
ජාත්‍යන්තර නෞකාවලට ආරක්ෂාව ලබා දෙන විවිධ රටවල් ආරක්ෂක නිලධාරීන් නෞකාවලට ගොඩවන්නේ ද නෞකාවලින් ගොඩ බසින්නේ ද ගාලු වරායෙනි. නෞකාවලට ආරක්ෂාව ලබා දෙන මුහුදු ආරක්ෂකයන් ගාලු වරායේ සිට ඈත දියඹට රැගෙන යන්නේ ද යළි නෞකාවල සිට ගාලු වරායට රැගෙන එන්නේද පුද්ගලික නැව් නියෝජිත ආයතන මඟිනි. වෙෙළඳ නෞකාවලට ආරක්ෂාව සැපයිම සඳහා ගාල්ල නාවික හමුදා ආයුධ ගබඩා අංගණයේ ගබඩා කර ඇති ගිනි අවි ඇතුළු ආරක්ෂිත උපකරණ කුලියට දෙනු ලබයි. අනතුරුව යළි එම ගිනි අවි එහි ගබඩා කර තැබේ. නාවික හමුදා අධික්ෂණය යටතේ මෙම කටයුතු සිදුකෙරේ. සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් හා වෙනත් මුහුදු කොල්ල කල්ලිවලින් වෙළඳ නෞකාවලට නිරන්තරයෙන් තර්ජන එල්ල වෙති. ඒ සඳහා ආරක්ෂක කටයුතු වල යෙදෙන වෙළඳ නැව් ආරක්ෂක සමාගම්වලට ගිනි අවි කුලියට ලබාදිම ගාලු වරාය මුලික කරගෙන සිදු කරන සේවාවකි.
![]() |
ගිනි අවි දොඹකරයේ දැවටී මුහුදට වැටෙන අයුරු |
මුහුදු ආරක්ෂකයන් සමඟ ගිනි අවි ඇතුළු උපකරණ නෞකාවලට රැගෙන යාම පුද්ගලික නැව් නියෝජිත ආයතන මඟින් සිදු කෙරේ. පසුගිය 28 වැනිදින ගාලු වරායට නාවික සැතපුම් 10ක් පමණ දුරින් පැනමාවේ ලියාපදිංචි එම්.ටි ලිබ්රා නෞකාව ඉන්දුනිසියාවේ සිට සුවස් දක්වා ලිහිසිතෙල් හා රසායිනික ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබුණේය. මෙකී නෞකාව වෙත ගොඩවීම සඳහා විදේශිය කපිතාන්වරයකු, නාවික හමුදා කඳවුරේ ගබඩාකොට තිබු ගිනි අවි හා තවත් උපකරණ රැගෙන පුද්ගලික නාවික නියෝජිත ආයතනයකට අයත් ගොල් එනර්ජි බොට්ටුව නෞකාව වෙත ගමන් කරමින් සිටියහ. මෙහි අදාළ පුද්ගලික නාවික නියෝජිත ආයතනයේ සේවකයන් තිදෙනකු හා නාවික සෙබළකුද එම බෝට්ටුවේ ගමන් කරමින් සිටියහ.
ඈත මුහුදේ දි මෙකී වෙළෙඳ නෞකාවලට අවශ්‍ය සේවාවන් ලබා දෙන්නේද නෞකා යාත්‍රා කරන ගමන්ය. අවශ්‍ය සේවා සපයා ගැනීමේදී නෞකා ඈත දියඹේදී නැංගුරම්ලා නතර කරන්නේ නැත. සිදුවන්නේ නෞකා යාත්‍රා කරන වේගය අඩු කිරීම පමණි. ඒ අනුව ගිනි අවි හා අනිකුත් උපකරණ දැලක දමා දොඹකරයක් මගින් නැවට පැටවීමට යාමේ දි දොඹකරය නෞකාවේ බදේ ගැටුණි. අයහපත් කාලගුණික තත්ත්වය හා දැඩි සුළං තත්වයක් තිසා දොඹකරය නෞකාවේ බදේ වැදිමත් සමඟ දැල පිටින් ගිනි අවි මුහුදට වැටුණි. මෙකී සිද්ධිය දක්ෂිණ නාවික කඳවුර වෙත වාර්තා වීමත් සමඟ නාවික හමුදාවේ යාත්‍රා දෙකක් වහාම එම ස්ථානය වෙත ගොස් සෝදිසි කිරිමේ දි ගිනි අවි හා උපකරණ කොටසක් සොයාගනු ලැබීය.
