්ෂා රෝහලේ ලේ බැංකුවේ රුධිර සංචිත පහත වැටී ඇති බැවින් පරිත්‍යාගශීලීන්ට පැමිණ රුධිරය පරිත්‍යාග කරන ලෙස කෙරෙන කාරුණික ඉල්ලීමක් මාධ්‍ය ඔස්සේ පළ විය. මේ වන විට එයට යහපත් ප්‍රතිචාර ලැබී තිබෙන බව පැවසීමට විශේෂඥ වෛද්‍ය දේවින්ද ජයතිලක අමතක කළේ නැත.
මහරගම අපේක්ෂා රෝහලට කොවිඩ් 1 වැනි රැල්ලෙන් සහ 2 වැනි රැල්ලෙන් දැඩි බලපෑමක් නොවුණ ද බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් නම් අසන්නට ලැබුණේ ඊට වෙනස් කතාවකි.
“1 වැනි සහ 2 වැනි රැල්ලෙදි ගොඩාක් අය රෝහල්වලට එන්න භය වුණා. ඒ අය හිතුවෙ රෝහල්වලින් කොවිඩ් බෝවෙයි කියලා. ඒ නිසා සමහරු ළමයින්ව අරං ආවේ හොඳටම අමාරු වුණාම. එක වතාවක් අවු:12ක විතර ළමයෙකුව අරං ආවා. ගෙනෙනකොටත් දරුවා මිය ගිහින්. ඒ ළමයාට තිබුණේ උණ්ඩුකපුච්චයේ ප්‍රදාහයක්. ඒක ඉතාම සරල සැත්කමකින් ඉවත් කරලා බේරාගන්න තිබුණු අවස්ථාවක්. ඒත් දෙමව්පියන් කොවිඩ්වලට භයෙන් දරුවාව රෝහලට ගෙනාවේ නැති නිසා දරුවාගේ ජීවිතය අහිමි වුණා. ආයේමත් හෘදය වස්තුවේ සැත්කමක් කරපු දරුවකුට ටිකක් අමාරු වෙලා තිබුණා. ඒ ළමයාට කොවිඩ් හැදෙයි කියලා ගෙනාවේ නැතිව අසාධ්‍ය වුණාම ගෙනාවා. ඒ දරුවාගේ ජීවිතෙත් නැති වුණා. 1 වැනි සහ 2 වැනි කොවිඩ් රැලිවලදි ඒ විදිහේ සංවේදී සිදුවීම් කීපයක් වාර්තා වුණා. ඒත් 3 වැනි රැල්ලෙදි නම් වැඩිහිටියන්ගේ භය නැතිවෙලා දැනුවත් වී සිටින බව පෙනෙනවා. මොකද මේ දවස්වල ඩෙංගු හැදුණු පොඩි දරුවන් වැඩිපුර රෝහලට අරං එනවා. මේපාර ගිය වතාවලදි වගේ අසාධ්‍ය වන තුරු දරුවන් ගෙදර තියාගෙන ඉඳලා අරං ආපු අය නැහැ. දරුවන් මිය ගියෙත් නැහැ. ඒක ලොකු දෙයක්.“ යනුවෙන් පැවසුවේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය විරාජ් ජයසිංහ ය.
ළමා රෝග විශේෂඥ වෛද්‍ය විරාජ් ජයසිංහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මූලික ප්‍රතිකාර සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ සේවය කරන අයෙකි. එමනිසාම ඔහු ඇතුළු එහි සේවය කරන කාර්යය මණ්ඩලයට දිවා රෑ නොතකා යුහුසුලුව සේවය කිරීමට සිදුවේ.
