
- එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුවක් නැතැයි නාරා ආයතනය නිවේදනය කරයි
- මුහුදු ජීවීන්ගේ මරණවලට නැවේ සම්බන්ධයක් තියෙනවා
- අංශ කිහිපයක් හරහා වන්දි අයකර ගැනීමට සූදානම්
- නැව ඉවත් කරන තුරු මුහුදු යන්න බැහැ; රැකියා අහිමි වූ ධීවරයන්ට රු.5000 හෝ ලබා දෙන්න
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනි ගෙන දැවී මුහුදු බත් වුවද, එම කතාව තවමත් අවසන්ව නැත. මේ වන විට එම ව්‍යසනයේ බැරෑරුම් අවධියකට අප රට මුහුණ දී ඇත්තෙමු. පසුගිය 20 වැනිදා සිට ශ්‍රී ලංකාවට ආසන්නතම මුහුදු තීරයේ සිදු වූ මේ මහ ව්‍යසනයේ භයානක පැතිකඩ දිග හැරෙන්නේ මෙතැන් සිටය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදු ජලයට එක්වූ විෂ රසායනික, ප්ලාස්ටික්, පොලිතින් නිෂ්පාදනයට අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගන්නා ප්ලාස්ටික් ඇට විශේෂයක් නිසා අපේ මුහුදු තීරය වසර ගණනාවක් යනතුරු ‘අමු සොහොනක’ තත්ත්වයට පත්වන බව පරිසර විශේෂඥයන් පෙන්වා දී ඇත. විශේෂයෙන්ම ප්ලාස්ටික් ඇට නිසාවෙන් වූ පරිසර හානිය වසර ගණනාවක් යනතුරු අපට අත්විඳින්ට සිදු වේ යැයි විශ්වාස කරති.
එක්ස්ප්‍රස් පර්ල් ගිනිගත් නිසාවෙන් අපට විඳින්ට සිදුවූ හානිය මෙතකැයි කියා ගණන් බැලීමට පවා අපහසු වී ඇත. කෙසේ වෙතත් පරිසරයට, මුහුදු ජිවීන්ට, අපේ සාගර තීරයට, ධීවර ප්‍රජාවට මෙන්ම වායූ ගෝලයට සිදුව ඇති දුෂණය ගණන් බැලීම මෙන්ම වන්දි අය කර ගැනීම අදාළ අංශ කිහිපයක් හරහා මේ වන විටත් ආරම්භ කර ඇත. 2008 අංක 35 දරන සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ පනත යටතේ අපේ දේශීය ජල තීරයට, සමුද්‍රයට, අක් වෙරළට හා වෙරළබඩට වන හානිය අය කර ගැනීමට හැකිවෙයි. අපේ සාගර තීරයට පැමිණෙන නැවකින් යම් අනතුරක් සිදුවීමේ අවදානමක් පවතී නම් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ පනත හරහා අදාළ නැවේ කපිතාන්ට හෝ නැව් සමාගමට නියෝග ලබා දිය හැකි වෙයි. ඒ අනුව මෙවැනි අවදානක් මතු වූ වහාම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සිදුවන දුෂණය, විනාශය අවම කිරීමට නියෝග ලබා දුන්නද පැවැති කාලගුණික තත්ත්ව හේතුවෙන් නැව ගිනි බත් වනතුරුම ගින්න නිවීමට හැකි වූයේ නැත. මේ හා සම්බන්ධ නීතිමය තත්ත්වය අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අරමුදල විසින් එසේ ලබා දෙන නියෝග යම් හෙයකින් නැව් බලධාරීන් ක්‍රියාත්මක නොකළේ නම් ඒ සඳහා රුපියල් මිලියන 15කට නොඅඩු 35 කට නොවැඩි දඩයක් ගෙවීමට සිදු වන්නේය. කෙසේ වෙතත් මේ කටයුතු කොයි ආකාරයෙන් ඉදිරියේදි ක්‍රියාත්මක වන්නේද යන්න බලා සිටින්නට අපට සිදුවේවි.
