සේරු­විල පන්සලේ මොකද්ද මේ අර්බුදේ | සිළුමිණ

සේරු­විල පන්සලේ මොකද්ද මේ අර්බුදේ

බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ නිධන් කර තැනූ සේරුවිල නොහොත් සේරුවාවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධුරය සම්බන්ධව මේ වන විට අර්බුදයක් හට ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පසුගිය ජූනි මස 1 වැනිදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට මෙරට ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේ තුන්නමක් කටයුතු කළහ. ඒ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ඉඳුරාගාරේ ධම්මරතන නා හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පෙ සෝභිත නා හිමියන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් උපදේශක සියම් නිකායේ ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල නා හිමියෝද සහභාගි වූහ.

 

එහිදී කරුණු දක්වමින් මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පැවසුවේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විහාරස්ථානයක් නම් අනිවාර්යෙන්ම එය නිකායත්‍රයෙන් එකකට අයත් විය යුතු බවයි. ඒ අනුව නිකායේ හෝ ඊට අයත් පාර්ශ්වයේ මහ නායක හිමියන්ට ඒ විහාරස්ථානයේ විහාරාධිපති පත් කිරීම හෝ ඉවත් කිරීමේ බලය පැවරෙන බවයි.

එමෙන්ම මෙරට විහාරගම් දේවාල පනතට අනුව විහාර භූමියේ අයිතිය රාජ්‍ය නිලධාරියා සතු වන අතර වසර 50කට වැඩි කාලයකට පසුව එහි අයිතිය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පැවරෙන බවද පැවසූහ. එමෙන්ම යම් භික්ෂූන් වහන්සේ නමක් නිකායේ මහ නායක හිමියන්ට අභියෝග කරනවානම් හෝ මහනායක හිමියන්ට පරිභව කරන්නේ නම් ඒ හිමියන් සලකන්නේ දේවදත්ත නිකායට අයත් බවද උන් වහන්සේ පැවසූහ.

මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළ ඕමල්පේ සෝභිත නා හිමියන් පැවසුවේ කුමන සමිති සමාගම් තිබුණද විහාරාධිපති ධුරය පැවරීමේ බලය නිකායේ මහ නායක හිමියන්ට පැවරෙන බවත් සාමාන්‍ය වශයෙන් විහාරාධිපති ධුරය පැවරෙන්නේ ශිෂ්‍යානුගත පරම්පරාවට අනුව බවයි. සේරුවිල විහාරාධිපති ධුරය පත් කරන්නට එහි චෛත්‍යවර්ධන සමිතියට කිසිදු ආකාරයක බලයක් නොමැති බවද උන් වහන්සේ පැවසූහ.

ඒ වෙනුවෙන් නිකායගත කථිකාවත් තිබෙන බවද උන් වහන්සේ පෙන්වා දුන්හ. එයින් බාහිර කටයුතු සිදුවන්නේ නම් ඒවා සම්ප්‍රදායයන්ට මෙන්ම කථිකාවන්ට පටහැනි බවද උන් වහන්සේ පැවසූහ.

දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් පැවසුවේ චිරාත් කාලයක සිට ශ්‍රී ලංකාවේ ග්‍රාමවාසී හා අරණ්‍යවාසී යනුවෙන් භික්ෂූන් වහන්සේ දෙඅංශයකින් වැඩ සිටින බවයි. ඒ සම්ප්‍රදායයන්ට එදිරිව යමින් බුදුරජාණන් වහන්සේගේ දහම් කරුණු පවා විකෘති කරමින් අසපු සම්ප්‍රදායක් මතුව ඇති බවත් ඒ ඔස්සේ යමින් පාංශුකූලය ලබා දීම, අවුරුදු සිරිත් පැවැත්වීම පවා බෞද්ධයන්ට නොගැළපෙන බව පවසමින් මෙරට බෞද්ධ සංස්කෘතිය විනාශ කර දැමීමට එම සම්ප්‍රදාය විසින් කටයුතු කරමින් සිටින බව උන් වහන්සේ පැවසූහ.