එහෙත් ආර්ධ ස්වයංක්‍රිය ගිනි අවි 14ක්, උණ්ඩ 2414ක් හා පතොරම් ගැබ් 56ක්, දුර දක්නා 06ක් බොඩ් ආමර් 29ක්, පෝ සයිඩ් 08ක් දියර පෙට්ටි 10ක්, ආරක්ෂිත හිස්වැසුම් 29ක්, ප්‍රථමාධාර පෙට්ටි 06ක්, රාත්‍රි දුර දක්නා 04ක්,ගමන් කථන යන්ත්‍ර 21ක්, චාජර් 21ක්, චන්ද්‍රිකා දුරකථන 06ක් අවි සයිට් 07ක්, අවි පෙට්ටි 14ක්, උණ්ඩ බහාලන පෙට්ටි 03ක්, අවි බහාලන පෙට්ටි 08ක් ඇතුළු උපකරණ තවමත් සොයාගැනිමට හැකිවී නැත.
නෞකාවේ හිටපු ලැට්වියානු ජාතික කපිතාන්වරයා ගිනි අවිගෙන ගිය යාත්‍රාවෙන් ගොඩබිමට පැමිණ තිබේ. මෙකි ගිනි අවි වැටුණු ස්ථානය ගැඹුරු ස්ථානයකි. කිමිදුම්කරුවන්ට පිහිනීමට හැකි උපරිම ප්‍රමාණය මිටර් 60කි. තාක්ෂණික උපකරණ මගින් ගැඹුරු මුහුද නිරීක්ෂණය කිරීමට නාවික හමුදාව මගින් පියවර ගෙන ඇත.
![]() |
මුහුදට වැටුණු ආරක්ෂිත උපකරණ අතරින් කිහිපයක් |
විදේශීය නෞකාවලට ආරක්ෂාව සැපයිම සඳහා මසකට විවිධ රටවලින් ආරක්ෂක පුද්ගලයන් 2500ක් හා 3000ක් අතර සංඛ්‍යාවක් ගාලුවරායට පැමිණෙති. කොරොනා වසංගතය හමුවේ දැඩි නීතිරීති සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම අකුරටම ක්‍රියාත්මක කරමින් මෙකී සේවාව පවත්වා ගෙන යති. සැබවින්ම වරායන් අතුරින් ගාලු වරායට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. මක්නිසාදයත් ලෝකයේ නැගෙනහිරත් බටහිරත් යා කෙරෙන ප්‍රධාන වෙළෙඳ නැව් මාර්ගය වැටී ඇත්තේද ලංකාවේ දකුණු වෙරළ තීරයට සමීපයෙනි. මේ නිසා නැගෙනහිර බටහිර ප්‍රධාන නාවික මාර්ගය දිගේ යාත්‍රා කරන නෞකාවලට විවිධාකාර වූ සේවාවන් සැපයීම සඳහා ගාලු වරාය නම් දැරූ තැනකි. දවසේ පැය විසිහතර පුරාවට ක්‍රියාත්මක වන ආකාරයට මෙම සේවාව පවත්වා ගෙන යන්නේ ගාලු වරාය ආශ්‍රිතව පිහිටි පුද්ගලික නැව් නියෝජිත ආයතන මගිනි.
මෙකි ආයතන මගින් මහා පරිමාණ වෙළෙඳ නෞකාවලට සැපයෙන සේවා රාශියකි. ලිහිසි තෙල් වර්ග, ඖෂධ, කෑම බීමවර්ග, පලතුරු, නෞකා එන්ජිම්වල අමතර කොටස්, නැව් කඹ කේබල් ඇතුළු උපකරණ, වතුර බෝතල්, මස් වර්ග ආදී බඩු භාණ්ඩ නෞකාවලට රැගෙන යන්නේ පුද්ගලික නැව් නියෝජිත ආයතන මගිනි. මීට අමතරව නෞකාවල ගිවිසුම් අවසන් කළ සේවකයන් ගොඩබිමට රැගෙන ඒම, නව ගිවිසුම් ඇති කරගන්නා ලද සේවකයන් නෞකාවලට රැගෙන යෑම, රෝගීවූ නාවිකයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම, හදිසි අනතුරුවලට ලක්වූ පුද්ගලයන් ගොඩබිමට රැගෙන ඒම, මළ සිරුරු ඉවත් කිරීම, නැව් අලූත්වැඩියා කටයුතු මුහුදට වෑද්දුම් හා පෑස්සුම් කටයුතු සහ යොට් යාත්‍රා සේවා ඇතුළු සේවා සැපයීම රැසක් සිදු කෙරේ.
ගාලු වරායේ මාසික ආදායමෙන් සියයට 25ක් 30ක් අතර ආදායමක් ලැබෙන්නේ මෙකී පුද්ගලික නෞකා නියෝජිත ආයතන මගින් පවත්වාගෙන යනු ලබන සේවාව නිසාය. ඒ විතරක් නොව ගාලු වරායෙන් පිටත මුහුදේදි කරන මෙම සේවාව අපේ රටට විදේශ විනිමය උපයන ධන උල්පතකි. වරාය අධිකාරියේ ලියාපදිංචි වී ඇති පුද්ගලික නැව් නියෝජිත ආයතන සංඛ්‍යාව 100ක් පමණ වේ. ගාල්ල වරාය අවට මෙකී නැව් නියෝජිත ආයතනවල ශාඛා 20කට අධික සංඛ්‍යාවක් පිහිටා තිබේ. එම ආයතන මගින් දෛනිකව ගාලු වරාය පෙනී පෙනී ගමන් කරන ජාත්‍යන්තර නෞකාවලට අවශ්‍ය සේවා පහසුකම් ලබා දෙති.