“සමහර ළමයින්ට හුස්ම ගැනීමේ අපහසුතා තියෙනවා. වලිප්පුව හැදිලා ගේනවා. ඒ වෙලාවට අපි උගුරට බට දානවා. සෙම ඇදලා ගන්නවා. ඒවගේ අවස්ථාවලදි කොවිඩ් අවදානම කියලා කවුරුවත් පස්ස ගහන්නේ නැහැ. සමහර වෙලාවට අපිට පස්සේ ආරංචි වෙනවා අපි මූලික ප්‍රතිකාර ලබා දුන් ළමයින්ට කොවිඩ් ආසාදනය වෙලා කියලා. අපි හැමෝම ආරක්ෂිත ඇඳුම් කට්ටල ඇඳගෙන ඉන්න නිසා තවම නම් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලයට ලොකු ගැටලුවක් ඇති වුණේ නැහැ. අපි එක්ක දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන අය වැඩ කරනවා. ඒ අය වුණත් කවදාවත් මග හරින්නේ නැහැ. දරුවෙක් ගෙනාවාම හැමෝම එකතුවෙලා ජීවිතය බේරාගන්න තමයි උත්සාහ කරන්නේ.“ යනුවෙන් සඳහන් කළේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය විරාජ් ජයසිංහ ය.
මහරගම අපේක්ෂා රෝහලේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කටයුතු සාමාන්‍ය ආකාරයට සිදු වන විට කොළඹ ජාතික රෝහලේ සැත්කම් සිදු කෙරෙන ආකාරය පිළිබඳව විමසිලිමත් වූයේ කොළඹ ජාතික රෝහලේ විවිධ අංශ යටතේ සැත්කම් රාශියක් සිදු කරන නිසාය. සනාල හා බද්ධ කිරීමේ ජ්‍යෙෂ්ඨ ශල්‍ය විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය මන්දික විජේරත්නගෙන් ඒ පිළිබඳව විමසුවේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම ඔහුගේ මූලිකත්වයෙන් සිදුවන නිසාය.
“ගිය අවුරුද්දෙ නම් බද්ධ කිරීමේ සැත්කම් කළේ නැහැ. හැමෝම භයටම ගෙවල්වල හිටියා. ගිය අවුරුද්දේ ජූලි වන විට සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. සාමාන්‍යයෙන් ජාතික රෝහලේ කෙරෙන්නේ නේවාසික ප්‍රතිකාර ලැබීමට එන රෝගින්ගේ කොවිඩ් පරීක්ෂණ කරලා ආසාදිත වුණොත් කොවිඩ් ප්‍රතිකාර රෝහල්වලට යවනවා. නැතිනම් ජාතික රෝහලට ඇතුළත් කර ගන්නවා. ඒත් මේ අවුරුද්දේ මැයි වන විට කොවිඩ් ආසාදිතයන් යවන්න තැනක් නැති වුණ නිසා ජාතික රෝහලේම තියා ගත්තා. ඒනිසා අපි සාමාන්‍ය විදිහට පටන් ගත්තු වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් නවත්වන්න සිද්ධ වුණා. මොකද සැත්කමක් කරපු රෝගියකුට දැඩි සත්කාර ඒකකයක ඇඳක් ඕනෑ.
ඒත් දැඩි සත්කාර ඒකකයේ ඇඳන් නැතිව අපි කොහොමද ලොකු ශල්‍යකර්මවලට අත ගහන්නේ. අමාරු ලෙඩ්ඩු ආවාම අපි හදිසි ප්‍රතිකාර කරනවා. ඒත් මගේ ඒකකයේ සැත්කම් දැනට තාවකාලිකව නවත්තලා තියෙන්නේ.“ යනුවෙන් මහාචාර්ය මන්දික විජේරත්න පැවසීය. මෙම කාලය සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලයකි. එබැවින් රිය අනතුරු වාර්තා වන්නේ නැත. සුරාසැල් වසා දමා ඇති බැවින් කල කෝලාහල වාර්තා වන්නේ ද නැත. පාසල්, උපකාරක පන්ති වසා දමා ඇති බැවින් දරුවන් අතර බහුලව ඇතිවන අසනීප තත්ත්වන් පවතින්නේ ද අවම මට්ටමකය.
කොවිඩ් වසංගත කාලයේ ඒ පිළිබඳව අප සතුටු විය යුතු වන්නේ එවැනි ආපදාවලින් රෝහල් කරා පැමිණෙන රෝගීන්ට දැඩි සත්කාර ඒකකයේ ඇඳක් සොයා ගැනීම පහසු නොවන නිසාය.