සේරු­විල විහා­රා­ධි­පති ධුර­යට භික්ෂුන් වහන්සේ පත් කිරී­මට බල­යක් චෛත්‍ය­ව­ර්ධන සමි­ති­යට නොමැති බවට වූ අධි­ක­රණ වාර්තාව
 
තමන් වහන්සේ වස දී ඝාත­නය කර­න්නට උත්සාහ කළ බව සේරු­විල සර­ණ­කිත්ති නා හිමි­යන් ඔප්පු­වේම සඳ­හන් කර ඇති අයුරු
සේරු­විල විහා­රා­ධි­පති ධුරය හිමි­වන්නේ ශිෂ්‍යා­නු­ගත පර­ම්ප­රා­වට බව දැක්වෙන  අධි­ක­රණ වාර්තාව
චෛත්‍ය­ව­ර්ධන සමි­තියේ සිංහල බෞද්ධ නොවන අය සිටින බව දැක්වෙන
 චෛත්‍ය­ව­ර්ධන සමි­ති­යේම ලිපි­යක්
සර­ණ­කිත්ති හිමි­යන් විසින්  විහා­රා­ධි­ප­ති­කම පැව­රීම ඉවත් කළ ඔප්පුව
දොඩ­ම්ප­හළ චන්ද­සිරි මහ නාහි­මි­යන් සේරු­විල මංගල රජ­මහා විහා­රා­ධි­පති ධුර­යට පත් කළ බවට බෞද්ධ කට­යුතු කොම­සා­රි­ස්ව­රයා විසින් එවන ලද ලිපිය
 

එමෙන්ම ජාත්‍යන්තර බලවේග හරහා බුදු දහම විනාශ කිරීමේ ක්‍රමවේදයක්ද මේ අනුව ක්‍රියාත්මක වන බවක් බෝරාවරුන් මෙන්ම CIA වැනි සංවිධානවලින් අදාළ පාර්ශ්වයන්ට මුදල් ලැබෙන බවත් එම මුදල් ලැබෙන ආකාරය ගැන සෙවීමට රජය විසින් පවා කටයුතු කළ යුතු බවද උන් වහන්සේ පැවසූහ. ඒ එස්සේ මෙරට වසර දහස් ගණනක් පැවැති බුදු දහමේ සම්ප්‍රදායයන් විනාශ කිරීමේ පදනමක් ඇති බවද උන් වහන්සේ පෙන්වා දුන්හ.

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අනුනායක නින්දානේ වජිරඥාන හිමියන් පසුගිය 4 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් පෙන්වා දුන්නේ සේරුවිල මංගල රජමහා විහාරය අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකාය සතු පූජනීය පුදබිමක් බවත් එහි විහාරාධිපති ධුරය සඳහා අර්බුදයක් මතු වූ හෙයින් විහාරාධිපති ධුරය සඳහා පාර්ශ්වයේ මහ නායක දොඩම්පහළ චන්දසිරි මහ නාහිමියන් පත් කිරීමට නිකාය පාර්ශ්වයේ විධායක සංඝ සභාව තීරණය කළ බවයි. එයට එරෙහිව යමින් සමස්ත ශාසනයටම කැළලක් වන ලෙසින් කටයුතු කළ අලුදෙණියේ සුබෝධ හිමියන්ගේ නිකාය සාමාජිකත්වය අත්හිටවූ බවත් කෝට්ටේ සංඝනායක තනතුරෙන් ඉවත් කළ බවත් චෝදනා 5කින් සමන්විත චෝදනා පත්‍රයක් උන් වහන්සේට නිකාය පාර්ශ්වයේ විධායක සංඝ සභාව විසින් ලබා දී ඇති බවත්ය.

සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධුරයේ ගැටලුව සම්බන්ධව සිළුමිණ කළ ගවේෂණයකදී දැන ගන්නට ලැබුණේ මේ අර්බුදය වසර කිහිපයකට පෙර සිට අධිකරණය දක්වා ඇදී ගිය කරුණුවලින්ද සමන්විත බවයි.