කෙසේ වෙතත් මේ සම්බන්ධ නෛතික ක්‍රියාමාර්ග දැන් ආරම්භ කොට ඇත්තේය. පසුගිය 20 වැනිදා රාත්‍රී දේශීය ජල තීරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වීමට දින දහයකට පමණ පෙර සිටම එහි ගබඩාකොට තිබූ බහාලූමකින් නයිට්‍රික් ඇසිඩ් අම්ලය කාන්දුවීමක් සිදුවන බවට එහි කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය දැනුවත්ව සිටි බවට කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පසුගියදා ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. රසායනික ද්‍රව්‍ය කාන්දුවීමක් සිදුවන බැවින් නැව ගිනි ගැනීමට ලක්විය හැකි බවට නැවේ කපිතාන්වරයා විසින් එකී නැව් සමාගමේ දේශීය නියෝජිත ආයතනයට දැනුම්දී ඇති අතර, විද්‍යුත් තැපැල් පණිවිඩ එම නියෝජිත සමාගම විසින් මකා දමා අවශ්‍ය සාක්‍ෂි හිතාමතාම වසන් කර ඇතැයිද අධිකරණයට පෙන්වා දුන්නේය. රසායනික ද්‍රව්‍ය කාන්දුවීමක් සිදුවන බව වසන් කර ඇති එකී දේශීය නියෝජිත ආයතනය නැව කිසිදු අනතුරුදායක තත්ත්වයක් නොමැති බවත්, දේශීය මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇති බවත්, නැවේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් ඇති බවට මුල්වරට කොළඹ වරාය බලධාරීන්ට දැනුම්දී ඇත්තේ පසුගිය 20 වැනිදා පෙරවරු 10.00 ට පමණ බවත් අධිකරණයේදී අනාවරණය විය.
ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු 7 දෙනෙකු සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතීසි නිකුත් කරන ලෙස කරන ලද ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් එය මහාධිකරණය විසින් සිදුකළ යුතු කටයුත්තක් වන නිසාය.
සාමාන්‍යයෙන් මෙවන් අනතුරකදී සිදුවන හානියට අනිවාර්ය වන්දි ලබා ගැනිමට අමතරව රක්ෂණ ලබා ගැනීමේ ප්‍රතිපාදන ඇත්තේ 1992 CLC සමමුති පනත (International Convention on the Civil Liability Pollution) හරහාය. මෙවැනි නඩුවක මුලික විමර්ෂණ මහේස්ත්‍රාත් අධිකරණයක් හරහා සිදුවන අතර වන්දි අයකර ගැනීම වාණිජ මහාධිකරණය හරහාත්, අපරාධමය වරදක් සම්බන්ධයෙන් වූ දඩය අය කර ගැනිම අද්මිරාලිටි මහාධිකරණයක් මඟිනුත් කළ යුතු වෙයි. මෙහිදි සමුද්‍රිය ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයාගේ සාක්ෂිය ප්‍රධාන සාක්ෂියක්ද වෙයි.
කෙසේ වෙතත් මීට කලින් ලංකා මුහුදු තීරයේදි ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාවේ ගිනි නිවීම හා දූෂණ සඳහා වූ වන්දිය වූ ඩොලර් මිලියන 2.4 වන්දිය හා පරිසර හානිය සඳහා වු ඩොලර් මිලියන 17.38 ක වන්දිය තවමත් ගෙවා නැත. එසේ වූයේ ඇයිද යන්න අප විමසිය යුතු වැදගත් කරුණකි.
මේ වන විට මුහුදු තීරයට ගොඩ ගසමින් පවතින් මුහුදු ජිවින්ගේ සිරුරු සම්බන්ධයෙන් ඒ ඒ ප්‍රදේශ භාර පශු වෛද්‍යවරු විසින් පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදු කරමින් පවතින අතර කොළඹට ආසන්න වෙරළට ගොඩ ගැසූ කැස්බෑ හා මත්ස්‍ය සිරුරු සම්බන්ධව මරණ පරික්ෂණ කටයුතු සිදු කරන බෙල්ලන්විල අත්තිඩිය වන ජීවි රැඳවුම් මධ්‍යස්ථානයේ පශු වෛද්‍ය සුහද ජයවර්ධන අදහස් දැක්වූයේ මේ ආකාරයෙනි.
