මුහුද වනසා රට ම කැලඹූ MV එක්ස්ප්‍රස් පර්ල් | සිළුමිණ

මුහුද වනසා රට ම කැලඹූ MV එක්ස්ප්‍රස් පර්ල්

සිංගප්පුරුව ධජය යටතේ ගමන්ගත් ලොව විශාලතම වෙළෙඳ නෞකාවක් වන එම්.වී එක්ස්ප්‍රස් පර්ල් (MV X-Press Pearl)නම් විශාල බහාලුම් නෞකාව පසුගිය මැයි මස 20 වැනිදා කොළඹ වරායට නාවික සැතපුම් 9.5 දුරින් තිබියදී ගිනි ගත්තේය. එය දැනගත් වහම ඒ ගින්න නිවීම සඳහා මෙරට බලධාරීන් පියවර ගත්තේය. මන්ද ඉන් මෙරට මුහුදු කලාපයට සිදුවිය හැකි හානිය සුළුපටු නොවන නිසාය. මෙම සිදුවීමත් සමඟ ලොව පුරා මාධ්‍යවල, සමාජ ජාල වෙබ් අඩවිවල මෙන්ම මෙරට මාධ්‍යවල ද කතාබහට ලක් වන ප්‍රමුඛතම ප්‍රවෘත්තිය බවට එය පත්විය.

ගිනිගැනීමට ලක් වූ එම්. වී එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාගෙන් මෙන්ම ප්‍රධාන හා උප ප්‍රධාන ඉංජිනේරුවරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මැයි මස 31 වැනිදා ප්‍රකාශ සටහන් කරගත් අතර, නෞකාවේ කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක්කර සිටින වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලය වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එදින පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී නෞකාවේ කපිතාන්වරයාගෙන් පැය 14 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත් අතර ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් පැය 13 ක් හා උප ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් පැය 12 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක කරයි. ඊට අදාළව විශේෂඥ මත හා සාක්‍ෂි ද ලබා ගැනීමට නියමිත අතර නීතිපතිවරයාගෙන් ඒ සඳහා වැඩිදුර උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසීය.

මෙම සිදු වීම සැල වී දින දෙකකින් පමණ වෙරළ කලාපයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් මේ නිසා අසරණ වූ ධීවර ජනතාවට රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට නියෝග කළේය.

සිංගප්පුරුවට අයත් ලොව විශාලතම නාවික සමාගමක් වන එක්ස්-ප්‍රෙස් ෆීඩර්ස් (X-Press Feeders) සමාගමට අයත් එම්.වී එක්ස්ප්‍රස් පර්ල් (MV X-Press Pearl) නම් විශාල බහාලුම් නෞකාව පසුගිය ජනවාරි මස 28 වැනි දා සාදා නිම කළ අතර, එය දිගින් මීටර් 186 හා පළලින් මීටර් 34 ක් පමණ විශාලය. මේ තුළ 25 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සිටිති. මෙම නෞකාව සිය මංගල වෙළෙඳ ගමන ආරම්භ කළේ පසුගිය අප්‍රේල් මස 03වැනි දාය. මේ එහි තෙවැනි වෙළෙඳ සංචාරය යි. බහාලුම් 1486 රැගෙන පසුගිය මැයි 15 වැනිදා ඉන්දියාවේ හසීරා වරායෙන් පිටත් වී පැමිණෙන අතරතුරදී නැවේ බහලුම් තුළ තිබූ රසායනික කාන්දුවක් හේතුවෙන් ගින්නක් හටගෙන ඇති බව MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විධායක අධ්‍යක්ෂ ටීම් හාර්ට්නෝල් පවසයි. එම අවස්ථාවේදී වහා නැව නැවත හරවාගෙන ඉන්දියාවේ හසීරා වරයාට යාමට උත්සාහ කළ ද ඉන්දීය වරාය විසින් ඊට යහපත් ප්‍රතිචාර නොදැක්වූයෙන් එය ව්‍යර්ථ වී ඇත. අනතරුව ළඟම වරාය වූ කටාර් රාජ්‍යයේ හමාද් වරායට ඇතුළු වීම සඳහා අවසර ඉල්ලා සිටියද එමඟින් ද යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත. පසුව ඔවුන්ට ඉක්මණින් ළඟාවිය හැකි වරාය වී ඇත්තේ කොළඹ වරායයි. ඒ අනුව පසුගිය මැයි මස 19 වැනිදා ලංකා මුහුදු තීරයට ළඟා වූ නෞකාව කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5 ක දුරින් නැංගූරම් දා තිබියදී මැයි 20 වැනිදා ගින්න වඩාත් තීව්‍රව තිබිණි. එම තත්ත්වය පිරික්සීමට සඳහා නෞකාව වෙත ගිය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් අනුමාන කළේ නැවේ ඇති රසායනික ප්‍රතික්‍රියාවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි.