එසේ හෙයින් අධිකරණයේ පවත්නා නඩු විභාගයන්ට කිසිසේත් අගතියක් හෝ බාධාවක් නොවන සේ සේරුවිල මංගල රජමහා විහාරස්ථානය හා සම්බන්ධව මේ දක්වා සිදුව ඇති සිදුවීම් මාලාව සම්බන්ධව අපි සොයා බැලුවෙමු.

සේරුවිල මංගල රජමහා විහාරාධිපතිව වැඩ විසූ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකාර නා හිමියන්ගේ ඇවෑමෙන් උන්වහන්සේගේ ශිෂ්‍ය සේරුවිල සරණකිත්ති නා හිමියෝ එහි විහරාධිපති ධුරයට පත් වූහ. උන්වහන්සේ විහාරාධිපති ධුරය උසුලන සමයේ දී සේරුවිල මංගල රජමහා විහාරස්ථානය සංවර්ධනය කිරීමට නම් එහි භාරකාරත්වය තමන් වහන්සේට ලබාදෙන්නේ නම් විදේශාධාර පවා ලබා ගත හැකි බවට එහි වැඩ සිටි මුංහේනේ මෙත්තාරාම නම් හිමි නමක් විසින් පවසන ලදී. ඒ අනුව සේරුවිල සරණකිත්ති හිමියන් දැනුවත්ව හෝ නොදැනුවත්ම ඔප්පුවක් මඟින් තමන් වහන්සේගේ ජීවිත භුක්තිය තබාගෙන හා අවශ්‍ය වූ විටක ආපසු පවරා ගත හැකි පරිදි 2006 වසරේ සැප්තැම්බර් මස 11 වෙනි දින අංක - 3011 දරන ඔප්පුවක් මඟින් සේරුවිල මංගල රජමහා විහාරස්ථානය මුංහේනේ මෙත්තාරාම හිමියන්ට පවරා දෙන ලදී. ඒ පැවරුම පවා සියලු බෞද්ධ සම්ප්‍රදායයන්ට පටහැනිය. උන් වහන්සේ එවන් කටයුත්තක් කරන ලද්දේ සේරුවිල බෞද්ධ ජනතාවගේ මුඳුන් මල්කඩන් සේ දියුණු කරන්නට තිබූ අවශ්‍යතාවය නිසා බව එවකට එහි වැඩ විසූ කිතලගම ධම්මාලංකාර හිමියෝ අපට පැවසූහ.

‘යුද්ධය පැවැති සමයේ සේරුවිල ජනතාව පුදුමාකාර දුකක් වින්දා, ඒ ජනතාව වෙනුවෙන් සේරුවිල දියුණු කරන්නට හැකි නම් ඒ හරහා ජනතාවට සිදුවෙන සෙත දිහා තමයි නායක හාමුදුරුවන් බැලුවේ. එහෙම නැතුව කොයි හාමුදුරුවොද තමන් වැඩ ඉන්න පන්සල වෙනත් කෙනෙකුට ලියලා දෙන්නෙ.‘

සේරුවිල සරණකිත්ති නා හිමියන්ගේ ශිෂ්‍ය හිමිවරුන් වන පිච්චමල් පූජාවේ නිර්මාතෘ කොටපොළ අමරකිත්ති නා හිමියන් හා කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමිවරුන් ඒ වන විට අධික වැඩ කටයුතුවල නියැළී සිටියහ. ආනන්දකිත්ති හිමියන් ඉන්දියාවේ ආචාර්ය උපාධිය පිණිස වැඩම කර සිටියහ. කොටපොළ අමරකිත්ති හිමියන්ද කොළඹ නාගරික පරිසරයේ අධික වැඩකටයුතුවල නියැළී සිටියහ.