“ වෙරළට ගොඩ ගැසූ සතුන්ගේ සාම්පල කොටස් පරීක්ෂා කරමින් පසුවෙනවා. තවමත් අවසන් නිගමනයකට පිවිස නැහැ. ජාඇල සිට හික්කඩුව දක්වා මේ වන විට කැස්බැ සිරුරු 10 ක් පමණ හමුවුණා. ඉන් එක සතෙක් පමණ සජීවීව සිටිනවා. අනිකුත් පළාත්වලින් විවිධ ප්‍රමාණයේ කැස්බෑ හා මත්ස්‍ය සිරුරු හමුවෙලා තියෙනවා. මේ සිරුරු අධ්‍යයයනයේදී අපිට පෙනී යන දෙයක් තමයි මේ මරණ වලට නැවේ සම්බන්ධයක් පවතින බව. නමුත් විද්‍යාත්මකව සනාථ කර නැහැ. සාමාන්‍යයෙන් මේ කාලයේ කැස්බෑ මරණ මේ විදියට දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ මරණ විනාශ වූ නැව නිසා සිදුවිය හැකිබව අපිට අනුමාන කළ හැකියි. නැවෙන් පිට වූ රසායනික ද්‍රව්‍ය යම් යම් ස්ථානවල රැදී තිබිය හැකියි. මුහුදු පතුලේ ස්වභාවය අනුව මේවායේ පැතිරීම වෙනස්විය හැකියි. ඒ අනුව මේවා විස වි සතුන් මරණයට පත්විය හැකියි. ඒ වගේම නැව් සිදුවූ පිපිරීම්, අධික රස්නය මෙන්ම කම්පනය මේ සතුන්ගේ මරණවලට හේතුවිය හැකියි. මේ හමුවූ එක සතකුගේ වරල් නයිලෝන් නූල්වලට කැපිලා තිබුණා.
ඒ නිසා ඒ සතාගේ මරණය මේනිසා සිදුවුවක් නොවෙයි. කැස්බෑ මරණවලට අමතරව කටුපේත්තයා නම් මාළු වර්ගය විශාල වශයෙන මැරුණා. වයිරංගුල්ලා නම් මුහුදු ආදෝ මසුන්ගේ මරණයට නැවේ පිපිරීම් හේතුවුණා කියා අනුමාන කළ හැකියි. ඒ වගේ ඩොල්ෆින් මසුන් දෙදෙනෙකුගේ සිරුරුත් ඉදුරුවෙන් හා පානදුරෙන් හමුවුණා“ පශු වෛද්‍ය සුහද ජයවර්ධන පවසන්නේ මෙවැනි සතුන්ගේ සිරුරු ඉදිරියටත් හමුවිය හැකි බවකි. ඊට හේතු වශයෙන් ඔවුන් විග්‍රහ කරන්නේ මෙවැනි පිපිරිම් හා විෂ කාන්දු වීමෙන් මුහුදු ජීවීන් එකවර නොමැරෙන බවකි.
බටහිර ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ වෙරළබඩ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය චරිත පට්ටිආරච්චි පවසන්නේද එවන් අදහසකි. ඒ ඉදිරියේදී මෙම නෞකාවෙන් නිදහස් වු ප්ලාස්ටික් ඉන්දියන් සාගරය පුරාවටම ගමන් කළ හැකි අතර මෙයින් මුහුදු ජීවින්ට වන හානිය කොතරම්ද යන්න පැවැසිය නොහැකි බවකි. ඒ සඳහා පෙර සූදානමක් තිබිය යුතු අතර මෙහි විෂ නොමැති වුවත් මේවා මත්ස්‍යයන්ගේ ශරිරගත වී මිය යා හැකි බවයි.
කෙසේ වෙතත් මේ වන විට ධීවර කර්මාන්තයේ නියැළෙන යම් පිරිසකට රැකියාව තාවකාලිකව අතහැර දැමීමට සිදුව ඇත්තේ මේ නැව තවමත් ගැඹුරු මුහුදට ඇඳ ගෙන ගොස් නොමැති නිසාවෙනි. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පවසා සිටියේ මෙවන් අදහසකි.