නෞකාවේ තිබූ බහාලුම් 1486 අතර, නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක්, බැර ඉන්ධන ටොන් 297 ක් සහ ඩේන්ජරස් ගුඩ්ස් හෙවත් උපද්‍රවකාරී ද්‍රවය බහලුම් 81ක තිබෙන්නට ඇති බව අනුමාන කරන අතර, රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර නිසිපරිදි අසුරා නොතිබීම මේ ගින්නට හේතු වන්නට ඇති බව නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂ ටීම්. හාර්ට්නෝල් පවසයි. මෙම අනතුර හඳුනාගත් මුල් අවස්ථාවේ ඉන්දීය වරාය හෝ කටාර් රාජ්‍යයේ වරාය එම වරායන් ‍වෙත පැමිණීමට අවස්ථාව ලබාදුන්නේ නම් මෙවැනි අපදාවක් ඇති නොවන බව ඔහුගේ අදහසය. කෙසේ වෙතත් ඒ වන විටත් නෞකාව තුළ ගින්නත් ඇති වීමේ අවදානමක් මතුව තිබූ බව සමාගමේ අධ්‍යක්ෂකවරයා පිළිගෙන තිබේ.

ලොව වෙළඳ නෞකා රක්ෂණය කරන ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන london P&I club රක්ෂණ සමාගම මෑතකදී නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ මේ වන විට සෑම සති දෙකකට ම වරක් මෙලෙස ලොව කිසියම් හෝ ස්ථානයක වෙළඳ නෞකාවක් ගිනි ගැනීමට ලක් වන බවයි. නැවක් මෙලෙස ගිනිගන්නා ප්‍රධාන කාරණා තුනක් ඇති බව පවසන රක්ෂණ සමාගම ඒ ගල් අඟුරු ප්‍රවාහනය කිරීමේදී අධික උෂ්ණත්වය නිසා, රසායන ද්‍රව්‍ය නිසි පරිදි ගබඩා නොකිරීම නිසා සහ බැටරි ප්‍රවාහනයේ දී අධික ලෙස උණුසුම් වීම නිසා සිදුවන ගිනි ගැනීම් ලෙසය.

මෙම නෞකාවේ ගින්න පිළිබඳ සැල වූ වහාම ශ්‍රී ලංකා රජය හා ත්‍රිවිධ හමුදාව එක්ව ගින්න නිවීමට මහත් පරිශ්‍රමයක් දියත් කළ අතර ශ්‍රී ලංකා ගුවන්හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා මඟින් රසායනික කුඩු ගුවනින් ඉසිනු ලැබීය. ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් එසැණින් ක්‍රියාත්මක වූ ඉන්දීය රජය ඔවුන්ට අයත් ICG වජ්‍රා, ICG වෛභව් යන නෞකා ගින්න නිවීමට උපකාර පිණිස ලබා දී තිබුණි. ඩෝනියර් ගුවන් යානයක් හා එක්ව ශ්‍රී ලංකා නාවුක හමුදාවේ සිඳුරළ නෞකාවේ ගිනි නිවීමේ කණ්ඩායම් එක්ව ගින්න නිවීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරූ අතර එය පසුගිය 01 වැනිදා වන විට බොහෝදුරට මැඬපැවැත් වීමට හැකි විය. සම්පූර්ණයෙන්ම ගින්නට හසු වූ නෞකාවේ කොටසක් මුහුදුබත් වීමට තිබූ ඉඩත්, තෙල් කාන්දුවීම අවම කර ගැනීමත් සලකා එකී අවධානම අවම කරගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ නියමයෙන් පසුගිය පළවැනි දා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ නාවික හමුදාව එක්ව නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යෑමට කටයුතු කළේය. එහිදී නැවේ පසුපස කොටස කැඩී මුහුදට ගිලීගිය නිසාවෙන් එලෙස රැගෙන යාම නතර කිරීමට සිදු විය.