‘නායක හාමුදුරුවන් රවට්ටලා මෙත්තාරාම හාමුදුරුවො පන්සල ලියාගත්තට පස්සෙ නායක හාමුදුරුවන්ට කරන්න පුළුවන් හැම අරියාදුවක්ම කළා. නායක හාමුදුරුවන්ට තේරුණා පන්සල දියුණු කරන්නවත් ගම දියුණු කරන්නවත් නෙමෙයි පන්සල ඩැහැගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන බව, ඒ වෙනකොට යුද්ධය අවසන් වෙලා තිබුණෙ. ඒකට දොම්පෙ පැත්තෙ ඉන්න ස්වාමීන් වහන්සේ කීප නමකුත් එකතු වෙලා නායක හාමුදුරුවන්ට ක්‍රෑර විදිහට කරදර කළා. නායක හාමුදුරුවො මට කිව්වා. මාව රටට්ටලා මේ කරන්නෙ පන්සල අල්ලගන්න කරන උත්සාහයක් විතරයි කියල‘

එසේ හෙයින් සරණකිත්ති හිමියන් විසින් තමන් වහන්සේ විසින් විහාරය පැවරූ ඔප්පුව අවලංගු කිරීමට කටයුතු කළහ‍

ඒ අනුව කොළඹ 12 තරංගනී අයි. ගුණසේන නීතිඥ හා ප්‍රසිද්ධ නොතාරිස් තැන විසින් අංක 444 ‘විහාරාධිපති පදවිය අවලංගු කිරීමේ ඔප්පුව‘ ක් 2010 වසරේ ඔක්තෝබර් 06 දින ලියාපදිංචි කර ඇත.

අදාළ විහාරාධිපති පදවිය අවලංගු කිරීමේ ඔප්පුවේ පැහැදිලිව මෙලෙස දක්වා තිබේ.

‘සේරුවිල සරණකිත්ති හිමිපාණන් වන මා වර්ෂ 2007 වර්ෂයේදී මුළාවට පත්කොට ජපානයට රැගෙන ගොස් එහිදී ඝාතනයට කුමන්ත්‍රණය කිරීමද, මෙම විහාරස්ථානය තුළ මා හට වැඩ වාසය කිරීමට නොහැකි තත්වයක් ඇති කිරීමද වර්ෂ 2010 මුල් භාගයේ දී නොයෙකුත් ආකාරයේ බැණ තර්ජනය කිරීම් මධ්‍යයේ වස පානයට දී ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීමද ආදී බලවත් ආකාරයේ වධහිංසා සහ අකෘතඥ කම් සිදු කිරීම හේතු කොටගෙන එකී විහාරාධිපති පදවි ලාභී මුංහේනේ මෙත්තාරාම ස්වාමීන් වහන්සේට ප්‍රධානය කරන ලද අංක - 3011 සහ 2006 ක් වූ සැප්තැම්බර් මස 11 වෙනි දින දරන ඔප්පුව ප්‍රකාර ඉන් ලද සියලු බලතල සහ පදවි තානාන්තර ආදී මෙහි උපලේඛනයේ වඩාත් පූර්ණ ලෙස විස්තර කර ඇති දේපළ සම්බන්ධ සියලු දෙය අවලංගු කොට නිෂ්ප්‍රභා කිරීමට අවශ්‍යව ඇත‘

එසේම එම ඔප්පුවේ තව දුරටත් දැක්වෙන්නේ ‘අංක 3011 සහ වර්ෂ 2006 ක් වූ සැප්තැම්බර් මස 11 දින දරන විහාරාධිපති පදවියට පත් කිරීමේ ඔප්පුව පිට ඉහත කී මුංහේනේ මෙත්තාරාම ස්වාමීන් වහන්සේට ප්‍රධානය කරන ලද විහාරාධිපති පදවියට පත් කිරීමේ ප්‍රධානය සහ එකී ප්‍රධාන ඔප්පුව ඉහත කී බලවත් අකෘතඥාතාවයන් සියල්ල හේතුකොටගෙන මෙයින් සම්පූර්ණයෙන් අවලංගු කොට නිෂ්ප්‍රභා කර දමන ලද බවය.‘ ඒ අංක 2010.10.06 දිනයි. අංකය 444 යටතේ ලියාපදිංචි කර ඇත.