නාවික විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට මෙකී නාවික මාර්ගය දිගේ දිනකට අඩුම තරමින් නෞකා 200ක් 300ක් වත් ගමන්කර ඇත. එහෙත් ලොව පුරා කොරෝනා වසංගතය පැතිරි යාමත් සමඟ නෞකා ගමනාගමනය සිමාවී තිබේ. මේ නිසා නෞකා ආරක්ෂකයන්ගේ පැමිණීම ද සීමා වී තිබේ.
සැබවින්ම මෙම නාවික මාර්ගය දිගේ ගමන් කරන්නේ විශාල වෙළෙඳ නෞකාය. ඒ අතර බඩු ප්‍රවාහන නෞකා (Cargo liners) තොග භාණ්ඩ ප්‍රවාහනය කරන විශාල නෞකා (Bulk Cargo) බහලූම් නැව් (Container Ships) තෙල් ප්‍රවාහන නැව් (Tankers) වෙති.. මෙකී නෞකා ගමන් කරන්නේ ගාලු වරායේ සිට නාවික සැතපුම් දහයත් දොළහත් අතර කලාපයේය. එකී පුද්ගලික නැව් නියෝජිත ආයතනවලට මෙම සේවාව, තමන්ට හිතු හිතූ ආකාරයට පවත්වා ගෙන යා නොහැකිය. එම සියලු කටයුතු කෙරෙනුයේ ගාලුවරායේ හාබර්මාස්ටර්ගේ අනුමැතියට යටත්වය. එමෙන්ම මෙකී කටයුතු සඳහා ගාලු වරායේ පිහිටි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කාර්යාලය, ආගමන විගමන කාර්යාලය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ගාලුවරාය පොලිසිය, වරායේ මෙහෙයුම් හා ආරක්ෂක අංශයද සම්බන්ධ වේ.
ලංකාවේ වෙනත් කිසිදු වරායක් ආශ්‍රිතව මෙවැනි සේවාවන් ක්‍රියාත්මක වන්නේද නැත. අනික් කාරණය වන්නේ පුද්ගලික නැව් නියෝජිත ආයතන මගින් සේවාවන් ලබාගන්නා කිසිදු නෞකාවක් ගාලු වරායට හෝ කොළඹ වරායට නොපැමිණීමයි. මක්නිසාද යත් එම නෞකා මහා පරිමාණ භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකා බැවිනි.
එමෙන්ම ඉන්දුනීසියාව සහ මලක්කා සමුද්‍ර සන්ධියෙන් මෙපිට මෙවැනි සේවාවක් පවත්වාගෙන යන එකම ප්‍රදේශය වන්නේද ගාල්ලයි.
පුද්ගලික නැව් නියෝජිත ආයතන පවසන ආකාරයට වෙළෙඳ නෞකාවලට සේවාවන් සපයා ගැනීමට ඇති පහසුම ස්ථානය වන්නේද ගාලු වරාය ආශ්රිත මුහුදු තීරයයි. මෙකී වෙළෙඳ නෞකාවලට අවශ්‍ය සේවා ලබා දෙන්නේද නෞකා යාත්‍රා කරන ගමන්ය.
අවශ්‍ය සේවා සපයා ගැනීමේදී නෞකා ඈත දියඹේදී නැංගුරම්ලා නතර කරන්නේ නැත. සිදු වන්නේ නෞකා යාත්‍රා කරන වේගය අඩු කිරීම පමණි.
ගාලු වරාය ආශ්රිත ගැඹුරු මුහුදේදී මහාපරිමාණ වෙළෙඳ නෞකා සමඟ මෙවැනි ගනුදෙනුවක් සිදුවන බැව් ගාල්ලේ ඇත්තන් පවා දන්නේ නැත. සැබවින්ම මෙය අපේ රටට මුදල් ගලාගෙන එන ධන උල්පතකි. රටේ ආර්ථිකයට මේ තුළින් ලැබෙන දායකත්වයද සුළුපටු නොවේ.
මෙකී සේවාව නිසා සෘජුව හා වක්‍රව බිහිවී ඇති රැකියා සංඛ්‍යාවද විශාලය. ගාල්ලේ අවට සංචාරක හෝටල් හිමියන්ගේ අතමිට සරුවීමටද මෙකී සේවාව දැඩි පිටුවහලක් වි තිබුණි. කෙසේවුවද කොරෝනා වසංගතයත් සමඟ මේ තුළින් සෘජුව හෝ වක්‍රව යැපුණු විශාල පිරිසකට සිය ආදායම අහිමි වී ගොස් තිබේ.
• ලලිත් චාමින්ද , ගාල්ල