
චීනයේ වූහාන් ප්‍රදේශයෙන් කොවිඩ් 19 නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ දා සිටම සමස්ත ලෝකවාසී ජනතාවටම උදා වී ඇත්තේ ඉතාම නපුරු,අපල කාල සීමාවකි.පොකුරු පිටින් ආසාදිත රෝගීන් වාර්තා වීම,මරණ ප්‍රමාණය වැඩි වීම හා රෝග පාලනය සඳහා ඇඳිරි නීතිය,අගුළු දැමීම්,සංචරණ සීමා පැනවීම් වැනි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වීම හේතුවෙන් ලොව බලගතු හා ධනවත්ම රටවල ආර්ථික වර්ධනය හා ආර්ථික ස්ථාවරභාවයද බිමටම සමතලා වී ගොස් ඇත.
කොරෝනා රෝගීන් සමාජයෙන් සුලබ ලෙස වාර්තා වන පසුබිමක අප රටද හැකි තරම් දුරට ප්‍රයත්න දැරුවේ රට නොවසා රෝග පාලනය සඳහා වූ ක්‍රියාමාර්ග ගැනීමටයි.
කොරෝනා පළමු රැල්ල පාලනය සඳහා පසුගිය 2020 වසරේ මාර්තු මස සිට ජූනි මස මුල දක්වා රට වසා දැමීමට සිදු වුණු කාල සීමාව තුළ මෙරට ආර්ථිකයට ඒ හේතුවෙන් සිදු වුණු බරපතළ බලපෑම පිළිබඳව රජයට මෙන්ම ජනතාවටද හොඳ අවබෝධයක් තිබුණි.එහෙත් ආර්ථිකයට සිදු වන බලපෑම කෙතරම් විශාල වුවත් කොරෝනා ව්‍යාප්තිය පාලනයට වෙනත් විකල්පයක් නොවුණු කල රට වසා දැමීමට රජයට සිදු වුණු අතර ඒ නිසාම යළිත් වතාවක් මෙරට ආර්ථිකයටද මරු පහරක් එල්ල වී තිබේ.
ප්‍රධාන වශයෙන්ම අප රට කෘෂිකර්මාන්තය ආශ්‍රිතව පෝෂණය වන රටක් වන අතර වී ගොවීන්, එළවළු හා පලතුරු ගොවීන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පසුගිය කාලය පුරාම මෙරට ආර්ථිකය සක්‍රීය ලෙස ඉදිරියට ගමන් කිරීමට ජීවය පිඹින ලදී.
කොරෝනා ව්‍යාප්තිය ගමුවේ සංචරණ සීමා පනවා රට වසා දැමීමට කටයුතු යෙදීමත් සමඟ එම ගොවි ජනතාව අතරින් ප්‍රධානතම පාර්ශ්වකරුවන් පිරිසක් වන එළවළු හා පලතුරු ගොවීන්, එම නිෂ්පාදන බෙදා හරින්නන් මෙන්ම එළවළු හා පලතුරු අලෙවි කරමින් සිය දෙනික ජීවිතය ගැට ගහ ගෙන ගිය තවත් විශාල පිරිසකගේ ජීවනෝපාය මාර්ග සම්පූර්ණයෙන්ම අඩපණ වී ගිය බව දකින්නට හැකි විය.
එළවළු හා පලතුරු ගොවීන්,ඒවා බෙදා හරින්නන් මෙන්ම අලෙවි කරන්නන්ද මුහුණ දී ඇති තත්ත්වය පුපුරා එළියට ආ අවස්ථාවක් වූයේ මෙවර සංචරණ සීමා පැණවීමට කටයුතු යෙදීමත් සමඟම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් වාර්තා වූ ප්‍රවෘත්තිත් සමඟයි.
සංචරණ සීමා පනවා තිබුණද තොග වෙළෙඳාම සඳහා දඹුල්ල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන කාල සටහනකට අනුව විවෘත කර තැබීමට කටයුතු යොදා තිබූ අතර සංචරණ සීමා ක්‍රියාත්මක වීම හේතුවෙන් ප්‍රමාණවත් තරම් ව්‍යාපාරිකයන් නොපැමිණීමෙන් සිය අස්වනු හා නිෂ්පාදන විකුණා ගැනීමට නොහැකිව ඒවා විනාශවී ගිය බවට ගොවීහු මැසිවිලි නැඟූහ.
දඹුල්ලේ පමණක් නොව රටේ අනෙක් පළාත්වල ගොවීන් මුහුණ දුන් තත්ත්වයද එයම වූ අතර සමහර ගොවීන් විකුණා ගැනීමට නොහැකි වුණු සිය අස්වැන්න ජනතාවට නොමිලේ බෙදා දුන් අවස්ථාද දක්නට ලැබුණි.
කොරෝනා පාලනය සඳහා දැඩි ලෙස සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට සිදු වුවද ගොවි ජනතාව මුහුණ දෙන මේ ප්‍රශ්න ගැන රජයටද හොඳ අවබෝධයක් ලබා ගත හැකි විය.