මෙම ගිනිගැනීමත් සමඟ මෙහි සුන්බුන් හා නෞකාවේ බහාලුම්වල තිබූ ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය ඇතුළු බොහෝ දෑ ලංකා වෙරළ තීරයට ගොඩගැසිණි. ශ්‍රී ලංකා නාවික හමුදාවත් වෙරළ සංරක්ෂණ අධිකාරියත් කොළඹ සහ අවට මුහුදු තීර පිරිසිදු කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කළේය. සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය විසින් පවසා සිටියේ මෙලෙස වෙරළට ගොඩගසන දෑවල අධික විෂ රසායන ද්‍රව්‍ය තිබිය හැකි බැවින් ඒවා කිසිවක් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසය. නමුත් ඒ කිසිවක් නොතකා ජනතාව විසින් එලෙස ගසාගෙන එන දෑ රැගෙන යාමට යුහුසුලු වූහ. එහෙත් පසුව ඔවුන් වැළැක්වීමට රජය ක්‍රියා කළේය.

නෞකාව ගිනි ගැනීමත් සමඟ සාගර කලාපයට එක් වූ රසායනික අපද්‍රව්‍ය හේතුවෙන් මෙරට සාගර කලාපය විශාල අනතුරකට මුහුණු පා ඇති බව පරිසර විද්‍යාඥ සහ නීතීඥ ජගත් ගුණවර්ධන ප්‍රකාශ කළේය. ඔහු පවසන්නේ 1993 සිට විටින්විට නොයෙක් මුහුදු ජීවින් මෙම නැව ගිනිගැනීමට ලක් වූ ස්ථානයට මුදා හැරි බවයි. සාගර ජෛව විවිධත්වය පෝෂණය කිරීමට හා මත්ස්‍ය සම්පත ආරක්ෂා කිරීමට ගත් එකී ප්‍රයත්නයන් මෙම සිදු වීම නිසා ව්‍යර්ථ වීමට ඉඩ ඇති බව හෙතෙම ප්‍රකාශ කරයි. එසේම මින් පිට වූ විෂ රසායන ද්‍රව්‍ය හේතුවෙන් කරදිය මත්ස්‍යයන්, කැස්බෑවන් හා මුහුදු කලාපීය පක්ෂීන් මෙන්ම මුහුද තුළ ඇති කොරල් පර ජලජ ජීවින් බෙල්ලන් වැනි සතුන් හා ශාක මෙන්ම කඩොලාන කලාපවලට විශාල හානියක් සිදු වේ. මෙවැනි හානි පූර්ණ තවමත් ඇස්තමේන්තු කර නැත.

එක්රැස් වූ සුන්බුන් සහිත වෙරළේ ස්ථාන කිහිපයකදී බාහිර විකිරණ මට්ටම පරීක්ෂා කිරීම සිදුමෙන් අනතුරුව ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වෙරළට ගොඩ ගසා ඇති සුන්බුන්වල විකිරණශීලී ද්‍රව්‍ය නැති බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කොමිසන් සභාව පැවසයි.

මුහුදු හා නාවික නීති පිළිබඳ විශේෂඥ නීතිඥ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ “ලංකාවේ පොස්ට් ස්ටෙට් කන්ටොල්ලාගේ වගකීම තමයි වරායට පැමිණෙන නෞකා සුරක්ෂිතව එනවාද ඒවා සුරක්ෂිතව යනවාද කියන කාරණය සම්බන්ධයෙන් කටයුතු කිරීම. මේ ඉන්දියන් සාගරයේ ප්‍රධාන වරායවල් ඔක්කොගේම ඒ යාන්ත්‍රණය තුළ තියෙනවා. එම්. ඕ. යු (MOU) ගිවිසුම් පාර්ශ්වකරුවන් විදියට ඉන්දියාව වගේම ලංකාවත් ඒ අනුව කටයුතු කරන්න බැඳී සිටිනවා. මේ අවබෝධතා ගිවිසුමේ කියනවා ඉන්දියන් සාගරයට යම්කිසි වරායක නැවක් ඇවිල්ලා ඒ නැවට දෙන්න පුළුවන් උදව්ව දෙන්න බැරි නම්, ඒ නැව යන ඊළඟ වරායට ඒක දැනුම් දෙන්න ඕනේ. මං අහන්නේ අපිට මෙච්චර මේ දෙවල් සම්බන්ධයෙන් ඉන්ෆොමේෂන් ලැබුණේ නැද්ද? මේ සම්බන්ධයෙන් අපිට කරුණු කාරණා වාර්තා වෙන්නේ නැද්ද? ඉන්දියන් ඕෂන් එකේ අවබෝධතා ගිවිසුම එහෙම නම් අපි කුණු කුඩෙට දාන්න අවශ්‍ය වෙනවා” කියාය.

හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා කියා සිටියේ “මෙම කාන්දුව භයානක තත්ත්වයක් නෙවෙයි. ඊට පස්සේ ඒක භයානක වුණා. ඔය නැව ඔය තත්ත්වයේ තිබෙද්දීම හමාද් වරායට සහ හසීරා වරායට යාත්‍රා කළා. එම කාන්දුව සිදු වූ සිදුර වසා තිබුණේ නෑ. ඔවුන් යැවු කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය එම සිදුරෙන් කාන්දු වුණා. ඒකයි එම සිදුරෙන් ආපු ගින්න නිවා දැමීමට බැරිවුණේ. මෙම නෞකාව වරායෙන් පිට තිබීම නිසා සිසිලන කටයුතු හැම දිශාවකින්ම කළ හැකි වූ” බවය.

මෙමඟින් ඇති විය හැකි පාරිසරික විනාශය අවම කරගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ අතර, මහාචාර්ය චරිත පට්ටිආරච්චි, ආචාර්ය සරත් විජේරත්න, රසායනික සාගර විශේෂඥ ආචාර්ය ලිහිණි අලුවිහාරේ ‍ආදී විශේෂඥයන් පිරිසක් ඊට එක් වූහ. මීට ස්වේච්ඡාවෙන් එක්ව කටයුතු කිරීමට සාගර විද්‍යාඥවරියක් වන ආශා ඩි වොස් කටයුතු කළාය. ඇය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියේ නෞකාවෙන් මුහුදට එකතුවන අපද්‍රව්‍යවල වර්ගය අනුව ඒවාට ඉදිරියේදී කුමන විපර්යාසයන් වලට ලක්වේවිද ඒවා ගොඩබිමට ගසාගෙන එන්නේ කුමන වර්ගයේ අපද්‍රව්‍ය ලෙසද යන්න විශ්ලේෂණය කළ යුතු බවයි. ඒ පිළිබඳ දැනට ඔවුන් tracking model එකක් නිර්මාණය කර ඇති බවත්, එය මහාචාර්ය චරිත පට්ටිආරච්චි සහ ආචාර්ය සරත් විජේරත්න යන දෙදෙනා විසින් නිර්මාණය කර ඇති බවත් එය ප්‍රායෝගිකව මේ සඳහා යොදාගන්නේ කෙසේද යන්න සොයා බලන බවයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර දැක්වූයේ මෙවන් අදහසකි.

'නාවික ක්ෂේත්‍රයේ සෑම නැවක්ම අන්තර්ජාතික නාවුක සංගමයේ ලියාපදිංචි වෙලා ඔවුන්ගෙ සාමාජිකත්වය ලබාගන්න ඕන. එම සංගමයේ ප්‍රඥප්ති ගණනාවක් තියෙනව. ඒ ප්‍රඥප්ති අනුව තමයි ඔවුන් කටයුතු කළ යුත්තේ. එතනදි මේ නෞකාවටත් ඒක අදාළයි. තමන් ගමන් කරන නාවුක කලාපය තුළ ඉතා සුපරික්ෂාකාරීව ගමන් කරන්න ඕන වගේම, අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් වැළකීම, තෙල් විසිරීම් පාලනය කිරීමට ඔවුන් බැඳී ඉන්නවා. නැවේ කපිතාන්වරයා බැඳී ඉන්නවා ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කරන්න. නෞකාවක් යම් සාගර කලාපයක විනාශයට පත්වෙනවා කියන්නෙ ඒක එක සාගර කලාපයකට පමණක් බලපාන දෙයක් නෙමේ. සාගරය කියන්නෙ ලෝකයෙ තියෙන විශාල පාරිසරික පද්ධතිය. ඒකෙ තාප්ප බැඳල සීමාමායිම් වෙන්කරන්න බෑ.

ඒ නිසා ලොකු වගකීමක් තියෙනවා නෞකා සමාගම්වලට මෙන්ම නෞකාවෙ කපිතාන්වරයට සාගර පද්ධතිය සුරක්ෂිත කරමින් තම යාත්‍රාවන් සිදු කිරීමට. ඒ වගේම ඔවුන් ලොකු රක්ෂණාවරණයකට බැඳී ඉන්නවා, තෙල් විසිරීම සම්බන්ධයෙන් සිදුවන හානි පූර්ණය සඳහා. සමුද්‍ර දූෂණය කිරීමේ පනත යටතෙ අපට ප්‍රතිපාදන තියෙනවා සාගර කලාප දූෂණය කරන නැව් සමාගම්වලට, පුද්ගලයන්ට අපරාධ විධිවිධාන යටතෙ වගේම සිවිල් වගකීම යටතෙ නඩු පවරල හානිපූර්ණය කර ගැනීමට.

Comments