එයින් උරණ වූ මුංහේනේ මෙත්තාරම හිමියන් විසින් අධිකරණයට පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටියේ පෙර ක්‍රියාත්මක වූ තමන් වහන්සේට විහාරාධිපති ධුරය හිමි අංක 3011 දරන ඔප්පුව බලාත්මක කරන ලෙස ‘අතුරු ඉන්ජන්ෂන් තහනම්‘ ඉල්ලීමක් සිදු කර තිබුණි. එහෙත් අධිකරණයේ කරුණු වාර්තාවේ සඳහන් වන්නේ අංක 3011 ඔප්පුව වලංගු බවත් ‘අතුරු ඉන්ජන්ෂන් තහනම්‘ ඉල්ලීම නිෂ්ප්‍රභා කළ යතු බවයි.

එසේම අධිකරණයේ විභාග වූ මේ නඩුවේ 2012.02.17 දින දිනැතිව කරුණු වාර්තාවේ 5 පිටුවේ දැක්වෙන්නේ

‘අදාළ විහාරයේ විහාරාධිපති ධුරය අනිවාර්යයෙන්ම ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව අනුව පැවරේ. චෛත්‍යවර්ධන සමිතියට විහාරාධිපති පත් කළ නොහැක.‘ යන්නයි

එසේම එම නඩුවට අදාළ ලිපි ගොනුවේ 4 වැනි පිටුවේ දැක්වෙන්නේ ‘පැමිණිලිකරු විත්තිකරුගේ ශිෂ්‍යභාවය දරන්නෙක් නොවේ. සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති පදවිය ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව අනුව පැවරේ. ‘ යන්නයි.

ඒ අයුරින් ඉතා පැහැදිලිව සියල්ල නඩු විභාගයේ තිබියදී සේරුවිල සරණකිත්ති නා හිමියන් අපවත් වන්නේ හඳුනා නොගත් රෝගයකින් අක්මාව දියවී යාමට පත්වීම නිසාය. මරණයට පත්වීමට පෙර උන් වහන්සේ ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ තමන් වහන්සේට විෂ ශරීර ගත කර ඇති බව තමන්ට දැන ගන්නට ඇති බවත් එවන් සිදුවීමක් තමන් මියගියහොත් එයින් කිතලගම ධම්මාලංකර හිමි ඇතුළු තිදෙනෙක් කිසිදු ලෙසින් වග නොකිය යුතු බවයි.

සරණකිත්ති නා හිමියන්ගේ අපවත් වීමෙන් පසුව මුංහේනේ මෙත්තාරාම හිමියන් විසින් අධිකරණයෙන් තමන්ට විහාරාධිපති ධුරය ලබා ගන්නට යැයි ඉල්ලා ගොනු කළ නඩුව ඉල්ලා අස්කර ගන්නා ලදී.

ඒ අතර මුංහේනේ මෙත්තාරම හිමියන්ටද සරණකිත්ති නා හිමියන්ට වැලඳුණු අක්මාව දියවීමේ රෝගය වැලඳුණි. ප්‍රතිකාර සඳහා ඉන්දියාවට වැඩම කර සිටියදී උන් වහන්සේ කොවිඩ් රෝගය වැලඳී අපවත් වූහ.