“ ගිය මාසයේ 21 වැනිදා නැව ගිනි ගන්නා බව වාර්තා වුණා. කාලගුණය අයහපත් වුණා. වේගවත් සුළං තිබුණා. මේ නිසා එහි විෂ දුමාරය ගොඩබිමට ගසා ගෙන ආවා. ඒ වගේම නැවේ ගිනි ගන්නා ඇතැම් දේවල් ගොඩබිමට ගසා ගෙන ආවා. මේ ප්‍රදේශයේ ධීවර රැකියා කරන විශාල පිරිසක් ඉන්නවා. මේ අයට විස දුමාරයෙන් හා නැවෙන් ගසා ගෙන යන ද්‍රව්‍ය වලින් හානියක් සිදු වෙතැයි කල්පනා කළ නිසා මීගමුව කොළඹ ඇතුළු වර්ග කිලෝ මීටර් 450 ක දුරකට මුහුදු යන ධීවරයන්ට මුහුදු යන්න දුන්නේ නැහැ. ඒ වගේම කලපුව ආරක්ෂා කරන්න විශේෂ උපකරණ දැමුවා. නැව තවමත් ඒ තැනම තිබෙන නිසා තවමත් ධීවරයන්ට ඒ කලාපය තහනම්. මේ වන විට මීගමුව අවට මුහුදු යන ධීවරයින් 10,000 ක් හා ධීවර යාත්‍රා 3500 ක්, කොළඹ ධීවරයන් 2500 ක් හා ධීවර යාත්‍රා 800 ක්, කළුතර ධීවරයින් 300 ක් හා ධීවර යාත්‍රා 80 කට මෙලෙස ධීවර කර්මාන්තය අහිමි වී තියෙනවා. මේ නිසා රැකියා අහිමි වූ ධීවරයන්ට සහනයක් වශයෙන් කොවිඩ් සඳහා දෙන රුපියල් 5000 දිමනාව ලබා දෙන්නට ඉල්ලීමක් කර තියෙනවා.....“ ඒ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්තය. කෙසේ වෙතත් ධිවර දැල් ආම්පන්න වලට හානි සිදුවීම් මෙන්ම කකුළු, ඉස්සෝ වගාවන්ටද හානි සිදුවීම් වාර්තා වී ඇති අතර ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ ගිනි ගත් නැව ඉවත් කෙරෙන තුරු ධීවර කටයුතු ආරම්භ කිරීමේ හැකියාවක් නොපවතින බවකි.
නැවේ වන්දි අය කර ගැනීම හා සිදුවු පරිසර හා සමුද්‍රීය විනාශය ගණනය කිරිම අංශ කිහිපයක් යටතේ සිදුවන අතර මේ පිළිබඳව විමසන්නට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගත්තද එය ව්‍යවර්ථ විය. කෙසේ වෙතත් නාරා ආයතනයද මේ වන විට මේ සම්බන්ධ පරික්ෂණ අංශ කිහිපයක් හරහා සිදුකරමින් පවතියි. මේ පිළිබඳව සිළුමිණට අදහස දැක්වූයේ එහි පරිසර අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන හා ප්‍රධාන විද්‍යාඥ ශ්‍යාමලි විරසේකරය.
“ අපි මේ නැව ගිනි ගැනීම ආරම්භ කළ දා සිටම විවිධ අංශ හරහා විද්‍යාත්මක පර්යේෂණයන් සිදු කළා. මේ මොහොත වන විටත් ඒ සියලු කටයුතු සිදු කරමින් පවතිනවා. වෙරළ තීරයේ පස් සාම්පල, මුහුදෙ ජල සාම්පල, මියගිය මුහුදු ජීවින්ගේ සාම්පල, ගොඩගැසූ ප්ලාස්ටික් ද්‍රව්‍ය සාම්පල මෙන්ම වතුරේ බැර ලෝහ ප්‍රමාණ ආදි සියලු පරීක්ෂාවන් දිනෙන් දින සිදු කරනවා. මේ කටයුතු කරන්නේ කලින් ලබා ගත් ද්‍රව්‍ය සාම්පල සමඟ සන්සන්දනයෙනුයි. ......“ ඒ නාරා ආයතනයේ අදහසයි.