ඒ අනුව සංචරණ සීමා බල පැවැත්වෙන කාල සීමාවන් තුළ ගොවි ජනතාව අපහසුතාවයන්ට පත් වීමට ඉඩ නොහැර එම ගොවි ජනතාව ළඟටම ගොස් අස්වැන්න මිලදී ගැනීම සඳහා කටයුතු යොදන ලෙස අතිගරු ජනාධිපතිතුමන් විසින් රාජ්‍ය අංශය වෙත උපදෙස්ද ලබා දුන් අතර ඒ අනුව ප්‍රදේශ රැසකදීම එම අස්වැනු මිලදී ගැනීමට රජය විසින් කටයුතු යොදන ලදී.
මීට අමතරව තොග වෙළෙඳාමේ නිරත ව්‍යාපාරික ප්‍රජාවට හිඟයකින් තොරව එළවළු, පලතුරු හා අනෙකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පහසුකම් සලසනු පිණිස සංචරණ සීමා පැවැත්වෙන කාල සීමාහීදී පවා පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳපොළ, පිටකොටුව තොග වෙළෙඳසැල් සහ දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, වේයන්ගොඩ, මීගොඩ,රත්මලාන,බෝකුන්දර සහ ඇඹිලිපිටිය ආදී තෝරාගත් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබීමටද වෙළෙඳ අමාත්‍යාංශය විසින් පියවර ගන්නා ලදී.
එසේම අඛණ්ඩ සංචරණ සීමා ක්‍රියාත්මක වූ පසුගිය දෙසතිය තුළදීම කිසිදු බාධාවකින් තොරව එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීමටද ඉඩ කඩ සලසා දී තිබුණි.
ජනතාවට අවශ්‍ය සියලුම ආහාර ද්‍රව්‍ය කිසිදු හිඟයකින් හෝ බාධාවකින් තොරව අඛණ්ඩව සපයා දීමේ විධිමත් යාන්ත්‍රණයක් පසුගිය දින කීපය පුරාම රජය මඟින් ක්‍රියාත්මක කළ අතර මැයි 29,30 හා 31 යන දින වලදීද තෝරා ගත් ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා විවෘත කරන ලදී.
එහි ප්‍රතිඵලයක් ලෙස මැයි මස 29 වැනි දින මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳාම් කටයුතු ආරම්භ වීමෙන් පසු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ලොරි රථ 45 කින් පමණ ගෙන ආ එළවළු කිලෝ ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් එදින රාත්‍රිය වන විටත් අලෙවිය අවසන් වී තිබුණි.
පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකිර්ණයද මැයි මස 30 වැනි දින වෙළඳ කටයුතු සඳහා විවෘත වූ අතර එදින වෙළෙඳාම සඳහා එහි පැමිණ සිටි වෙළෙඳුන් මාධ්‍ය මඟින් කළ විමසීම් වලදී පවසා තිබුණේ ඊට පෙර දිනවලට සාපේක්ෂව එළවළු වැඩි ප්‍රමාණයක් පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකිර්ණයට ගෙනඒම හේතුවෙන් ඒවායේ මිල ගණන්වල පහළ යාමක් දක්නට ලැබුණු බවයි. සංචරණ සීමා ක්‍රියාත්මක වුවද ජනතාව අතර කිසිදු ලෙසකින් හෝ ආහාර හිඟයක් ඇති නොවීමට රජය විසින් සෑම පියවරක්ම ගෙන තිබුණු අතර අවසර ලබා දී තිබුණු ජංගම රථ හරහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත ගොස් අලෙවි කිරීමේ වැඩපිළිවෙළක්ද ඒ අනුව ක්‍රියාත්මක විය.
එළවළු හා පලතුරු ව්‍යාපාරිකයන්, මස්,මාළු,බිත්තර,කරවල ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමෙන් සිය එදිනෙදා ජීවිතය ගැට ගහ ගන්නා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සහනද සලසමින් පසුගිය දෙසතිය තුළ මෙවැනි සහනදායී වැඩසටහන් රැසක් දැඩි සංචරණ නීති,රීති ක්‍රියාත්මක වූ පසුබිමකදී පවා ක්‍රියාත්මක කිරීම පිළිබඳව බහුතරයක් ජනතාව රජය වෙත සිය ප්‍රසාදය හා ප්‍රණාමය පුද කර සිටියද තවත් සමහරක් පිරිසක් පසුගිය කාලයට සාපේක්ෂව එම ආහාර ද්‍රව්‍ය මිල ගණන් යම් ප්‍රමාණයන්ගෙන් ඉහළ නැංවී තිබීම පිළිබඳව චෝදනා හා දෝෂාරෝපණද එල්ල කරන ලදී.
වසංගතය වසන්තයක් කර ගනිමින් අවස්ථාවාදී ලෙස හැසිරුණු කූට හා තක්කඩි වෙළෙඳුන්ට කොරෝනා නිසා අසරණ වූ ජනතාව කිසි දිනක සමාව නොදිය යුතු නමුත් වසංගත තත්ත්වයක් තුළ පවා දැඩි අසීරුතා, කැපකිරීම් මැද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේ යාන්ත්‍රණය අඩුපාඩු මැද වුවත් ක්‍රියාත්මක වූ ආකාරය පක්ෂ, විපක්ෂ බේදයකින් තොරව කාගේ කාගේත් ඇගයුමට හා බුහුමනට ලක් විය යුතුය.