විහාරස්ථානයේ නිසි භාරකාරත්වය හිමි සරණකිත්ති හිමියන්ගේ ශිෂ්‍ය හිමිවරුන්ගෙන් අයකු එහි විහාරාධිපති ධුරයට පත්විය යුතු වුවත් විහාරස්ථානයේ පැවැති අර්බුදය නිසා අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයේ මහා නායක දොඩම්පහළ චන්දසිරි මහ නා හිමියන් විසින් බෞද්ධ සම්ප්‍රදායානුකූලව අර්බුදයක් ඇති නොවනු පිණිස තමන් වහන්සේම එහි විහාරාධිපති ධුරයට පත් වූ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත දන්වන ලදී. ඒ අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම විසින් විහාර හා දේවාලගම් පනත යටතේ හා බෞද්ධ සාම්ප්‍රදායානුකූලව 2021.05.18 දින නිවේදනයක් නිකුත් කරමින් මංගල රජමහා විහාරාධිපති ලෙස මහා නායක දොඩම්පහළ චන්දසිරි මහ නා හිමියන් පත් වූ බව ප්‍රකාශ කරන ලදී. එහෙත් එදිනම සේරුවිල චෛත්‍යය චෛත්‍යවර්ධන සමිතිය විසින් අලුදෙණියේ සුබෝධ නම් විහාරස්ථානයට සම්බන්ධයක් නොමැති භික්ෂූන් වහන්සේ නමක් පත් කළ බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදී.

ඒ අතර පසුගිය මැයි මස 21 වැනිදා මහ නායක හිමිපාණන්ට සේරුවිල විහාරස්ථානයට පැමිණීමට නොහැකි වන ආකාරයේ වාරණ නියෝගයක් අධිකරණයෙන් ලබා ගෙන තිබුණි.

මේ තත්ත්වය සම්බන්ධයෙන් සිළුමිණ බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුමගෙන් විමසූවිට ඔහු පැවසුවේ විහාර හා දේවාලගම් පනත යටතේ හා අදාළ නිකායික සාම්ප්‍රදායයන් අනුව විහාරාධිපතිවරයකු පත් කිරීමේ බලය අදාළ නිකායේ මහනායක හිමියන් සතු බවයි. එසේම ඔප්පුවකින් විහාරස්ථානයක් පවරා දිය නොහැකි බවද ඔහු පැවසීය. චෛත්‍යවර්ධන සමිතියක් හො වෙනත් ඕනෑම සමිතියකට විහාරාධිපතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් නිර්දේශයක් ලබා දිය හැකි නමුත් එවැනි අනුමැතියක් ලබා දීමට කිසිදු සමිතියකට බලයක් නොමැති බවයි.

මේ සියල්ල මැද සේරුවිල චෛත්‍යවර්ධන සමිතියට සිංහල හා බෞද්ධ නොවන අයද එක් කරගෙන තිබේ. ඒ අතර විවිධ සංවිධානවලට අයත් එම්.එම්.ඊ. ඛාන් නැමැත්තාද වේ. පුදුමය වන්නේ ඔහු එම සමිතියේ කාරක සභිකයකු වීමයි. එසේම තවත් පුද්ගලයන්ද මේ ආකාරයෙන් සේරුවිල ආක්‍රමණය කරමින් තිබේ.

මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත්, විධායක සංඝසභාවත් අභියෝගයට ලක්කරමින් අධිකරණයට ගොස් ශාසන සම්ප්‍රදායට බැහැරව යමින් තහනම් නියෝගයක් ලබා ගත් හා අනීතික ක්‍රියාකලාපයක නිරත වූ මහමෙව්නාවේ අලුදෙණියේ සුබෝධි හිමියන් නිකායික සාමාජිකත්වයෙන් හා කාරක සංඝ සභික පදවියෙන් ඉවත් කිරීමට අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ විධායක සංඝසභාව විසින් ඒකමතිකව තීරණය කර තිබේ.

මේ තත්ත්වය තව දුරටත් ඇදී ගියහොත් අපට බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ නිධන් කළ සේරුවිල මංගල රජමහා විහාරයට අයත් වන්නේ ඉතා ශෝචනීය තත්ත්වයකි. විහාර හා දේවාලගම් පනතට අනුව පත් කළ විහාරාධිපති හිමියන් වහන්සේ නමක් විශේෂයෙන්ම අදාළ විහාරස්ථානය අයත් පාර්ශ්වයේ මහ නායක හිමියන්ට විරුද්ධව කටයුතු කළ හැකි නීතිය පවා ගැටලු සහගතය.

Comments